SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්පාර්ටකස් ලිපි

වාමාංශිකයින් සඳහා…

සත්තා ව 1

 

 

 

 

 

 

June 23, 2023 

(නිර්මාල් දේවසිරි විසින් ස්පාර්ටකස් සාමූහිකයට ගෙන එන ලද විවේචනයක් අරමුණු කරගෙන එම සාමූහිකය විසින් පලකර ඇති "වාමාංශිකයින් සඳහා..." ලිපිය අපගේ වෙබ් අඩවිය තුළ කොටස් වශයෙන් පලකිරීමට අප තීරණය කළෙමු. දීර්ග ලිපියක් වන බැවින් එහි කොටස්, එම කොටසට අදාළ වනසේ අනුමාතෘකාවක් සමග පළකෙරෙනු ඇත. ඔබගේ අදහස් සහ යෝජනා අපගේ වෙබ් අඩවිය  වෙත යොමුකළ හැක.)

 

ස්පාර්ටකස් 'අරගලය' සහ වාර්ගික 'සත්තාව'

 

නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ අපට එරෙහි විවේචන සියල්ලේ විද්‍යාමාන සක්‍රීය නියෝජිතයා ලෙසය. ඒ නිර්මාල් විසින් සමාජවාදය, විකල්ප සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතාන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ද නියෝජනය කරනා බැවිනි.

නිර්මාල් දේවසිරි විසින් අප වෙත එල්ලකරන විවේචනයේ ප්‍රවේශය වන්නේ බාහිර අධිකාරීත්වයක් මගින් පටවා ඇති කොන්දේසිවලට කොන්දේසි විරහිතව විරෝධය පෑම සඳහා ඇති නැඹුරුව සංයුක්ත වශයෙන් පවතින්නේ දෙවෙනි අංගය (පහතින් දක්වා ඇත) සමඟ ඓන්ද්‍රීය ලෙස සංකලනය වීම තුලය යන්නයි. ඔහුගේ බෙදීම පහතින් දක්වා ඇත.  

1. මනුෂ්‍යයා තමන් මත බාහිර අධිකාරීත්වයක් මගින් පටවා ඇති කොන්දේසිවලට කොන්දේසි විරහිතව විරෝධය පෑම සඳහා ඇති නැඹුරුව. (Orientation in the human subject to resist unconditionally any condition of life that have been imposed upon it by an external authority)

2. මනුෂ්‍ය ජීවිතය අත්‍යන්තයෙන්ම සාමූහික වූවක් බැවින්, තම සාමූහික ජීවිතය සමූහයට වඩාත් යහපත්වන්නා වූ සහ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා තුළ ඇති අභිලාෂය. (The desire in the human subject to organize its collective life in accordance with the most virtuous conditions historically and ontologically available, as the human life is essentially a collective one.)

එනම්, නිර්මාල් විසින් පවසනුයේ අධිකාරීත්වයට එරෙහිවීම දේශපාලනිකව ක්‍රියාත්මක විය හැක්කේ ” තම සාමූහික ජීවිතය සමූහයට වඩාත් යහපත් වන්නා වූ සහ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා තුළ ඇති අභිලාෂය” තුලය යන්නයි.

මෙසේ ප්‍රකාශ කිරීමේදී නිර්මාල්ගේ මුඛ්‍ය ස්ථාවරය වන්නේ “මනුෂ්‍ය ජීවිතය අත්‍යන්තයෙන්ම සාමූහික වේ” යන්නයි. එසේම, එසේ වන්නේ “වඩා යහපත්” ලෙසටය. නමුත් එවිටම ප්‍රශ්න කිහිපයක් පැන නගී.

එනම්,

  • අධ්‍යතන මිනිස් සාමුහිකත්වය සහ මීට කලකට ඉහත පැවති මිනිස් සාමුහිකත්වය සැසඳුවහොත් ඒවා එකම ආකාරයක් සහ එකම ගුණයෙන් යුක්ත වේද යන්න,
  • එසේම සාමුහිකත්වය සැම විටම වඩා යහපත් දිශාවට පමණක් දිශානත වන්නේ කෙසේද යන්න (නාසිවාදය යහපත් ද?),
  • එවැනි ඕනෑම දිශානත වීමක දිශාව තීරණය වන්නේ අධිකාරීත්ව දූරවලියක ක්‍රියාකාරීත්වය තුල නොවේද යන්න,

වැනි ප්‍රශ්න සහ තවත් ඊට අදාළ ප්‍රශ්න නැගිය හැකිය.

