SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ස්පාර්ටකස් ලිපි

 සත්තා ව 1

 

 

 

පසුගිය කොටස් හා සම්බන්ධයි

විද්‍යාත්මක කතිකාමය දැනුම් විශ්වය පවතින්නේ ස්වාමි හැඟවුම්කාරකයක් පදනම්වය.

 

කොගිටෝව දර්ශනවාදයේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස ප්‍රකාශ කළ ඩෙකාට්ස්, පුළුල් ලෙස, ජීවිතයද ඇතුළුව එකවිටම මුළු යථාර්තය ඌණනය කරනුයේ, කිසිවක් නොමැත යන්න වෙතටය. එනම් යාන්ත්‍රික නීතිවලට අවනතවන පදාර්ථ ක්ෂේත්‍රයමය. මෙම නිශ්චිත අර්ථයෙන් ගත් කල, නූතන ආත්මීයත්වයේ චින්තනය “මානවවාදයක්” නොව, නමුත් ආරම්භයේ සිටම, “මානව විරෝධී”ය. 

 

මනුෂ්‍යත්වය යන්න සංලක්ෂනාත්මක කරනුයේ පුනුරුද චින්තනයයි (The renaissance). ඒ තුල, මිනිසා යනු අනෙකුත් ජීවීන් අතර උසස්තම නිර්මාණයවීම ලෙස මහත් උත්කර්ෂයෙන් සලකන ලදී. නමුත් නූතනත්වය (modernity) නිසියාකාරව හටගන්නේ මිනිසාට හිමි වරප්‍රසාදිත ස්ථානය අහිමි වී මිනිසා යනු යථාර්ථයේ තවත් එක් අංගයක් බවට ඌනනය වීම තුලය. එසේම, වරප්‍රසාදයේ මෙම අහිමි වීම වෙතට සහසම්බන්ධිත වන්නේ ශුද්ධ අභෞතික හිස්බව ලෙස ආත්මයේ (කාටිසියානු අර්ථයෙන් නම් විෂයේ) ඉස්මතුවීම (කාටිසියානු විෂය හිස්ය) වන අතර එසේ වන්නේ යථාර්ථයේ සාරානුකූල කොටසක් ලෙස නොවේ. කාන්ටියානු උත්තරීතරත්වයම මෙම පරතරය තුළ පදනම් වී ඇත. එනම් එය මිනිසාගේ බෙලහීනත්වය සහ ශුන්‍යභාවය පිළිබඳ අත්දැකීමයි (ස්වභාවයේ කොටසක් ලෙස). මිනිසා ස්වභාවික බලවේගයන්ගේ විනාශකාරී බලගතු සංදර්ශනයකට නිරාවරණය වූ විට, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය සෘණාත්මකව උද්දීපනය කරයි. ඒ චින්තාවේගී සදාචාරාත්මක ආත්මයක් ලෙසය. ඩාර්වින්ගේ ඉදිරිපත්කිරීමේ දරාගත නොහැකි දෙය මෙයයි. එනම් මිනිසා ස්වභාවික පරිණාමයකින් මතු වූවා නොවන මුත් මෙම පරිණාමයේ දැඩි ස්වභාවයම-අවුල් සහගත, සාධ්‍යතාමය නොවන අතර ඕනෑම ආකාරයක “ලෝකය වෙතට මනස අනුගතවීම” වෙත සමච්චල් කරයි. එසේම නූතන විද්‍යාව සහ නිශ්චිත දෙවධාර්මික සම්ප්‍රදායක් අතර සම්බන්ධය පිළිබඳව තවත් විරුද්ධාභාශයක් සඳහන් කල යුතුවම ඇත.

 

විද්‍යාත්මක කතිකාවේ විරුද්ධාභාසය වන්නේ එම කතිකාව සරලව දැනුම් විශ්වය සමග ස්වාමි හැඟවුම්කාරකය (Master-Signifier) සඳහා අවශ්‍යතාවය නොමැති එකක් වීම නොවීම සහ එසේම ස්වාමි හැඟවුම්කාරකයක මෙම බලවත් අවශ්‍යතාවය පදනම් වී ඇත්තේ එම විද්‍යාත්මක කථිකාව අපගේ ජීවන-ලෝකයේ එබ්බවී පවතින බවත්, ඒ නිසා, එහි අවසාන පාර-භාෂාව ලෙස එදිනෙදා භාෂාව මත විශ්වාසය තැබීමට සිදුවන බවත් යන මූලික කරුණ මත පදනම්ව නොවේ.

 

තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම්, විද්‍යාත්මක කතිකාමය දැනුම් විශ්වය පවතින්නේ ස්වාමි හැඟවුම්කාරකයක් පදනම්වය. නමුත් විද්‍යාත්මක කතිකාව එහි ශුද්ධ අර්ථයෙන් (අදාළ විද්යාඥ ප්‍රජාවක් තුල ක්‍රියාත්මක අර්ථයෙන්) කිසි විටකත් සමාජය තුල ක්‍රියාත්මක නොවන අතර අපගේ ජීවන ලෝකය තුල ඒකාකාරව එබ්බ වී නොමැත. එය පවතින්නේ යම් යම් ආකාර සහ මාත්‍රා වලිනි. එබැවින් එහි අවසාන පාර-භාෂාව ලෙස එදිනෙදා භාෂාව මත විශ්වාසය තැබීමට කිසිසේත්ම නොහැකිය. එනම් විද්‍යාත්මක කතිකාවට අදාළ භාෂාව ඇකඩමික ව්‍යුහයන් තුල ඊට අදාළ දූරාවලීන් තුල ඒ ඒ ශ්‍රේණි වලට අදාළ අයුරින් ක්‍රියාත්මක වේ.

 

