ආචාර්ය නලින් ද සිල්වා 79 වැනි වියේ දී තම දිවි ගමන නිමවා වසරක් පිරීම නිමිත්තෙන්
ඔහුගේ ශිෂ්‍ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් සිදුකළ සමරු දේශනයයි.
''ආචාර්ය නලින් ද සිල්වා: දේශපාලන මැදිහත්වීම්!' - මේ තමා චින්තන පර්ෂදයේ සභාපති, බෙංගමුවේ නාලක හාමුදුරුවෝ මට අදහස් දක්වන්නැ යි කී මාතෘකාව. ඒත් 'ආචාර්ය නලින් ද සිල්වා: විසංවාද ජයගැනීම' ලෙස, එසේත් නැතිනම් 'ආචාර්ය නලින් ද සිල්වා: විශිෂ්ට කාර්යසාධනය' ලෙස මගේ මේ අදහස් දැක්වීම හැඳින්වීමට කැමැති යි.
ආරියදේව හිමිපාණන් ගේ පරපුරේ වාදාභිසිංහයා
ආචාර්ය නලින් ද සිල්වා... ඔහු අපේ ලෝකයේ වීරයෙක්. අපෙන් බාහිර යථාර්ථයක් පිළිබඳ විලංගුවලින් අප නිදහස් කරගත් වීරයෙක්. කැමැති වුණත් නැතත්, අවබෝධ වුණත් නැතත්, ඇතැම්විට විය නොහැකි ය යි හදවත හඬගා කියද්දිත් සත්‍යය යි පිළිගැනීමට බල කෙරුණු වාස්තවික යථාර්තය නැමැති සිරමැදුරෙන් අප නිදහස් කරගත් වීරයා නැතිනම් ප්‍රාඥයා ඔහු යි.
නිරීක්ෂකයා හා නිරීක්ෂ්‍යය අතර කාටිසියානු තාප්පය කඩා දැමුණේ ක්වොන්ටම් යාන්ත්‍රණයේ උත්පාදනය කෙරුණු දැනුම හේතු කොටගෙන මීට දශක ගණනාවකට පෙර විය හැකි යි. ඒත් අපේ ලෝකයෙහි, කාටිසියානු තාප්පය කැඩීමෙන් නොනැවතී, නිරීක්ෂකයා ගෙන් තොර ලෝකය කුමක් දැ යි ඇසූ ප්‍රාඥයා ඔහු යි. ඔහු අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් ඉෂ්ට-සිද්ධ කළ කාර්යභාරය කුමක් ද? ඔහු ගේ ශිෂ්‍යයන් ලෙස අපේ, ජාතියේ උස් නිදහස පිළිබඳ අරගලයේ සගයන් ලෙස ඔබේ, අද වගකීම නැතිනම් යුතුකම කුමක් ද?
ඔහු මෑත යුගයේ පහළ වූ විශිෂ්ටතම විශ්ලේෂකයෙක්. කුමාරතුංග මුනිදාස පරපුරේ විශ්ලේෂකයෙක්; ඒ වගේ ම වාදාභිසිංහයෙක්; මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ගේ පරපුරේ වාදාභිසිංහයෙක් එතුමා ගේ ඇගයීමට ලක් වූ නාගර්පුන හිමිපාණන් හා කටයුතු කළ සිංහලයේ ආරියදේව හිමිපාණන් ගේ පරපුරේ වාදාභිසිංහයෙක්.
නලින් ද සිල්වා අතින් සිදු වූ විශිෂ්ට කාර්ය-සාධන
දැන් මේ අපේ ලෝකයේ එතුමා අතින් සිදු වූ විශිෂ්ට කාර්ය-සාධන කවරේ ද?
එතුමා මාක්ස්වාදියෙක්; ට්‍රොස්කිවාදියෙක්. ගුණදාස අමරසේකර මහතාට මතක ඇති, හැත්තෑව දශකයේ අගභාගයේ දී, එතුමා ගේ 'අබුද්දස්ස යුගයක්', ඒ වගේ ම 'අසත්‍ය කතාවක්' හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' කෘති නලින් ද සිල්වා ආචාර්යතුමා දැඩි විවේචනයට බඳුන් කරන්නේ මාක්ස්වාදියකු ලෙස. ඒත් එතුමා අපේ ඇගයීමට අද පාත්‍ර වන්නේ ඒ මාක්ස්වාදයෙහි, විද්‍යාත්මක යි කියූ මාක්ස්වාදයෙහි විද්‍යාත්මක බව ප්‍රශ්න කළ ප්‍රාඥයා ලෙස. ඒ වගේ ම, එතුමා පාසල් අවධියේ පටන් ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වීමේ ආධ්‍යාශයෙන් කටයුතු කළ විද්‍යාර්ථීයෙක්. සිය පාසලේ දී, රාජකීය විදුහලේ දී ගණිතයට විශිෂ්ට දක්ෂකම් පාමින් ලක් සරසවියට ඇතුළත් ව විශේෂ උපාධිය සඳහා ගණිතය හැදෑරූ ශිෂ්‍යයෙක්. සසෙක්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනයන්හි දී විශ්වයේ අභිරහස් සොයා යෑමට තැත් දැරූවෙක්. මාක්ස්වාදයේ පවා විද්‍යාත්මක බව ප්‍රශ්න කළ ප්‍රාඥයෙක්. ඒත් අද ඔහු අපේ ඇගයීමට පාත්‍ර වන්නේ විද්‍යාවේ විද්‍යාත්මක බව ප්‍රශ්න කළ අසාමාන්‍ය ප්‍රාඥයෙක් ලෙස.
