SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්පාර්ටකස් ලිපි

සත්තා ව 1

 

 

 

පසුගිය කොටස් හා සම්බන්ධයි

ගෝල්ෆේස් අරගලය සහ

දෘෂ්ටිවාදයේ උත්තරීතර ඉන්ද්‍රජාලීය උපක්‍රමය!

 

ලංකාවේ ඇති වූ “ගෝල්ෆේස් අරගලයේ” නියමු බලවේගයන් වූයේ තාක්ෂණික යුගයේ ඩිජිටල් තරුණ බලවේගයන්ය (ගෝඨා හැප්පුනේ වැරදි පරම්පරාව එක්ක යන තේමාව පැමිණෙන්නේ ද එබැවිනි). සරලව පවසන්නේ නම් එම තරුණ පිරිස් එවැනි අරගලයක් සඳහා පෙළඹෙනුයේ තම අරමුණු, බලාපොරොත්තු, අපේක්ෂාවන් බිඳ වැටීම නිසාය. නමුත් එම ජනප්‍රිය, සරල ප්‍රකාශය අපගේ විශ්ලේෂණයට ප්‍රමාණවත් නොවේ.

 

එබැවින් එය මෙසේ විශ්ලේෂණය කල හැකිය:

ඉහතින් ප්‍රකාශ කල පරිදි එක් එක් පුද්ගලයාට විශේෂිත වූ (තමාගේම වූ) ෆැන්ටාස්මටික වපසරියක් පැවරීම (භූ දර්ශනයක පැනවීම) හරහා පරිකල්පනීයත්වය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් විවෘත-අවසානය වන සංකේතනය හීලෑ කිරීමට උත්සාහ කරයි. එයම වෙනත් වචන වලින් කිවහොත්, පරිකල්පනීයත්වය විසින් ඇතැම් මූලික ෆැන්ටසීන් වටා ඇති සංකේතනය අත්අඩංගුවට ගනී. මේ කාර්ය සිදු වන්නේ තම අනන්‍යතාවය ගොඩනැගීම සිදුවීමේදී (තමන් විද්‍යාඥයෙක් ද වෛද්‍යවරයෙක් ද ඉංජිනේරුවෙක් ද ලිපිකරුවෙක් ද කම්කරුවෙක් ද වැනි ලෙස…) ඊට අදාළ පාරිභෝගික භාණ්ඩ හා සේවා සංවිධානය විය යුතු ආකාරය තීරණය වීම තුලයි. එනම්, යම් කෙනෙකුට අදාලව සංකේතාත්මක විශ්වය ව්‍යුහගත වන්නේ (අවම වශයෙන් නැඹුරුව තුල) මූලික ෆැන්ටසියක් වටා විශේෂිත ආකාරයකටය. කෙනෙකු තමන්ගේ ලෝකය පිළිබඳව තේරුම් ගත හැකි අදහස් ප්‍රකාශ කරනුයේ (අනෙකා වෙනුවෙන් “තමන් කවුද” යන්න සංකේතාත්මකව පැවසීමට ඔහුට හෝ ඇයට ඇති හැකියාව) නිශ්චිත වශයෙන්ම පරිකල්පනීය මට්ටමෙහි යම් අත්අඩංගුවට ගැනීමේ ෆැන්ටසියක් හරහාය (ගෝල්ෆේස් අරගලයට පැමිණි ඉංජිනේරුවෙකු පපුවට ගසා ගනිමින් ප්‍රකාශ කොට තිබුනේ තමන් කෝටි 5ක් වටින ගෙයක් සාදා ගැනීමේ උවමනාවෙන් සහ සූදානමෙන් පසු වූ බවත් දැන් ඒ අපේක්ෂාවන් සුන් වී ඇති බවත්ය). මේ ආකාරයෙන්, අප සැබවින්ම කවුරුන්ද යන්න පිළිබඳ මිථ්‍යා ආඛ්‍යානය සම්බන්ධයෙන් වඩාත් බැරෑරුම් ලෙස සැලකීමට අප අපේක්ෂා කරන එම (nodal) ලක්ෂ්‍යයන් වෙත ෆැන්ටසි-පරිකල්පනීය මානය යොමු කෙරේ. ප්‍රාග්ධන තර්කනයේ සැබෑ ක්‍රියාකාරීත්වය එයයි. ඒ අනුව ධනවාදය සංවිධානය වී ඇත්තේ ඒ ඒ ෆැන්ටසීන්ට අදාළ වන පරිදි  විවිධ මට්ටම් වලින් පාරිභෝගික භාණ්ඩ සහ සේවා සැපයීම තුලය (කාර් නම් මරුටියේ සිට ටෙස්ලා රථය දක්වා වැනි ලෙස).

 

දැන් කෙනෙකුට විමසිය හැක්කේ කෝටි 5ක, නිවසක්, කෝටි 3ක වාහනයක්, තිබීම යනු අනන්‍යතාවය [‘මමය පරමාදර්ශය’ (‘ego ideal’) සංකේතාත්මක ලක්ෂය විසින් ඔබට ස්ථානයක් ප්‍රධානය කරනු ඇත. එසේම එම සංකේතාත්මක ස්ථානය ඔබ දෙස බලන ලක්ෂය සපයයි.] සඳහා පමණක් අදාළ තත්වයක් ද යන්න සහ ඒ තුල ඒවායේ ප්‍රයෝජ්‍ය වටිනාකම්, එනම් උපයෝගිතාවය තුල වටිනාකමක් නොමැති ද යන්නයි (මේ පිළිබඳව ලිපියේ මතුවට දීර්ගව සාකච්ඡා කෙරේ). කිසිඳු පාරිභෝජන භාණ්ඩයක හෝ සේවාවක ප්‍රයෝජ්‍ය වටිනා කමක් නොමැත්තේ නැත. උදාහරණයකට පහත වීඩියෝවේ ඇති ස්මාට් ටොයිලට් පිළිබඳව වීඩියෝව ගත හැකිය.

 

 

එහි ඇති වැසිකිලි කට්ටලයක් ලංකාවේ මුදලින් රුපියල් කෝටියකට වඩා මිල අධික වේ. එහි ඇති ප්‍රයෝජ්‍ය වටිනා කම් වීඩියෝවේ එකින් එක විස්තර කෙරේ. ඒ අනුව තර්ක කල හැක්කේ කෙනෙකු මෙතරම් දියුණු රොබෝ තාක්ෂණික වැසිකිලි කට්ටලයක් තම නිවසේ සවි කොට ගැනීමේ ඇති වැරැද්ද කුමක් ද යන්නයි. කෙටියෙන් පැවසිය හැක්කේ එහි හරි-වැරැද්ද සෙවිය නොහැකි තරමට සංකීර්ණ වී ඇති බවයි. ඒ ජීවිතය, ජීවන ක්‍රියාකාරකම්, නිෂ්පාදන සම්බන්ධතා ඇතුළු සියල්ල සංකීර්ණ වී ඇති තත්වයක එම සංකීර්ණතා වලට අදාළ නිෂ්පාදන ධනවාදය තුල නිපදවේ. එසේම ඒවා අර්චන වස්තූන් ද වේ. නිර්මාල් පවසන “මනුෂ්‍යායා” දැඩිව ඉල්ලා සිටිනුයේ මෙම තත්වය වඩාත් හොඳින් නඩත්තු කරන ලෙස සහ වර්ධනය කරන ලෙසයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය තුල (නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය) එම “මනුෂ්‍යායාට” අදාළ දේශපාලනය සංවිධානය වන්නේ එම අනුකූලතාවයට අනුව මිස ඊට අබමල් රේණුවක ප්‍රමාණයකින් හෝ එරෙහිව නොවේ.

යථාර්ථය පිළිබඳ මෙම වඩාත් සියුම් පර්යාලෝකයේ ආලෝකය තුළ දේශපාලනයට අදාලව මූලික වශයෙන් දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන විමසා බැලිය හැකිය. මේ අනුව දෘෂ්ටිවාදය විසින් යටින් පවතින යථාර්ථයක් (මානව ස්වභාවය, සමාජ අවශ්‍යතා ආදිය) වසන්කරන්නේ, සඟවන්නේ හෝ විකෘති කරන්නේ නැත. නමුත් අනෙක් අතට දෘෂ්ටිවාදිමය ගූඪකරණයකින් තොරව යථාර්ථයම ප්‍රතිනිෂ්පාදනය කළ නොහැක. දෘෂ්ටිවාදය විසින් ඉදිරිපත් කරන්නේ යථාර්ථයේ සංකේතාත්මක ගොඩනැන්වීමයි. අත්‍යන්ත ෆැන්ටසිය ආකෘතිගත වන්නේ යථෙහි ක්ෂිතිමය බලපෑම් වලින් ගැලවීමේ මාර්ගයක් ලෙස වන අතර යතාර්ථය සැමවිටම “අතථ්‍ය” (“virtual”) ලෙස යථ බාරගැනීමකි. එනම්, කිසි විටෙක යථ සම්පූර්ණයෙන් ජය ගැනීමට හෝ සමස්ථිතිය සාක්ෂාත් කර ගැනීමට නොහැකි අථත්‍යකරණයකි.

