ඇත්තටම මේ ධම්ම දිසානායක මහා පණ්ඩිතමානි විධියට කියන කතාව නිවැරදි ද?
ඔහු මාක්ස්ගේ "නිර්ධනයා" පිළිබඳව අර්ථකථනය පාවිච්චි කරමින් අද "කම්කරුවා" නැහැ කියල කියනවා. මාක්ස්ගේ අර්ථකථනයට අනුව "නිර්ධනයා" එහෙම නැත්තම් "නිර්ධන පංතිය" (proletariat) යනු කිසි ලෙසකින් "කම්කරුවා" (labourer) නොවේ (නිර්ධනයා පිළිබඳව බහුතර වාමාංශික අදහස ද ධම්මගේ අදහසට සමාන වේ).
මොහු විසින් මේ පටලවනුයේ මාක්ස්ගේ අර්ථකතනයයි.
මෙම පැටලවීම සුළු පටු පැටලවීමක් නොවන්නේ මාක්ගේ නිර්ධනයා යන අර්ථකථනය තුලින් හැඟවෙන්නේ හුදු ශ්‍රමය පිළිබඳව කාරණය පමණක් නොවන බැවිනි. මාක්ස්ගේ නිර්ධනයාට අදාළ ප්‍රධාන කාරණය වන්නේ විඳවීම පිළිබඳව කාරණයයි. එනම් වාර්ගික සත්තාව තමන් හට අහිමිව ඇති බව දැනෙනුයේ, හැඟෙනුයේ මෙම විඳවීම අත්විඳින නිර්ධනයා හටය. එසේම විප්ලවීකරනීය ව්‍යවහාරයේ නියෝජිතයා වන්නේ ඔහුය. එනම් විප්ලවීය ආත්මය සතුකරගන්නේ ඔහුය. පරරෝපනයෙන් මිදී වාර්ගික සත්තාව අත්කරගැනීමේ නියෝජිතයා වන්නේ ඔහුය.
20 වන සියවසේ සමාජවාදය ඛේදවාචකයක් බවට පත්වීම සඳහා බෙහෙවින් බලපෑවේ මෙය තේරුම් නොගැනීමයි. එසේම ජවිපෙ, පෙසප වැනි පක්ෂ "පන්තියට ජයග්‍රහණ අත්කරදීම" සඳහා කැපවී සිටිනුයේ ද මේ පටලවා ගැනීම හේතුවෙනි. එනම් ඔවුන්ට අනුව මාක්ස්ගේ "නිර්ධනයා" යනු "කම්කරුවා" වන අතර ඔහු අද ද සිටී.
"මාක්ස්ට අනුව කම්කරු සහ වැඩකරන පන්තීන් අතීතයේදී පැවතුන අතර නිර්ධනයා පහල වන්නේ ධනවාදය තුල පමණි"
සරලව පවසන්නේ නම්, මාක්ස්වාදයට අනුව, නිර්ධන පංතිය යනු නිෂ්පාදන මාධ්‍යයන් නොමැති සහ ජීවත් වීමට තම ශ්‍රමය ධනේශ්වර පන්තියට විකුණා දැමිය යුතු පන්තියයි. ශ්‍රමය හැර වෙන කිසිවක් ඔවුන් සතු නොවේ. ඔවුන් මූලික වශයෙන් තම ශ්‍රමයේ නිෂ්පාදනවලින් පරාරෝපනය වී සිටින අතර ධනවාදී බලවේග විසින් යටත් කරනු ලැබේ.
නමුත් ලකානියානු ස්ථාවරය මාක්ස් හට ග්‍රහණය කර ගැනීමට අපහසු වූ පුළුල් විශ්ලේෂණයකට ගමන්කරයි. ඊට අනුව, ධනවාදී සමාජයක, මෙම පරාරෝපණය ආර්ථික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද සිදු වේ. මනොවිශ්ලේෂණයට අනුව, මාක්ස් සඳහන් කල නිර්ධන පංතිය, ධනේශ්වර පද්ධතිය තුළ ඔවුන්ගේ ශ්‍රමය සහ තත්වය සමඟ අනන්‍යවීම, සම්පූර්ණත්වය සහ ස්වයං අනන්‍යතාවය පිළිබඳ ව්‍යාජ හැඟීමක් නිර්මාණය කිරීමයි. මෙම පරාරෝපණයට ලක්වීම මනෝ විශ්ලේෂණයේ දී ආත්මය ඔවුන්ගේ අවිඥානික ආශාවන්ගෙන් පරාරෝපණය වන ආකාරයට සමාන වේ.