ඔහු විසංවාදයක් ද, විසංවාද ජයගැනීමක් ද, විසංවාද ජයගැනීමේ ප්‍රඥාලෝකය ද?
අපි මාක්ස්වාදයෙහි දී, ද්වන්ධාත්මක භෞතිකවාදයෙහි දී, විසංවාද ජයගැනීම ගැන කතා කරනවා. විසංවාද වීප්ලවීය වෙනස්කම් ඉල්ලා සිටින බවත්, සමාජ ප්‍රගමනය විසංවාද ජයගැනීම මත සිදු වන බවත් ඉගෙන ගන්නවා. ඔව්, මුල් අදහස ආචාර්ය නලින් ද සිල්වා ම පෙන්වා ඇති පරිදි හෙගල් ගේ; ඒත් ඔබ-අප බොහෝ දෙනා ඒ දැනුම ලබාගත්තේ මාක්ස්වාදයෙන්. ඒ අපෝහකයේ රූපික බව අපට පෙන්වා දුන් මේ ආශ්ර්යමත් ඇදුරුතුමා ගේ ජීවිතය ම ගැටුම, ගැටුම තුළ නිරාවරණය කියාපාන්නක් ද? රූපිකය ඉක්මවූ අපෝහකයක් ද?
මාක්ස්වාදය විද්‍යාත්මක ද?
අපි කවුරත් පාහේ දන්නවා, නලින් ද සිල්වා ඇදුරුතුමා මුලින් ම දේශපාලන වශයෙන් දරන්නේ මාක්ස්වාදී මතවාද; මාක්ස්-ට්‍රොස්කිවාදී මතවාද. දේශපාලන පක්ෂයක් ලෙස සම්බන්ධ ව සිටියේ ලංකා සමසමාජ පක්ෂය සමග. ඒ, මාක්ස්වාදී දේශපාලනයෙහි වන අධිරාජ්‍ය විරෝධය, ඒ වගේ ම අසරණයන් කෙරෙහි වන සානුකම්පිත බැල්ම, මානව දයාව නිසා විය යුතු යි. ඔහු ගේ දේශපාලනය සෑම විට ම ප්‍රතිඵල අපේක්ෂා කළ දේශපාලනයක්. සමසමාජයෙන් ඉවත් වී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය කුමාර් ඩේවිඩ් ආදීන් සමග නවසමසමාජ පක්ෂය බිහි කිරීමේ ලා පුරෝගාමී වන්නේ ඒ නිසා.
එහෙත් මේ නව මාවත, නව ප්‍රතිඵල ගෙන ආවා ද? ගෙන ආවේ නම්, ඒ විනාශකාරී ලෙස. 80 වැඩවර්ජනයේ පරාජය ලෙස; දසදහස් ගණනකට ජීවන වෘත්තිය අහිමි වීම ලෙස. සමසමාජ පක්ෂය අතහැර, නව සමසමාජ පක්ෂය ගොඩනැගීමට දායක වීම පෙන්නුම් කරන්නේ, ප්‍රතිඵල රහිතවීමට හේතුව ලෙස භාවිතාව දුටු බව. දැන් වඩා නිවැරැදි භාවිතාවකට දැරූ ප්‍රයත්නය අත්කර දී ඇත්තේ විනාශය යි. 80 ජූලි වැඩවර්ජනයේ පරාජය; දසදහස් ගණනකට ජීවන වෘත්තිය අහිමිවීම!
එසේ නම් වරද න්‍යායේ ද, මාක්ස්වාදයේ ද?
'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' ලිපිය මේ ප්‍රශ්නය සිය පක්ෂය හමුවේ තැබීමක්. අපි න්‍යායක් භාවිතයෙන් නැතිනම් න්‍යායක් උපයෝගී කරගෙන නිගමනවලට එළඹෙනවා. ඒ නිගමනය වැරැදී නම්, න්‍යාය? නලින් ද සිල්වා ඇදුරුතුමා යෞවනයේ පටන් විද්‍යා ලෝකයේ ජයකෙහෙළි නැංවීමට සිහින දුටු තරුණයෙක්; නව දැනුම සොයායන අධිෂ්ඨානයෙන් ගණිතය, විශ්වවේදය හැදෑරීමේ නිරත වූවෙක්. ඒ වනවිටත් කාල් පොපර් ගේ 'The Logic of Scientific Discovery' කෘතිය පළවී බොහෝ කල්. ඉංග්‍රීසි පරිවර්තනය 1959 දී. යමක් විද්‍යාවක් වීමට නම් එය අසත්‍යකරණයට ලක් කිරීමට හැකිවිය යුතු බව පොපර් එහි දී පෙන්වා දෙනවා. ඒත් මාක්ස්වාදී (ට්‍රොස්කිවාදී) න්‍යාය මත ගන්නා තීරණ දිගින්දිගට ම වරදිනවා.