ඒ අනුව ස්වාමි හැඟවුම්කාරකයක් කිසි විටකත් මිනිසුන්ගේ ජීවන ලෝකය සහ අවශ්‍යතා, පරිසරය, මිනිස් සබඳකම් ඇතුළු සියල්ලට අදාළ සමස්තය මත පදනම් නොවේ. එනම් එය යම් ව්‍යුක්ත දැනුමකට අදාළව පමණක් පවතී. අද දවසේ විශේෂයෙන්ම ලිබරල් සහ හරිත වාමාංශික කතිකාවන් විසින් භාරගෙන ඇති ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සහ එය වලක්වා ගැනීම සඳහා වන පිළියම් පිළිබඳව විද්‍යාත්මක කතිකාව මෙය පැහැදිලි කිරීම සඳහා උදාහරණයකට ගත හැකිය. ඒ තුල “ගෝලීය උෂ්ණත්වය ඉහළයාම” යන්න “ස්වාමි හැඟවුම්කාරකයක්” බවට පත්වන්නේ ඒ තුලින් අනෙක් සියල්ල අර්ථකථනය කිරීම සිදු වන බැවිනි. ලෝක බැංකුව, IMF, WTO, ADB වැනි බොහෝ ආර්ථිකවාදී සංවිධාන දැන් ගෝලීය උෂ්ණත්වය ඉහල යාම යන්න පිළිගෙන ඇති අතර ඉදිරියේදී ඇති වන සියලු පාරිසරික අර්බුධ වලට හේතුව එය බව පිළිගනී. එම කතිකාව තුල අනෙකුත් පාරිසරික අර්බුධ කළමනාකරණය කල හැකි අතර එම කටයුතු වලට ද බාදාවක් වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමයි. ඔවුනට අනුව පාරිසරික අර්බුධ යනු ආර්ථික අර්බුධයන් වන අතර සියල්ලටම වඩා ප්‍රමුඛ වන්නේ ආර්ථිකයයි (ඕනෑම ව්‍යසනයක්, ස්වාභාවිකව ඇති වන ව්‍යසනයක්, වසංගතයක් වැනි ඕනෑම තත්වයක් පිළිබඳව විමසා බලන්නේ ආර්ථිකයේ ස්ථානයෙන් වන අතර අදාළ ව්‍යසනය හෝ වසංගතය සඳහා මැදිහත් වීම සිදුවන්නේ ද ආර්ථිකයට වන හානිය උපරිම වශයෙන් වලකා ගන්නේ කෙසේද යන්න තුලය). එම පිළිගැනීමට අනුව ආර්ථිකය රැකගැනීම සඳහා ගෝලීය උෂ්ණත්වය පාලනය කල යුතු බව එම සංවිධාන වල නිල දෘඩ අදහසය. ගෝලීය උෂ්ණත්වය පාලනය නොකළහොත් සකල විධ පාරිසරික අර්බුධ ඇති වී, උග්‍ර වී, වසංගත තත්වයන් ඇති වී, ආර්ථික අර්බුධයන් ද ඇති වී, ඒ තුලින් සමාජ දේශපාලන අර්බුධයන් ද ඇතිවීමට නියමිතය. නමුත් ඇත්ත වශයෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළයාම යන කාරණය අදාළ විද්‍යාත්මක දැනුමේ අකාරයෙන් සාමාන්‍ය මිනිසුන්ට කිසි සේත්ම අදාළ නැති අතර එය පවතින්නේ විද්යාඥ ප්‍රජාවන්, ආර්ථික විද්යාඥ ප්‍රජාවන්, පරිසරවාදීන්, වැනි උගත් ප්‍රජාවන් තුල (ඒවායේ ද අදාල කතිකාව පවතින්නේ විවිධාකාර තත්වයන් තුල නොයෙකුත් මාත්‍රාවන්ගෙනි) වන අතර එය ඍජුවම නිර්මාණය වී ඇත්තේ යම් නිශ්චිත විද්‍යාඥ ප්‍රජාවන් තුලිනි (ගෝලීය උෂ්ණත්වය ඉහල යාම යනුවෙන් තත්වයක් නොමැති බව හෝ එය සැලකිල්ලට නොගතයුතු බව පවසනා විද්‍යාඥ ප්‍රජාවන් ද සිටී). කතිකාවක් ලෙස පැමිණෙන එය පිළිගන්නා අනෙක් සියලු ක්ෂේස්ත්‍රවල ඇකඩමික ප්‍රජාවන් එය භාරගෙන ඇත. ඒ අනුව ‘ස්වාමි හැඟවුම්කාරකය’ නිර්මාණය වී ඇත්තේ නිශ්චිත විද්‍යාඥ ප්‍රජාවක් වෙතිනි. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ ද උගත් සුළුතරයකි.

 

ඒ අනුව පැහැදිලි කාරණය වන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන-ලෝකය ඉදිරියේ දී සකස් වීම, අදාළ දැනුම් විශ්වය සහ එය පිළිගැනීමට ලක්වීම සිදුවන්නේ ‘ස්වාමි හැඟවුම්කාරක’ මතින් ගොඩනැගෙන විද්‍යාත්මක කතිකාව තුලින්ය යන්නයි. එනම් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම යන කාරනාව සමාජ ගතවන්නේ ඒ අකාරයටය. එවිට විරුද්ධාභාසය වන්නේ ‘ස්වාමි හැඟවුම්කාරකයේ’ මෙම බලවත් අවශ්‍යතාවය කිසි විටකත් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන-ලෝක ව්‍යවහාරය, අවශ්‍යතා, රිචි අරුචි කම් මත පදනම් නොවීමත්, එබැවින් එහි අවසාන පාර-භාෂාව ලෙස එදිනෙදා භාෂාව මත එය කිසි සේත්ම විශ්වාසය නොතැබීමත්ය (විද්‍යාඥයින්ට අදාළ භාෂාව සාමාන්‍ය එදිනෙදා භාෂාව නොවේ). එය ඍජු ලකානියානු අර්ථයෙන්ම නැවත නැවතත් පැවසිය හැක්කේ මිනිසුන් නිමග්න “ධනවාදී කතිකාව” යනු “ස්වාමි කතිකාවේ” සහ “විශ්ව විද්‍යාල කතිකාවේ” විපරීත සම්භෝගයේ ප්‍රතිපලයක් බවය. විද්‍යාත්මක කතිකාව පිළිබඳව තවදුරටත් පවසන්නේ නම්, විද්‍යාත්මක කතිකාවේ මායාකාරී සංජානනය යනු කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වයේ ශුද්ධ විස්තරය පිළිබඳව කතිකාවක් වන අතර, විරුද්ධාභාසය පවතින්නේ හිස් කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වයේ සහ රැඩිකල් ඉච්ඡානුගතවාදයේ (voluntarism) සමපාතය තුලය. එනම් කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වය අර්ථ විරහිත ලෙස පවත්වා ගත හැක්කේ, “එසේම පවතින” දෙයක් ලෙසින්, එය අත්තනෝමතික දිව්‍ය කැමැත්තකින් රහසිගතව පවත්වා ගෙන යන්නේ නම් පමණි. නිශ්චිතවම ඩෙකාට්ස් නවීන විද්‍යාවේ ආරම්භක පුද්ගලයා වන්නේ එබැවිනි. ඒ ඔහු විසින් හරියටම අත්තනෝමතික දිව්‍ය කැමැත්ත මත රඳා පවතින 2 + 2 = 4 වැනි වඩාත් මූලික ගණිතමය කරුණු පවා සෑදූ බැවිනි. දෙක සහ දෙක හතරක් වන්නේ දෙවියන් වහන්සේ එයට එසේ නියම කල නිසා වන අතර එසේ වන්නේ එය පිටුපස සැඟවුණු නොපැහැදිලි ‘තර්ක බුද්ධි’ (reason) දාමයක් නොමැතිවය. ගණිතය තුලදී පවා මෙම කොන්දේසි විරහිත ඉච්ඡානුගතවාදය තේරුම්ගත හැක්කේ එහි “ස්වසිද්ධි” (axioms) මූලික වන ස්වභාවය තුලය. කෙසේ වෙතත්, මෙම සංකූලතා නූතනත්වයේ සම්මත ආඛ්‍යානයේ කොටසකි. ඇත්ත වශයෙන්ම, නවීන විද්‍යාවට ලැබී ඇති ප්‍රතිරූපයට බාධා කරන්නේ, විසිවන සියවසේ විද්‍යාවට අදාළ “නින්දාවන්” (නැවත හැරවිය නොහැකි ලෙස පෘතුවිය පුරා ව්‍යාප්ත විවිධාකාරයේ මහා පාරිසරික විනාශය, වසංගත, අනොන්‍ය සබඳතා ඇතුළු මිනිස් ජීවිතය පත්ව ඇති ස්වභාවය, සමාජීය සංකූලතා වැනි…) ඒවා පෙනෙනවාට වඩා බොහෝ අපැහැදිලි බව – සහ, පාරක්‍රිය ලෙස (retroactively), සම්භාව්‍ය අවමානයන්හිම අපැහැදිලි බව හෙළිවීම විසිනි. අද වන විට, දේවල් තවත් බොහෝ දුර ගොස් ඇත. එනම් ඥානාත්මකවාදය (cognitivism) තුළ, මිනිසාගේ චින්තනයම පරිගණකයක ක්‍රියාකාරීත්වය අනුව හැඩගැසී ඇත. එවිට වැටහීම (අර්ථයේ අත්දැකීම, ලෝකයට විවෘතභාවය පිළිබඳ අත්දැකීම්…) සහ යාන්ත්‍රයක “නිහඬ” ක්‍රියාකාරීත්වය අතර දැඩි පරතරය විභව්‍ය ලෙසින් අතුරුදහන් වේ.  

