SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්පාර්ටකස් ලිපි

සත්තා ව 1

 

 

 

 

පසුගිය කොටස් හා සම්බන්ධයි

(2 කොටස  https://slleader.lk/social/8076-02)

(03 - කොටස)

ආත්මය සෑමවිටම

“හැඟවුම්කාරකයේ උගුරේ සිරවී ඇති අස්ථියක්” ලෙස

ඉතිරිව පවතී - ලැකාන්

 

දැන් නැවතත් නැගිය හැකි ප්‍රශ්නයක් වන්නේ ඉහත සඳහන්කල දේශපාලන බෙදීම පිළිගන්නේ නම් එම දෙකම තුල ඇත්තේ ‘ප්‍රමෝදය’ කරා යාම, එනම් මරණ ධාවකය නොවේ ද යන්නයි. සැබවින්ම ඒ ක්‍රියාකාරීත්වයන් දෙකෙහිම ඇත්තේ එම තත්වයයි. නමුත් නැවතත් පළමුව සඳහන් කල ප්‍රවර්ගයේ වෙනස වන්නේ සදාකාලික විඝටනය වීමේ සහ නිශේධනයේ තර්ජනයට එරෙහිව සංකේතාත්මක සම්පූර්ණත්වයක් පැටවීමේ අඛණ්ඩ උත්සාහයන්ගේ ආත්මීයත්ව කේන්ද්‍රීය විකල්ප ගොඩනැංවීම් (විශ්ව විද්‍යාල කතිකාව තුලින් සිදුවන්නේ එයයි) පැමිණීමයි.

නිර්මාල් “X කණ්ඩායමේ” නායකයා වී සිටි බැවින් සහ එම කණ්ඩායම තුල පතඅට එකට සිඳුවා පානයකොට ඇති විවිධාකාර “පශ්චාත්” විලාසිතාවන් ඔහු තුල කිඳා බැස ඇති නිසාත් (ඔහු තුල පමණක් නොව X අභාෂය ලැබූ සියලු දෙනා තුලම පාහේ), නිර්මාල් විසින් ලකානියානු ඉදිරිපත් කිරීම් ලෙස සලකනුයේ “X කණ්ඩායම” සහ එහි අභාෂය ලැබූවන් විසින් පසුව වපුරා ඇති විකාර නිසාත් (කරුණුමය වශයෙන් සහ අවබෝධාත්මක වශයෙන්), මෙම කාරණය ද අවධාරණය කල යුතුය. එනම්, ඇතැම් පශ්චාත්-ව්‍යුහාත්මක සහ විසංයෝජනවාදී කවයන් තුළ (ලංකාවේ නොවේ) ‘ආත්මය’ (subject) යන්න අවධාරනය කරනු ලබන්නේ “වෙනස” පිළිබඳව රූටන තලයන් තුල සැමවිටම කාලීනව වින්‍යාස ගත කෙරෙන “බහු විධ සත්තාවන්” පිළිබඳව ලකානියානු කියවීමක් මතය. ඒ අර්ථයෙන් ආත්මය (subject) පිළිබඳ අදහස තරමක විලාසිතාවක් වී ඇත්තේ එය ඒකාකෘත කාටිසියානු අනන්‍යතාවයේ ප්‍රතිරූපය මවා දක්වනා හෝ ආත්මීයත්වය (subjectivity) වෙතට කේන්ද්‍රීය යම් ආකාරයක් ලෙසය. එය ලකානියානු ඉදිරිපත් කිරීම් පිළිබඳව ඌනිතවාදයකි. එසේ නමුත් ආත්මය යනු සාරාත්මක වස්තුවක් හෝ නිශ්චිත ස්ථානයක් නොවේ. ඒ වෙනුවට, ආත්මය පවතිනුයේ ආත්මීයකරණයේ සියලු ආකාරයන් (හෝ අල්තුසර් විසින් පොලාපැනීම ලෙස හඳුන්වනු ලබන…) වෙතට ප්‍රතිරෝධී අතිරික්තයේ සදාකාලික මානයක් ලෙසය. ආත්මය යනු ආත්මීයකරණය ධාවනය කරනා මූලික සංස්ථාපිත හිස් බවක් වන මුත් අවසානයේ ආත්මීයකරණය යනු පිරවිය නොහැක්කකි.

 