දෘෂ්ටිවාදය එහි උත්තරීතර ඉන්ද්‍රජාලීය උපක්‍රමය සිදු කරන්නේ මෙහිදීය. දෘෂ්ටිවාදයේ අරමුණ වන්නේ සමාජයේ වියහැකි බව කිසියම් ඓතිහාසික අනෙකෙකු විසින් සමාජය සොරකම් කිරීම බවට පරිවර්තනය කරන ආකාරයෙන් යථ හමුවීම ෆැන්ටස්මටික ලෙස නැවත වේදිකාගත කිරීමයි. නිදසුනක් වශයෙන්, නාසි දෘෂ්ටිවාදය තුළ, සමාජ සංහිඳියාව සොරකම් කිරීම/කඩාකප්පල් කිරීම සඳහා සෘජුවම වගකිව යුතු යුදෙව්වාගේ ආපතික චරිතය ගත හැකිය. එමගින් සමාජ සංහිඳියාව කිසිදා නොපවතින බවත් එය සහජයෙන්ම කළ නොහැකි දෙයක් බවත්වන කම්පන සහගත කරුණ වසන් කිරීම සිදු කරයි. යථෙහි තත්ත්වය විශේෂිත අනෙකෙකුට ආරෝපණය කිරීමෙන්, පරිපූර්ණ ලෙස ඉටුවීමේ සිහිනය, අනෙකා තුරන් කිරීම, නෙරපා හැරීම හෝ මර්දනය කිරීම හරහා එමගින් තිරසාර වේ.

කෙසේ වෙතත්, දෘෂ්ටිවාදය පිළිබඳව වඩාත් සංයුක්තව පවසන්නේ නම්, දෘෂ්ටිවාදය යම් කිසි නිශ්චිත පරිපූර්ණ ප්‍රතිරූපයක් ගොඩනඟනවා පමණක් නොව එය එයින් කිසියම් දුරක් නියාමනය කිරීමට ද බලවත් ලෙස උත්සාහ කරයි. එක් අතකින් අපට ඇත්තේ දෙය (සම්පූර්ණයෙන්ම ඉටුවීම) සමඟ සමාදාන වීමේ දෘෂ්ටිවාදී ෆැන්ටසිය වන නමුත්, අනෙක් පැත්තෙන් සම්බන්ධය පවතිනුයේ අපි එයට ඕනෑවට වඩා සමීප නොවන බවට ගොඩනඟන ලද විධිවිධානය සමඟය. මේ සඳහා (ලැකානියානු) තර්කය පැහැදිලිය. එනම්, ඔබ දෙයට ඉතා සමීප වුවහොත් එය සුනුවිසුනු වී/වාෂ්ප වී යාම හෝ එය දරාගත නොහැකි කාංසාවක් සහ මානසික බිඳවැටීමක් ඇති කරයි.

මෙහිදී අවධාරණය කල යුතු තීරණාත්මක කාරණාව වන්නේ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් පශ්චාත් මාක්ස්වාදයේ ස්ථාවරයයි. ඒ නිර්මාල් සහභාගී වන වාම සම්භාෂණයන් තුල ලකානියානු ඉදිරිපත් කිරීම් පශ්චාත් මාක්ස්වාදය සමග පතඅට එකට සිඳවා ඇති බැවිනි. මෙහි තීරණාත්මක වන්නේ ලකානියානු සම්ප්‍රදාය සඳහා අශක්‍ය (impossible) වන කාණ්ඩයේ තත්ත්වය පශ්චාත් මාක්ස්වාදය තුල ( Laclau සහ Mouffe තුල සමාජය පිළිබඳව නොහැකියාව) සොයා ගැනීම සඳහා නැඹුරු වන ආකාරයේ උදාසීන ප්‍රවර්ගයක් නොවේ යන්නයි. එහිදී එය ප්‍රතීඝතාවයේ (antagonism) මූලික සංස්ථාපක මායිමක් අදහස් කිරීමට නැඹුරු වේ. යථෙහි අන්තරස්ථ සලකුණුකාරක මෙන්ම, අශක්‍යතාවය ද (impossibility) දෘෂ්ටිවාදයට හසුවන අතර ඒ දෙකම විසින් යථාර්තය ව්‍යුහගත කරන අතර සත්‍ය වශයෙන්ම ශඛ්‍ය (possible) වන දේවල ඛණ්ඩාංක නිශ්චය කරනු ලබන ආකාරයකින් වින්‍යාස ගත කෙරෙයි. ඒ අනුව, අශක්‍යතාවය බාහිර බාධාවක් බවට පරිවර්තනය කිරීමේ මූලික දෘෂ්ටිවාදී මෙහෙයුමෙන් ඔබ්බට මෙහෙයුමට තවත් ගැඹුරු අධියරක් තිබේ. එනම්, අශක්‍යතාව කල් දැමීමේ හෝ හමුවීම වළක්වා ගැනීමේ මාධ්‍යයක් ලෙස වනබවට දැඩි ආරෝහනයයි (2048 වසරේදී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කොට ගැනීම තුලින් පරිපූර්ණත්වය අත්විඳිය හැකි බව වැනි…). ඒ අනුව දෘෂ්ටිවාදය යනු අශක්‍ය සිහිනය වන්නේ හුදෙක් නොහැකියාව ජය ගැනීම සම්බන්ධයෙන් නොව එම නොහැකියාව පිළිගත හැකි ආකාරයෙන් පවත්වා ගැනීම සම්බන්ධයෙනි. එනම් අභිබවා යාමේ අදහස එලෙසින් ජය ගැනීමේ වේදනාවෙන් තොරව සංහිඳියාවේ කල් දැමූ මොහොතක් ලෙස පවත්වා ගැනීමයි.

දෘෂ්ටිවාදය පිළිබඳව වඩා පැහැදිලි සවිස්තරාත්මක ලිපිය:

http://www.spartacus.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%af%e0%b7%98%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%ba%e0%b7%92/2021/

 

ඒ අනුව කේන්ද්‍රීය ප්‍රශ්නය සමීපත්වය පිළිබඳවය. දෙයක් නාභිගත කරමින් (තිරයක ඇති රූපය මෙන්) නමුත් එය විකෘති කිරීමට හා දිරාපත් වීමට පටන් ගන්නා තරමට සමීප නොවී තීරණාත්මක දුරක් පවත්වා ගැනීම පිලිබඳවය. සාමාන්‍ය උදාහරණයක් නම්, පරමාදර්ශී වස්තුවක් (ලිංගික සහකරුවෙක්, රැකියාවේ උසස්වීමක්, විශ්‍රාම යෑමක් යනාදිය) ගැන ෆැන්ටසයිස් (fantasize) කරන කෙනෙකු සඳහා ඔවුන්ට සැබවින්ම එම වස්තුව හමු වූ විට, ඔවුන් තම ෆැන්ටසිය පිළිබඳව යථට මුහුණ දීම සිදුවෙයි. ඒ අනුව වස්තුවේ උත්කර්ශවත් පරමාදර්ශිභාවය නැති වේ. (දෘෂ්ටිවාදී) උපක්‍රමය එයයි. එබැවින්, සිදුවන්නේ “මට X තිබුනේ නම් මට මගේ සිහිනය සැබෑ කරගත හැකිය” යන ෆැන්ටසියෙන් ව්‍යුත්පන්නවන තෘප්තිය පවත්වා ගැනීම සඳහා වස්තුව යම් දුරකින් තබා ගැනීමයි. දෘෂ්ටිවාදය විසින් මෙම ෆැන්ටාස්මටික දුරස්ථභාවය නියාමනය කරනුයේ, එය වූ පරිදි, අශක්‍යතාවය තුල යථ මග හැරීම සඳහාය. එනම්, ඕනෑම සැබෑ (ආශක්‍ය) වෙනසකට සම්බන්ධ ක්ෂිතිමය සහගත දෘෂ්ටීන්ය.