එසේ නැවත නැවත වැරැදෙද්දීත් මාක්ස් (ට්‍රොස්කි) හරි. 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?', පොපර් ගැනත් සඳහන් කරමින් ඇදුරුතුමා අහනවා. තමා ද සමාජිකයකු නැතිනම් නායකයකු වූ නවසමසමාජ පක්ෂයට යැවූ මේ ලිපිය සමසමාජ ව්‍යාපාරය හා ළබැඳිව කටයුතු කළ පුවත්පත් කලාවේදීන් ගේ මැදිහත්වීමෙන් 'සිළුමිණ' පුවත්පතේ පළවීම, නලින් ද සිල්වා මහතා මහජන බුද්ධිමතකු බවට පත්වීමට හේතු වෙනවා.
අද ජීවතුන් අතර නැති අජිත් සමරනායක මහතාව අප මෙහි දී සිහිපත් කළ යුතු යි. එඩ්මන් රණසිංහ මහතා ලිපිය පළ කළ 'සිළුමිණ' එකල කර්තෘ. ගාමිණි සුමනසේකර මහතාත් මේ ක්‍රියාවලිය සමග සම්බන්ධ යි. ඉහත ක්‍රියාවලියට දායක වූ පුවත්පත් කලාවේදීන් උපාලි පුවත්පත් සමාගමේ ආරම්භයත් සමග 'දිවයින', 'The Island' පුවත්පත්වල කර්තෘ මණ්ඩල සාමාජිකයන් වෙනවා; නලින් ද සිල්වා මහතා ගේ ලිපි ඒ පුවත්පත් මඟින් පාඨක සමාජය අතට පත් වෙනවා. නලින් ද සිල්වා ඇදුරුතුමා මහජන බුද්ධිමතකු වන්නේ මේ ආකාරයට. එය අහම්බයක් ද, නැතිනම් සිදුවිය යුතු ව තිබූ නියතයක් ද?
අප අත්පත් කරගත යුතු නියත දර්ශනය කුමක් ද?
ආචාර්ය නලින් ද සිල්වා කොළඹ සරසවියේ ගණිත අධ්‍යයනාංශය හා සම්බන්ධ වන්නේ 80 දශකය මුල. ගුණදාස අමරසේකර ගේ 'අබුද්දස්ස යුගයක්' (1976), 'අසත්‍ය කතාවක්' (1977), 'ප්‍රේමයේ සත්‍ය කතාවක්' (1978) කෘති මුල් කරගත් සංවාදය සහ ඉන්පසු අමරසේකර ගේ ම 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) හා 'ගමනක මුල' (1984) කෘති මුල් කරගත් සංවාදය පැවැත්වෙන්නේ 1984 වසරේ අගභාගයේ දී. ඒ සඳහා මුල් වන්නේ ස්වාධීන ශිෂ්‍ය සංගමය හා කටයුතු කළ ශිෂ්‍ය-ශිෂ්‍යාවන්. මහාචාර්ය කාලෝ පොන්සේකා, සයිමන් නවගත්තේගම, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියසීලී විජේගුණසිංහ, ආචාර්ය දයාන් ජයතිලක ආදීන් සම්බන්ධ වූ 'අසත්‍ය කතාවක්' සහ 'ප්‍රේමයේ සත්‍ය කතාව' කෘති පිළිබඳ විවාදයේ දී, විශ්ලේෂණයත් සංස්ලේෂණයත් එක් කරමින් නලින් ද සිල්වා ඇදුරුතුමා සිදු කළේ අතිවිශිෂ්ට විචාරයක්.
"පසුබෑම්, ජයග්‍රහණ, බොරුවළවල්, වල්මත්වීම් අස්සෙන් කරගෙන ආ ගමන මෙතෙක් අල්ලාගෙන ආ කණවැල අතහැර පැහැදිලි දර්ශනයකින් යුතු ව කරගෙන යෑම හෝ අතහැර දැමීම හෝ මේ තීරණාත්මක අවස්ථාව විසින් විසඳනු ලැබෙති යි මම විශ්වාස කරමි. ඒ ගමන අත්හැර දැමීම යනු ආසියාවේ බොහෝ රටවල් පත් ව ඇති ශෝචනීය, දුර්භාග්‍ය ඉරණම වෙත අප ද පත්වීම යි."
සංවාද සිදු කෙරුණේ අමරසේකර 'අබුද්දස්ස යුගයක්' කෘතියෙන් ඉදිරිපත් කරන මේ ප්‍රස්තුතය මත ය.
අප අත්පත් කරගත යුතු නියත දර්ශනය කුමක් ද? මාක්ස්වාදය තවදුරටත් පිළිසරණක් ද? ජාතිකත්වයේ කාර්යභාරය කුමක් ද? ලෙනින්, මාවෝ, කැස්ත්‍රෝ - මේ නායකයන් කළේ තමන් ගේ ජාතිකත්වය තුළට මාක්ස්වාදය අවශෝෂණය කිරීම ද? අමරසේකර 'ජාතික චින්තනය' පිළිබඳ අදහස 1986 වසරේ දී එළිදක්වන්නේ මේ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස. ඒ වගේ ම, නලින් ද සිල්වා ඇදුරුතුමා 'මගේ ලෝකය' කෘතිය එළිදක්වන්නේත් 86 වසරේ දී.