එය එකවිටම සියලු ආකාරයේ ආත්මීයකරණයේ අඩුව සහ ඉතිරියයි. ආත්මය සඳහා ලැකානියානු ලකුණ $ (“බෙදුණු”, හිස් ආත්මය) වන්නේ එබැවිනි. එනම්, ආත්මයට එහි “නාමකරණය” සංකේත රටාව තුලින් සොයා ගැනීමට හෝ සම්පූර්ණ වශයෙන් සත්භාවත්මක අනන්‍යතාවය ලබා ගැනීමට නොහැක. ආත්මය සෑම විටම “හැඟවුම්කාරකයේ උගුරේ සිරවී ඇති අස්ථියක්” ලෙස ඉතිරිව පවතී යනුවෙන් ලැකාන් ප්‍රකාශ කලේ එබැවිනි. තවද මෙම ආත්මය ‘මරණ ධාවකයේ’ රැඩිකල් නිශේශ්ධනීයභාවය සමඟ සම්බන්ධ වන තාක් දුරට එය ජර්මානු විඥානවාදය තුළ හඳුනාගත් එකම ආකාරයේ ආතතිය පිළිබිඹු කරයි. මේ අනුව ආත්මය යනු ආත්මීයකරනයෙන් ඈත් වීම සේම ලෝකයේ වියවුල් සහගත ගූඩත්වයක් තුල සංකේතාත්මක, තාර්කික හා ස්ථාවර වීමේ ගුණාත්මකභාවය ගිලගන්නා අතිරික්තය සහ එවැනි තත්වයකින් මිදීමේ මාර්ගයක් ලෙස ආත්මීයකරනය කරා යන දැඩි ධාවකය යන දෙකම වේ (ඉහත සඳහන් කල දේශපාලනිකව ක්‍රියාවන් දෙකෙහි ඇති වෙනස). 

මෙම අර්ථයෙන් අනන්‍යතාවය සෑම විටම ව්‍යුහගත වී ඇත්තේ යම් සත්තාවක කොන්දෙසීන් තුල උමතුව කරාය. ඒ අනුව එවැනි අනන්‍යතාවයන්ගේ ඔිනෑ එපාකම්වල විවිධාන්ගිකරණය පිළිගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය, එම ස්ථාවරය තුල අර්බුධ සහ සුවිශේෂී ආධිපත්‍යධාරි සහ බලපෑම් කල හැකි අනන්‍යතාවයන් (චරිත) තුලින් අනුලෝමව නිරන්තරයෙන් පැමිණෙන විසඳුම් යනු එකම ව්‍යාකූලතත්වයකි. එමගින් දයලෙක්තිකව දිගින් දිගටම අර්බුධ උග්‍ර කරයි.

ලකාන් මෙසේ පවසයි.

“ඊගෝව (ego) පිළිබඳව සත්‍ය හරියටම ඉස්මතුවන්නේ වචනය දියවී යන (අවලංගු වන) බවක් පෙන්නුම් කරන, එසේම තමන් සහ අනෙකා අතර වෙනස රැඩිකල් අකාරයෙන් ප්‍රශ්නකාරීත්වයට ඇද දමන තැන වන උමතුව තුලය.”

නැවතත් අවධාරණය කල යුත්තේ ‘ආශාව’ සහ ‘ධාවක’ යනු සම්පූර්ණයෙන්ම සංස්කෘතික හා සංකේතාත්මක නිර්මාණයන්ය යන්නයි. ඒ අනුව ධනවාදී යථාර්තය ගොඩනැගෙන්නේ ඒ තුලිනි. එය වියවුල් සහගත, විවිධාකාර පීඩාකාරී, අසහනකාරි, රෝගාතුර, දිවියක් මනුෂ්‍යාට සහ මනුෂ්‍ය සම්බන්ධකම් වෙතට උදා කොට ඇත. එවිට, ඒ තුල අනන්‍යතාවයන් යනු ආත්මීයකරනයන්ය.

 

උමතුව ඔස්සේ ගමන් කිරීමක් ලෙස පමණක් සත්තාව වෙතට පැමිණිය හැකි ආත්මීයත්වයේ දැක්මක් සහතික කිරීම වෙනුවට, සදාකාලික විඝටනය වීමේ සහ නිශේධනයේ තර්ජනයට එරෙහිව සංකේතාත්මක සම්පූර්ණත්වයක් පැටවීමේ අඛණ්ඩ උත්සාහය පැමිනෙන්නේ ද ආත්මීයත්වයන් වෙතිනි (අධිකාරීත්ව දූරවලිය වෙතින් එම සංකේතාත්මක පරිපූර්ණත්වය). එවිට ආත්මය යනු ආත්මීයකරනයෙන් ඈත්වීම සේම ලෝකයේ වියවුල් සහගත ගූඩත්වය තුල සංකේතාත්මක තාර්කික හා ස්ථාවර වීමේ ගුණාත්මකභාවය ගිලගන්නා අතිරික්තය සහ එවැනි තත්වයකින් මිදීමේ මාර්ගයක් ලෙස ආත්මීයකරනය කරා යන දැඩි ධාවකය යන දෙකම වන්නේ එබැවිනි. එනම්, සංකේතාත්මක සම්පූර්ණත්වයක් පැටවීමේ අඛණ්ඩ උත්සාහය සහ එම එසේ පටවන සංකේතාත්මක තාර්කික ක්‍රියාවලිය ස්ථාවර වීමේ ගුණාත්මකභාවය ගිලගැනීමේ ධාවකය වන්නේ ද ආත්මයයි. මේ ක්‍රියාවලිය දිගින් දිගටම තත්වය වඩා ව්‍යාකූල, අසහනකාරී, අර්බුධකරීත්වයට ඇද දැමීමට හේතු වේ. 