 

මෙය දෘෂ්ටිවාදය පිළිබඳව වඩාත් සියුම් ලෙස කියවීමට ඉඩ සලසයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් ලෙස ලංකාව තුල ඇති වී ඇති ආර්ථික විද්‍යා කතිකාව ගත හැකිය. ශ්‍රී ලංකාව ගොඩගත හැකි මග පිළිබඳව අතිශය බහුතර මතය වන්නේ ලංකාව වෙත ආයෝජකයින් අද්දවාගත යුතු බව, ආයෝජන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කලයුතු බව, ලංකාව ලෝකය සමග ඒකාබද්ධ කිරීම, නිදහස් තරඟකාරී නිෂ්පාදන ආර්ථිකයක් සහ වෙළඳපොළක් තුලින් ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියට අවතීර්ණ වී එහි කුට්ටියක් ඩැහැ ගැනීමට පොර බැදිය යුතු බව වැනි කතා සහ IMF පිළිබඳව ගොඩනැගෙන සංවාදය ගත හැකිය. 

 

ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කිරීමටත් එම ධනය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික වශයෙන් ගොඩනැගීමත් එම කතිකාවට අදාළ මුඛ්‍ය පරමාර්ථයන්ය. උදාහරණයකට හර්ෂ ද සිල්වාට අනුව කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුණයක වෙළෙඳපොළ රාශියක් ලංකාවට ඔබ්බෙන් පවතී. එම වෙළෙඳපොළ වල අති මහත් ධනයක් ඒකරාශී වී ඇත. මහා සාගරයෙන් දිය දෝතක් ගන්නා සේ මේ ගෝලීය වෙළෙඳපොළින් අපගේ කොටස තරගකර ලබාගැනීම ඔහුගේ සැලසුමේ (රනිල් වික්‍රමසිංහ ඇතුළු බල දේශපාලනයේ සියලු දෙනාටම ඇත්තේ එම සැලසුමයි) මූලික හරයයි. ඒ වෙනුවෙන් අපගේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය, යටිතල පහසුකම්, රාජ්‍ය ව්‍යවසායන් සහ සේවා ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමටත් වැඩි වැඩි වශයෙන් විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා ලෝකය සමග එකතුවීමත් අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

හර්ෂ මෙසේ පවසයි:

“අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන් අපේක්ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ තරගකාරීත්වයෙන් යුතු තාක්ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි ක්‍රමානුකූලව ආයෙත් ලබාගන්නවා. ඒ වගේම, මේ විදිහට උපයා ගන්නා ධනයෙන් කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදා හරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත් කමින් ගලවා ගැනීමටත් මෙමගින් සැලසුම් කර තිබෙනවා.”

https://web.facebook.com/harshadesilvamp/videos/1279616396291697

මේ ආර්ථික විද්‍යා සැලසුම්කරුවන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ, විනිවිදභාවය සහ වගවීම, ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, වෙළඳාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය කිරීම, බලශක්තිය සහ මහජන උපයෝගිතා, නිෂ්පාදන සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ පොදු යටිතල පහසුකම් යන අංශ වර්ධනය කිරීම සහ විධිමත් කිරීම කලයුතු බවයි.

 

ඔවුන්ට අනුව “සමාජ වෙ‍ෙළඳපොළ ආර්ථිකයක්” යන්න ඔවුන්ගේ ස්ථාවරයයි. එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික ලිබරල්වාදය හා සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුහුවක් බව ද පවසයි. දීර්ඝ කාලීන ‍තිරසාර සංවර්ධනය ලඟා කර ගැනීමට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා අවස්ථාව ලබාදීම යන පොරොන්දුව ඔවුන් සියලු දෙනා විසින් ලබා දේ.

ඉන් පසු ඒ සියලු දෙනා පවසනුයේ ශ්‍රී ලංකාවේ පිළිකාවන් මෙන් ඔඩුදුවා තිබෙන වංචා හා දූෂණ අවම කිරීමට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කල යුතු බවයි. අල්ලස් සහ දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ස්වාධීන කොමිෂන් සභා, සොරාගත් වත්කම් සොයාගැනීමේ වැඩසටහන, නීතිමය රාමුව ශක්තිමත් කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මුතියට එකඟවීම, ස්වාධීන දූෂණ විරෝධී ආයතනයක් ඇතිකිරීම අදාළ මූලිකාංග වේ.

 

ඒ අනුව ලංකාව ණය බරින් තුරන්කොට, සුඛිත-මුදිත, සංවර්ධිත, දියුණු, රාජ්‍යයක් බවට පත්කිරීම තුලින් සියලු ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳීම ලිබරල් නිදහස් ආර්ථිකවාදයේ අරමුණයි.  එහිදී දෘෂ්ටිවාදය වන්නේ එසේ නිසි ආර්ථික විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීම, විධිමත් ව්‍යුහගත කිරීම්, කොමිෂන් සභා පත්කිරීම් වැනි තත්වයන් සාක්ශාත් කොටගෙන ශුද්ධ ලිබරල් ප්‍රජාතනන්ත්‍රික රාජ්‍යයක් සංස්ථාපනය කල පසු ප්‍රශ්න වශයෙන් ඉතිරිවනු ඇත්තේ විසඳිය නොහැකි කොහොමටත් මිනිසුන්ට තිබෙන ප්‍රශ්න ලෙස ව්‍යුහගත වීමයි (එවිට ඒවාට ඇත්තේ ආගමික විසඳුම් පමණි). නමුත්  නිසි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේ මොහොතේ කල නොහැකි බවත් ඒ සඳහා ඊට පෙර අවශ්‍ය පියවර සහ ව්‍යුහාත්මක වෙනස් කම් රාශියක් සිදු කල යුතුව ඇති බව විශේෂඥ ස්ථාවරයයි. ඒ අනුව නිසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සංස්ථාපනය කල හැකි වීම සැමවිටම පවතින්නේ අනාගතයේය.

 

මේ සඳහා තවත් උදාහරණයක් ගත හැකිය. ගල්ෆ් කලාපයට “සාමය උදා කිරීමේ ක්‍රියාදාමය” දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර කඳවුර විසින් මහත් වැර වෑයමක් දරනා ක්‍රියාමාර්ගයකි. නමුත් සාමය උදා වනවා වෙනුවට අර්බුධ උග්‍ර වෙමින් ඇත. සාමය උදා කිරීම සඳහා නිරන්තර ගැටුම්, යුද්ධ, ආක්‍රමණ, කුමන්ත්‍රණ, මෙහෙයුම් සිදු කරේ. එහෙත් බටහිර රටවල් ප්‍රමුඛ නේටෝ සංවිධානයට අනුව එකී ක්‍රියාවන් යනු නව ලෝක රටාව සංස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය අනීවාර්ය ක්‍රියා මාර්ගයයි. නව ලෝක රටාව සංස්ථාපනය කල හැක්කේ එම පූර්ව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ද එය එසේය.

ඒ අනුව සලකා බැලුවහොත්, දැන් ලංකාවේ ඇති වී තිබෙන දැඩි අර්බුධකාරී තත්වය තුරන් කිරීම සඳහා ” ඊනියා නව ලෝක අනුපිළිවෙල හා සමාන තත්වයක් අපට නොමැති ද? එවැනි පිළිවෙලක් ස්ථාපිත කිරීමට (ලංකාව තුල මෙන්ම ලෝකය තුල ද) දරනා ඕනෑම සැබෑ (හෝ ඇත්ත වශයෙන්ම යථ) උත්සාහයක් සඳහා අනිවාර්යයෙන්ම ක්ෂිතිමය සහගත දුරදිග යන වෙනස්කම් සංස්ථාපනය කිරීමට අවශ්‍ය වනු ඇත. එනම්, එය යෝජනා කරන්නන්ට අනුව, විශ්වීය අයිතීන් මත පදනම් වූ ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය, ජනප්‍රිය සහභාගීත්වය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ සමාජ බහිශ්කරණය ආදිය…සැලකෙන්නේ අව්‍යාජ “පරාවර්තී නවීකරණයේ” කොටසක් ලෙසය. කෙසේ වෙතත්, ඒ සමගම අපට ඇත්ත වශයෙන්ම ඇත්තේ නිශ්චිතව ක්‍රියාකරනා අනිශ්චිත පරමාදර්ශයක කොන්දේසීන් තුල එය කරා යන ඕනෑම සැබෑ ව්‍යාපාරයක් වැළැක්වීමේ ආකාරයක් ලෙස නව ලෝක රටාවේ චර්යානුගත ආයාචනයයි. එනම්, පන්ති පරතරය දිගටම පවත්වා ගන්නා යථාර්තයක් නිර්මාණය කරන කොන්දේසීන් පිළිගැනීම එම ලෝක රටාවේ අනීවාර්ය තත්වයකි (පන්තිය යන්න අර්ථවත් වන්නේ ආර්ථික තලය තුල පමණක් නොවන අතර දැනුම පවතින ආකාරය අනුව ද එහි ගුණාංගයන් තීරණය වේ. පන්ති අරගලය යථමය වේ.). එම තත්වය තුල සියලු ක්ෂේස්ත්‍ර තුල ඇති වන ප්‍රතීඝතා (antagonisms) නැවතත් ධනවාදී ප්‍රාග්ධන තර්කනය තුලම ගුණාකාර වන්නේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දයලෙක්තික ක්‍රියාකාරීත්වය තුලය.