 

 

නව-ඩාවින්වාදය තුළ, මනුෂ්‍ය පුද්ගලයින් සංකල්පනය කරනු ලබන්නේ “ඔවුන්ගේම” ජාන ප්‍රතිනිෂ්පාදනයේ හුදු උපකරණ හෝ, වඩා වැඩියෙන්, වාහකයන් ලෙසය. එසේම සාදෘශ්‍ය ලෙස, මානව සංස්කෘතිය, මනුෂ්‍යත්වයට අදාළ සංස්කෘතික ක්‍රියාකාරකම්, පද්ධතියක මූලඅවයවයක් ලෙස ජානමය නොවන ක්‍රම මගින්, විශේෂයෙන් අනුකරණය මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය කළ හැකි යැයි සැලකිය හැකි දේ (“memes”) ප්‍රගුණනය සඳහා වාහකයක් ලෙසය.

 

 

2014 දී ප්‍රකාශයට පත් කරන ලද යුවල් නෝවා හරාරිගේ “Sapiens a short history of humanity” යනු අති සාර්ථකව අලවි වන කෘතියකි. එම සාර්ථකත්වය යනු අද තමන් නව “ලෝකයේ ස්වාමිවරුන්” ලෙස ඔවුන් විසින්ම පෙනී සිටින අය විසින් අසරණ, නූගත් පාඨකයන් ලෙස ස්වයං ඒත්තු ගැන්වූවන් වෙතට ඔවුන්ගේ බුද්ධිය විදහා පෙන්වන්නන්ගේ රෝග ලක්ෂණයකි. යුවාල් නෝවා හරාරිගේ “Sapiens” පිටපත් මිලියන අටකට වඩා අලෙවි වී ඇති අතර, ඉන්පසුව නිකුත් වූ පොත් තවමත් මෙම උසට ළඟා වී නොමැති අතර, ඒවා ද ඒ දක්වා ළඟා වෙමින් පවතී (දැනටමත් Homo deus සඳහා මිලියන හතරක්…).

මෙම කෘතියේ සිංහල පරිවර්තනය පැමිණීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානියා ලෙස නිර්මාල් දේවසිරි ඒ පිළිබඳව දැඩි උත්කර්ෂයෙන් අදහස් දැක්වීය. නිර්මල්ට අනුව එය මහා බුද්ධිමය කෘතියකි. එය සැබෑවකි. නමුත් අප නම් ප්‍රතික්ෂේප කරනුයේ එම සැබෑවමය.

අද, හරාරි ප්‍රවීණ චින්තකයෙකු ලෙස ප්‍රශංසා ලබන අතර ඔහුට ලෝක ආර්ථික සංසදයේ ඩාවෝස් සම්මේලනයට “ආගන්තුක තරුවක්” ලෙස ආරාධනා කිරීමත්, එතැන් සිට ඔහු එහි සභාපති ක්ලවුස් ෂ්වාබ්ගේ පළමු උපදේශකයා බවට පත්වීමට ලැබීමත් පිළිබඳව පුදුම විය යුතු නොවේ. ඔහුගේ කෘතීන් විසින් සිදු කරමින් ඇත්තේ අපගේ “වර්ගය” (species) පිළිබඳව ඉතිහාසය ප්‍රචලිත කිරීම සහ එම ඉතිහාසයේ අර්ථය පිළිබඳ මෙනෙහි කිරීමකි. ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය හරාරිගේ අධ්‍යාපනික අභිලාෂය තවත් ඉහල නංවා ඇත්තේ “විද්‍යාවේ” ආකෘතිය තුල, අපැහැදිලි දෘෂ්ටිවාදයට අසීමිත පක්ෂපාතීත්වයක් නිර්ලජ්ජිත ආකාරයකින් යුක්ති සහගත කිරීමට ඉඩ සලසන මෙම යුගයට අදාළ ව්‍යාජ-ප්‍රයෝගික සූක්ෂ්ම බුද්ධිමත් පාරආඛ්‍යානයක් පමණක් දිග හැරීම තුලය (එය කෘතියේ අලවියෙහි අතිවිශිෂ්ට සාර්ථකත්වය තුල පැහැදිලි වේ). අද දවසේ බහුතර ජන ප්‍රසාදය ඇත්තේ එවැනි අඛ්‍යානයන් සඳහාය.

harari

කෘතියේ සෑම පිටුවකින්ම භයංකර මුග්ධත්වයට ආයාචනා කරයි. පරිච්ඡේද කිහිපයකින්, මෙම කෘතිය විශ්වයේ ඉතිහාසය පැකට් කර ඇත. එනම්, එය තවදුරටත් හරාරි වෙතට කිසිදු රහසක් ඉතිරි නොකරයි. “මහා පිපිරුමේ” සිට “හෝමෝ සේපියන්ස්ගේ” පෙනුම දක්වා වූ මෙහෙයුම් දිග හැරෙන ආකාරය ඔහු පෞද්ගලිකව දුටුවාක් මෙන්, පියවරෙන් පියවර එම කෘතිය තුල කිසිඳු පැකිලීමකින් තොරව විස්තර කර ඇත.