 

ඒ අනුව පවතින්නේ සැබවින්ම මනුෂ්‍ය ස්වභාවය ද?

එය එසේ බව පිළිගන්නේ නම් විමුක්ති දේශපාලනය අර්ථ විරහිතය. පවතින සැබෑ මනුෂ්‍ය ස්වභාවය යනු පවතින ආත්මීයකරණයන්ය (චරිත ලක්ෂණ, හැසිරීම්, වැනි…). වෙනත් විධියකින් එයම පවසන්නේ නම්, සංකේත රටාව (symbolic order) තුලින් තමන්හටම තමන් හොඳින් අර්ථකථනය කර ගත හැකි වීමයි. එසේ කල නොහැකි නම් එවැනි මනුෂ්‍යයෙකු එම ලක්ෂ්‍යයේදී ව්‍යාකූලත්වයකට ඇද වැටෙනු ඇත. පවතින මනුෂ්‍යත්වය යනු එයයි. යථාර්තය තුල සිදු වන්නේ එය ප්‍රශ්න කිරීමට ලක්වීම නොව අපගේ මානුෂීය තත්වය අවධාරණය කිරීමට සේවය කිරීමයි (විවිධත්වයන් භාරගනුමට සහ ඒ වෙනුවෙන් භාණ්ඩ සහ සේවා වෙළඳපොල පුළුල් කිරීම වැනි…). එනම්, පවතින්නේ ආත්මීයත්වය අසාර්ථක සහ සෘණාත්මක විකෘතියට ගොදුරු වන සත්තාවක් ලෙස වන මනුෂ්‍ය ස්වභාවයයි. එවිට නිශ්චිත වශයෙන්ම මිනිස් තත්වය ප්‍රධානය කරනුයේ මෙම වැරදි ලෙස ක්‍රියාත්මක වන මූලිකාංගය (සංකේත රටාව තුල සිරවන අස්ථිය) විසිනි.

 

තවදුරටත් අවධාරණය කරන්නේ නම්, වර්තමානයේ ලෝකයේ “දියුණුම” රට ලෙස සැලකෙන, අධිකතර සහ අද්විතීය පාරිභෝජන තත්වයක් උසුලන ඇමරිකාව සැලකුවහොත් එහි ජීවත් වන මිනිසුන් ලංකාවේ මිනිසුන්ට බොහෝ සෙයින් එහා ගිය දැඩි විපරීත අපේක්ෂාවන් දරා ගැනීම, අනාගත පරිපූර්ණතත්වය හෝ අධිකතර සංතෘෂ්ටියක් වෙනුවෙන් ජීවත්වීමේ හොඳම උදාහරණයයි. එපමණක් නොව අනාගත පරිපූර්ණ සංතෘෂ්ටිය සොරා ගත හැකි පිටසක්වල ආක්‍රමණයන් හෝ ස්වභාවික උවදුරු වලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ද ඔවුන් වෙහෙසෙති. කෙතරම් වෙහෙසුන ද තවමත් පිටසක්වල ආක්‍රමණ සහ ඒවායීන් බේරීම දැක ගත හැක්කේ ඔවුන්ගේ සිනමා කෘතීන් තුල පමණි. නමුත් ස්වභාවික විපත්වලින් බේරීම වෙනුවෙන් කෙතරම් වෙහෙසුන ද කිසිදු ස්වභාවික විපතකින් බේරීමට මෙතුවක් කලකට එම විද්‍යාත්මක හපනුන්ට හැකි වී නොමැති අතර සිදු වී ඇත්තේ ස්වභාවික විපත් වෙනුවට ඒවා මහා නස්පැත්තීන් බවට තීව්රවන තත්වයන් කරා ස්වභාවික සංසිද්ධීන් නිර්මාණය කොටගෙන තිබීමයි. එන්න එන්නම තත්වය දරුණු වෙමින් මහත් ව්‍යසනකාරී තත්වයන් ඇතිවෙමින් තිබුන ද අනාගත පරිපූර්ණත්වයට හානි වන ස්වභාවික විපත් වලින් බේරීම සඳහා වෙහෙසීම ඔවුන් අත්නොහරී.

නිර්මාල් විසින් මෙසේ පවසයි:

“මාධව යෝජනා කරන මනුෂ්‍යයා කන බොන රමණය කරන එක පමණක් කරන ජීවියෙක් බව පෙනේ. ප්‍රශ්නය වන්නේ ඇත්ත වශයෙන්ම පවතින මනුෂ්‍යයා එසේ නොවීමයි. මේ මනුෂ්‍යයාට මනසක් තිබේ. ශිෂ්ටාචාරය යනු මනසේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්. මේ සත්‍යය මඟ හැර යාමට මාධව යෝජනා කරන මාවත කුමක් ද? එය තමන්ට අදාළ නැතැයි කියන්නේ නම් එවිට මාධවගේ විකල්පයත් සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ රාජ්‍යයක් ගැන දේශනා කොට දැන් කන්කෙඳිරි ගාමින් ගෝඨාගේ සංවර්ධන මාවත පසු පසු එල්ලී සිටින නලින් ද සිල්වා සහ සමාගමෙන් වෙනස් වන්නේ නැත.”