ලෝක රටාවේ වැදගත්, ධනවත්, විද්‍යාත්මක දියුණුවේ අගතැන්පත් “හොඳ අක්ෂය” වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර-යුරෝපා රටවල් විසින් සලකුණු කරනු ලැබූයේ සදාම් හුසේන්, මම්මුවර් ගඩාෆි, තලේබාන් පාලනය, වැනි තත්වයන් මෙම නව ලෝක රටාව සංස්ථාපනය කිරීම සඳහා ඇති බාධාවන් බවයි. නමුත් නව ලෝක රටාව ස්ථාපිතවනවා වෙනුවට අර්බුධ උග්‍ර වී ඇත. දැන් ඔවුනට අනුව දුෂ්ටත්වයේ අක්ෂය වන්නේ රුසියානු සහ චීන පාලනයයි. යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය එහි ප්‍රථිපලයකි.

ඒ අනුව ලංකාවට අදාලවද මේ ආකාරයේම දෘෂ්ටිවාදීමය පරිපූරකයක් ක්‍රියාත්මක බව පෙන්විය හැකිය (එනම්, එකතු කළ විට වෙනත් දෙයක් සම්පූර්ණ කරන හෝ වැඩි දියුණු කරන දෙයක් ලෙස වන….). මෙය හොඳින්ම දැකගත හැකි වූයේ “ගෝල්ෆේස් අරගලය” තුලිනි. එදා මෙදා තුර 2017-2018 කාලය තුල උපරිමයට පැමිණි ලාංකීය ධනවාදි සුඛ පරමවාදය අර්බුධයට යැවූ භ්‍රෂ්ඨයා බවට ගෝඨාභය පත්විය. ඒ අනුව ලාංකීය ධනවාදී සුසංවාදය සංස්ථාපිත වීමට ඇති බාධාව ලෙස සිංහල බෞද්ධ, හොරා කන, රාජපක්ෂ පවුල ප්‍රමුඛ අවිද්‍යාත්මක මෝඩ බයියන් හඳුනා ගන්නා කතිකාවක් අලුතින් සංස්ථාපනය විය. එම කතිකාවේ මූලිකාංග වන්නේ ආයෝජන සහ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීම, ගෝලීය වෙළඳපොළ, නිදහස් තරඟකාරීත්වය, නිදහස් වෙළඳපොල, දුෂනය, අක්‍රමිකතාවය හා නාස්තිය පිටු දැකීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නව ශ්‍රම බලකායක්, කාන්තාවන් සවිබල ගැන්වීම, තිරසර සංවර්ධනය, ගෝලීයකරන රාජ්‍යය සංකල්පය, සුභසාධන රාජ්‍ය සංකල්පයෙන් බැහැර වීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගතකරණය, බදු ප්‍රතිපත්තිය, කාලගුන විප්ර්යාසය පිලිබඳ ගෝලීය සංවාදයට සංවේදී වීම, වැනි කාරණාය. මෙම කතිකාවට අභියෝග කිරීමට වාමාංශිකයින් අසමත්ව ඇති අතර ඔවුන් විසින් ගොඩනගන කතිකාව සහ ක්‍රියාකාරීත්වය පවතින්නේ ද ලිබරල් කතිකාව වඩාත් හොඳින් පෝෂණය කරන ආකාරයකිනි.

සැබවින්ම ලංකාව තුල ඉතා අඩුවෙන් සිටි ලිබරල් න්‍යායවේදීන් වේධිකා ගතකොට එවැනි අය තව තවත් බෝ කිරීම සඳහා මහෝපකාරී වූයේ ජ.වි.පෙ. සහ පෙ.ස.ප. ක්‍රියාකාරීත්වයයි. මේ වන විට ලිබරල් කතිකාවෙන් පිටත සිටිනුයේ ඉතාමත්ම සුළුතරයකි. එනම්, සියලු දෙනාම පාහේ අද මූලිකවම ඉල්ලා සිටිනුයේ කෙසේ හෝ ආයෝජකයින් ගෙන්වා ගත යුතු බවය. එකම විසඳුම ආයෝජකයින් පැමිණීමයි. ඒ අනුව සූරාකෑමට එරෙහි කතිකාව අනේ අපිව සූරාකන්න කියා ආයාචනා කරනා කතිකාවක් බවට පත්වීමට මහෝපකාරී වූයේ ජ.වි.පෙ. සහ පෙ.ස.පේ. ක්‍රියාකාරීත්වයයි.

 

පැහැදිලිවම පෙනෙන කාරණය වන්නේ ජ.වි.පෙ., පෙ.ස.ප. ඇතුළු වාමාංශික කොටස් ක්‍රියාකරනුයේ දෘෂ්ටිවාදයේ අරමුණ වෙනුවෙන් බවයි. එනම්, සමාජයේ වියහැකි බව (සමාජ සංහිඳියාවකින් යුත් සුපහන්, සුඛිත-මුදිත, සුඛපරමවාදී දිවියක් උරුම කර ගැනීම සඳහා බාදාව වී ඇත්තේ සොරකම්, වංචා-දූෂණ, අක්‍රමිකතා, දේශපාලන අධිකරීත්වයේ දුර්වලතාවය වැනි…) කිසියම් ඓතිහාසික අනෙකෙකු විසින් සොරකම් කිරීම/බාධා කිරීම බවට පරිවර්තනය කරන ආකාරයෙන් යථ හමුවීම ෆැන්ටස්මටික ලෙස නැවත වේදිකාගත කිරීම සිදු කරන්නේ දෘෂ්ටිවාදයයි. එවිට ජ.වි.පෙ., පෙ.ස.ප. ඇතුළු වාමාංශික කොටස් යනු දෘෂ්ටිවාදයේ හුදු ගොදුරුවීම් මිස විමුක්ති විභවයක් සහිත දේශපාලන ව්‍යාපාර නොවේ. ඒ අනුව යථෙහි තත්ත්වය විශේෂිත අනෙකෙකුට ආරෝපණය කිරීමෙන්, පරිපූර්ණ ලෙස ඉටුවීමේ සිහිනය, අනෙකා තුරන් කිරීම, නෙරපා හැරීම හෝ මර්දනය කිරීම හරහා එමගින් තිරසාර වේ. ලෝක පරිමාණයෙන්, රාජ්‍යයන් අතර නව ලෝක රටාව ලෙස සිදු වන්නේ ද එයයි.

මේ වන විට හිස ඔසවා ඇති නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කතිකාව ගොඩනැගෙමින් තිබෙනුයේ ද එම ආකාරයටමය. සංවර්ධනය වී දියුණුවෙන් දියුණුවට පත්ව සුඛිත මුදිත වීම සඳහා ඇති බදාවන් ඉවත් කිරීම ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ යෝජක අරමුණයි.