 

ඒ අනුව එවැනි කොන්දේසීන් තුල “මනුෂ්‍ය තත්වය” යනු නිර්මාල් පවසන “මනුෂ්‍ය ස්වභාවය” ද?

එනම්, සරලමතික ලෙස ඕනෑම ආකාරයක් “මනුෂ්‍ය ස්වභාවය” ලෙස සැලකිය හැකි ද?

එසේ ඕනෑම තත්වයක, ආකාරයක් “මනුෂ්‍ය ස්වභාවය” නම් නිර්මාල් ඉන් සමහර ආකාරවලට එරෙහි වන්නේ ඇයි ද යන්න සහ එසේ එරෙහි වෙමින් එවැනිම සමහර ආකාර යෝජනා කරන්නේ සහ එසේ යෝජනා වන ආකාරවලට පක්ෂපාත වන්නේ ඇයි ද?

යන ප්‍රශ්න නැගිය යුතුව ඇත.

නිර්මාල් පමණක් නොව මේ යුගයේ සියලු දෙනා නිරතව සිටිනුයේ ඉහත විරුද්ධාභාසය තුලය.

 

විමුක්ති දේශපාලනයේ මූලික දේශපාලන ස්ථාවරය විය යුත්තේ ගෝලීය ලිබරල් ධනවාදය වෙතට විකල්පක් හෝ විකල්ප යෝජනා කිරීමට එරෙහි වීමයි. නමුත් එවැනි මහා විකල්පයක් (සමාජවාදය, නාසිවාදය වැනි…) හෝ ගෝලීය ලිබරල් ධනවාදයට විකල්ප යෝජනා නොකරමින් ධනවාදයේ ඇති රුදුරු, කෘර, අසහනකාරී, අවිවේකි, කාංසා සහිත, මිනිසුන්ට ජීවත්වීමට අහිතකර පාරිසරික තත්වයන්, කොල්ලකාරී ස්වභාවයන් තීව්ර නොකරන, ඒවා යම් පමණකට හෝ වලකා ගත හැකි, සහනාදායී පියවර අනුගමනය කරනා, බලයට පැමිණිය හැකි දේශපාලන ව්‍යාපෘතිවලට ඇති කැමැත්ත පවත්වා ගැනීම සහ ඒ දෙසට ඒවා වඩ වඩාත් තල්ලු කිරීම ද විමුක්ති දේශපාලන ව්‍යාපාරයක අනීවාර්ය දේශපාලන කොන්දේසියකි.

නමුත් එවැනි දේශපාලන ක්‍රියාකාරීත්වයක් යනු කිසිලෙසකින් විකල්පවලට පක්ෂපාත වීමක් හෝ විකල්ප පිළිගැනීමක් නොවේ. ඒ, එවැනි ක්‍රියාකාරීත්වයක් යනු විකල්ප ඉදිරිපත්කිරීමක් නොවන බැවිනි. එනම්, විනාශයෙන්, අසහනකාරීත්වයෙන්, පීඩනයෙන්, විඳවීමෙන් ගැලවීමේ දිශානතිය යනු ඉහත සඳහන් කල මහා විකල්ප අර්ථයෙන් විකල්ප නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ පවතින අධ්‍යතන වාමාංශයට එවැනි වැඩපිළිවෙලක් තියා විකල්ප හෝ නොමැති වීමයි. ඔවුන්ගේ එකම අභිලාශය ධනවාදයේ තර්කනය තුලම ජනතාවාදී වී බලය තහවුරුකොට ගැනීමයි. ඒ අනුව විමුක්ති දේශපාලනයට අදාළව සියල්ලටම වඩා ප්‍රමුඛ කාරණය වී ඇත්තේ ආර්ථිකය නැවත දේශපාලනීකරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය සහ රැඩිකල් දේශපාලන චින්තනයේ සහ ක්‍රියාවේ හැකියාව පිලිබඳ ප්‍රශ්නය මතු කිරීමයි. ඒ, මේ වන විට අදේශපාලනික වී ඇති විමුක්ති දේශපාලනයට අදාළ වන්නේ එම මුඛ්‍ය කාරනා බැවින්ය. එහිදී මූලධර්මවාදයන් සහ ‘දේශපාලනිකව නිවැරදි’ (‘politically correctness’) බහු සංස්කෘතිකවාදය ධනවාදයට විරුද්ධවාදී ලෙස නොව පශ්චාත්-නූතන සමාජවල ‘දේශපාලනයට’ සහසම්බන්ධයක් ලෙස ( ධනවාදයම තහවරු කරන) සැලකිය යුතුය.