නිර්මාල්ගේ මෙම ස්ථාවරයට ඉහත විස්තර කිරීම් මගින් දැනටමත් පිළිතුරු ලැබී ඇත. නිර්මාල් විසින් අසන ප්‍රශ්නය මෙයයි. මේ මනුෂ්‍යයාට මනසක් තිබේ. ශිෂ්ටාචාරය යනු මනසේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්. මේ සත්‍යය මඟ හැර යාමට මාධව යෝජනා කරන මාවත කුමක් ද යන්නයි.

අප මනොවිශ්ලේෂණය මත පදනම් වන්නෙම මෙම සත්‍ය මගහැර නොයන නිසාමය. සියල්ලට පෙර නැවතත් අවධාරණය කල යුත්තේ ආත්මය යනු සියලු ආකාරයේ ආපතික ආත්මීයකරණය වීම් සඳහා ඇති හැකියාව සහ නොහැකියාව යන දෙකෙහිම අනුභූතිඋත්තර තත්වය බවයි. යම් අවස්ථාවක දී, ආත්මීයකරණය කරා වන මෙම දැඩි ප්‍රතිවිරෝධී අතිරික්තය හරහා සහ අනන්‍යතාවය, ඉරණම, දේවත්වය යනාදිය වැනි දේ සම්බන්ධ අශඛ්‍ය ප්‍රශ්න (impossible questions) විසඳීමට ඇති ආනුෂංගික ධාවකය මිනිසාට නව ආකාරයේ ආත්මීයකරණයක් වර්ධනය කිරීමේ හැකියාව සඳහා අවශ්‍යයෙන්ම විවෘත වේ. එමෙන්ම ආත්මය මුලිනුපුටා දැමීමට හෝ ආදේශ කිරීමට අද දරන ප්‍රයත්නවල සන්දර්භය තුළ එය ඊටත් වඩා මුරණ්ඩු ලෙස පවතින ආකාරය දැකීම සිත්ගන්නා කරුණකි. උදාහරණ දෙකක් මෙහි තොරතුරු සපයයි. විසංයෝජනවාදී දර්ශනය තුළ, ඩෙරීඩා ආත්මය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වී ඇත්තේ, අවසාන මායිමක් සොයා ගත නොහැකි යම් ආකාරයක තාවකාලික තීරණවාදයක් (උචිත/අනුචිත, නොගැලපෙන බහුවිධ ක්‍රියාවලීන්) මත පදනම් වූ ආත්මීයත්වය පිළිබඳ සංකල්පයකට පක්ෂවය. මෙයට සහය දැක්වීමක් වශයෙන්, ඩෙරීඩා කීර්කේගාඩ්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය වන “තීරණය ගන්නා මොහොත පිස්සුවේ මොහොතයි” යනුවෙන් සඳහන් කරයි. කෙසේ වෙතත්, ලැකානියානු දෘෂ්ටිකෝණයකින්, ආත්මයේ සංස්ථාපක මානය සනිටුහන් කරනුයේ හරියටම මෙම උමතු අවස්ථාවයි. උදාහරණයකට, ජීව ජාන විද්‍යාවේදී, ඊට වෙනස්ව, මානව ජෙනෝමය සහ අපගේ මූලික DNA ඛණ්ඩාංක නිර්ණය කිරීමේ හැකියාව දැන් පවතී. එහෙත්, අභිරහස ගැඹුරු වන්නේ හරියටම මේ සම්පූර්ණ හෙළිදරව් කිරීමේ අවස්ථාවේදී වන අතර අප වඩ වඩාත් ඝට්ටනයක් තුලට ඇද දමනුයේ එය නිරන්තරයෙන් පිටාර ගලවනා එම දෙය සහ ආත්මීයකරණය අතර පරතර නියෝජනය කරන්නට සහ විසඳන්නට ඇති, දැඩි නොහැකියාව සමගයි (එනම්, ‘මරණ ධාවකය’ සහ එහි ලාක්ෂණික ස්වරූපයන්, ආවේගය, ආශාව යනාදිය…). ඒ අනුව මිනිස් සත්තාවේ සාරය ග්‍රහණය කර ගන්නවාට වඩා එපිටින්, ජෛව ජාන විද්‍යාවේ විරුද්ධාභාසී ප්‍රතිඵලයක් විසින් අපව රැගෙන යනු වී ඇත්තේ මනුෂ්‍යත්වය සංස්ථාපනය කරන ලද දැඩි මානුෂීය නොවන අතිරික්තයන් සමග ක්‍රමයෙන් වැඩිවන සමීපත්වයක් තුලටය. ලකානියානු අර්ථයෙන් ආත්මයේ උදුරා දැමිය නොහැකි ස්වභාවයට එම තත්වය සාක්ෂි දරයි. එබැවින් “මේ මනුෂ්‍යයාට මනසක් තිබේ. ශිෂ්ටාචාරය යනු මනසේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්” යන නිර්මාල් පවසන “සත්‍යය” තුල ඇත්තේ “පරිපූර්ණ මානුෂිය ස්වභාවය” (නිර්මාල්ගේ අර්ථය) බව නිර්මාල් විසින් පිළිගන්නේ ද?

