පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දරුණු අයහපත් කාලගුණය පහව ගොස් ඇතත්, මධ්‍යම කඳුකරය ඇතුළු
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් තවමත් පොළොවෙහි ඉරිතැලීම් සහ ගිලා බැසීම් වාර්තා වෙමින් පවතී. පසුගිය දා සිදුවූ නායයෑම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූයේ මධ්‍යම කඳුකරයට වන අතර, මෙම තත්ත්වය මගින් භූමියේ අස්ථාවරත්වය තවදුරටත් පෙන්නුම් කරයි.
කොත්මලේ නයාපාන කන්ද ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල මේ වනවිට බරපතල ලෙස පොළොව ඉරිතැලීම් වාර්තා වී ඇති අතර, ඇතැම් නිවාස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ. නායාපාන ගම්මානයට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයකින් අඩි එකහාමාරක් පමණ ගිලා බසිමින් ඉරි තලා ගොස් තිබීම හේතුවෙන්, පවුල් 30ක පුද්ගලයින් 150කට අධික පිරිසක් නයාපාන ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
මෙයට අමතරව, ගම්පොල - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුනුකෙවුල ප්‍රදේශයේ ද, ගම්පොල - පුපුරැස්ස ප්‍රධාන මාර්ගයේ රජතලාව ප්‍රදේශයේ ද පොලවෙහි යළි ඉරිතැලීම් වාර්තා වී ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. රජතලාව ප්‍රදේශයේ මෙම තත්ත්වය පසුගිය 28 වැනිදා සිදුවූ විශාල නායයෑමත් සමග යළිත් වරක් මතුවීම බරපතල කාරණයකි.
මෙවැනි තත්ත්වයන් වාර්තා වන්නේ නම් සිදුකළ යුත්තේ කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අවධාරණය කළේය.
මේ අතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල තවදුරටත් නායයෑම් රතු නිවේදන (Landslide Red Alerts) ක්‍රියාත්මක වේ. පවතින සමස්ත වර්ෂාපතන බලපෑම හේතුවෙන් පොළොව ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින්, සුළු වර්ෂාවකදී පවා නායයෑම් සක්‍රිය වීමේ දැඩි අවදානමක් පවතින බවට NBRO ආයතනය විසින් අනතුරු අඟවා තිබේ.