ඇත්ත වශයෙන්ම, ඒ තුලින් අපගේ අනාගතය ගැන අනාවැකි කීමට ඔහු පසුබට නොවේ (කෘතිය ඇලවිය ඉහල යාමට හේතුව ද එයයි. මේ යුගයේ මිනිසුන් සඳහා අවශ්‍ය වී ඇත්තේ විද්‍යාත්මක අනාවැකි කරුවන් සහ මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඇති අනීවාර්ය විද්‍යාත්මක විසඳුම ඉදිරිපත් කරන්නන්ය. එනම් අනීවාර්ය විද්‍යාත්මක විසඳුමක් තිබිය යුතු අතර ප්‍රශ්නය වන්නේ එය සොයා ගැනීමට සමත් දෙවියෙකු වැනි බුද්ධිමතෙකු මෙදියත පහල නොවීමය). ඒ සඳහා ඔහු විසින් මිනිස් වර්ගයා කණ්ඩායම් දෙකකට බෙදීමක් වාර්තා කරයි. එනම්, එක් අතකින් “ප්‍රගතිශීලීත්වය”, සහ අනෙක් පාර්ශවයෙන් “දෙවියන්”ය (අමරණීයත්වය පොරොන්දු වූ). සමාජය ධනයේ සහ කීර්තියේ ප්‍රීති ප්‍රමෝදය කරා ළඟා වන්නේ “නව ඩිජිටල් තාක්‍ෂණයේ” ආකෘතික අච්චුවට ද්‍රාවනය වී, ඒ ආකෘතිය තුල සහ ප්‍රමුඛ කතිකාවේ (සැබවින්ම ධනවාදී කතිකාව) සියලු සුලභ ක්‍රියාවන් අතරය. ජීව විද්‍යාත්මක පරිණාමයේ සමස්ත ඉතිහාසයම, ඇල්ගොරිතමයක ගුණය දරා ගනිමින් එම අකාරයෙන් තේරුම් ගැනීම කෘතිය තුල සිදු වේ. එනම් ඊට අනුව අප ද ඇතුළු අප අත්දකිනා සියල්ල කිසියම් බලගතු පුද්ගලයෙකුගේ (දෙවියන්ගේ) කේතකරණයක් වැනිය. එවිට හරාරිගේ කාර්ය එය “සොයාගැනීමයි”.

මෙම අපූර්ව විකාර සහගත වියමන, කතුවරයාට (සහ ඔහුගේ පාඨකයන්ට) තමන් යහපත පැත්තේ සිටින බව සිතීමට ඉඩ සලසන, ව්‍යාජ-මානවවාදී උගුල් සමඟින්, එසේ නොකළාක් මෙන් යෝග්‍ය ලෙස සැලකෙන, පාරම්පරික ලක්ෂණ ඇතිවීම වැඩි කිරීම සඳහා මිනිස් ජනගහනයක් තුළ ප්‍රජනනය සංවිධානය කරන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම වැනි මානව වර්ගයා වැඩිදියුණු කිරීමේ ක්‍රමයක් මතු කිරීමට ඔවුන්ට බලය ලබා දෙයි (පශ්චාත් මනුෂ්‍ය යුගය සාධාරණිකරණය). ඒ එවැනි තත්වයක් තුල එය කිසිදු ගැටළුවක් මතු නොකරන්නාක් මෙනි. 

 

සමහර විට සමහරුන්ට මෙම ප්‍රකාශ අතිශයෝක්තියක් ලෙස පෙනෙනු ඇත, විශේෂයෙන් “විද්‍යාව” “තාක්ෂණික” බවට පත් වූ සහ සියලු දෙනා අසහනයට පත් වූ කාලය තුළ තවමත් මිනිසුන්ට “සිහින” ඇති කිරීමට හැකි බව පෙනේ… විද්‍යාව කරුණු මත පදනම් විය යුතු වුවත්, කාල් පොපර්ගේ සහ තෝමස් කූන්න්ගේ ඥාන විභාගයෙන් (ෆ්‍රොයිඩියානු විප්ලවය ගැන සඳහන් නොකල ද) සෑහෙන කලකට පසුවත් වර්තමානයේදීත් කරුණු සහ ඒවායේ සන්දර්භය සහ ඒවායේ උච්චාරණය අතර සම්බන්ධය යටපත් කිරීමට ඉඩ දෙන්නේ විද්‍යාවේ නාමයෙන්මය. වෙනත් වචන වලින් කිවහොත්, වර්තමානයේ බොහෝ විට කතා කරන “විද්‍යාව” එහි නාමයෙන් විද්‍යාව පමණි.

 

හරාරි ඉතා සරල හා දුර්වල ලෙස ස්ථානගතවනුයේ ඩාවින්වාදය තුලය. ඩාවිනියානු න්‍යායේ වඩාත්ම කැපී පෙනෙන කරුණ, එනම් එයට විශේෂිත වූ එකම දෙය නම් කාලය පිළිබඳ පරීක්ෂණයයි. එනම් හමුවන සාක්ෂි අවශ්‍යතාවයට අනුව පෙළගස්වා (අනවශ්‍ය දේ දෙපසට කොට) සිදු කරන ලද වෙනස්කම් වලට අවස්තාව හඳුන්වාදීම පිළිබඳව සංකල්පයයි. මේ අනුව “ස්වාභාවික වරණය” යනු අවශ්‍යතාවය විසින් “වෙනස්වීම් වල පදනම වර්ග කිරීම සහ අවස්තාව සඳහා ඇති අපක්ෂපාත” වීමයි. “අවශ්‍යතාවයේ යකඩ හස්තය අහම්බයේ දාදු කැටය සොලවයි”. නමුත් මේ සියලු සාහිත්‍යමය සලකා බැලීම් ගණන් ගන්න එපා! ලෝකය හොඳින් කඩා වැටිය හැකිය…! එය සමහර පැතිවලින් දැන් සිදු වේ…! වැනි කතා තාක්ෂණික-අනාගත වක්තෘවරුන්, හරාරිවාදීන් සහ වෙනත් අය, ඔවුන්ගේ මුළා කරවන ගීතිකා හොරණෑව දිගටම පිඹිනු ඇත. එබැවින් ඔවුනට අනුව සියල්ල “තාක්ෂණික විසඳුම්වාදය” නමැති සූත්‍රයේ ඇත. ඒ අනුව මනුෂ්‍යත්වයේ සියලු ගැටලු විසඳිය හැකිය… නවීන විද්‍යාවට සහ තාක්‍ෂණයන්ට ස්තූතිවන්ත වන්න! යන්න ඔවුනගේ සටන් පාඨයයි.

