නොවැම්බර් 7 වන සිකුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කිරීමට නියමිත
2026 වසර සඳහා වන ශ්‍රී ලංකා අයවැය, "ඵලදායී ආර්ථිකයක් සහ ආර්ථික සංවර්ධනයට සියලු දෙනාගේම දායකත්වය පෝෂණය කිරීම" යන තේමාව යටතේ සකස් වී ඇතැයි පැවසේ.
නව බදු පැනවීමකින් තොරව, පවතින බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හරින අංශයන් බදු දැලට හසුකර ගැනීම තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ප්‍රධාන ආදායම් ඉලක්ක සහ බදු ප්‍රතිපත්ති
අයවැයෙන් රුපියල් ට්‍රිලියන 5.2 ඉක්මවූ ආදායම් ඉලක්කයක් අපේක්ෂා කරන අතර ඒ සඳහා, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා රුපියල් ට්‍රිලියන 4.6 ක සමස්ත ආදායම් ඉලක්කයක් නියම කිරීමට රජය සැලසුම් කර ඇත.
ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් සහ වාහන ලියාපදිංචි කිරීම් වැනි අනෙකුත් දත්ත පද්ධති සමඟ ඩිජිටල් බදු පද්ධති සම්බන්ධ කිරීම තුළින් බදු දැල පුළුල් කිරීමට අපේක්ෂා කරන මෙවර අයවැය බදු පැහැර හැරීම් අවම කිරීමට තීරණාත්මක පියවරක් වනු ඇතැයි සැලකේ.
එහෙත් ව්‍යාපාරික අංශය සහ ආයෝජකයින් සඳහා ඇතිවන සංකූලතා අවම කිරීමේ අරමුණින්, ඉදිරි වසර සඳහා දැනට පවතින බදු ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනස්කම් සිදුනොකිරීමට රජය තීරණය කර ඇත. වාහන ආනයනය සඳහා පනවා ඇති බදු ද එලෙසම පවතිනු ඇත.
බදු සංශෝධන ලෙස මුල්‍ය සේවා සඳහා වන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) ඉවත් කිරීම හෝ අගය එකතු කළ බද්ද (VAT) සීමාවන් වෙනස් කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇතැයි පැවසේ.
ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර බැඳීම්
අයවැය තුළින් විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීමේ අරමුණින් සෘජු විදේශ ආයෝජන (FDI) සහ අපනයන වැඩි කිරීමට අදාළ නිර්දේශ සහ ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. 2025 ජුනි මස අවසානය වන විට රජයේ බාහිර ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37.1 ක් වූ අතර, විදේශ ණය සේවාකරණයට මුහුණ දීමේදී ඇති වූ දුෂ්කරතා මධ්‍යයේ, මහ බැංකුවෙන් සහ IMF හි සිව්වන වාරිකයෙන් ඇමෙරිකානු ඩොලර් ලබා ගැනීමෙන් තත්ත්වය සමනය කර ගැනීමට භාණ්ඩාගාරයට සිදුවිය.
2026 සඳහා විසර්ජන පනත් කෙටුම්පත අනුව මුළු වියදම දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 4.54 ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 3.03 ක් පුනරාවර්තන වියදම් සඳහාත්, රුපියල් ට්‍රිලියන 1.51 ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන් කර ඇත. ණය ගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8 ක් පමණ වනු ඇත.
මෙහිදී අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා අයවැයෙන් විශේෂ සහන පැකේජයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. එසේම, ප්‍රමාද වූ යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, හිඟ මුදල් පියවීම, මහජන ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල්කරණය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. රාජ්‍ය ආයතන සඳහා නව වාහන මිලදී ගැනීම තහනම් කිරීම වැනි මූල්‍ය විනය පවත්වාගෙන යාමට අදාළ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.
දරිද්‍රතාවයේ බලපෑම සහ ප්‍රතිසංස්කරණයේ සැබෑ බර
සමස්තයක් ලෙස විමසා බැලීමේදී, 2026 අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට දැඩිව අනුකූල වෙමින්, මහා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට කටයුතු කළද, එම දැඩි ප්‍රතිසංස්කරණවල අවසාන බර අසමාන ලෙස පහළ ආදායම්ලාභී ජනතාව මත පැටවී ඇති බව පැහැදිලිය.
අයවැය මගින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යාම සහ බදු ආදායම ඉහළ නැංවීම සඳහා IMF නිර්දේශ අනුගමනය කරන විට, වක්‍ර බදු (VAT) මත දැඩි ලෙස රඳා පැවතීම සහ උපයෝගිතා (විදුලිය/ඉන්ධන) සඳහා පිරිවැය ආවරණ මිලකරණය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජීවන වියදම් තවදුරටත් ඉහළ ගොස් ඇත.
දරිද්‍රතා අනුපාතය තවමත් පූර්ව අර්බුද මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින පසුබිමක, IMF වැඩසටහනේ මූලිකාංගයක් වන 'දුප්පත් හා අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම' සඳහා රජය සහන පැකේජ හඳුන්වා දුන්නද, මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා වන දැඩි ඉලක්ක හමුවේ එම සහනවල ප්‍රමාණවත් බව සහ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රබල අභියෝගයක් පවතී. එමනිසා, මෙම අයවැය තුළින් ආර්ථිකය ස්ථාවර වුවද, ජනතාවගේ ජීවන තත්ත්වය සැබවින්ම සමතුලිත වන බව තහවුරු කිරීම, නව රජයට ඇති ප්‍රධානතම සමාජීය අභියෝගය වනු ඇත.
@සමාරා