විමුක්ති දේශපාලනයට අදාළ අතීත උරුමයන් අප සතුව පවතී. නිර්මාල්ට අනුව ස්පාටකස් අරගලය යනු තවත් එක් අරගලයක් පමණක් වන අතර එය විමුක්ති දේශපාලනයේ එකම ස්වරූපය නොවන බව ඔහු විසින් පවසයි. නමුත් ඊට වෙනස්ව අප පවසනුයේ, ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ නම්, ප්‍රංශ විප්ලවය, 1917 ඔක්තෝබර් විප්ලවය, ලංකාවට අදාලව සලකන්නේ නම් 1818 සහ 1848 ලාංකීය කැරලි, 1971 සහ 87-90 ජවිපෙ කැරලි දෙක, ගෝඨාභය එලවීමේ අරගලය වැනි කැරලි සහ අරගල සියල්ලේ ඇති ආත්මය (subject) පිළිබඳ කාරණාවයි. සුවිශේෂත්වය නම් එකී අරගල තුල නොමැති වූ, අරගලයට අදාලව පරාරෝපිත නොවූ ස්වරූපය සුවිශේෂී වශයෙන් ස්පාටකස් අරගලය තුල පැවතීමයි.

පසුගිය සියවස සැලකුවහොත් සාපේක්ෂ වශයෙන් ගත් කල ප්‍රංශ විප්ලවය මෙන්ම 1917 විප්ලවය ද පූර්ව නිශ්චිත විකල්ප යෝජනා නොවූ විවෘත තත්වයකට ඇදවැටීම් විය. ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්ෂය සතුව ‘ඓතිහාසික භෞතිකවාදය’, ‘ආර්ථික නියතිවාදය’, ‘ලෝකය සංජානනය කල හැකිය’, ‘සත්‍ය නිරපේක්ෂ වේ’, වැනි නියතිවාදයන් සහ පරමයන් පැවතිය ද විප්ලවයට අදාළ මිනිස් ක්‍රියාකාරීත්වය සඳහා ඒවා අදාළ නොවුනි. නමුත් බෝල්ෂෙවික් පක්ෂයේ අධිකාරීත්වය තුලින් ඒවා සමාජය මත පැටවීම ඉන් පසුව ආරම්භ වුනි.

“ගෝන වාර්ගික සත්තාව”

 

1990 වර්ෂය පමණ වන විට ද හෝටන් තැන්න ජාතික වන උද්‍යානය වෙත අද මෙන් මහා ජන ප්‍රවාහයන් ඇදී යන තත්වයක් පැවතියේ නැත. එකල අදට සාපේක්ෂව බැලූ කල රටේ වාහන සංඛාව ද ඉතා අල්ප වූ අතර එහි සංචාරකයින් දක්නට ලැබුනේ කලාතුරකිනි. එහි වාසය කරන ප්‍රධාන සත්වයෙකු වන ගෝනා උදාහරණයට ගතහොත්, 1990දී පමණ පහසුවෙන් ගෝනෙකු දැක බලාගත නොහැකිය (අල වගාව නිසා හෝ ගෝනුන් වැනි සතුනට සාපේක්ෂව එකල එතරම් බලපෑමක් සිදු වී නොතිබුණි). එකල එහි උන් රංචු වශයෙන් වාසය කරන අතර දුර දක්නයකින් ඉතා අමාරුවෙන් දැකබලා ගත හැක්කේ තැන්නේ කිලෝ මීටර ගණනක් දුරින් පමණි. එම අවස්ථාවේදී ද යම් කිසි සුළු ක්ලික් ශබ්ධයක් හෝ ඇසුනහොත් උන් පැන දුවයි. එකල හෝටන් තැන්නේ ගෝනුන් රංචු එතරම්ම සංවේදී විය. නමුත් 1998 පමණ වන විට එක් ගෝනෙකු මිනිස් ඇසුරට පුරුදු වී සිටිනු දැකිය හැකි වුවද අනෙකුත් ගෝනුන් රංචු සුපුරුදු සංවේදීතාවයකින් යුතුව ඒ වන විට ද එහි වාසය කළේය.