ලිබරල්වාදය පවසා සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් නිෂ්පාදනය, වෙළඳපොල සහ ආයෝජන නිදහස තුලින් ලෝකයේ සියලු රාජ්‍යයන්හට තිරසාර සංවර්ධනයට පත්ව එක සේ සුඛිත මුදිත විය හැකි බවයි. නමුත් යථාර්තය නම් ධනවාදය තුල රාජ්‍යයන් අතර සැමදා පවතින විෂමත්වයයි. රටවල් අතර වෙළඳාමට නිදහස පැවතිය යුතු වුව ද සංක්‍රමණය සඳහා දැඩි නීති රීති පවතී. දියුණු යැයි සම්මත රටක වීසා ලබා ගැනීම ඉතාම අපහසු ක්‍රියාවකි. එහි අර්ථය නම්, ප්‍රාග්ධනය ගෝලීයකරණය විය යුතු වුවද එය සිදු විය යුත්තේ ජාතික රාජ්‍යයන්හි සීමාවේය යන්නයි. ඒ අදාළ රාජ්‍යයන්ගේ යුධ ශක්තිය ඇතුළු විවිධාකාර බල රටාවන්ට යටත්වය. වෙනත් විධියකින් පවසන්නේ නම් වෙළඳාම සාධාර්මික හෝ සාධාරණ නොවේ. ඒවා සිදු වන්නේ යම් බල ව්‍යුහයන් තුලයි. එම බලය රැකගැනීම වෙනුවෙන් න්‍යෂ්ටික අවි වැනි ලෝක සමූලඝාතක අවි ද නිපදවා ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය විසින් ලබාදෙන ධර්මානුකූල ආප්තය වන්නේ ඔබේ රාජ්‍යය ද ජාතික රාජ්‍යයක් ලෙස නිදහස් වෙළඳපොල තුලින් නැගී සිට බලවත් තත්වයට (න්‍යෂ්ටික අවි ආයුධ දැරිය හැකි පවා) පත්ව නැගී සිටින ලෙසයි. නමුත් එසේ, එම ආකාරයෙන්, ඒ තත්වයෙන් නැගී සිටි එකඳු රාජ්‍යයක් හෝ මිහි පිට නොමැත. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ දිව මතුරක් වැනි සිංගප්පූරුව සහ මැලේසියාව පිලිබඳවය. එම රටවල් මිනිස් සත්වෝද්‍යාන දෙකක් බවට පත්වූයේ ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් නිසා නොව ඒ දෙදෙනා ලංකාවේ රනිල් මෙන්ම බටහිර ගැත්තන් වී බටහිර උවමනාව ඉෂ්ට කල නිසාය. නමුත් එම රටවල් දෙකට කිසිසේත්ම බලවත් රාජ්‍යය යන අර්ථයෙන් බලවත් රාජ්‍යයන් බවට පත්වීමට හැකිව නැති අතර බලවත් රාජ්‍යයන් සඳහා අත්‍යවශ්‍ය කාර්යයන් කොටසක් ඉටුකරමින් සිටීම තුල පවතී. දියණු යැයි සම්මත රටවල් සමග සැසඳීමේදී එකී රාජ්‍යයන් දෙක සැලකෙන්නේ බාල වර්ගයේ, එසේ නොමැති නම්, අඩු කුලයේ රටවල් දෙකක් හැටියටය. ඊළඟට කියවෙන රාජ්‍යයන් දෙක වන්නේ ජපානය (1991 වසරේ ජපානයට යුරේනියම් ලබා දෙන්නේ ඇමරිකාව විසිනි) සහ දකුණු කොරියාවයි. ඒ ගැන කතා කරනා අය අමතක කරනුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු මැදිහත් වීමෙන් ජපානය ගොඩනැගුන ආකාරයත් කොරියානු යුද්ධයෙන් අනතුරුව බටහිර බලපෑම තුලින් දකුණු කොරියාව ගොඩනැගුනු ආකාරයටත් අදාළ සන්ධර්භයයි. ඒ කෙසේ වෙතත් එම රටවල් තුල අර්බුධ නිර්මාණය වී ඇත්තේ කෙසේද (යථ භයානක ස්වරූපයෙන් ඉස්මතු වීම) යන්න වෙනම විමසා බැලිය යුතුය.

ඒ අනුව අප අදේශපාලනික බව පවසන නිර්මාල් සහාය දෙමින් සිටිනුයේ ඉහත ලිබරල් කතිකාවට නොවේද ?

නව ලෝක රටාවක් මෙන්ම නිදහස් වෙළඳපොල ඔස්සේ “ගොඩයන” එම අර්ථයෙන් වන රාජ්‍යයන් ද දැනට සහ සැම විටම අශක්‍යතා බවට පත්ව ඇත (එම රාජ්‍යයන් තුල සත්තාවට ආදාලව පෙර නොවූ විරූ විවිධාකාර සමාජ-ආර්ථික, පාරිසරික, අර්බුධයන් රාශියක් නිර්මාණය වී නව ප්‍රතීඝතා ඉස්මතුව ඇත). ඒ අනුව එම නොහැකියාව විසින් එහි නිර්දෝෂීභාවය නැතිකර ගන්නා අතර, සරල මර්දනකාරී මානයකින් සමන්විත නොවී, අද සැබෑ දේශපාලනයේ ව්‍යංග-අශ්ලීල දෘෂ්ටිවාදාත්මක අතිරේකයක් ලෙස ක්‍රියා කරනු දැකිය හැකිය.

නිර්මාල්ගේ (වාමාංශයේ සහ දක්ෂිනාංශයේ නියෝජිතයෙකු ලෙස) ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අශක්‍යතාවය (impossibility) පිළිබඳ සංකල්පය ඔහුගේ දේශපාලන පර්යාවලෝකන මූලයේ නොපැවතීමයි. ලැක්ලාවු සහ මූෆ්ගේ පශ්චාත්-මාක්ස්වාදී ස්ථාවරයන් සලකා බැලීමේදී පෙනීයන්නේ විනිවිද පෙනෙන ප්‍රතිවිරෝධතාවලින්-නිදහස් සමාජයක් සාක්ෂාත් කරගත නොහැකි බව ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ අරමුණ බවයි. ඔවුනට අනුව සමාජවාදයෙන් ඉදිරියට ද සමාජ ප්‍රතිවිරෝධතා පවතින අතර ඒ අනුව දේශපාලනය අවසන් නොවේ. නමුත් ලකානියානු ස්ථාවරය එය නොවේ. එනම්, ප්‍රධාන ප්‍රශ්නය සමාජය (අ)ශක්‍ය ද නැද්ද යන්න නොවන මුත් සමාජය අශක්‍ය (impossible) වන්නේ කෙසේද යන්න සහ අශක්‍යතාවය දේශපාලනිකව තේරුම් ගන්නේ කෙසේද යන්නයි. ඒ අනුව ඉදිරි සමාජයන් පිළිබඳව පරිකල්පනීය පුරෝකථනයන් ඒ තුල නොමැත. එනම්, විනිවිද පෙනෙන ප්‍රතිවිරෝධතාවලින්-නිදහස් සමාජයක් සාක්ෂාත් කරගත හැකි ද නොහැකි ද යන්න ලකානියානු අර්ථයෙන් දේශපාලනිකව අදාළ නොවන ප්‍රශ්නයකි.

වර්තමාන පශ්චාත් නුතන සංස්කෘතිය තුළ, අශක්‍යතාව පිළිබඳ අදහස “තාවකාලික”, “පාර්ශ්වික”, “අවිනිශ්චිතභාවය” වැනි භාෂාවක් බවට පෝෂණය වීමට නැඹුරු වූවකි. එනම්, මූලික වශයෙන්ම විද්‍යාවට ඕනෑම ආකාරයක අශක්‍යතාවයක් ජයගත හැකිය යන්න සහ තාර්කික ‘මිනිසා’ සියලු අකාරයේ බාදාවන්, අශක්‍යතාවයන් ජයගැනීමට සමත් වේ යන්නයි. ඒ අනුව අශක්‍යතාවය යන්නට අදාළව සෑම ඉරියව්වක්ම උත්ප්‍රාසය, ආදේශකය සහ අවලංගු කිරීම යන හැඟීම හරහා දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් ගැටලුව වන්නේ, අශක්‍යතාවය සඳහා වූ පශ්චාත් නුතන උද්යෝගය අතිශයින් පක්ෂග්‍රාහී සහ තාවකාලික බවට පත්වන දේශපාලන වර්ගයකට ඉතා පහසුවෙන් නම්‍යශීලීත්වයක් දක්වන්නක් වීමයි. එය විමුක්ති දේශපාලන දිශානතිය සපුරාම මොට කර දමන්නකි. එබැවින් දේශපාලන අභිලාෂය දැනටමත් සීමා වී ඇත්තේ එවැනි එහිම සීමාවන් පිළිබඳ හැඟීමෙන්ය. අද දවසේ තත්වය එයයි. වෙනත් වචන වලින් කිවහොත්, අශක්‍ය වීම ශක්‍ය බවට පත් කිරීම සඳහා ඉල්ලා සිටීමකින් තොරව (සියලු ආකාරයේ අධිකාරීත්වයන් ප්‍රතික්ෂේප කරන පන්ති රහිත සමාජය) අශක්‍යතාවයේ මට්ටමෙහි නවතිනා දේශපාලනයක් සමග අප මිඩංගු වෙමින් සිටීම විය හැකි ලොකුම අනතුරයි (නිර්මාල් දිගින් දිගටම මිඩංගු වන්නේ එවැනි දේශපාලන කතිකාවන් තුල සහ ඒවා පෝෂණය කරන ක්රියාකරීත්වයකය).