දැනුම පිළිබඳ දැනුම
අප ගත යුතු මග පිළිබඳ විවාදය අපෙන් පරිබාහිර ලෝකයක් වේ ද, වාස්තවික යථාර්ථයක් වේ ද යන කරුණු සම. බැඳී පැවැතිණ. අපට අපේ ඉතිහාසය අනුව, අපේ අනාගතය ගොඩන. ගත යුතු විය. එහෙත්, ලෝකයට ම පොදු සමාජ විකාශනයක් වේ නම් ? විද්‍යාවේ දියුණුවත් සමඟ මුළුමහත් ලෝකය ම එක ම යායක් බවට පත්වේ නම්? අපට අපේ ම ඉතිහාසයක් ඇත. ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. එහෙත්, ඒ ඉතිහාසය මත අපට, අපේ අනාගතය ගොඩනැගිය හැකි ද? ලෝකය අපෙන් පරිබාහිර යථාර්ථයක් නම්, ඒ ලෝකය විකාශනය වන්නේ අපෙන් ස්වායත්ත වූ නියමයන්ට අනුකූලව නම්, අපි, අපේ ම වූ අනාගතයක් කෙසේ නිර්මාණය කරමු ද?
නලින් ද සිල්වා ඇදුරුතුමා අපෙන් පරිබාහිර වූ ලෝකයක් පිළිබඳ, වාස්තවික යථාර්ථය පිළිබඳ ගැටලුවට මුහුණ දුන්නේ, මේ, ජාතියේ අනාගතය පිළිබඳ සංවාදය ඔස්සේ නොවේ. ඊට වෙනස් ව විද්‍යාවේ ම පැන නැගුණු ගැටලුවක් මුල් කරගෙන ය; ශුද්‍ර අංශු සමග බැඳුණු පර්යේෂණ ලෝකය හමුවට ගෙන ආ නව අභියෝග සමග ය. එහි දී හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය 'සම්භාවිතාව' සෛද්ධාන්තික හෞතික විද්‍යාවට අභිමුඛ කළේ ය. විස්සෝපයට පත් ඇල්බට් අයින්ස්ටයින් "දෙවියන් දාදු නොකෙළෙති" යි කීව ද විද්‍යාත්මක පර්යේෂණ ම, සම්භාවිතාව භෞතික විද්‍යාවට කැඳවා තිබිණි.
කාටිසියානු තාප්පය බිඳ දැමූ විද්‍යාව
ක්වොන්ටම් යාන්ත්‍රණය නැවත-නැවතත් නිරීක්ෂකයා ගෙන් ස්වායත්ත වූ නිරීක්ෂණයක් යන්න ප්‍රතික්ෂේප කරන්නට විය. විද්‍යාව ම, කාටිසියානු තාප්පය බිඳ දමන්නට විය. නිරීක්ෂකයා ගෙන් තොර නිරීක්ෂණයක්, නිරීක්ෂකයා ගෙන් තොර ලෝකයක් තවදුරටත් වලංගු නොවීය. විද්‍යාවේ ජයකෙළි නැංවිමේ සිහිනය හඹාගිය ආචාර්යතුමාට, මාක්ස්වාදය විද්‍යාත්මක දැ යි ඇසූ ඇදුරුතුමාට 'විද්‍යාත්මක' යන්න ම ප්‍රශ්නයක් ව අභිමුඛ වී තිබිණි. 'මගේ ලෝකය' කෘතිය එහි ප්‍රතිඵලය යි.
දැනුම, අප ගේ ඉන්ද්‍රියවලට, මනසට සහ සංස්කෘතියට සාපේක්ෂ බව කියාපෑම, එහි මූලික කාර්යසාධනය යි. දැනුම නිර්මාණය කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් විද්‍යාවෙහි දැනුම නිර්මාණය සම්බන්ධයෙන්, දැනුම සමාජගත වීමත්, මේ සමග ම සිදුවිය. විද්‍යාවේ, බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කාල් පොපර් කී ආකාරයට ම සිදු නොවන බව, විද්‍යාත්මක විධි ක්‍රමයට අනුව ම සිදු ව නැති බව ඒ වනවිටත් තෝමස් කූන් ('The Structure of Scientific Revolutions, 1962), පෝල් ප්රයර්බන්ඩි ('Against Method', 1975) ලෝකය හමුවේ පෙන්නුම් කර තිබුණි.