 

ඒ අනුව අපට මාවතක් යෝජනා කල හැක්කේ අත්මිදීම (නිශේධනය) දෙසට පමණි. එසේ නොමැතිව මෙම මනුෂ්‍ය ස්වභාවය භාරගෙන, එම මනුෂ්‍ය ස්වභාවය විසින්ම ඊට විකල්ප ඉදිරිපත් කිරීම (ඊගෝවේ මැදිහත්වීම තුල) තුල නොවේ. “ඊගෝව යනු එහිම නිවසේ ස්වාමියා නොවේ” යනුවෙන් ද “මරණ ධාවකය යනු සරලව පුනරාවර්තනය (repetition) ඇති කිරීමට සංකේත රටාවෙහි මූලික නැඹුරුවයි.” යනුවෙන් ලකාන් ප්‍රකාශ කරන්නේ එබැවිනි. 

නිර්මාල් විසින් පවසන මනුෂ්‍යත්වය පිලිබඳ අදහස යථෙහි (the Real) මානය තුලින් ද විමසා බැලිය හැකිය.

එනම්, ‘මරණ ධාවකය’ පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සහ සත්තාවට ආවේනික නිශේධනීයත්වයේ විවිධ අංශයන් තුලින්, පසු කාලීනව ලකාන්ගේ යථ (the Real) පිළිබඳව තීරණාත්මක සාමාන්‍ය සූත්‍රගත කිරීම තුලින් ඉහත විමසා බැලීම තව දුරටත් ඉදිරියට ගෙනයා හැකිය.

 

ලැකාන් විසින් යථ හඳුනා ගන්නේ සංකේතනය සහ පරිකල්පනීය යන මානයන් දෙකට සාපේක්ෂවය. එසේම මේවා එක්ව ලකානියානු අර්ථය තුල මිනිස් සත්තාවට අදාළ ත්‍රිකෝණාකාර (බොරෝමියානු) ව්‍යුහය සාදයි. ලැකාන් සඳහා, අප “යථාර්ථය” (reality) ලෙස හඳුන්වන දෙය අර්තාන්විතකරණය (සංකේතාත්මක-the symbolic ) සහ ප්‍රතිරූපවල ලාක්ෂණික රටා (පරිකල්පනීයත්වය-the imaginary ) හරහා සුසන්ධීකරණය වේ. ඒ අනුව සංකේතාත්මක සහ පරිකල්පනීය කාර්යය යන දෙකම හැඟවුම්කරණයේ පිළිවෙලට අදාළ වේ. පරිකල්පනීයත්වය හැඟවුම්කරණයේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය (අයින්ස්ටයින්ගේ “සාමාන්‍ය” සහ “විශේෂ” සාපේක්‍ෂතා න්‍යාය මෙන්). ඒවා විශේෂණය කොට දක්වන දෙය එය වන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් විවෘත-අවසානය වන ලෙස සංකේතනයයි.

 

යථට (the REAL) එරෙහි වෙමින් යථාර්තය සංස්ථාපනය වනුයේ සංකේතනය (symbolic) සහ පරිකල්පනය (imaginary) යන දෙකේ සුසංයෝගයෙනි. එනම් යථාර්තය යථට විරුද්ධ වේ. තවත් අකාරයකින් පවසන්නේ නම් යථ යනු පවතින බවට පරිකල්පනය කරනා භාෂාව මගින් නියෝජනය වන දේ වලට ඔබ්බෙන් පවතින දෙයයි. එදිනෙදා සාමාන්‍ය යථාර්ථයේ ස්ථායිතාව තුල විශ්වාසය ගොඩනැගෙන්නේ එසේය. එම යථාර්ථයේ හිදැස් වසා දමන්නේ දෘෂ්ටිවාදය විසිනි. ඒ අනුව යථාර්තය යනු ප්‍රභන්ධයකි. එම ප්‍රභන්ධය දරා සිටිනුයේ ෆැන්ටසිය මගිනි.

 