නමුත් අද හෝටන් තැන්නට යන ඕනෑම කෙනෙකුට සමීප මිනිසුන් ඇසුරට හුරු වූ ගෝනුන් මෙන්ම ශබ්ධ වලට, වාහන වලට බිය නැති, උන්ට අදාළ සංවේදීතාවය අහිමි වූ, රංචු වශයෙන් සැරිසරන ගෝනුන් රංචු ඉතා සමීපයෙන් දැකගත හැකිය. එසේම මිනිසුන් ගන්නා ආහාර වලට පුරුදුව ඇති ගෝනුන් විශාල සංඛ්‍යාවක් සිටිති. උන් මිනිසුන් ගෙනියන විවිධාකාර ආහාර මෙන්ම බයිට් වර්ග ද අනුභව කරති. එබැවින් ගෝනුන්හට කෑම ලබා නොදෙන ලෙස දැන්වීම් පුවරු සහ දැනුවත් කිරීම් වන උද්‍යානය තුල නිරන්තරයෙන් සිදු කෙරෙන අතර ගෝනුන්හට ආහාර ලබා දී හසුඋනොත් රුපියල් 45000ක දඩයක් නියම කරනු ලැබේ. ඒ මිනිසුන් ලබාදෙන කෑම ආහාරයට ගැනීම නිසා ගෝනුන් රෝගාතුර වන බැවින්, ගෝනුන් වෙතින් අනෙකුත් සතුන්ට ද රෝග බෝ වන බැවින්, ගෝනුන් ඇතුළු ඒ සියලු සතුන්ගේ ඊළඟ පරම්පරාවල් කරා ද එම රෝග සංක්‍රමණය වන බැවින්, එම ආහාරවල ඇති දෑ හෝටන් තැන්නේ පරිසරයට මුහු වීම, සහ ඒවායේ යම් බීජ වර්ග තිබීම හේතුවෙන් තැන්නට ආගන්තුක ශාක විශේෂ බෝවී ව්‍යාප්තවීම, එම ශාඛ මගින් සමස්ත පරිසර කලාපයට සිදු වන බලපෑම, වැනි තවත් බොහෝ “පරිසර විද්‍යාත්මක” හේතු කාරණා නිසාය.

දිනක් හොර්ටන් තැන්නේ ගෝනුන්හට බයිට් කවමින් සිටි පුද්ගලයෙකු දුටු වන නිලධාරියෙකු මෙසේ පැවසීය. “ලොක්ක දැක්ක නම් ඉවරයි… දඩය රුපියල් 45000ක්” යනුවෙන් පවසා ඔහු විසින් කෝටුවක් සොයාගෙන ගෝනුන් එළවා දැමුයේ මෙසේ පවසමිනි… “උඹලට කන්න අච්චර තණකොළ තියෙද්දී මේවා කන්න එනවා…දුවපිය යන්න”… එම පරිසර කලාපය තුල ගෝනුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ තැන්නේ ඇති තණ කොළය. ඊට අමතරව එහි ඇති යම් කොළ වර්ග සහ පඳුරු අහාරයට ගනී. එසේ නමුත් මේ වන විට උන් හට ආවේනික එම ආහාරය වෙනුවෙට මිනිසුන් වෙතින් පැමිණෙන නුපුරුදු, ආගන්තුක ආහාර බුදීමට උන් ඇබ්බැහියක් දක්වයි. ඒවා ඔවුන්ට අහිතකරය. නමුත් එම “රසයන්ගේ වෙනසට” ඔවුන් අබ්බැහි වී ඇත. ඒ අනුව නුපුරුදු, නොහුරු, ආගන්තුක ආහාර-පාන, උන්ගේ සංවේදීතාවය අහිමි කොට ඇති වාහන ශබ්ධ, ඒවායේ දුම, ටයර් කුඩු, තාර (දුරකථන සංඥා කුළුණු වැනි දේ වල බලපෑම ගැන අර්ථකතනයන් එතරම් නොමැත) වැනි දෑ ඇතුළු මිනිස් බලපෑම (අවශ්‍ය නම් තවත් බලපෑම් පිළිබඳව කරුණු සඳහන් කල හැකිය) තුල ප්‍රතිඵලය වී ඇත්තේ “ගෝන වාර්ගික සත්තාව” අර්බුධයට යාම බව අපට පැවසිය හැකිය.