එහෙත් මේ දැනුම ශ්‍රී ලාංකික සමාජය හමුවට ඉදිරිපත් වූයේ 'මගේ ලෝකය' මතු කළ දාර්ශනික සංවාදයත් සමග යි. දැනුම නිර්මාණය කෙරෙන්නේ කිසියම් සුසුමාදර්ශයක් තුළ බවත්, විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵල පවතින ප්‍රවාදය හා ගැටෙන විට, ඒ සුසුමාදර්ශය තුළ ම නව ප්‍රවාදයක් මඟින් ඒ ප්‍රතිඵල පැහැදිලි කෙරෙන බවත්, එ ලෙස, ඒ සුසුමාදර්ශය තුළ නිර්මාණය කෙරෙන ප්‍රවාද මගින් පර්යේෂණ ප්‍රතිඵල තවදුරටත් පැහැදිලි කරලීම කළ නොහැකි වන විට, දැනුම නිර්මාණය නව සුසුමාදර්ශයක් වෙත පොළාපනින බවත් තෝමස් කූන් ගේ සුසුමාදර්ශ න්‍යායෙන් කියැවුණා. එහෙත් අපට දැනුම සම්බන්ධ නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ මැදිහත්වීම වැදගත් වන්නේ හුදු ඥානවිභාගාත්මක ප්‍රවේශයකින් නොවේ; ඊට වෙනස් ව, ජාතියේ ඉරණම අපට ම තීරණය කළ හැකි ය යන මහා වරමත් සමග ය.
මවුබිම වෙනුවෙන් සිටගත් නායකයා
අසූව දශකයේ මුල නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ මූලිකත්වයෙන් කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ 'ගවේෂකයෝ' සංවිධානය ආරම්භ කෙරෙන්නේ සත්‍ය සොයා යෑම අරමුණු කරගෙන. එහි මුල් පත්‍රිකාවෙහි දක්නට වූයේ, "මතු පිටින් පෙනෙන දේ යථාර්ථය නම්, ඔබට විද්‍යාව අවශ්‍ය නොවනු ඇත" වැනි අදහසක්. මා ලේකම් වූ 1985 වසරේ දී නව පත්‍රිකාවක් ලියැවුණා. එය ඇරැඹුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අදහසකින්. අවසන් කෙරුණේ කුමාරතුංග මුනිදාසයන් ගේ පහත අදහසින්: "රට ජාතිය වවන්නට නම්, බැහැරින් අපට එකතු වන්නට එන්නවුන් අප විසින් ආදරයෙන් ඇඳ බදා වැලැඳ-ගත යුත්තේ යැ. එහෙත් එකකට වග බලා-ගත යුතු යැ. සිංහල භාවය ඒ පර භාවයෙහි ගිලෙන්නට ඉඩ නො දී ඒ පර භාවය සිංහල භාවයෙහි ගිල්වා දමන්නට යැ." (සිංහලයේ අභාග්‍යය, 1936).
සෑම සතියකට ම වරක් දිවා විවේකයේ දී රැස් ව, ඊට සහභාගී වන කොළඹ සරසවියේ විද්‍යා පීඨ සිසුන් හා ඇදුරුතුමා කලින් ප්‍රකාශිත මාතෘකාවක් මත අදහස් හුරමාරු කරගැනීම ද ඒ සමග වෙනස් වුණා. ඒ සාකච්ඡාවල අමතර ව, 'දිවයින' බදාදා අතිරේකයේ ජාතික චින්තනය පිළිබඳ සංවාදයට දායක වූ විද්වතුන් ද ආරාධිත දේශන සඳහා සහභාගී කරගැනුණා. චින්තන පර්ෂදය ගොඩනැංවීමට හා 'කාලය' සඟරාව ප්‍රකාශයට පත් කිරීමට මුල් වූයේ මේ ක්‍රියාකාරකම්.
එදා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විජාතිකකරණ ක්‍රියාවලියට සහ ඉන්දු-ලංකා ගිවිසුමට, පළාත් සභා පිහිටුවීමට එරෙහි ව නලින් ඇදුරුතුමා අතිප්‍රබල හඬක් නැගුවා. දේශප්‍රේමී ජාතික පෙරමුණක් ගොඩනැගීම, ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවාදී ව කටයුතු කිරීම නිසා වැළැකුණත්, මෙ රටට ගොඩබැස සිටි ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය රැකගනිමින් නැවත යවාගැනීමට, පළාත් සභා ලයිස්තුවට ඇතුළත් කර තිබූ පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාවට නැඟීම වළක්වා ගැනීමට තරම් ඒ විරෝධය බලසම්පන්න වුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මතක ඇති, ඔබත් එදා මවුබිම වෙනුවෙන් සිටගත් නායකයෙක්.
ජාතික චින්තනය, බෞද්ධ රාජ්‍ය ව්‍යුහය සහ සභ්‍යත්වය රාජ්‍යය
'ජාතික චින්තනය' යන යෙදුම අප හමුවේ තබන්නේ ගුණදාස අමරසේකර. ඒ 1986 රත්නපුර පැවැති සංවාදයක දී. පසුකාලීන ව ජාතික චින්තනයෙහි ඇතැම් සීමාසහිතකම් පිළිබඳ ප්‍රශ්න කෙරුණත් මේ සංකල්පය වර්ධනය කිරීමට නලින් ද සිල්වා ඇදුරුතුමා ඉමහත් දායකත්වයක් ලබාදුන්නා. මේ, 'කාලය' සඟරාවට (1988, ඔක්තෝබර) අමරසේකර ගේ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' කෘතිය පිළිබඳ ඇදුරුතුමා ලියූ විචාරයෙන් උපුටා ගත්තක්:
"ජාතික චින්තනය යනු සමාජ චිත්තයෙහි ව්‍යාකරණය ලෙස හැඳින්විය හැකි ය යි මම සිතමි. ව්‍යාකරණය හඳුනා නොගෙන බසක් කතා කිරීමට හෝ ලිවීමට හෝ නොහැකිවාක් මෙන් ම, ජාතික චින්තනය හැඳින නොගෙන සමාජ චිත්තනය දැනගැනීමට නොහැකි ය."
