මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා සහ
"තෝරාගත් දේශපාලන අධිකාරිය" විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව රට තුළ පනවා ඇති ආපදා කළමනාකරණය සඳහා වූ "හදිසි නීතිය" යොදාගෙන දැඩි දඬුවම් දිය යුතු බවට කරන ලද ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික හරයන්ට අභියෝග කරන්නා වූ අතිශය භයානක සහ තනි උවමනාව මත පදනම් වූ ම්ලේච්ඡ අදහසකි.
"සමාජ මධ්‍ය ගත්තාම ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ලකරමින් යනවා. එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ. මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසිවල පැහැදිලිවම මේ තත්ත්වය ආවරණය කරලා තියෙනවා. හෞතිකව, online මගින්, AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාර කටයුත්තක් කරන්න බැහැ. එහෙම කරන කෙනෙකුට අවුරුදු 05කට වැඩි සිරඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. ඊට අමතර වැරදිවලට අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට ගෙන්න පුළුවන්.
"අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට මේක ධරාගන්නත් බැහැ. ඒ තරම් මේ සමාජය විකෘති කිරීමේ අර්ථියෙන්, විකෘත්ති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා" - නියෝජ්‍ය ඇමති සුනිල් වටගල
අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ආයතන මෙම ප්‍රකාශය පුරවැසියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස හෙළා දකිමින් දැඩි විරෝධය පළ කර තිබේ.
"බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බව යි. පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙරද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක් ම අපගේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු," යැයි එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
මෙම ප්‍රතිචාරය මඟින් පැහැදිලි වන්නේ, අමාත්‍ය වටගල ගේ අත්තනෝමතික අදහස, ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවයි.
දේශපාලන අධිකාරිය විවේචනය කිරීම අපරාධයක් නොවන අතර, විවේචනයට දඬුවම් දීමට හදිසි නීතිය යොදා ගැනීමට තැත් කිරීම බලය අනිසි ලෙස භාවිතා කිරීමක් සහ පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් මංකොල්ලකෑමක් බඳු බව සිවිල් සමාජය තරයේ අවධාරණය කර ඇත.
මෙම ප්‍රකාශයේ ඇති බරපතළම පරස්පරතාව සහ දේශපාලන අවදානම වන්නේ එය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ ස්ථාවරයට සම්පූර්ණයෙන්ම පටහැනි වීමයි. ජනාධිපතිවරයා නොවැම්බර් 30 වන දින ජාතිය අමතමින් පැහැදිලිවම සහතික වූයේ, හදිසි නීතිය කාර්යක්ෂම යළි ගොඩනැඟීම සඳහා යොදා ගන්නවා මිස "වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්" යොදා නොගන්නා බවයි.
"කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත් කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමති යි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරණුකොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ,"
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් එය තහවුරු කළේ, දේශපාලන ප්‍රකාශ ගණන් නොගන්නා බවත්, කිසිදු මර්දනීය කටයුත්තක් සඳහා හදිසි නීතිය භාවිත නොකරන බවත්ය.
"කිසිදු මර්දනීය කටයුත්තකට මේක යොදා ගන්නේ නැහැ. එහෙත් අපිට ඉඩ දෙන්න බැහැ මහජනයට පීඩා වෙන විදියේ, මහජනයා බියට පත්වෙන විදියේ, කැළඹෙන විදියේ ක්‍රියාමාර්ග ගන්න කිසි ම කෙනෙකුට, හදිසි නීතිය තිබ්බත් නැතත්. දේශපාලනයේදී කරන ප්‍රකාශ නම් අපි ගණන් ගන්නේ නැහැ."
මෙලෙස ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා පැහැදිලි දේශපාලන විනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී කැපවීමක් ප්‍රදර්ශනය කරද්දී, නියෝජ්‍ය අමාත්‍ය වටගල විසින් තමන්ගේ තනි උවමනාව මත පදනම් වූ, නීතිමය පදනමක් හෝ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය එකඟතාවක් නොමැති ම්ලේච්ඡ අදහසක් ප්‍රචාරය කිරීම, ආණ්ඩුවේ අභ්‍යන්තර විනය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.
මෙවැනි අතිශය විවේචනාත්මක ප්‍රකාශ හේතුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලන සමය අපකීර්තියට පත්වීම වැලැක්විය නොහැක. ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින්, නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට උත්සාහ කරන පාලනයකට, තම ප්‍රතිපත්තිවලට හානියක් වන මෙවැනි ස්ථාවරයන් දැරීමට ඉඩ දිය නොහැක. ජනාධිපතිවරයාගේ පාලනයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමට නම්, පාලන තන්ත්‍රයේ සාමාජිකයන්ගේ විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
වටගල ගේ ක්‍රියාකලාපය හමුවේ, මෙල්ල කළ නොහැකි බල්ලන් බැඳ තැබීම ගෙවල් හිමියාගේ වගකීම විය යුතු බවට වූ ජනතා මතය ප්‍රබලව නැගී එයි. ආණ්ඩුවේ සාමාජිකයන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීම ජනාධිපතිවරයාගේ සහ පාලක පක්ෂයේ පරම වගකීමයි.
මෙම තත්ත්වය මඟින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තනි අදහසක් හේතුවෙන් මුළු ආණ්ඩුවම මාධ්‍ය මර්දකයන් ලෙස මුද්‍රා තැබීමේ අවදානම ඉහළ නංවයි. ඒ අනුව, ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර, මෙවැනි ප්‍රකාශයන් පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමට යොදා නොගන්නා බවට සහතික විය යුතුව ඇත.
# නියෝමි සුබ්‍රමනියම්