එක් එක් පුද්ගලයාට විශේෂිත වූ (තමාගේම වූ) ෆැන්ටාස්මටික භූ දර්ශනයක පැනවීම හරහා  පරිකල්පනීයත්වය විසින් මෙම විවෘත-අවසන් වීම (සංකේතනය) හීලෑ කිරීමට උත්සාහ කරයි. එයම වෙනත් වචන වලින් කිවහොත්, පරිකල්පනීයත්වය විසින් ඇතැම් මූලික ෆැන්ටසීන් වටා ඇති සංකේතනය අත්අඩංගුවට ගනී. යම් කෙනෙකුට අදාලව සංකේතාත්මක විශ්වය ව්‍යුහගත වන්නේ (අවම වශයෙන් නැඹුරුව තුල) මූලික ෆැන්ටසියක් වටා විශේෂිත ආකාරයකටය. කෙනෙකු තමන්ගේ ලෝකය පිළිබඳව තේරුම් ගත හැකි අදහස් ප්‍රකාශ කරනුයේ (අනෙකා වෙනුවෙන් “තමන් කවුද” යන්න සංකේතාත්මකව පැවසීමට ඔහුට හෝ ඇයට ඇති හැකියාව) නිශ්චිත වශයෙන්ම පරිකල්පනීය මට්ටමෙහි යම් අත්අඩංගුවට ගැනීමේ ෆැන්ටසියක් හරහා සිදු වේ. මේ ආකාරයෙන්, අප සැබවින්ම කවුරුන්ද යන්න පිළිබඳ මිථ්‍යා ආඛ්‍යානය සම්බන්ධයෙන් වඩාත් බැරෑරුම් ලෙස සැලකීමට අප අපේක්ෂා කරන එම (nodal) ලක්ෂ්‍යයන් වෙත ෆැන්ටසි-පරිකල්පනීය මානය යොමු කෙරේ. යථ, ඊට වෙනස්ව, හැඟවුම්කරණීය (සංකේතාත්මක-පරිකල්පනීය) පිළිවෙලට අයත් නොවන නමුත් හරියටම හැඟවුම්කරණීය පිළිවෙල නිෂේධනය කරන, එවැනි පිළිවෙලක් තුළ ඇතුළත් කළ නොහැක. යථ හිඟයේ (අඩුවේ) සදාකාලික මානයක් ලෙස පවතී (සෑම සංකේතාත්මක-පරිකල්පනීය ඉදිකිරීමකම එම මූලික අඩුව).

යථ සෑම විටම ක්‍රියාත්මක වන්නේ එය කිසියම් හැඟවුම්කරනීය (කතිකාමය) පිළිවෙලක් මත නිෂේධනයේ සීමාවන් පනවන ආකාරයෙන් වන අතර එසේ වුවද එවැනි සීමාවන් පැනවීම හරහා එය එවැනි පිළිවෙලක් පිහිටුවීමට සමකාලික ලෙස සේවය කරයි. මෙම අර්ථයෙන් යථ හැඟවුම්කරණයට තදින්ම නෛසර්ගික වේ. එනම්, එය ඕනෑම සංඥාකරණීය (හැඟවුම්කරණීය) පද්ධතියක් සඳහා නිශේධනයේ අපරිමිත ක්ෂිතිජය සහ එහි ඇති හැකියාවේ තත්ත්වය යන දෙකම වේ. යථ, නිර්වචනය අනුව, සෘජුව නියෝජනය කළ නොහැකි වුවද, එය ත්‍රාසජනක-අතිරික්තයේ ඇතැම් රූපමය ප්‍රතිමූර්තියන් වෙත යොමු කළ හැක.

ඒ අනුව යථාර්තය සෑම විටම ගොඩනැගෙන්නේ යථෙහි විසංයෝජනීය බලපෑම්වලට එරෙහිව මූලික අනුකූලතාවයක් ඇති කර ගැනීමේ උත්සාහයක් ලෙසය. සත්තාව යන්න සත්තාව-උමතුව කරා ලෙස තේරුම් ගත හැකි සේම, යථාර්ථය සැමවිටම යථාර්ථය-යථ කරා ලෙස තේරුම්ගත හැකිය. (සංකේතාත්මක-පරිකල්පනීය) යථාර්ථයේ සෑම ආකාරයක්ම පවතින්නේ එක් ආකාරයක හෝ වෙනත් ආකාරයක බිඳ වැටීම වෙනුවෙන් තර්ජනයක් වන යථෙහි විවිධ විද්‍යාමාන වීම් වලින් ගැලවීමට කළ නොහැකි උත්සාහයක් ලෙසය. ඒ ක්ෂිතිමය, නැතිවීම, කාංසාව යනාදි ලෙසය.

මේ අනුව යථ හුදෙක් හැඟවුම්කරණය සඳහා බාහිර (තද) සීමාවක් ලෙස ක්‍රියා නොකරන අතර එය යථාර්ථයට හැඩය සහ වියමන ලබා දෙන යම් අදෘශ්‍යමාන-අන්තරස්ථ ඇඹරුමක් සැපයීම සඳහා වඩාත් අස්පෘශ්‍ය (ස්පර්ශ කල නොහැකි) කාර්යභාරයක් ඉටු කරයි. මෙම අස්පෘශ්‍ය යථ “අතුරුදහන් ලක්ෂ්‍යය” වැනි ක්‍රියාකාරීත්වයක් බව පැවසිය හැකිය. එනම්, යමක් නියෝජනය කල නොහැකි මුත් කෙසේ වෙතත් එම යම නියෝජනයේ සංස්ථාපකයයි.