දැන් මේ අදහස් 'සභ්‍යත්ව රාජ්‍යය' (ගුණදාස අමරසේකර, 'සභ්‍යත්ව රාජ්‍යය කරා', 2016) පිළිබඳ අදහස් බවට වර්ධනය වී ඇත. සෝවියට් කඳවුර බිඳවැටුණු පසු, ප්‍රැන්සිස් පූකියාමා යළි වෙනස් නොවන, අභියෝගයන් ගෙන් තොර, ලිබරල් ලෝකයක් ගැන, ඉතිහාසයේ (ගැටුමේ) අවසානයක් ගැන උදාන ගී ගයද්දී ('The End of History and the Last Man', 1992), ඒ ගනඳුරෙහි අපට අරුණලු වූයේ ජාතිකත්වය පිළිබඳ අදහස් ය. එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශකයකු වූ සැමුවෙල් හන්ටින්ටන් විද්වතා සභ්‍යත්ව ගැටුම් මත ලොව යළි සැකසෙන බව කීමට වැඩි කල් නොගියේ ය ('The Clash of Civilizations and the Remaking of World Order', 1996). අද චීනය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස ඇගයේ (මාර්ටින් ජැක්, 'When China Rules the World', 2009).
අපේ සභ්‍යත්ව රාජ්‍යයේ හැඩ-රුව මතු කරගැනීමට පමණක් නොව, අනාගතය වෙනුවෙන් එහි ඉතුරුවී ඇති අංගෝපාංග විකෘති වීමෙන් වළක්වා ගැනීමට ද නලින් ද සිල්වා ඇදුරුතුමා තීරණාත්මක මැදිහත්වීම් සිදු කළේ ය. 2004 මහාමැතිවරණයේ දී භික්ෂුව ගේ කාර්යභාරය පිළිබඳ ව කරන ලද තීරණාත්මක මැදිහත්වීම එවැන්නකි.
භික්ෂුවට අකැප දේශපාලනය
ට්‍රෙවෝ ලිං ගේ 'The Buddha: Buddhist Civilization in India and Ceylon' (1973) කෘතිය ද පාදක කරගෙන අප ගේ රාජ්‍යයේ ආකෘතිය ගැන මෙන් ම, රාජ්‍ය පාලනයෙහි දී භික්ෂූන් වහන්සේ ගේ මැදිහත්වීම කුමනාකාර ද යන්න ගැන අමරසේකර, 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' සහ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' කෘතිවල සාකච්ඡා කර තිබිණි. අපේ රාජ්‍යය රජු, භික්ෂුව හා ජනතාව අතර ත්‍රිකෝණාකාර බලතුලනයක නිර්මිතයක් බව එහි දී පෙන්වා දේ. රජු ගේ තැනගැනීමට කිසිවිටකත් උත්සාහ නොකරන භික්ෂුන් වහන්සේ රජුටත්, ඒ වගේ ම ජනතාවටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ.
සෝම හිමිපාණන් ගේ අභාවයත් සමග, 2004 වසරේ දී භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ඇදුරුතුමා, කෙටිකාලීන වාසි අපේක්ෂාවෙන් කෙරුණු මේ ඉදිරිපත්වීම හෙළා දකිමින්, දේශන පවත්වමින්, ලිපි ලියමින් ('මැතිවරණය සහ හාමුදුරුවෝ', 2004) සිංහල-බෞද්ධ සම්ප්‍රදායට පටහැනි වූ මේ තීරණය වළක්වා ගැනීමට උපරිම ලෙස මැදිහත් වූයේ ය. ඒ අවස්ථාවේ ඒ ඉදිරිපත්වීම වළක්වාගත නොහැකි වූවත්, කාලයත් සමග ම භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව පිටුදැක, යළි සිය ඓතිහාසික භූමිකාවට යොමුවීම ම, එ තුමා ගේ මැදිහත්වීමේ වටිනාකම මොනවට කියාපායි.
ත්‍රස්තවාදය පරාජය කිරීම
ඒ වගේ ම ත්‍රස්තවාදය අවියක් කරගෙන, සාම සාකච්ඡාදිය මගින් අප ගේ එකීය රාජ්‍ය ව්‍යුහය බිඳ දැමීමේ, හෞතික අඛණ්‌ඩතාව අහිමි කිරීමේ, බෙදුම්වාදී උත්සාහය එරෙහි ව එතුමා මතවාදී නායකත්වය දුන් සටන අවසාන වූයේ ත්‍රස්තවාදය නන්දිකඩාල් කළපුවේ දී සහමුලින් ම පරාජය කරමිනි. මේ හා බැඳුණු මාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඇත්තේ නිහතමානී සතුටකි. 1987-88 වසරවල දී චින්තන පර්ෂදයෙන් 'කාලය' සඟරාව ප්‍රකාශයට පත් කරන විට, කුමාර් පොනම්බලම් ආදීන් හා, මහාචාර්ය මැන්දිස් රෝහණධීර ආදීන් හා සාකච්ඡා කරමින් මම උතුරු හා නැගෙනහිර දෙමළ නිජභූමි ය යි කීම ඇතුළු බෙදුම්වාදය යුක්ති සහගත කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙන කරුණු ගැන සාකච්ඡාවක් ඇරැඹීමි.