වර්තමාන සමාජයේ මාක්ස්ගේ අර්ථයෙන් නිර්ධනයෙකු නොමැත. එබැවින් එම අර්ථයේ නිර්ධනයෙකු පිළිබඳව කතා කිරීම ඵල රහිත ක්‍රියාවකි. වර්තමාන ධනවාදය තුල මිනිසුන් පරාරෝපණය වීම යනු පුළුල් අර්ථයෙන් සංකේතනය වෙතින් පරාරෝපනය වීමයි. එහිදී මිනිසුන් ධනේශ්වර සමාජයේ සංකේතීය සංග්‍රහයන් මගින් සීමා කරනු ලැබේ. ධනවාදයේ භාෂාව සහ ව්‍යුහයන් මිනිස් ආත්මීයත්වය විවිධාකාරයෙන් ආධිපත්‍යයට ලක්කරන අතර පුළුල් සමාජ රටාව තුළ තමන් ආත්මයන් ලෙස සම්පූර්ණයෙන්ම හඳුනා ගැනීමේ හැකියාව සීමා කරයි.
"ආශාව යනු සැම විටම අනෙකාගේ ආශාවය". ධනේශ්වර සමාජයක, මිනිසුන්ගේ ආශාවන් සැබවින්ම ඔවුන්ගේම ඒවා නොවන නමුත් ධනේශ්වර ක්‍රමය විසින් හැඩගස්වනු ලැබේ. එය ඔවුන්ට අවශ්‍ය දේ (පාරිභෝගික භාණ්ඩ, දැනුම, සාර්ථකත්වය, ආදිය...) පිළිබඳව පවසයි. එසේම අවශ්‍යතාවය ඇතිකරයි. ඒ අනුව ධනවාදය තුල මිනිසුන් එක් එක් මට්ටමින් නිරන්තරයෙන් අත්විඳින අඩුව (lack) ද්‍රව්‍යමය හිඟයක් පමණක් නොව, මානසික හිඟයකි. ඔවුන් නිමක් නැති පරිභෝජනයේ, ශ්‍රමයේ සහ දැනුමේ චක්‍රයකට හසු වී, පනවන ලද ආශාවන් පද්ධතියක් මගින් මෙහෙයවනු ලබන අතර, ඔවුන්ගේ ආශාව සැමවිටම ඔවුන්ගේ සත්‍ය, අවිඥානික අවශ්‍යතාවලින් පරාරෝපණය වේ.
රෝග ලක්ෂණ ලෙස සහ ක්ෂිතිමය අත්දැකීම් ලෙස මිනිසුන් හට දැනෙන, හැඟෙන සහ විඳින (the REAL) මුත් සම්පූර්ණ වශයෙන් ධනවාදී ව්‍යුහයන් ඇතුලත ඒ පිළිබඳව අවබෝධ නොවේ. ආශාවට අදාළ පරාරෝපණයෙන් මිදීම, පරාරෝපිත ආත්මය වෙතින් රැඩිකල් පරිවර්ථනීය විභවයක් කරා ගමන් කිරීම, ධනවාදයේ සියලු ආකාරයේ කොන්දේසීන් මගින් සීමා කර ඇත. එනම්, ධනවාදී ක්‍රමය විසින් මිනිසුන් සංකේත රටාව (symbolic order) තුළ සිර කර තබා ගන්නා අතර, ඔවුන්ගේම ආත්මීයත්වය පිළිබඳ ගැඹුරු, වඩාත් අව්‍යාජ අවබෝධයකට ප්‍රවේශ වීම වළක්වයි.