 

ඩාවින්වාදය විශ්වය අවබෝධ කර ගැනීමට අසාමාන්‍ය තෙරපීමක් ලබා දීමට පොරොන්දු වී තිබුණි.සංක්‍රාන්ති මානුශියවාදයට සහ පශ්චාත් මනුෂ්‍යත්වයට සහාය දක්වන කේන්ද්‍රීය ස්ථාවරය මෙයයි.

 

හේගල් පිළිබඳව ඩාවිනියානු (හෝ වෙනත් පරිණාමීය) විවේචකයින් ස්වභාවයේ (nature) ඉතිහාසයක් නැත යන්න සහ ඉතිහාසය ඇත්තේ මානව සමාජය තුළ පමණක් යැයි හේගල් විසින් කරන ප්‍රකාශය හාස්‍යයට ලක් කරන විට ඩාවිනියානු (හෝ වෙනත් පරිණාමීය) විවේචකයන්ට කාරණය මඟ හැරෙන්නේ මන්දැයි අපට සැබවින්ම දැකගත හැක්කේ මෙම මානය මතකයේ තබා ගන්නේ නම් පමණි. එනම්, සරලව පවසන්නේ නම් හේගල්ට අනුව ස්වභාවයේ ඉතිහාසයක් නැත. ඔහුට අනුව ඉතිහාසය ඇත්තේ මානව සමාජය තුල පමණි. එහෙත් ස්වභාවය සැම විටම සමාන බවක් හේගල් පවසන්නේ නැත. ශාකමය සහ සත්ව ජීවීන්ගේ ආකාර සදාකාලිකව ස්ථාවර බවත්, එබැවින් ස්වභාවයේ පරිණාමයක් සිදු නොවන බවත්, ඒ අනුව ඔහු පවසන දෙය වන්නේ ස්වභාවයේ නිසි ඉතිහාසයක් නොමැති බවත්, “ජීවය එයම පවත්වා ගනී යන්නයි. ආරම්භය සහ අවසානය එය වන අතර නිෂ්පාදනයේම මූලධර්මය ද වේ. එය සෑම විටම එසේ සක්‍රීය වේ. එනම් සාරය නැවත නැවතත් තහවුරු වීම, දරුවන් දෙමාපියන් බවට පත් වීම වැනි ලෙසය.

 

ඒ අනුව මැවුම්වාදය පරිනාමවාදය මගින් විස්තාපනය වීම ප්‍රගතිශීලීත්වයක් ලෙස දකින අය සිටගන්නේ තවත් මැවුම්වාදයකය. එය තවත් ඒ හා සමාන දෘෂ්ටිවාදයක් පමණි. නමුත් ප්‍රශ්නය වන්නේ නිර්මාල් හෝ ඓතිහාසික භෞතිකවාදය නොපිළිගන්නේ යයි පවසන වාමාංශිකන් හට ස්වභාවයේ සංවර්ධනය පිළිබඳව ඉතිහාසයක් අවිඥානික වීම සහ එසේම සමාජ සංවර්ධනය පිළිබඳව වර්ධනීය ඉතිහාසයක් (ප්‍රගතිශීලීත්වය දෙසට සිදුවන) ද පිළිගැනීමයි.

 

පහතින් දක්වා ඇත්තේ ඩාවින්ගේ “The Origin of Species” පිළිබඳ පොතේ තුන්වන පරිච්ඡේදයේ අවසාන ඡේදයයි: “(…) All that we can do, is to keep steadily in mind that each organic being is striving to increase at a geometrical ratio; that each at some period of its life, during some season of the year, during each generation or at intervals, has to struggle for life, and to suffer great destruction. When we reflect on this struggle, we may console ourselves with the full belief, that the war of nature is not incessant, that no fear is felt, that death is generally prompt, and that the vigorous, the healthy, and the happy survive and multiply.”

ඩාවින්ගේ එම අවධාරණය තුලින් පැමිණිය හැකි එක් ප්‍රධාන ස්ථාවරයක් වන්නේ මිනිස් වාර්ගික සුවිශේෂතා පවතින බවය. අද දවසේ ධනවාදය සාධාරණීකරණය කිරීම සඳහා ලිබරල්වාදීන් විසින් එම අදහස යොදා ගනී (රනිල් වික්‍රමසිංහ හට ආවඩන්නන්ගේ අදහස් විමසා බලන්න). ලෝකය සාධාරණ ස්ථානයක් නොව ශක්තිවන්තයා, එසේ නොමැති නම් දක්ෂයා ජයගන්නා සහ එසේ විය යුතු ස්ථානයක් බව පිළිගැනීමට ලක් වී ඇති අතර විශිෂ්ටයින් හට විශිෂ්ටයින් ලෙස වැජඹීමට හැකි විය යුතු බවටත්, දක්ෂතාවය අනුව සමාජයේ අදාළ ස්ථානය හිමි විය යුතු බවටත් ඔවුන් තර්ක කරයි. එම ස්ථාවරයට අදාළ ලිබරල් සහ වාමාංශික ස්ථාවරයන් අතර වෙනස වන්නේ ලිබරල් ස්ථාවරය ආර්ථික සමානත්වය ප්‍රතික්ෂේප කරනා විට වාමාංශික ස්ථාවරය වන්නේ අනෙකුත් සියලු අසමාන කම් තිබියදී ආර්ථික සමානත්වය පැවතිය යුතු බව පිළිගැනීම පමණි.

ඒ අනුව විමසා බැලිය යුතු කරුණක් වන්නේ හිට්ලර් ඇතුළු ජර්මානු රාජ්‍යය විසින් සිදු කරන ලද මහා ජන සංහාරය සාධාරණීකරණය කිරීම සඳහා නාසි ප්‍රචාරකයෙකුට ඩාවින්ගේ එම අවසාන වාක්‍යය උපුටා දැක්විය නොහැකිද යන්නයි. එසේ විමසීමේදී විවිධ අකාරයෙන්, විවිධ මට්ටම් වලින් ඩාවින්වාදය වැළඳගෙන ඇති අයට ප්‍රශ්නය මගහැර යාම හැර වෙන විසඳුමක් නොමැති අතර වාමාංශිකන් සඳහා ඇති පිළිතුර වන්නේ ආර්ථික සමානත්වයක් සහ ආර්ථික සමානාත්මතාවයක් වෙනුවෙන් පමණක් පෙනී සිටිනා සමාජවාදය ගැන පැවසීම පමණකි. පරිණාමවාදය තුලින් මිනිස් ජීවිතය “වාස්තවිකත්වයක්” (සහ ඒ අනුව “උසස්” ජාතියක් නොමැති බව ප්‍රකාශ නොකළද) ලෙස ප්‍රකාශ නොවුවද එහි අරමුණක් ඇති බව ප්‍රකාශ වෙයි. එබැවින් ජීවිතයට අදාළ සෑම දෙයක්ම ජීවිතයට එහි ඉලක්කය කරා ගමන් කිරීමට අවස්ථාවක් (opportunity ) විය හැකිය. මේ ආකාරයට, නිදසුනක් වශයෙන්, සමාජය සහ සංස්කෘතිය තුළ ජාතිවාදයට එරෙහිව ක්‍රියාකාරීව සටන් කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට නාසි සමූලඝාතනය (holocaust) අවශ්‍ය වූ බව කෙනෙකුට තර්ක කළ හැකිය.