අතිපූජ්‍ය මඩිහේ මහා නාහිමිපාණන් ආදීන් ගේ කරුණුවලින්, දත්තවලින් පිරුණු ලිපි-ලේඛන (මඩිහේ මහ නාහිමිපාණන් ගේ මේ හා සබැඳුණ බොහෝ ලිපි පසුකාලීනව 'මඩිහේ මහ නාහිමි ජාතික චින්තාවලි' කෘතියේ සංගෘහිතව ඇත) පරිශීලනය කර තිබූ මා හට දෙමළ නිජභූමි යන්නෙහි ව්‍යාජත්වය පමණක් නොව සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි ව, ප්‍රමිතිකරණයට එරෙහි ව නගන තර්කවල පදනම් විරහිත බව ගැන මනා වැටහීමක් විය. එහෙත් මේ බෙදුම්වාදී ඉල්ලීම් යුක්ති සහගත ය යි පිළිගත් ට්‍රොස්කිවාදී පක්ෂ ඇසුරෙහි දේශපාලනය කළ නලින් ද සිල්වා ඇදුරුතුමා ඒ කරුණු දෙස හෙළුවේ සැකමුසු බැල්මකි.
එහෙත් ඒ කරුණු අධ්‍යයනය කරන තෙක් පමණකි. තමා පිළිගත් මාක්ස්වාදයෙහි විද්‍යාත්මක බව ප්‍රශ්න කිරීමට නොපසුබට වූ අයුරින් ම, විද්‍යාත්මක විධික්‍රමයෙහි බැඳුණු දුර්වලතා දුටුවිට, වාස්තවික යථාර්තය ප්‍රශ්න කළ අයුරින් ම, දෙමළ ජාතිවාදී ඉල්ලීම්හි විසකුරු බෙදුම්වාදී අභිමතාර්ථ දුටුවිට, ඒ පරාජය කරන තෙක් ම හඬ නැගීමට එතුමා පසුබට නොවීය.
ආසනික්!
අවසාන වශයෙන් රජරට වකුගඩු රෝගීන් වෙනුවෙන් එ තුමා කළ මැදිහත්වීම ද මෙහි දී සිහිපත් කළ යුතු ය. කෘෂිරසායන මගින් රජරට ජලයට ආසනික් මුසු ව ඇති බවට මෙ තුමා නැගූ හඬ නොවන්නට, කෘෂිරසායන මගින් රජරට ගොවිබිම්හි ජලය මනුෂ්‍යයා හට පානයට නුසුදුසුවීම පිළිබඳ ව, හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරුව දුක්විඳින, අන්ත අසරණභාවයට පත්වූ මිනිසුන්, පවුල්, ගම් පිළිබඳ ව, දයාබරිත මැදිහත්වීමක් අද දක්වාවත් සිදුවනු ඇද්ද යන්න සැකසහිත ය.
මේ මැදිහත්වීම, මෙ තුමා දිගින්දිගට ම බටහිර සංවර්ධන මාදිලිය පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් සමග බැඳී පවතී. එතුමා ප්‍රශ්න කළේ මිනිසා විසින් මිනිසා සූරාකෑම පමණක් නොවේ; මිනිසා විසින් පරිසරය සුරාකෑම ද ඒ සෑම අවස්ථාවක ම එතුමා අවධාරණය කළේ ය. අප විසින් ගොඩනැගිය යුත්තේ පරිසරය සූරාකෑම ද පිටුදකින සමාජයකි! ඉර-හඳ පවතින තුරු පවතිනු ඇත්තේ එ වැනි සභ්‍යත්වයකි.
ඉන්දු-ලංකා ගිවිසුම් රට හමුවේ නොතබන්නේ මන්ද?
කොටි ත්‍රස්‌තවාදය සන්නද්ධව පරාජය කිරීම, නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ දේශපාලන මැදිහත්වීම්වල ජයග්‍රහණයක්. ඒ රණවිරුවන් මවුබිමට ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණය, යුගයුග පවතින දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගත නොහැකිවීම, පළාත් සභා පිටුදකින, ඒකීය රාජ්‍යය හා ජනසම්මතවාදය තහවුරු වන නව ව්‍යවස්ථාවක් මවුබිමට අත්පත් කරදිය නොහැකිවීම අපේ අවාසනාවක්. එ තුමාත්, අපත් ඒ වෙනුවෙන් 69 ලක්ෂයක ජනවරමක් නිර්මාණය කර තිබිය දී එය ඉටු කරගත නොහැකි වීම සැබෑ අවාසනාවක්.