උදාහරණයක් ලෙස ක්වොන්ටම් භෞතික විද්‍යාවේදී, ඊට ප්‍රතිවිරුද්ධව, යථ යනු වක්‍ර අවකාශය වනු ඇත. එනම්, මාන වශයෙන් නිර්ණය කළ නොහැකි නමුත් ඒ නිසාම මානත්වය සඳහා ඇති හැකියාවේ කොන්දේසි නිර්මානය කරන දෙයකි. එසේත් නැතිනම්, නික්ලස් ලුමන් ගේ පද්ධති න්‍යාය ගතහොත්, යථ පවතිනුයේ සංස්ථාපක පරස්පරය අනුවය. එමගින් පද්ධතියකට එහි අභ්‍යන්තර සහසම්බන්ධතාවය සහ එකමුතුකමේ ස්වරූප ස්ථාපිත කිරීමට හැකි වන්නේ එයට තමන්ගේම සංස්ථතික මූලධර්ම ක්‍රමවත් කළ නොහැකි පරිමාණයට පමණි. කාරණය වන්නේ යථ යනු නිශේධනය කිරීමේ පැහැදිලි බලයක් ලෙස අනන්‍ය වශයෙන් හඳුනා නොගත යුතු බවයි. එය අපගේ එදිනෙදා සමාජ යථාර්ථය ගොඩනැගීමේ දී වඩාත් ව්‍යංග හා ක්ෂණික භූමිකාවක් ද ඉටු කරයි. යථ සම්බන්ධයෙන් ගත් කල, අර්ථකතන පහසුව සඳහා, සැබෑ යථ ( the “real-REAL”), සංකේතාත්මක යථ (“symbolic-real”) සහ පරිකල්පනීය යථ (“imaginary-real”) යනුවෙන් ප්‍රභේධනය කල හැක.

ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගතහොත් සමකාලීන යුගයේ යථාර්ථයට අත්‍යවශ්‍ය පසුබිම ස්ථාපිත කරන්නේ ප්‍රාග්ධනයම විසින්ය. එබැවින් එවිට එය අපගේ කාලයේ සංකේතාත්මක යථ ලෙස සැලකිය හැකිය. උදාහරණයක් ලෙස මේ ආකාරයට නව සයිබර් කොටස් වෙළෙඳ පොළ-ඔවුන්ගේ නිරන්තර ඩිජිටල් නිෂ්පාදන ප්‍රමාණය සමඟින්-උදාහරණ ලෙස ගතහොත් Enron, WorldCom වැනි සමාගම් වල මෙන් සමස්ත ජාතික හා ජාත්‍යන්තර වෙළඳපලවල ඉරණම නිශ්චය කරන පූජනීය තොරතුරු වල වාචික ජාලයක් ලෙස ක්‍රියා කිරීම දැකිය හැකිය.