 

පාර-නාසි දෘෂ්ටිවාදය සියල්ල අභිබවමින් එහි උත්කර්ශකයින් විසින් කැඳවනු ලැබූයේ පශ්චාත් නූතනත්වයට ගැලපෙන “ඉවසීම” (“tolerance”) පිළිබඳව විවිධ දිලිසෙන වෙස් මුහුණු යටතේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය උත්කර්ෂයට නැංවෙන්නේ එසේය. එකසත් ජාතීන් විසින් පිළිගත් ප්‍රමුඛ මූලධර්මය වන්නේ ද “ඉවසීම” යන්නයි. ඒ කෙසේ වෙතත් ප්‍රති-ෆැසිස්ට්වාදය ලෙස හඳුනාගන්නාතාක් ෆැසිස්ට්වාදයට නැවත රංග භූමියට පැමිණිය හැකිය. ද්විමාන මනස්, අර්ධ නිපුණතා ඇති (සත්තාව අහිමි වූ ), තාක්‍ෂණික ද්විමානවාදයේ නියෝජිතයින්ට (වර්තමානයේ බහුතරයකට) මේ තත්වය ග්‍රහණය කර ගත නොහැක. එබැවින් නිෂේධනය ගැන සිතන්නෙකුට, නිෂේධනයක නිෂේධනය කිසි විටෙකත් පළමු තහවුරු වීම වෙත ආපසු නොපැමිණෙන බව පිරිසිදු තර්කනයේ සත්‍යයක් වන අතර, එය විශ්ලේෂණාත්මක වශයෙන් ප්‍රායෝගිකව (analytic praxis) එහි කැපී පෙනෙන තහවුරු කිරීමක් සොයා ගනු ඇත. එනම්, ඒ වර්තමාන අප ද අවිඥානයේ ආත්මය ලෙස, නිශේධනයක නිෂේධනයක්හි ප්‍රතිඵලයක් වී ඇති බව මතක් කල යුතුව ඇත.

 

පළමු නිෂේධනය තමාගේම ශරීරය සමඟ ක්ෂණික අනන්‍යතාවය වෙතින් තමන්ම කපා හරිනු ඇති අතර තමන්හට භාෂාව හරහා යාමට බල කෙරෙයි… එවිට නිෂේධනය නිෂේධ කිරීමට බලකරයි. එනම්, නිෂේධනය වන්නේ භාෂාවම වන අතර ආත්මය සෑම විටම එය නියෝජනය නොකරන අතර වෙනත් හැඟවුම්කාරකයක් සඳහා හැඟවුම්කාරකයක් මගින් “නියෝජනය” වන ආත්මය එහි දක්නට නොලැබේ (සංඥාකරණීය දාමය ප්‍රතික්ෂේපනය). “දෙයක්” ප්‍රතික්ෂේප කළ විට, මට මේ දෙය වෙනුවට ලැබෙන්නේ “කිසිවක් නොමැති බව” (“nothing”) වේ. එවිට මේ  “කිසිවක් නොමැති බව” එහි වාරයේ දී ප්‍රතික්ෂේප වන අතර මා විසින් මමම සොයා ගන්නේ “කිසිවක් නොමැති බව ට ද වඩා අඩුව” (“less than nothing”) සමගිනි. එය සෘණ සලකුණු කාරක  “කිසිවක් නොමැති බව ක්” මුත් යම් නිශේධනය කෙරුමක “කිසිවක් නොමැති බව ක්” (එය පළමු නිෂේධනය විය) නොවේ. නමුත් “කිසිවක් නොමැති බව ක” නිශේධනය වන අතර ශූන්‍යයේ හදවතෙහිම අඩුවක් ඇති කරන එක්තරා ආකාරයක පූර්ව-සත්භාවාත්මක අසංගතතාවයකි. සරළව ජීවීන් වශයෙන්, අප දැනටමත් ස්වකීය ස්වයං විනාශයෙන් බේරී ජීවත් වන ශේෂයක් ලෙස “less than nothing” හි මෙම කලාපයේ පදිංචිකරුවන් නොවේද?

මනෝවිශ්ලේෂණයේ ආත්මය සහ වර්තමාන කතිකාවේ ආත්මය අතර වෙනස නම්, ඇත්ත වශයෙන්ම අවිඥාණයේ ආත්මයක් තිබේ නම් [හැඟවුම්කාරකයේ පාරක්‍රිය (retroactive) සම්පාදක න්‍යාය මගින් නිගමනය වූ] ආත්මයේ අවිඥානකත්වයක් නොමැත. “ඒ නිසා මනෝ විශ්ලේෂණයේ ආත්මය ($)යථ යි (REAL). අපි ස්පර්ශ කරන යථ, එකම යථ නම් ආත්මය නිර්වචනය වී ඇති බෙදීමයි.” (Jacques Lacan)

 

 

කෙටියෙන් කිවහොත්, හොඳින් ආනුභාව ලත් ලෝකය පෙන්නුම් කරන්නේ සෑම කෙනෙකුටම පිස්සු වීමට අයිතියක් ඇති නමුත් වෙන වෙනම පිස්සුවේ සිටීමේ කොන්දේසිය මත එසේ විය යුතු බවයි. එබැවින් රෝග විනිශ්චය පිළිබඳව පිස්සුව ආරම්භ වන්නේ එතැනිනි. එනම් තම පුද්ගලික පිස්සුව සමස්ත ආත්මයන් වෙත පැටවීමට අවශ්‍ය වීමේ ස්ථානයයි. ඒ සෑම එකක්ම සංක්‍රාන්ති වස්තුවේ එක්තරා ආකාරයක සංචාරවාදයක් තුල එයම සංස්ථාපනය කරයි. එය තවදුරටත් පැහැදිලි කොට දක්වන්නේ නම් ඉහතින් සඳහන් කල නාසිවාදය පිළිබඳව උදාහරණයේදී පාර-නාසි දෘෂ්ටිවාදය සියල්ල අභිබවමින් එහි උත්කර්ශකයින් විසින් කැඳවනු ලැබූයේ පශ්චාත් නූතනත්වයට ගැලපෙන “ඉවසීම” (“tolerance”) යන්න තුලින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ගොඩනැංවීම වෙතය. නිර්මල්ගේ පිළිගැනීම අනුව එය ‘සුසමාදර්ශී මාරුවකි’. ‘සුසමාදර්ශී මාරුවකට’ අදාළ කතිකාව සෑම විටම පැමිණෙන්නේ නිශ්චිත, පරප්‍රසාදිත අධිකාරීත්ව දූරවලියක් වෙතිනි. එසේ නොමැතිව ‘සුසමාදර්ශී මාරුවක්’ සිදු නොවන බව මේ ලිපියේ ඉහතින් පැහැදිලි කොට ඇත.