ධනවාදය චිරස්ථායි ලෙස තහවුරු කරමින් මිනිස් ආත්මීයත්වය මෙතරම් පරස්පර විරෝධීතාවන්ගෙන් පිරී ඇත්තේ මන්දැයි පැහැදිලි කල හැක්කේ මනොවිශ්ලේෂණයට පමණි. පුද්ගලයන් තුළ අවිඥානික බලවේග, ධනේශ්වර රාමුව තුළ ඔවුන්ගේ ආශාවන් පාලනය කිරීමට උත්සාහ කරන සමාජයක් විසින් හැඩගස්වා ඇති අතර, එමඟින් භෞතික තත්වයන් සරලව වෙනස් කිරීමට වඩා සැබෑ විමුක්තිය වඩාත් සංකීර්ණ වී ඇත (ප්‍රවේශ වීමට නොහැකි මට්ටමින්). එබැවින් මේ යුගයේදී මිනිසුන් නිරන්තරයෙන් ඉල්ලා සිටිනුයේ භෞතික තත්වයන්ගේ වෙනස්කම් පමණි.
මේ තත්වය තුල නිර්ධනයා යන්න සඳහා නව අර්ථකතනයක් අවශ්‍ය වේ. එනම්, මාක්ස්ගේ නිර්ධනයාට අදාළ අර්ථයට අදාළව අද නොගැලපෙන කොන්දේසිය වන්නේ නිර්ධන පංතිය යනු නිෂ්පාදන මාධ්‍යයන් නොමැති සහ ජීවත් වීමට තම ශ්‍රමය ධනේශ්වර පන්තියට විකුණා දැමිය යුතු පන්තියයි යන්නයි. නමුත් එකල සිටි නිර්ධනයාට වඩා අද සිටින මනුෂ්‍යා සියලු ආකාර වලින් දැඩිව පරරෝපනයට ලක්ව විඳවමින් සිටී. එසේ නම් මේ යුගයේ නිර්ධනයා යනු භෞතික සම්පත් තුලින් විසඳුම් සෙවීම ප්‍රතික්ෂේප කරමින් තමන් අත්විඳින අසහනයට (රෝග ලක්ෂණ ලෙස සහ ක්ෂිතිමයතත්වයන් ලෙස) එරෙහිව නැගී සිටීම සඳහා ඒ පිළිබඳව යම් අවබෝධයකට පැමිණි තැනැත්තාය. විප්ලවයේ නියෝජිතයා වන්නේ ඔහුය. නමුත් තවත් ප්‍රශ්නයක් ඉතිරි වේ. ඒ සාමුහික ප්රයත්නයකට එකතු වීමේදී, වර්තමාන ධනවාදයේ සංකීර්ණත්වය තුල, දේපල, මිල මුදල්, දැනුම, ශරීර ස්වභාවය සහ පෙනුම වැනි සියලු ආකාර වලින් අද මනුෂ්‍යයා අසමාන වීමයි. එනම් නිර්ධන පන්තිය සතු වූ ඉහත සඳහන් කල පොදු බව අද නොමැත. එම තත්වය විසින් ද සැමවිටම විමුක්ති දේශපාලනයට ඇති ප්‍රවේශ මාර්ගය අවහිර කරයි.
මේ සටහන මගින් පැවසීමට උත්සාහ දරන දෙය ඉතා දීර්ග වශයෙන් විස්තර කරමින් නිර්මාල් වෙත පිළිතුරක් ලබා දෙන ලදී. නමුත් ඔහු ඒ පිළිබඳව සංවාදයකට එකඟ වී සංවාද සැසි 4ක් පවත්වා ඉන් මගහැර ගියේ කාල වෙලාව පිළිබඳව ප්‍රශ්නයක් මතු කරමිනි. නමුත් ඔහුට මෙවැනි විකාර පණ්ඩිතමානි ලෙස වහරන ධම්ම ශිරාල් වැනි අය සමග කල් මැරීමට බොහෝ කාලය ඇත.
(නිර්මාල් වෙත ලබා දුන් පිළිතුරෙහි සබැඳිය: http://www.spartacus.lk/23-8/2023/)
පසු සටහන:
මාක්ස්ට අනුව කම්කරු සහ වැඩකරන පන්තීන් අතීතයේදී පැවතුන අතර නිර්ධනයා පහල වන්නේ ධනවාදය තුල පමණි.
@ස්පාර්ටකස් ලිපි
උපුටාගැනීම - https://www.spartacus.lk/
(ස්පාර්ටකස් සාමූහිකයේ වෙනත් ලිපි කියවීමට අවශ්‍ය නම් ඉහත වෙබ් අඩවිය වෙත පිවිසෙන්න)