 

ලංකාව තුල මෙම ආකාරයේ පර්යාවලෝකනයේ (පක්ෂග්‍රාහී සහ තාවකාලික බවට පත්වන දේශපාලන වර්ගය) දේශපාලන ප්‍රතිවිපාක දැනටමත් පැහැදිලිය. ඩොලර් බිලියන 91.562ක ණය (ගෙවා ගත නොහැකි බැවින් වසරින් වසර ගුණාකාර වේ), විදේශ ප්‍රතිපත්තිය, සමාජ-ආර්ථික අර්බුධ උත්සන්න වීම… එම තත්වය තුල සුපුරුදු පරිදි ඊනියා ආචාරධාර්මික ප්‍රවේශයන් සෑම විටම ක්‍රියාත්මක වෙමින් පවතී. තුන්වන මාර්ගයකට ඇති ලැදි කම පිළිබඳව බොහෝ කණ්ඩායම් වල ප්‍රකාශන දැක ගත හැකිය (“සියලු පැතිවලට සවන් දීම”, “ඔවුන්ගේ වේදනාව දැනීම” වැනි ලෙස…). ඒ සමගම තව දුරටත් විභව්‍ය අනතුරක් ඇත. මෙය විශේෂයෙන්ම “දේශපාලනිකව නිවැරදි” (“politically correct”) බහු සංස්කෘතිකවාදයේ ඇති සම්‍යක් ව්‍යවහාරික (orthodox) ප්‍රවණතා සහ ස්ත්‍රී පුරුෂ භාවය, සංස්කෘතිය, ජීවන රටාව යනාදිය වටා පුළුල් වන නා නා වෙනස් කම් සහිත අරගල සමූහයක් අතර සමානාත්මතා දාමයන් ස්ථාපිත කිරීමට උත්සාහ කරන යම් ආකාරයක සන්ධාන දේශපාලනයක විකෘති කිරීම ගැන සැලකිලිමත්, උනන්දු, ප්‍රවේශයකි (පශ්චාත් මාක්ස්වාදයේ අරගල භූමිය). ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි සාමූහිකත්වයන් පිහිටුවීමේ වරදක් නොමැති වුවද, ගැටලුව පැන නගින්නේ, මේ ආකාරයේ දේශපාලනයක් සාමාන්‍ය දැනෙන ආකාරයෙන්, සියලු කණ්ඩායම් එක හා සමාන ලෙස විඳවීමට ලක්වන බව පිලිගන්නා දේශපාලන භූමියේ මූලික මට්ටම් කිරීමක් උපකල්පනය කිරීමට, පිළිගැනීමට, පටන් ගන්නා තැනය (“අපි සියලු දෙනාම රාජ්‍ය/ගෝලීය ධනවාදයේ/මර්දනකාරී බලවේගවල වින්දිතයන්ය යන්න…”). වෙනත් වචන වලින් කිවහොත්, සමානාත්මතා දේශපාලනය කෙතරම් විකෘති වී ඇත්ද යත්, සැබෑ ලෙසම දුක්ඛිත මිනිසුන්ගේ ස්ථානය වෙස්වලාගනීමේ මාර්ගයක් බවට පත් වීමේ අනතුරක ඇත. මේ ආකාරයෙන්, දුක්ඛිත වින්දවන්නා අතිශයින් දරුණු ලෙස ගොදුරු විය හැක. එනම්, පළමුව විඳවීම සක්‍රීයව බැහැර කරන ගෝලීය ධනේශ්වර පර්යායක් මගින් සහ, දෙවනුව, එහි පශ්චාත් නූතන වනාන්තරය තුළ ඒවා අදෘශ්‍යමාන කරන, සැරව වැගිරෙන, “දේශපාලනිකව නිවැරදි” “අන්තර්ගතවාදය” මගින් එහි වෙනස්කම් වල කෲරත්වය ලෙසය. සිදුවිය යුත්තේ පශ්චාත් නූතන ක්‍රියා පටිපාටියේ මෙම ගැටය කපා හැරීම අත්‍යවශ්‍ය වන බව තේරුම් ගැනීම සහ ආචාරධර්ම-දේශපාලනික වගකීම වන්නේ වර්තමාන ගෝලීය ධනවාදයේ ව්‍යවස්ථාපිත ප්‍රචණ්ඩත්වයට, මර්ධනයට සහ ලොව පුරා එයට යටත් වීමට ලක් කරන එහි අශ්ලීල ස්වභාවිකකරණයට/නිර්නාමිකකරණයට (අර්ථකතනයක් නොමැති වීම) මුහුණ දීම බව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ යන්න අවබෝධ කොට ගැනීමයි. පශ්චාත් නූතන සංස්කෘතියේ “බහු සංස්කෘතික” ආචාර සමාචාර විධි සම්බන්ධයෙන්, එහි සියලු ශ්‍රද්ධා භක්තිවන්තකම් සමඟින් වන ප්‍රමිතිගත, සම්මත ආස්ථානයන්ට එරෙහිව විමුක්ති දේශපාලනය ස්ථානගත විය යුත්තේ “රැඩිකල් ලෙස වැරදි” ලෙස හැඳින්විය හැකි දේශපාලනයක් (“politically incorrect”) සඳහා වන අතර එම අර්ථයෙන් එය එම ආකාරයේ ආස්ථානයන්ගෙන් බිඳී අද සමාජ යථාර්ථයේ දැඩි සංවිධානාත්මක මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරන විපරමකින් යුතු වීම සිදු විය යුතුය. එනම්, ගෝලීය ලිබරල් ධනවාදයේ මූලධර්ම පිළිබඳවය. මේ සඳහා යම් සැලකිල්ලක් සහ සූක්ෂ්මතාවයක්, විචක්ෂනභාවයක් අවශ්ය වේ. 

 

මාක්ස්වාදය බොහෝ කාලයක් සඳහා හිල්ෆෙර්ඩින් සහ ග්‍රාම්ස්චි වැනි ඉදිරිපත් කිරීම් සමගින් දේශපාලන රෝගාතුරභාවයන් කරා නැමියාවක් දක්වා තිබෙන අතර මුළුමනින්ම පාහේ අර්චනික ආර්ථිකවාදයක් මගින් මාක්ස්වාදය විශාල වශයෙන් අඛණ්ඩ විපරිවර්තනයකට ලක්ව අනාථ වී ඇත. ලැක්ලාව් සහ මූෆ් යන අය, සියලු ආකාරයේ ආර්ථිකවාදයන් අභිබවා යාමට හැකි වන පරිදි තීරණාත්මක ලෙස ඔවුන්ගේ පාර්ශවයෙන් න්‍යායික ඉදිරියට යාමක් සිදුකොට ඇත. කෙසේ වෙතත්, මෙම නව සන්දර්භය තුළ, දැන් ඉදිරිපත් වී ඇති ගැටලුවම මුළුමනින්ම පාහේ ප්‍රතිවිරුද්ධ අර්චනය පිළිබඳව ගැටලුවකි. එනම්, ආර්ථිකවාදයේ තහනම වටා ඇති බදා සහිත වාරණය කිරීම් වල අවුල්සහගතභාවයන්, කාංසාවන්, ආර්ථික යථාර්ථය සමඟ නොගැලපෙන ආකාරයක් ලෙසත්, ඒ අනුව ආර්ථික යථාර්ථය පැවැත්මේ මූලික ක්ෂිතිජයක් ලෙස එම කාංසාවන් ව්‍යංගයෙන් පිළිගැනීමේ මාර්ගයක් ලෙසත් ක්‍රියාත්මක විය හැකි වී ඇත. (මේ වන විට රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුවෙමින් පවතින්නේ එයයි). උත්ප්‍රාසාය නම්, ආර්ථිකවාදයන් කිහිපයක අවසානය වන්නේ සමකාලීන ධනවාදය සම්බන්ධයෙන් තත්වාකාරක ආර්ථික අවශ්‍යතාවයක් ශක්තිමත් කිරීමයි.