එසේ බලන කල පැහැදිලි කාරණය වන්නේ විද්‍යාව ඉදිරියට ගමන් කරනුයේ  ‘සුසමාදර්ශී මාරුවීම්’ තුලින් සේම ධනවාදයට ඉදිරියට ගමන් කරනුයේ ‘සුසමාදර්ශී මාරුවීම්’ තුලින්ය යන්නයි. ඒ අනුව විමුක්ති දේශපාලනයේ අවශ්‍යතාවය ‘සුසමාදර්ශී මාරුවීම්’ නොවේ. එසේම ඉතිහාසය පදනම් කොටගත් සමාජ ගොඩනැංවීම් ද නොවේ. කෙනෙකුගේ (කණ්ඩායමක් තුලින් හෝ) පුද්ගලික පිස්සුව සමස්ත ආත්මයන් වෙත පැටවීමට අවශ්‍ය වීමේ ස්ථානය විමුක්ති දේශපාලනය සපුරා ප්‍රතික්ෂේප කරයි. නමුත් සෑම කෙනෙකුටම පිස්සු වීමට අයිතියක් ඇති නමුත් ඒ වෙන වෙනම පිස්සුවේ සිටීමේ කොන්දේසිය මතය.

 

පරිනාමවාදය යුගයේ දෘෂ්ටිවාදයේ ප්‍රධාන වර්ණ දහරාවක් වී ඇති තත්වයක් තුල ලිබරල් සහ වාමාංශික ස්ථාවරයන් තුල සිටිනා අය, ජාතිකවාදීන් ද එහි නිමග්නව සිටින විට නිර්මාල් වැනි ඉතිහාස මහාචාර්යවරයෙකු ඊට හසු වී තිබීමම ඔහුට නොපෙනී පැවතීම පුදුමයක් නොවේ. මෙය ඔහුට පමණක් විශේෂිත වූවක් නොවේ. මෙම ඉතිහාසවාදී ප්‍රවේශයට එරෙහි විය යුත්තේ එබැවිනි.

 

 

ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ කරුණු දැක්වීම් සමගින් හේගල්, අද අප ආත්මීයත්වය (subjectivity) සහ පෞද්ගලිකත්වය (individuality) ලෙස හඳුන්වන දේ මුලින්ම ඇති වූ සහ කාලයත් සමඟ වර්ධනය වූ ආකාරය විශ්ලේෂණය කරයි.

ඔහු පවසන්නේ, මානව ඉතිහාසයේ ආරම්භයේ දී, අද අප සංජානනය කරන ආකාරයට මිනිසුන් හට තමන් පුද්ගලයන් ලෙස සංජානනය නොවූ බවයි (මනොවිශ්ලේෂණයයේ කාර්ය වන්නේ ඉතිහාසය මත පදනම් නොවී වර්තමාන මනුෂ්‍ය ආත්මය තුලින්ම එය තහවුරු කිරීමයි). එසේම අපගේ නූතන ස්වයං ප්‍රතිරූපය තුළ අප මෙතරම් අගය කරන අද්විතීය හා විශේෂ අභ්‍යන්තර ගෝලයක් පිළිබඳ සංකල්පයක් ද නොතිබුණි. ඒ වෙනුවට, පැරැන්නන් තමන් මූලික වශයෙන් විශාල කණ්ඩායමකට අයත් අය ලෙස සැලකූහ. එනම් පවුල, ගෝත්‍රය, රාජ්‍යය යනාදි ලෙසය. මෙයින් අදහස් කරනුයේ “පුද්ගල නිදහස” හෝ “ස්වයං නිර්ණය” පිළිබඳ ප්‍රශ්න වර්තමානයේ අප ඒවා තේරුම් ගැනීමට පුරුදු වී ඇති ආකාරයට පැන නොනගින බවයි. අද, අපෙන් බොහෝ දෙනෙකුට දැඩි ලෙස හැඟෙන්නේ පුද්ගලයන් වශයෙන් අපගේ ජීවිත සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීම සඳහා අපට අයිතියක් ඇති බවයි (නූතන අර්ථයෙන් රාජ්‍ය සහ ආණ්ඩුකරණය ගොඩනැගී ඇත්තේද එම පදනම පිළිගනිමිනි).