අවසාන වශයෙන් යථට අදාලව ‘පරිකල්පනීය යථ’ තුලින් ද නිර්මාල් විසින් පවසන මනුෂ්‍යත්වය පිලිබඳ අදහස විමසා බැලිය හැකිය. ඒ තුල නැවතත් ඇත්තේ පරිකල්පනීය ක්ෂේත්‍රයට ව්‍යුහය සහ විශේෂත්වය ලබාදෙන අදෘශ්‍යමාන-අන්තරස්ථ ඇඹරුමක් මත අවධාරණයකි. (පරිකල්පනීයත්වය) සිහින මෙයට පැහැදිලි උදාහරණයකි. සිහින තුළ බොහෝ විට අසීමිත හැකියාව පිළිබඳ හැඟීමක් ඇත. කෙසේ වෙතත්, යමෙකුට ත්‍රාසජනක-අතිරික්ත සාමාන්‍ය නොවූ රූපයක් හමු වූ විට (යථෙහි අන්තරස්ථ සලකුණුකරණය), සිහිනය බියකරු සිහිනයක් බවට පත්වන තැන, වහාම ඉවතට හැරී යථාර්ථයට පැන යාමට බල කිරීමක් ඇත. එනම්, යථාර්තයට අවදි වීමට, යථෙහි මෙම අන්තරස්ථ සලකුණුකරණයන් පරිකල්පනීය ක්ෂේත්‍රයේ යම් ආකාරයක “සිතියම් ඇඳීමක්” ස්ථාපිත කරයි. සයිබර් අවකාශයට (පශ්චාත් නූතන ඩිජිටල්කරණය වූ පරිකල්පනීය) අපැහැදිලි බව, බහු අරුත් බව (එක් අර්ථකථනයකට වඩා විවෘත වීමේ ගුණාත්මක භාවය, නිශ්චිත නොවීම) ලබා දෙන්නේ ද මෙයයි. සයිබර් අවකාශයේ සැමරුම්වාදී (ඥානවාදී) දෘෂ්ටිය වන්නේ, අනන්‍යතාවයන් හසුරුවා ගත හැකි සහ ෆැන්ටසීන් රඟ දක්වනා, යථ විනිවිධ නොයන, නිදහස් පාවෙන විශ්වයකි. එහෙත් අපගේ සමීපතම බිය සහ කාංසාවන් සමඟ අපව සමීප කරවන මාධ්‍යයක් ලෙස ද ක්‍රියා කිරීමේ හැකියාව සයිබර් අවකාශය සතුය. එනම්, අර්චනික/රෝගී ග්‍රස්තිය, ඇතැම් ලිංගික/සමාජ භාවිතයන් කෙරෙහි වශීකරනීය-පිළිකුල, ‘අනේකත්වය’ (Otherness) සමග දරාගත නොහැකි ඇසුරක් (“මම ඔවුන් මෙන් විය හැකිය… ඔහු හෝ ඇය පරිපූර්ණ අදාරය රැගෙන එයි”), යනාදියයි. එය සාමාන්‍ය අකාරයෙන් පවසනවා නම්, සයිබර් අවකාශය තුල සෑම විටම බොහෝ දුර කවුළුවක් මත ස්ථාන ගත වීමේ හැකියාව ඇත. එනම්, පරිකල්පනීයත්වයට ආවේණික වූ, ක්ෂිතිමය අතිරික්තය පිළිබඳව යථෙහි එම සලකුණුකරණයන් සමඟ ගැටීමෙන් වැළකීම සඳහා අපව එදිනෙදා යථාර්ථය වෙත පොලාපන්නවන ආපසු හාවීමක් ඇති කිරීමකි. හොල්මන් ප්‍රභේදයට අයත් වඩාත් විචක්ෂණ චිත්‍රපට වල ගවේෂණය කරනු ලබන්නේ යථාර්ථයට නැවත පැන යාමට උත්සාහ කිරීමේ මෙම තේමාවයි. එනම්, අප ජීවත් වන යථාර්තය අපට භාර ගැනුම සඳහා පොළඹවන දැඩි ව්‍යුහයන් තුල අප ක්‍රියාත්මක වේ. ප්‍රශ්නය වන්නේ මිනිසුන් දිගින් දිගටම එම දැඩි ව්‍යුහයන්ම සහ එම ව්‍යුහයන් තුල අඩන්ගූන් දිගින් දිගටම ඉල්ලා සිටීම මෙන්ම එම තත්වය තවත් වර්ධනය කොට ගැනීම වෙනුවෙන් පෙනී සිටීම, අරගල කිරීම (අර්බුධයන් උග්‍ර වන විට), සිදු කිරීමයි. එවිට නිර්මාල් විසින් සැබෑ මනුෂ්‍යයා ලෙස සලකන්නෙත්, සිදු විය යුතු අරගල ලෙස සකලන්නෙත් එසේ ඉල්ලා සිටින, ඒවායේ නිරත මිනිස් සත්තාවන් සහ අරගලයන්ය.

 

ඒ කෙසේ වෙතත් මිනිසුන් විසින් පරිකල්පනීය යථ අත්විඳින්නේ හුදෙක් සිනමාවේ සහ සයිබර් අවකාශයේ මට්ටමේ නොවේ. උදාහරණයක් ලෙස 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ ඛේදවාචකය සැලකිය හැකිය. එනම්, ඒ දෙස මෙම දෘෂ්ටිකෝණයෙන් ද බැලිය හැකිය. විශේෂයෙන් ඇමරිකානුවන් සඳහා, එහි කම්පනය අතිශයින් දැඩිව සටහන් වී තිබූ බව අපට පැවසිය හැකිය. මුලින්ම එයම මහත් ව්‍යසනකාරී සිදුවීමක් වූ නමුත්, දෙවනුව, පරිකල්පනීය යථෙහි මෙම මානය එහි තිබුණි. පරිකල්පනීය යථෙහි එම මානය තුල නිව් යෝර්ක්හි ඓශ්චර්යමත් විනාශය සම්බන්ධයෙන් ජනප්‍රිය ෆැන්ටසීන් (උදා. Independence day, Godzilla, Deep Impact … වැනි) යථාර්තය වෙතට පිටාර ගලා තිබුණි. එසේම එමගින් (ෆැන්ටසීන් මගින්) යථාර්ථය වෙතට ඕනෑම නැවත පැන යාමක් අර්ථ විරහිත බව ප්‍රධානය කෙරුණ එක් සිද්ධියක් වූයේ සැප්තැම්බර් 11 ප්‍රහාරයයි. නමුත් සැප්තැම්බර් 11 ක්ෂිතිමය අත්දැකීම ඒවා තුලින් අර්ථවත් විය. 2001 සැප්තැම්බර් ප්‍රහාර සිදු වන්නේ ලෝක ධනවාදය තුල ඇමරිකානු භූමිකාවට අදාළ, එනම්, ප්‍රාග්ධන ක්‍රියාවලියේ ප්‍රතීඝතා වල ප්‍රථිපලයක් ලෙසයි.

(මීළඟ 04 කොටස)

ගෝල්ෆේස් අරගලය සහ

දෘෂ්ටිවාදයේ උත්තරීතර ඉන්ද්‍රජාලීය උපක්‍රමය!

 

පෙර කොටස්වල සබැඳියාවන්  

https://slleader.lk/social/8074-01

https://slleader.lk/social/8076-02

උපුටාගැනීම - @ spartacus.lk

නවතම ලිපි