SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

1977 ජුලි 21 වැනි දා පවත්වපු මහ මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා බලයට පත්වුණා.

ඊට දවස් දෙකකට පස්සේ (ජුලි 23 වැනි දා) උන්නැහේව මේ සිරිලංකාවේ අගමැතිවරයා විදිහට පත් කෙරුණා. ඉතින් ඒ දවසේ ඉඳලා අවුරුදු 6 ක කාලයකට අගමැති ධුරය දැරීමේ වරම උන්නැහේට හිමිවුණා. ඒත් අගමැතිවරයෙක් විදිහට මේ රට පාලනය කරන කැමැත්තක් ජේ. ආර්. උන්නැහේට තිබුණේ නෑ. උන්නැහේ පුල පුලා බලාගෙන හිටියේ විධායක ජනාධිපතිවරයා බවට පත්වෙන්න.

 

 

ඉතින් බලයට ආවාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වලා දීමට අදාළ කරුණු කාරණා විමර්ශනය කරන්න තේරීම් කාරක සභාවක් පත් කරන්නත් ජේ. ආර්. උන්නැහේ කටයුතු කළා. ඒත් ඒ තේරීම් කාරක සභාවේ වැඩ ඉවරවෙන කල් බලාගෙන ඉන්න ඕනකමක් නම් ජේ. ආර්. ලොක්කාට තිබුණේ නෑ.

 

MVTH1VKl9e2NTApq 1

 

ඉතින්, 1972 දී සම්මත කරගත්ත 1 වැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2 වැනි වතාවට සංශෝධනය කරලා විධායක ජනාධිපතිකමක් හදාගන්න ජේ. ආර්. උන්නැහේ කටයුතු කළා. ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් හදලා ඒක ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කළා. ඒ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ තීන්දුව පැය 24 ක් ඇතුළත ලබාදෙන්න කියලත් ජේ. ආර්. උන්නැහේ අධිකරණයට කිව්වා. ඉතින් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන මත පදනම් වෙලා අදාළ තීන්දුව ලබාදෙන්න ව්‍යවස්ථා අධිකරණය කටයුතු කළා.

 

1972 ජනරජ ව්‍යවස්ථාවේ 2 වැනි සංශෝධනයට අදාළ අධිකරණ තීන්දුව එච්චර හදිස්සියෙන් ලබාගත්තත් ඒ පිළිබඳ රාජ්‍ය සභා විවාදය පටන්ගත්තේ සති දෙකක් ගතවුණාට පස්සේ. ඒ ගැන වාද කරවලා 1977 ඔක්තෝබර් 4 වැනි දා මේ 2 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවාගන්න ජේ. ආර්. උන්නැහේට පුළුවන් වුණා. මෙහෙම සම්මත කරගත්ත ව්‍යවස්ථා සංශෝධනය ඒ මාසේ 20 වැනි දා සහතික කෙරුණා. හැබැයි ජේ. ආර්. උන්නැහේ විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ඊට දවස් 108 කට පස්සේ. ඒ කියන්නේ, 1978 පෙබරවාරි 4 වැනි දා. ඉතින් 1984 පෙබරවාරි 4 වැනි දා වෙන කල් අවුරුදු 6 ක කාලයකට විධායක ජනාධිපති ධුරය හෙබවීමේ වරම ජේ. ආර්. ලොක්කා හිමි කරගත්තා.

 

මේ සෙල්ලම් කරන අතර ජේ. ආර්. උන්නැහේ 2 වැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හදන වඩු වැඩෙත් කරගෙන ගියා. එහෙම හදාගත්ත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) 1978 අගෝස්තු 31 වැනි දා ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත කරවාගත්තා. 1978 සැප්තැම්බර් 7 වැනි දා තමයි ඒ ව්‍යවස්ථාව බලාත්මක කරගත්තේ. ඒ දක්වා ජනාධිපති ධුරය හොබවපු පුද්ගලයා ම අලුත් ව්‍යවස්ථාව යටතේත් ජනාධිපති ධුරයට පත්වෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි පරිච්ඡේදයේ 160 වැනි ව්‍යවස්ථාවෙන් නියම කරගත්තා. ඉතින් අලුත් ව්‍යවස්ථාව යටතේත් ජේ. ආර්. උන්නැහේට ම විධායක ජනාධිපති ධුරය හිමිවුණා.

 

දැන් අපි මේ කතාව වෙන පැත්තකට හරවමු.

 

2 වැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල හැටියට ජේ. ආර්. උන්නැහේ විධායක ජනාධිපති ධුරයට පත්වෙන්නේ 1978 සැප්තැම්බර් 7 වැනි දා. ජේ. ආර්. උන්නැහේ මේ හපන්කම කරලා දවස් 78 කට පස්සේ (ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා දවස් 293 කට පස්සේ) අපේ රටට සුළි සුළඟත් කඩා පැන්නා. “1978 ශ්‍රී ලංකා සුළි සුළඟ” (1978 Sri Lanka cyclone) කියන නමින් තමයි ඒක ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ.

 

images 4

images 1

 

1978 නොවැම්බර් 23 වැනි දා මඩකලපුවෙන් රටට ඇතුළුවෙච්ච ඒ සුළි සුළඟ ඊ ළඟ දවසේ (නොවැම්බර් 24 වැනි දා) මල්වතු ඔය මූදට වැටෙන මන්නාරමෙන් පිටවෙලා ගියා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 9 ක් සම්පූර්ණ වුණා විතරයි. ඒත් ඒ මහ සුළි සුළඟ ගැන මට හොඳින් මතකයි. සුළි සුළඟට අහුවෙච්ච සමහර මිනිස්සු පොල් ගස් උඩට විසිවෙලා හිටියා කියලත් කතා පැතිරුණා. ඒ කතාවල ඇත්ත නැත්ත මම දන්නේ නෑ. ඒ සුළි සුළඟ ගැන ඇන්ටන් ජෝන් කියපු සින්දුව නම් අපි හැමෝ ම වගේ අහලා තියෙනවා.