1998 පමණ වන විට සත්තාව අනුව ගෝනුන්ගේ පැහැදිලි බෙදීම් දෙකක් හඳුනාගත හැකි විය. ඒ උන් හට ආවේනික සත්ව ස්වභාවයට අදාළ දැඩි සංවේදී සහ ඊට අදාළ සුවිකාර්යතාවයක් (plasticity) සහිත ගෝනුන් සහ අසංවේදී, මිනිස් ඇසුරට සමීප වූ, සුවිකාර්යතාව අහිමි කොටගත් ගෝනුන් වශයෙන්ය. එම කොටස් දෙකෙහි අනෙක් පැහැදිලි වෙනස වූයේ රංචු වශයෙන් සිටි ආවේනික ගති ලක්ෂණ සහිත, සුවිකාර්යතාවය ඇති ගෝනුන් රංචු තුලට නැවත මිනිස් ඇසුරට සමීප ගෝනුන් වැද්ද නොගැනීමයි (ලේනෙකු හෝ යම් කිසි සතෙකු ඌ කුඩා කල සිට මිනිසුන් විසින් ඇති දැඩි කල පසුව උන් නැවතත් උන්ගේ ගහනය වෙත වැද්ද නොගනී… බොහෝ විට මරා දමනු ලැබේ).

1990 සමයේ එසේ වුවද අද වන විට (වසර 25කට පමණ පසුව) ආවේනික සත්ව ස්වභාවයට අදාළ දැඩි සංවේදී සහ ඊට අදාළ සුවිකාර්යතාවයක් සහිත ගෝනුන් වෙනුවට මිනිසුන් සහ වාහන නොතකමින් තණ කොළ බුධින ගෝනුන් රංචු මෙන්ම මිනිසුන් වෙතින් ආහාර ලබා ගන්නා ගෝනුන් රැසක් ද ඇත. එනම් 1990 වසරේදී පමණ සහ ඊට පෙර සිටි ගෝනුන්ගේ චර්යාවන් ඇතුළු ස්වභාවය වෙනසකට භාජනය වී ඇති අතර මේ වන විට පැහැදිලි බෙදීමක් පවතී. නමුත් එම බෙදීම් දෙකේ (1990 සහ 2020) ද පැහැදිලි වෙනසක් ඇත. එනම් 1990 සමයේ මිනිසුන්ට පෙනෙන මානයට සහ ශබ්ධ වලට අධික බියක් දැක් වූ ගෝනුන් දැන් එසේ නොමැති වී ඇති අතර එකල මිනිස් ආසන්නයට හුරු වී හිටි එකෙකු දෙන්නෙකු වෙනුවට මිනිසුන්ගේ අතින් පවා ආහාර දිය හැකි ගෝනුන් සංඛාව ඉහල ගොස් තිබීමයි (15ක්-20ක් පමණ… ඊට වැඩි විය හැකිය).

ඒ අනුව පැවසිය හැක්කේ සමස්තයක් ලෙස බොහෝ ගෝනුන්ගේ තත්වය වෙනස් වී ඇතත් පැහැදිලිවම සොම්බි බවට පත්ව ඇති ගෝනුන් 15ක-20ක පමණ ප්‍රමාණයක් සිටින බවය. නමුත් බැලූ බැල්මට උන් ද මිනිසුන් ආසන්නයට නොපැමිණෙන ගෝනුන් වැනිම ගෝනුන්ය. එහෙත් උන් විලෝපිකයින් හට පහසුවෙන් මරා දැමිය හැකි (මේ හේතුවෙන් මේවන විට හෝටන් තැන්නේ සිටින කොටි නිතර මිනිස් නවාතැන් ආසන්නයට පැමිණීමට පුරුදුව සිටී), රෝගාතුර බවක් පෙන්වන, ඔතෑනි ගෝනුන්ය.

ඒ අනුව එම තත්වය අප කියවා ගන්නේ කෙසේ ද?