සියලු මානව ක්‍රියාකාරකම්, සියලු අවශ්‍යතා, පරිසරය ඇතුළු සියල්ල ආර්ථිකවාදයට ඌනනය කිරීම සහ ආර්ථික වර්ධනය මගින් සියලු ගැටලු විසඳිය හැකි බවට ඇති විශ්වාසය ආර්ථිකවාදයේ අන්තරායයි. ධනේශ්වර ආර්ථික ක්‍රමය (ආර්ථික විද්‍යාව) පිළිබඳ ඕනෑම විවේචනයක් බොහෝ විට යථාර්ථවාදී නොවන හෝ බොළඳ යැයි බැහැර කරන බැවින්, සමකාලීන සමාජය තුළ ආර්ථිකවාදය විවේචනය කිරීම තහනම් දෙයක් බවට පත්ව ඇත. දේශපාලඥයන් සහ ජනමාධ්‍ය සමාජ ප්‍රශ්න ගැන විවාද කොට, බොහෝ විට සංකීර්ණ ගැටලු සරල ආර්ථික තර්කවලට හරවා යැවීම තුලින් මෙම තහනම විශේෂයෙන් පැහැදිලි වේ. එනම් පවතින්නේ ස්වභාවිකත්වයකි. ආර්ථිකවාදය පිළිබඳව මෙම තහනම් කිරීම විශේෂයෙන් භයානක වන්නේ එය සමාජ හා දේශපාලන විවාදයන්හි පරදුවට තබා ඇති සැබෑ ප්‍රශ්න වසන් කරන බැවිනි. උදාහරණයකට දරිද්‍රතාවය සහ අසමානතාවය වැනි සමාජ ප්‍රශ්නවල මූල හේතු සමඟ සම්බන්ධ වීම වෙනුවට දේශපාලනඥයන් සහ මාධ්‍ය බොහෝ විට අවධානය යොමු කරන්නේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම හෝ බදු අඩු කිරීම වැනි ආර්ථික විසඳුම් කෙරෙහි පමණි. ආර්ථික විද්‍යාව පිළිබඳ මෙම අවධානය, මෙම ගැටලුවලට දායක වන යටින් පවතින සමාජ, සංස්කෘතික සහ දේශපාලන සාධක ආමන්ත්‍රණය කිරීමෙන් අපව වළක්වයි. ඒ අනුව ආර්ථිකවාදය පිළිබඳව තහනම පවතින තත්වය ශක්තිමත් කිරීමට සහ රැඩිකල් සමාජ වෙනසක් වැලැක්වීමට සේවය කරයි. දේශපාලන සංවාදයේ විෂය පථය එසේ ආර්ථික ප්‍රශ්නවලට සීමා කිරීමෙන් වාමාංශික ඇතුළු සියලු දේශපාලනඥයන් සියලු අර්බුධ ආර්ථිකයේ අර්බුධයන් ලෙස ඌනනය කිරීම සිදු කරයි.

 

සමස්තයක් වශයෙන්, ආර්ථිකවාදය පිළිබඳ විවේචනය මගින් මානව ක්‍රියාකාරකම් සියල්ල ආර්ථික සාධකවලට ඌනනය කිරීමේ අන්තරායන් සහ සමාජ ගැටලුවල සමාජ, සංස්කෘතික සහ දේශපාලන මානයන් සමඟ සම්බන්ධ වීම වර්තමාන වාමාංශය මගහරින කාරණයයි. ඒ අනුව නිර්මාල්ගේ දේශපාලන මැදිහත්වීම ඇත්තේ ද මෙකී යථාර්තවාදී ශක්‍යතාව (possibility) පිළිබඳව දේශපාලනයේය. 

 

ආර්ථිකවාදය ප්‍රතික්ෂේප කිරීමේදී, මනුෂ්‍යත්වයේ ඉරණම හැඩගැස්වීමේ ප්‍රාග්ධනයේ පද්ධතිමය බලය සහ හැකි දේ පිළිබඳ දැක්ම නොසලකා හැරිය යුතු නොවේ. එසේම විශ්වීය ගෝලීය පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ධනවාදයේ බලවේග එම ක්‍රමයේ යම් ආකාරයක වංශකතාවක් හරහා එය ගොඩනැගීමේ දේශපාලන-විවාදාත්මක ප්‍රචණ්ඩත්වය වසන් කිරීමට උත්සාහ කරන බවට වන මාක්ස්ගේ කේන්ද්‍රීය තීක්ෂ්ණ තර්කය විශේෂයෙන්ම නොසලකා හැරිය යුතු නොවේ. නව ලිබරල්වාදීන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන දේ [රොර්ටි (1989) සහ ෆුකුයාමා (1992) ] වැනි ගෝලීය ලිබරල් ධනවාදයේ ප්‍රභූකරණය යනු එහි “විශ්වීයවාදය” මූලික වශයෙන් ප්‍රතිනිෂ්පාදනය වීම වන අතර එය ලෝක ජනගහනයේ විශාල සමාජ කොටස් බැහැර කරන සහ ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩත්වයක් මත රඳා පැවතීමයි. මේ ආකාරයෙන්, නව ලිබරල් දෘෂ්ටිවාදය ධනවාදය ස්වභාවිකකරණය කිරීමට උත්සාහ කරන්නේ එහි ජයග්‍රහණ සහ පරාජයේ ප්‍රතිඵල උදාසීන වෙළඳපොලක් තුළ ඒවා හුදෙක් අහම්බයක් නම් ඒවා හොඳ විනිශ්චයක තීරණයක් ලෙස ඉදිරිපත් කිරීමෙනි. ධනවාදය ඇත්ත වශයෙන්ම නිශ්චිත විවිධත්වයක් සඳහා අවකාශයක් නිර්මාණය කරන අතර ඒ අවම වශයෙන් මධ්‍යම ධනේශ්වර කලාප සඳහාය. නමුත් එය මධ්‍යස්ථ හෝ පරමාදර්ශී නොවන අතර සමාජ බැහැර කිරීම් අනුව එහි මිල අධිකය. එනම්, නෛසර්ගික ගෝලීය දරිද්‍රතාවය සහ පිරිහුණු “ජීවිත අවස්ථා” අනුව මානව පිරිවැය පවතින ආර්ථික තාර්කිකත්වය තුළ ගණනය කළ නොහැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමාජ බැහැර කිරීම අද්භූත ලෙස හා නාමකරණයන් රහිතව පවතී. (එනම්, පෙනෙන විදිහට කාරුණික හෝ සැලකිය යුතු මුත් “සංවර්ධනය වෙමින් පැවතීම” වෙනුවෙන් හැඟීමම පාවා දීම හෝ පහත් කිරීම). දරිද්‍රතාවය තුරන් කොට වඩා උසස් ජීවන තත්වයක් ලබා දීම පදනම් කරගනිමින් යයි කියමින් සිදු කරන ආයෝජකයින් ගෙන්වා ගැනීම, නිදහස් වෙළඳ කලාප ඉදිකිරීම, කම්කරු නීති සංශෝධනය වැනි කාරනා මේ තත්වය සඳහා එක් උදාහරණයක් ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත් ධනවාදය විසින් ජනිත කරන එයටම අයත් අතිරික්තයන් සහ නිශේධනීයත්වය උකහා ගැනීමට ඇති අධික හැකියාව හරහා මෙම ගූඩත්වය විශාල කර ඇත. එනම්, සමාජ ප්‍රතිවිරෝධතා යළි හරවා යැවීමට (හෝ වැරදි ලෙස යොමු කිරීමට, එනම් නොමග යැවීමට) සහ නා නා වෙනස්කම් තහවුරු කිරීමේ සංස්කෘතියක් තුළ ඒවා අවශෝෂණය කර ගැනීම සිදු වේ. මේ තත්වය තුල බොල්ෂෙවික්වාදය වෙනුවට අද ප්‍රවනතාවය වී ඇත්තේ පශ්චාත් නූතන පරිභෝජනවාදයේ සහ ජීවන රටාව විසින් පහසුවෙන් පවත්වා ගෙන යන දේශපාලන කඩ දැමීම්වාදයක් වෙතට තල්ලු වීමය. වාමාංශික පක්ෂ හුදු පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන පක්ෂ බවට පත්ව ඇත්තේ එබැවිනි. ඒ අනුව නව විමුක්ති දේශපාලන පිවිසුමක මූලික ආචාර ධර්ම විධානය, එනම්, දිශානතිය, විය යුත්තේ අපගේ සමාජ පැවැත්මේ ආකාර ගෝලීය පරිමාණයෙන් බැහැර කිරීම මත පදනම් වී ඇති කාරනයට මුහුණ දීමයි. විශ්වීයවාදයට කිසිදා විශ්වීය විය නොහැකි බව සම්පූර්ණ සත්‍යයක් වුවද (ඕනෑම අර්ථයක් ඇති කර ගැනීම සඳහා එයට සැමවිටම හෙජමනික-සුවිශේෂ ප්‍රතිමූර්තියක් අවශ්‍ය වනු ඇත), විය යුත්තේ එය මෙම කරුණ වසන් කිරීමට ලක් කිරීම හෝ වෙනත් ආකාරයේ භාෂා න්‍යාස ව්‍යවහාරයක “ගැටලුවකට” වඩා පහත් දෙයක් වෙතට දුක්ඛිත අනෙකා පිළිබඳව තත්වය ඌනනය කිරීමට උත්සාහ නොකිරීමයි.