උදාහරණ වශයෙන් කිවහොත්, අධ්‍යාපනයේදී අපි කුමන අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීමට කැමතිද, කුමන වෘත්තියට යාමට අවශ්‍යද, අප විවාහ වීමට කැමති පුද්ගලයා හෝ අප විශ්වාස කිරීමට කැමති කුමන ආගමද යන්න වැනි දේ අපගේ තේරීම් වේ. එවැනි දේ අනුල්ලන්ගනීය පුරවැසි අයිතීන් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යය පිළිගනී. මේවා සංකල්පනය කරනු ලබන්නේ පුද්ගලයන්ට තමන් වෙනුවෙන් කිරීමට අයිතියක් ඇති පුද්ගලික තේරීම් ලෙසය. මෙම අදහස අද අපට මුලුමනින්ම අවබෝධාත්මක වුවද, එය නිරපේක්ෂ නොව සමාජීය හා “ඓතිහාසික වශයෙන්” කොන්දේසි සහිතය. නැවතත් පැවසිය යුත්තේ පැරැන්නන් මෙවැනි දේ ගැන බොහෝ වෙනස් අවබෝධයක් ලබා ඇති බවය. විදේශීය උදාහරණ ගතහොත් මෙසපොතේමියානුවන්ට, ඊජිප්තුවරුන්ට සහ ග්‍රීකයන්ට, අදාලව පුද්ගලයන්ට එවැනි අයිතිවාසිකම් තිබුණේ නැති බවට සාක්ෂි පවතී. බටහිර ජාතීන් පැමිණීමට පෙර ලංකාව ද එසේය. මීට අවුරුදු 30-40ක අතීතයට ගියද වැදි ජනතාවගේ තත්වය ද එයයි. මිනිසුන් නිශ්චිත පවුල්වල හෝ කුල වල උපත ලැබූ අතර, ඒ තුල බොහෝ දුරට ඔවුන් ජීවිතයේ කරන්නේ කුමක්ද යන්න තීරණය විය. මෙම පුරාණ සංස්කෘතීන් තුල චාරිත්‍රානුකූලව ආධිපත්‍යය දැරූ අතර සාම්ප්‍රදායික පුරුදු ඔවුන්ගේ හැසිරීමේ සෑම අංශයක්ම නියම කළේය. මෙම සිරිත් විරිත්, නීතිය, අධ්‍යාපනය, ආගම සහ සංස්කෘතියේ වෙනත් අංශ සමඟ බද්ධ වූ අතර ඒවා වලංගුභාවයට පත්කිරීමට උපකාරී විය. කෙනෙකුගේ පන්තිය සහ කුලය අනුව කෙනෙකුගේ අපේක්ෂාව සහ අවස්තාව සීමා විය. ඒ හා සමානව, ලිංගිකත්වයේ භූමිකාවන් ස්ථිරව ස්ථාවර විය. යෞවනයන් තම දෙමාපියන්ගේ කැමැත්ත අනුගමනය කිරීමට බලාපොරොත්තු වූ අතර, ඔවුන්ගේම අදහස් හා කැමැත්තට කිසිදු වටිනාකමක් ඇති බවක් නොපෙන අතර එවැනි දේ නැති තරම්ය. මේ අනුව තරුණයන් තම පියාගේ වෘත්තීන් අනුගමනය කිරීමට බැඳී සිටින අතර තරුණ කාන්තාවන්ට දෙමාපියන් හෝ පුළුල් පවුල විසින් තෝරා ගන්නා ලද කෙනෙකුව ස්වාමිපුරුෂයෙකු ලෙස පිළිගැනීම සිදු කෙරුනි. කිසිවෙකු හට සමාජයේ අනෙක් මිනිසුන්ගේ ජීවන රටාවෙන් වෙනස්ව තමාට රිසි දේ කිරීමට අවශ්‍ය වන තත්වයක් නොතිබුණි. ඒ වෙනුවට ඔවුන් නියමිත ජීවන රටාවක් අනුගමනය කළ අතර ‘වාර්ගික’ අවශ්‍යතා සඳහා කැප වූහ. ඔවුන් තමන්ව සැලකුවේ තනි පුද්ගලයන් ලෙස නොව තම රටේ හෝ ප්‍රජාවේ කොටසක් ලෙසයි. එවැනි සමාජ වල මිනිසුන් පුරුදු වී සිටියේ පුද්ගලික ජීවිතයක් සඳහා ආශාවක් වෙනුවෙන් නොවේ. එසේම පැවසිය හැක්කේ කෙනෙකු (පුද්ගලයෙකු) පිළිබඳ දැනුමක් නොමැති බවත්, ඒ වෙනුවට මී මැස්සන් මෙන් වීමට, සැමවිටම ප්‍රජාවට බැඳී, තම “නායකයා” වටා රොක් වෙමින් සහ තමන්ගේ කැපවීමේ දැඩි අභිලාෂයෙන්, ප්‍රීතියෙන් සිටින බවයි.

එවැනි සමාජ තනි තනිව තීරණ ගැනීමේ වලංගුභාවය හඳුනා නොගන්නා සමාජයන්ය. එය ආත්මීයත්වය හෝ පෞද්ගලිකත්වය වගා නොකරන නමුත් අනෙක් අතට අනුකූලතාවය පවත්වා ගනී. කාරණය පැහැදිලිය. එනම් සෑම දෙයක්ම සමාජයේ හෝ රාජ්‍යයේ අවශ්‍යතාවලට යටත් විය යුතු බැවින් පුද්ගලයා සම්බන්ධයෙන් තිරසාර වටිනාකමක් ඇතැයි සැලකිය යුතු කිසිවක් නැත (අද බහුතර පිළිගැනීම වන්නේ රාජ්‍ය සියලු දේ වෙතින් ඉවත්ව නීති සම්පාදක-පරිපාලනමය ව්‍යුහයක් ලෙස පමණක් ස්ථාපිත විය යුතු බවයි). පුද්ගලයෙකු වශයෙන් කෙනෙකු වශයෙන් වන දෙය අවසානයේ කිසිවක් සඳහා ගණන් නොගනී. පුද්ගලභාවය යන්න වැදගත් නොවීම තුල පුද්ගලයෙකුගේ සදාචාරාත්මක සහ නෛතික වගකීම සහ වරදකාරිත්වය විමසා බැලීම අවශ්‍ය නොවන තත්වයක් පැවතුනි.

 

ඊට හාත්පසින්ම වෙනස්ව අද, නීති-උසාවි විසින් සුදුසු දඬුවමේ තරම තක්සේරු කිරීම සඳහා චූදිතයාගේ අභිප්‍රාය සමීපව පරීක්ෂා කර බලයි. එනම් වරදක වගකීම පුද්ගල අත්මීයත්වය සතුය. තම ක්‍රියාවේ වගකීම තමන් සතු විය යුතු බව පිළිගනී. ඒ අනුව ප්‍රවේශමෙන් සැලසුම් කර ගණනය කොට සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවක් කෝපය හෝ ඊර්ෂ්‍යාව හේතුවෙන් ක්ෂණිකව ස්වයං පාලනයක් නැතිවීම නිසා ඇතිවන ස්වයංසිද්ධ පිපිරීමකට වඩා නරක ලෙස අධ්‍යතන සමාජය තුල සැලකේ. නමුත් පැරැන්නන් සඳහා, පුද්ගලයාගේ ආත්මීය අභිප්‍රායන් පිළිබඳව තක්සේරුව තුල අදාලත්වය සැලුවේ නැති අතර අවධානය යොමු වූයේ තනිකරම බාහිර ක්‍රියාව කෙරෙහිම පමණි. ප්‍රශ්නය වූයේ සිදුවූයේ කුමක්ද යන්න මිස කෙනෙකුගේ චේතනය පිළිබඳව නොවේ (චේතනාව අදාළ නොවිණි). ඊඩිපස් කිසි විටෙකත් තම පියා ඝාතනය කිරීමට හෝ මව සමඟ විවාහ වීමට සැලසුම් කර තිබුනේ හෝ අදහස් කළේ නැති නමුත් ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ඔහු වැරදිකරුවෙකු ලෙස සලකනු ලැබේ. එනම් ඊඩිපස්ගේ චේතනාව සෙවීම අදාළ නොවීය. මෙය වළක්වා ගැනීම සඳහා ඔහුට කළ හැකි සෑම දෙයක්ම කිරීමට ඔහු උත්සාහ කළද අපරාධ සඳහා ඔහුගේ වරදකාරිත්වයේ තරම අඩු නොවේ.

(මීළඟට 07 කොටස)

උපුටාගැනීම - spartacus.lk

ලිපියේ පෙර කොටස්වල සබැඳියාවන්:

https://slleader.lk/social/8074-01

https://slleader.lk/social/8076-02

https://slleader.lk/social/8078-03

https://slleader.lk/social/8085-04

https://slleader.lk/social/8089-05