ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පොරය
එළඹෙන ජුනි 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT-MOBITEL) සමාගමේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හුදෙක් ආයතනික මට්ටමේ නිල හමුවකට එහා ගිය දැවැන්ත දේශපාලන බලපොරයක කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. මෙරට උපායමාර්ගික වශයෙන් වැදගත්ම සහ ලාභ ලබන ප්‍රමුඛතම රාජ්‍ය සංස්ථාවක් වන ටෙලිකොම් ආයතනයේ වත්මන් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා ඉවත් කර, ඒ වෙනුවට ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයකු වන චන්ද්‍රසිරි කළුපහන පත් කිරීමට තිරය පිටුපස සිදුවන දේශපාලන මෙහෙයුම මේ වන විට ආයතනික අභ්‍යන්තරය මෙන්ම දේශපාලන කරළියද උණුසුම් කර ඇත. විශේෂයෙන්ම, වයස් සීමාවන් ඉක්මවා ගිය අධ්යක්ෂවරුන් සඳහා වන විශේෂ යෝජනා සම්මතයන් හරහා කළුපහන මහතාට මෙම පත්වීම ලබා දීමට යාම පිටුපස ඇති දේශපාලන වුවමනාව කුමක්ද යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි.
මෙම නව පත්වීමට එරෙහිව ආයතනයේ සේවකයන් මෙන්ම සුළු කොටස් හිමියන් අතරින් දැඩි විරෝධයක් මතු වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ කළුපහන ගේ අතීත සේවා වාර්තා තුළ ඇති මතභේදාත්මක තත්ත්වයන්ය. ඔහු ටෙලිකොම් ආයතනයේම සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කළ සමයේ, 2018 වසරේ මැලේසියානු පුහුණු වැඩසටහනක් අවලංගු වීම නිසා සමාගමට සිදු වූ රුපියල් ලක්ෂ 540ක මූල්‍ය හානිය, අනුමැතියකින් තොරව සිදුකළ විදේශ සංචාර සහ සුළු පරිමාණයේ ආපනශාලා වියදම් පවා වංචනික ලෙස ප්‍රතිපූරණය කරගත් බවට නැගෙන චෝදනා මගින් පෙනී යන්නේ ආයතනික මූල්‍ය විනයේ ඇති බරපතල බිඳවැටීමයි. ඊට අමතරව ඔහු මීට පෙර සේවය කළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 615ක අක්‍රිය ණය සඳහා නිසි පරිදි ප්‍රතිපාදන වෙන් නොකර ලාභය වැඩිකර පෙන්වූ බවට විගණකාධිපතිවරයා පවා නිගමනය කර තිබීම සුළුකොට තැකිය නොහැක. එවැනි චරිතයකට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයේ සුක්කානම භාරදීම යනු සමස්ත කොටස් වෙළෙඳපොළ කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසයද බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය කිරීමකි.
කළුපහන ගේ පත්වීම පිටුපස මෙවැනි අඳුරු සෙවනැලි පවතින විට, වත්මන් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා යනු අනිවාර්යයෙන්ම රැකගත යුතු 'නිර්මල' පරිපාලකයෙකුද යන ප්රශ්නය මීළඟට මතු වේ. ඊටද දිය හැක්කේ ඍණාත්මක පිළිතුරකි. වත්මන් සභාපතිවරයාගේ පාලන සමය තුළ ටෙලිකොම් ආයතනය මුහුණ දුන්නේ දැවැන්ත පරිපාලන සහ කළමනාකරණ අසාර්ථකත්වයන් රැසකටය. විශේෂයෙන්ම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය (පෞද්ගලීකරණය) කිරීමේ ක්‍රියාවලියේදී සේවක පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රතිරෝධය සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කළමනාකරණය කර ගැනීමට ඔහු මුළුමනින්ම අසමත් විය. සේවක ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නවා වෙනුවට, අධිකරණ වාරණ නියෝග ලබා ගැනීම, වැඩ තහනම් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් හරහා මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ආයතනයේ පහළ සහ මධ්‍යම මට්ටමේ සේවකයන්ගේ චිත්තවේගීය බිඳවැටීමක් මෙන්ම ආයතනික සංස්කෘතියේ දැවැන්ත විනාශයක් නිර්මාණය විය. මීට අමතරව, රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි සමයක 5G සහ ෆයිබර් ව්‍යාපෘති සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි පාරදෘශ්‍යභාවය සහ ව්‍යාපෘති ප්‍රමුඛතාවන් පිළිබඳව ද ඔහුට එරෙහිව බරපතල චෝදනා එල්ල විය.
ඒ අනුව පැහැදිලි වන්නේ, එළඹෙන මහා සභා රැස්වීමේදී ටෙලිකොම් ආයතනය මුහුණ දී සිටින්නේ අතිශය ඛේදනීය තේරීමකට බවයි. එක් පසෙකින් සිටින්නේ මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලනමය විනිවිදභාවය පිළිබඳ බරපතල චෝදනා ඇති, දේශපාලන ඩීල් හරහා සභාපති පුටුවට රිංගා ගැනීමට මාන බලන පුද්ගලයෙකි. අනෙක් පසින් සිටින්නේ, ආයතනික අර්බුද කළමනාකරණය කරගත නොහැකි වූ, සේවකයන් මර්දනය කළ සහ උපායමාර්ගික තීරණ ගැනීමේදී අසමත් වූ වත්මන් සභාපතිවරයෙකි. රාජ්‍ය ව්‍යවසායන් ගොඩනංවන බවට දේශපාලන වේදිකාවල කෙතරම් යහපාලන ඝෝෂා කළද, ප්‍රායෝගික තලයේදී තවමත් ක්‍රියාත්මක වන්නේ මෙවැනි ඛේදවාචකයන්ය. ජාතික සම්පත් මෙහෙයවීම සඳහා වෘත්තීය නිපුණත්වයෙන් හා පිරිසිදු අතීතයකින් හෙබි නායකයන් පත්කර ගැනීම වෙනුවට, කබලෙන් ලිපට වැටෙන තේරීම් පමණක් අපට ඉතිරි වී ඇත. අවසානයේ අපගේ ප්රශ්නය විය යුත්තේ මෙයයි; මෙය ඇත්ත වශයෙන්ම සුදුස්සන් නැති රටක්ද?