 

ගෝලීය ධනවාදයට ප්‍රතිචාරය විය යුත්තේ රාජ්‍ය කේන්ද්‍රීය ව්‍යවසායන් සහ සේවා සහිත ජාතික රාජ්‍යයට පසු බැසීම හෝ දැනට යුරෝපයේ සහ වෙනත් තැන්වල බහුලව පවතින සංවිධානාත්මක “ප්‍රජාව” (“community”) සහ ජනප්‍රිය අනන්‍යතා වල ඓන්ද්‍රීය ස්වරූපයන් වෙතට පසුබැසීමක් විය නොහැක. එසේම, ඒවා ද ධනවාදම පවත්වා ගන්නා තවත් අකාර පමණි. එනම්, එය ලැකානියානු අර්ථයෙන් ධනවාදයට වඩා ධනවාදයේ පවතින අතිරික්තයන් සමඟ වැඩ කිරීමේ ප්‍රශ්නයකි. එබැවින් එය ධනවාදයේ පළාත් “විශ්වීයවාදය” ඉක්මවා යාමේ ප්‍රශ්නයකි. මෙම කාරණය පැහැදිලි කිරීම සඳහා, “බුද්ධිමය දේපල” කාණ්ඩයට අවධානය යොමු කල හැකිය. තාක්‍ෂණික දියුණුව මත සීමාකාරී ආධිපත්‍යය ස්ථාපිත කිරීමට වඩ වඩාත් විකාර සහගත උත්සාහයන් ඇති වෙමින් තිබේ. ජාන කේත, DNA ව්‍යුහයන්, ඩිජිටල් සන්නිවේදනය, ඖෂධීය ප්‍රගමන, පරිගණක වැඩසටහන්, කෘතීම බුද්ධිය යනාදිය ප්‍රධාන ක්ෂේස්ත්‍ර ලෙස පෙන්වා දිය හැකිය. එක්කෝ අප සැමට බලපාන සහ/හෝ ඇත්ත වශයෙන්ම පොදු දේවල් ලෙස මානව හිමිකම් තිබිය යුතු බව පිළිබඳ හැඟීමක් ඇති, ධනවාදයේ නූතන සංධිස්ථානය තහනම් සංස්කෘතියකින් වැඩි වැඩියෙන් සංලක්ෂිත වේ. එක් පැත්තකින් තනිකරම ලාභ ඉපැයීම සඳහා පමණක්ම එම පර්යේෂණ සහ සංවර්ධන ආකාර පුලුල්ව පැතිරීමට ඉඩ හරින අතර ලාභ ඉපයීම සහ වෙළඳපොල ප්‍රවර්ධනයට ඇති සියලු ආකාරයේ බාදා මර්ධනය කරනු ලබයි. ඒ අනුව ඒවා තුලින් අනාගතය සඳහා සෘජු ප්‍රතිවිපාක ඇති තොරතුරු සීමා කිරීම ප්‍රධාන වේ. එසේම සීමාවන්ට යටත්ව (සිදුවිය හැකි ව්‍යසනයන් වලක්වා ගැනීමේ අටියෙන්) විද්‍යා-තාක්ෂණ වුර්ධීන් වෙළඳපොළට සම්බන්ධ කිරීම සිදු වේ. එබැවින් ධනවාදය විසින් ජනනය කරන ලද බහුලත්වය මගින් සමාජ සමානාත්මතාවය පවත්වා ගත හැකි බවට වන මූලික ස්ථාවරය අන් සියලු දේ සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සහ වසන් කිරීම සඳහා යොදා ගන්නා රීතිය බවට පත්ව ඇත. ධනවාදය සාමාන්‍යයෙන් මහත් ලෙස බල කරනුයේ එය විසින් බලය පරවරා සක්‍රීය කරන ලද දැඩි විශ්වීය මානයන් සීමා කිරීමට සහ ඒ සමඟම එහි විශේෂත්වය, කෘතිම බව හෙළි කරන සියලු වර්ධනයන්ට ප්‍රතිරෝධය දැක්වීමටය. ඒ හුදෙක් හැකි එක් ආකාරයක් ලෙසය. වර්තමාන දේශගුණ විපර්යාසය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය, WTO ලෝක බැංකු, IMF, ආසියා සංවර්ධන බැංකුව වැනි ආයතන වල ක්‍රියාකාරීත්වය මීට හොඳ උදාහරණයකි. එබැවින් සැබවින්ම වාමාංශය කල යුත්තේ (නමුත් වාමාංශය වෙතින් ඒ කිසිවක් සිදු නොවේ) මෙම පාලනය කළ නොහැකි, එහෙත් පාලනය කොට පවතාගෙන යා හැකි සහ වර්ධනය කල හැකි යයි සිතන අතිරික්තයන් දේශපාලනික (සහ දේශපාලනීකරණය කරන) දිශාවට විපර්යාස කිරීමට උත්සාහ කිරීමයි. නමුත් සිදු වී ඇත්තේ, නව ලිබරල්වාදීන් නිදහසේ මහත් උත්කර්ෂයෙන් භාෂාව වහරන ස්ථානය වන, එක්කෝ පුද්ගල නිදහස හෝ භාණ්ඩ හා ප්‍රාග්ධනයේ නිදහස් සංචලනය අනුව උත්පාදනය වන සියලු දේ භාරගැනීමයි. එසේම ඒ වෙනුවෙන් ජනතාවාදී අරගල මෙහෙයවීම අද දවසේ වමේ කාර්යභාරය වී ඇති අතර වමේ භාෂා ව්‍යවහාරය ද ඊට සමාන වී ඇත.

 

ප්‍රායෝගිකව අසීමිත ධනවාදයක් හමුවේ නිල වමේ ඉල්ලීම් (විශේෂයෙන් වමේ තුන්වන මාවතේ විවිධ අවතාර) මෙම ග්‍රහලෝකයේ සෑම පුද්ගලයෙකුටම සැපයිය හැකි අතිශය නිහතමානී ඉල්ලීම් ප්‍රකාශ කිරීමට නැඹුරු වේ. විශේෂයෙන්ම ශිෂ්ඨ සම්පන්න ඉහල ජීවන තත්ත්වයක් ඉල්ලා සිටීම ප්‍රධාන වේ. එවිට ඕනෑම රටකට අදාලව එය සැසඳිය යුත්තේ, සහ හැක්කේ අතිශය ඉහල භාණ්ඩ හා සේවා පාරිභෝජනයක් සහිත ඇමරිකානු උපරිමය සමග සන්සන්දනයෙනි (ඒ තත්වය තුල වඩාත්ම විකාර සහගත මාවත වන්නේ තුන් වන මාවතයි). 

එම තත්වය තුල, අද, නවතම ජෛව-ප්‍රවේණික සංවර්ධනයන් සමඟ, ලෝකය නව අවධියකට පිවිසෙමින් ඇත. එම තත්වය විසින් විසින් හුදෙක් ‘ස්වභාවයම’ (‘nature’) වාතයට දිය කර හරී. එනම් ජෛව ජාන විද්‍යාවේ විද්‍යාත්මක ජයග්‍රහණ වල ප්‍රධාන ප්‍රතිවිපාකය වන්නේ ‘ස්වභාවයේ’ අවසානයයි. එහි සංස්කරණ නීතීන් සකස් කරගත් පසුව, ස්වභාවික ජීවීන්, ශාක සහ අනෙකුත් දෑ හැසිරවීමට හැකි වස්තු බවට රූපාන්තරණය වේ. මේ අනුව, ‘ස්වභාවය’ (මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන), “සාරහරණය” කර, එහි විනිවිදිය නොහැකි, ඝනීබූත සංයුක්තභාවය, එනම්, නොබිඳිය හැකි (අපාරගම්‍ය) ඝනත්වය, අහිමි කර ඇත. ෆ්‍රොයිඩ් විසින් ගෙනහැර දැක් වූ සංස්කෘතිය තුළ අසහනය, අතෘප්තිය, යන්න මේ වන විට නවතම වර්ධනයන් සමඟ සංස්කෘතිය වෙතින් ‘ස්වභාවය’ වෙතට මාරු වේ. එනම්, ‘ස්වභාවය’ තවදුරටත් “ස්වාභාවික”(“natural“) නොවේ. අපගේ ජීවිත වල විශ්වාසදායක “ඝන” සංයුක්ත පසුබිම මේ වන විට බිඳෙනසුලු යාන්ත්‍රනයක් ලෙස පෙනී සිටී. එය ඕනෑම අවස්ථාවක, දැඩි ව්‍යසනකාරී දිශාවකට පුපුරා යා හැකිය.

 

(මීළඟ 05 කොටස)

පෙර කොටස්වල සබැඳියාවන්  

https://slleader.lk/social/8074-01

https://slleader.lk/social/8076-02

https://slleader.lk/social/8078-03

උපුටාගැනීම - @ spartacus.lk