 

“මඩකලපුව, අම්පාර, පොළොත්නරුව, සමන්තුරේ

ඒ හැම නගරය දියෙන් යටවුණේ.

මන්නාරම, කන්තලේ, පොතුවිල් සහ කල්මුණේ

නටබුන් වගේ ඈතට පෙනුණේ”

 

images 3

 

1978 ඇතිවෙච්ච ඒ මහා සුළි සුළඟින් මිනිස්සු 915 ක් මියගියා කියලා පස්සේ කාලෙක කියවපු වාර්තාවලින් මම දැනගත්තා.

 

දැන් මම කියන්නේ අද්භූත කතාවක්.

 

1978 සුළි සුළඟ මඩකලපුවෙන් රටට ඇතුළුවෙලා රටින් පිටවුණේ මන්නාරමින්. ඒ මහා සුළි සුළඟ ගමන් කරපු ගමන් මාර්ගය ගැන හිතන්න. ඒ මාර්ගයට උතුරින් ප්‍රදේශයේ තමයි කොටි ත්‍රස්තවාදය බලවත් වුණේ. ඒක ජේ. ආර්. ජයවර්ධන විසින් තනියම ඇති කරපු විපත්තියක් කියලා මම හිතන්නේ නෑ. ඒ ත්‍රස්තවාදය ලොකු මහත් කරලා බලවත් කරන්න බටහිර අධිරාජ්‍යවාදී රටවල් මූලික වුණා. ජේ. ආර්. උන්නැහේ ඒ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට අවශ්‍ය යටිතල පහසුකම් සපයලා දුන්නා.

 

images 2

 

කොහොම හරි කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරන්න අපිට පුළුවන් වුණා. දැන් තැන තැන කොටි සැමැරීම් තියෙන බව ඇත්ත. ඒත් ජනවර්ගය මුල් කරගත්ත තවත් ආරවුල් මෑත කාලෙක අපේ රටේ ඇති කරවන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නෑ. ප්‍රභාකරන් වගේ නායකයෙක් ඇතිවෙන්නෙත් නෑ. එහෙම ආරවුලකට පැටලෙන්න ඕනකමක් දෙමළ ජනතාවට තියෙනවා කියලා මම හිතන්නෙත් නෑ.

 

1978 සුළි සුළඟ ලංකාවෙන් පිටවීමේ අවුරුදු 47 සංවත්සරය යෙදිලා තිබුණේ පහුගිය නොවැම්බර් 24 වැනි දාට. ඒ දවසේ තවත් සුළි සුළඟක් (Cyclonic Storm Ditwah) ඉපැදුණා. ඒ සුළි සුළඟ පහුගිය නොවැම්බර් 27 වැනි දා ලංකාවට කඩාපැන්නා. මඩකලපුව කිට්ටුවෙන් රටට ඇතුළුවෙච්ච ඒ සුළි සුළඟ මුලතිව් පැත්තෙන් පිටවෙලා යන බවක් තමයි කියන්නේ.

 

මේ සුළි සුළඟ ගිය පාරෙන් නැගෙනහිර පැත්තේ තවත් ලොකු ආරවුලක් ඇතිවෙයි කියන බය මට ඇතිවෙලා තියෙනවා. ඒක කීයටවත් වාර්ගික ආරවුලක් නම් නෙවෙයි. මට හිතෙන විදිහට ඊ ළඟට මේ රටේ අවුළුවන්නේ ආගමික ආරවුලක්. එහෙම කලබලයක ගිනි පුපුරු දැනටමත් දකින්න පුළුවන්. නැගෙනහිර පළාතේ පදිංචිවෙන ෂයිලොක්ලා පවා මේ වැඩේට සම්බන්ධයි කියලා​ මට හිතෙනවා.

 

බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට මේ භූමිය නැතුව බෑ. 3 වැනි ලෝක මහ යුද්ධයක් ඇතිවුණොත් ඔය දියාගෝ ගාර්ෂියා වගේ හුණ්ඩුවල ඉඳලා කරන්න පුළුවන් මගුලක් නෑ. එහෙම යුද්ධයක් ඇතිවෙනවා නම් ඒක ඇතිවෙන්නේ නැගෙනහිර ආසියාව කේන්ද්‍ර කරගෙන. එහෙම වැඩකට යොදාගන්න පුළුවන් මූල කඳවුරක් අධිරාජ්‍යවාදී බලවේගවලට ඕන. ඒකට හරියන්නේ මේ රට. ඒත් මේක ගිනි තියලා සමතලා කරන්නේ නැතුව අධිරාජ්‍යවාදීන්ට මේ රටට ඇතුළුවෙන්න අමාරුයි.

 

ඉතින් මේ මහා වැසි මැද්දේ, මේ මහා සීතල මැද්දේ මට මහා ගින්දරක අනතුරක් පේනවා. මේක මහ අද්භූත කල්පනාවක් බව ඇත්ත. ඒත් මට හිතෙන දේ නොලියා ඉන්න ඕනකමක් මට නෑ. කොහොම වුනත්, මේ ගැන මට හිතෙන ඔක්කොම නම් මම ලියන්නේ නෑ.

 

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

නවතම ලිපි