මේ නිසා ම, එදා ඉන්දු-ලංකා ගිවිසුමේ අහිතකර කොන්දේසි, බෙදුම්වාදය පෝෂණය කෙරෙන පළාත් සභා ක්‍රියාවට නැගීම වළක්වා ගැනීම අද අප හමුවේ ඇති ප්‍රමුඛතම අභියෝගයක්. දැන් ඒ ඉන්දු-ලංකා ගිවිසුම ඉක්මවා යන නව ඉන්දු-ලංකා ගිවිසුමක්, ගිවිසුම් 7ක් අස්සන් කරලා ද? අප ගේ ස්වාධීන, ස්වෛරී රාජ්‍ය තවදුරටත් ආරක්ෂිත ද? මහා සඟරුවන මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගෙන් විමසිය යුතු නැද්ද? මෝදි අගමැතිතුමා අනුරාධපුරයට සංචාරය කර ශ්‍රී මහා බෝධියට වන්දනාමාන කළ ආකාරය ගැන අපට ඇත්තේ සතුටක්. ඒත් අපේ සභ්‍යත්ව උරුමයට දැක්වූ ඒ ගරුසරු කිරීම් හා අස්සන් කළ ගිවිසුම් ගැලපේ නම්, ඒ ගිවිසුම් රට හමුවේ නොතබන්නේ මන්ද?
අපායේ විරාමය
භික්ෂුව ගේ ඓතිහාසික කාර්යභාරය ආරක්ෂා කරදීමට එ තුමා ගේ මැදිහත්වීම අපි ඉහත සාකච්ඡා කළෙමු. මේ ඔබ වහන්සේලා ආණ්ඩුවට (දේශපාලන පක්ෂවලට), ඒ වගේ ම ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කෙරිය යුතු මොහොතක්. මේ, එදා භික්ෂුව ගේ ඓතිහාසික කාර්යභාරය ඉටු කළ හැකි ප්‍රබල ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය ව ඇති මොහොතක්. අද අප මේ ගෙවමින් සිටින්නේ, බංකොලොත්භාවයට ඇද වැටීම නිසා, ණය ආපසු ගෙවීමට ලද විරාමයක්. එදා, සාම සාකච්ඡා වෙනුවෙන් ප්‍රකාශිත සටන් විරාමයක් අප අතර සිටි ප්‍රවීණ ම දේශපාලන විචාරකයකු වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා හැඳුන්වූයේ, "අපායේ විරාමයක්" ලෙස.
මේ අප ගෙවමින් සිටින්නේ අපායේ දොරටු විවර වෙන තෙක් ලද මඳ විරාමයක් ද? කැබිනට් මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් අවසර ගැනීමකින් පවා තොර ව බංකොළොත් බව ප්‍රකාශයට පත්කර, මුල්‍ය අරමුදලේ අධීක්‍ෂණයට අප රට යටත් කළ මහබැංකු අධිපති ගෝඨාභය ජනාධිපතිතුමා ගේත් මහබැංකු අධිපති; රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේත් මහබැංකු අධිපති; දැන් අනුර කුමාර ජනාධිපතිතුමා ගේත් මහබැංකු අධිපති! දැන් අප 2028 සිට ණය ආපසු ගෙවීමේ හැකියාව ලබාගනිමින් සිටී ද? අපි, ලිප ගිනි මොළවන තෙක් දිය කෙළින කකුළුවන්ටත් වඩා අඥාන ද?
ට්‍රම්ප්ගේ මොහොත අපිට අභියෝගයක් ද...?
රජය එළඹෙන අභියෝගවල මුහුණ දීමට සූදානම් නොවේ නම්, දේශපාලන පක්ෂ ජනයාට සිහින විකිණීම තම ජිවිකාව කරගෙන නම්, මේ මහා සඟරුවන රටේ ජනතාව ඒ සඳහා සූදානම් කළ යුතු නැද්ද? කවර දුෂ්කර තත්ත්ව යටතේ වුව ද රට වෙනුවෙන් කැපවන ජාතික ව්‍යාපාරයක් අප ගොඩනැගිය යුතු නැද්ද? අද ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකාව වෙනුවෙන් ගනු ලබන තීරණ හමුවේ අපට කළ හැක්කේ හඬාවැටීම පමණ ද? බැගෑපත් ව හඬාවැටීම වෙනුවට දෙපයින් සිට ගැනීමට මෙය අවස්ථාවක් කරගැනීමට අප සිතිය යුතු නැද්ද? නිදහස් වෙළෙඳාම අවුලින්අවුලට යෑම අපට ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට යොදාගත නොහැකි ද? ගැමුණු වීර චරිතය එළාර ගේ, ආක්‍රමණිකයාගේ අහියෝගය හමුවේ නිර්මාණය වූවක් නොවේ ද? මේ සමරුව අර්ථවත් වන්නේ අප නලින් ද සිල්වා ඇදුරුතුමා පැතූ අනාගතය වෙනුවෙන් කැපවන්නේ නම් පමණි. මේ ඒ යුතුකම ඉටු කළ යුතු මොහොත යි!
@ ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
(Theleader වෙබ් අඩවියෙන් උපුටාගති)