 

උදාහරණය වූ ගෝනුන්හට මේ සන්තෑසිය සිදුව ඇත්තේ උන්හට ආගන්තුක, විදේශීය, බලපෑමක් නිසා බව කිව හැකිය. ඒ මිනිසුන් වෙතින්ය. එනම් පරත්වාරෝපනයක් නිසාය. ඒ අනුව එවැනි ගෝනුන් යනු මේ වන විට පටවන ලද පුරුද්දක සිටිනා සත්ව විශේෂයකි. එය පැහැදිලිව පෙනෙනුයේ මිනිසුන්ට ඉතා ආසන්න වී ඇති ගෝනුන් සුළුතරය වෙතිනි.

ගෝනුන්ට අදාලව ගතහොත් උන්ට සිදුවන විනාශය වලකා ගැනීම සඳහා වනජීවී අමාත්‍යාංශයක්, වනජීවී දෙපාර්තමේන්තුවක් සහ ඊට අදාළ විශේෂඥයින් ද සිටී. එම විශේෂඥයින් විසින් ඒ සඳහා මූලික වශයෙන් පරිසර විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක විසඳුම් ලබා දේ (විද්‍යාවේ තවත් අංශයන් සහ තාක්ෂනයන් ද මැදිහත් වේ). එනම් මිනිසුන් විසින් සතුන් සඳහා ඇතිකොට ඇති අර්බුධයන් සඳහා මිනිසුන් විසින්ම විසඳුම් ලබා දේ. ඒ සඳහා මිනිසුන් අතරින් තේරී පත් වන (දක්ෂතාවය අනුව) දූරාවලිගත විශේෂඥයින් (විද්‍යාඥයින්, මහාචාර්ය-ආචාර්ය වරුන්… වැනි ලෙස…) සිටින අතර ඊට ඍජුව අදාළ විෂයන් ගණනාවක් ඇත (ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, පරිසර විද්‍යාව, වැනි ලෙස…) ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම විශ්ව විද්‍යාල හරහා ලැබෙන අතර ඊට අදාළ අග්‍රස්ථාන ඇමරිකා-යුරෝපා රටවල පවතී.

    

මාක්ස්ගේ විවේචනයට ලක් වූ ජර්මානු විඥානවාදය තුල මාක්ස්ගේ ඊට අදාළ කේන්ද්‍රීය සැලකිල්ල වන්නේ ‘සත්තාවේ’ (‘being’) රටාව තුල ඇති යම් අසාර්ථක වීමක්/අතිරික්තයක් පිලිබඳවය. ජර්මානු විඥානවාදය තුළ මෙම අංගය වඩ වඩාත් පැහැදිලි වන්නේ, කාටිසියානු කොගිටෝවට (“I think, therefore I am” මම සිතනවා, එහෙයින් මම වෙමි”) සහ ආත්මීයත්වයට ආවේනික වූ උමතුවක සහ ගණනය කල නොහැකි, කාටිසියානු කොගිටෝවේ (Cartesian cogito) සහ ආත්මීයත්වයේ (subjectivity) සංස්ථාපකය ලෙස හැඳින්විය හැකි දේට ඇති අදාලත්වය තුලිනි (ලිබරල්වාදය යනු එම අතිමහත් විවිධත්වය භාරගැනීම, පිළිගැනීම සහ ඒ සඳහා සමාජ-ආර්ථික වශයෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඉඩ විවර කිරීමයි).

සමහර විට නිර්මාල් විසින් මෙවැනි පැහැදිලි කිරීම් සඳහා පැවසිය හැක්කේ ඔය විකාර තමන් හට නොතේරෙන බවය. එබැවින් එයම මෙසේ වෙනස් අකාරයකට පැවසිය හැකිය:

කෙටියෙන් කිවහොත්, හොඳින් ආනුභාවලත් ලෝකය පෙන්නුම් කරන්නේ සෑම කෙනෙකුටම පිස්සු වීමට අයිතියක් ඇති නමුත් වෙන වෙනම පිස්සුවේ සිටීමේ කොන්දේසිය මත එසේ විය යුතු බවයි. එබැවින් ව්‍යාධිවේදීමය (රෝග විනිශ්චමය) පිස්සුව ආරම්භ වන තැන, එනම් තම පුද්ගලික පිස්සුව ආත්මයන්ගේ සමස්තය වෙත පැටවීමට අවශ්‍ය වීම සහ එය පිළිගැනීමට ලක් වී ඇති තත්වය යනු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිගැනීමයි.

 

(මීළඟ 02 කොටස)

ලකාන් කොගිටෝවට එරෙහි වන්නේ ඇයි?

 

උපුටාගැනීම - spartacus.lk