SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලිපි පෙලට පූර්විකාවක්

 

සෝවියට් සංගමය ඇතුළු සමාජවාදී රාජ්‍යයන් තිබූ සමයේ නිරාගමිකයෙකු වීම, ආගම ඇතුළු මිත්‍යාවන් ලෙස මාක්ස්වාදීන් විසින් සැලකූ දේ වලට එරෙහිව විද්‍යාව අභිෂේක කිරීම, පිළිබඳව පුළුල් සංවාද ගොඩනැගී තිබුණි. එම සංවාද වටා විශාල පිරිස් එකතු වී තිබූ අතර එම අදහස් නියෝජනය කල අය සඳහා සමාජය තුල අනන්‍යතාවයක් ද ගොඩනැගී තිබුණි. නමුත් අද වන විට එවැනි සංවාද කිසිවක් නොමැත. එකල එවැනි අනන්‍යතාවයක් නඩත්තු කිරීම එවැනි අයට ආඩම්බරයක් වූ නමුත් අද එවැන්නකු වීම කිසිවෙකුත් නොසලකන හෝ පරිභවයට ලක්විය හැකි කාරණාවකි.

 

විද්‍යාව තහවුරු කිරීම සඳහා වාමාංශිකයින් විසින් දරන ලද උත්සාහය ඒ අයුරින් සාර්ථක නොවුන ද (සෝවියට් සංගමය පැවති සමයේ එහි ක්‍රියාත්මක වූවාක් මෙන්) අද වන විට තහවුරුව ඇත්තේ විද්‍යාවයි. නමුත් වාමාංශිකයින් විසින් නිශේධ කිරීමට උත්සාහ දැරූ ආගම ද විද්‍යාව සමගම තහවුරුව ඇත. එනම්, දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි.

 

දක්ෂිණාංශිකයින්ට ස්වභාවික රටාවක් (natural order) පිළිබඳ තම දැක්ම සාධාරණීකරණය කිරීම සඳහා විද්‍යාව සමඟ සහයෝගීව කටයුතු කළ හැකිව ඇත. ඊට ඉතා හොඳින්ම පදනම වැටෙනුයේ පරිනාමවාදය වැනි සමහර ආකාරයේ ජීව විද්‍යාත්මක නිර්ණායකවාදයන් තුලිනි. පන්තිමය, සමාජීය, ආර්ථික හෝ වාර්ගික වේවා, ඕනෑම අසමානතාවයන් ජීව විද්‍යාව හෝ ජාන විද්‍යාව තුළ පදනම් වෙමින් ස්වාභාවික සහ නොවැළැක්විය හැකි බවට තර්ක කිරීමට දක්ෂිණාංශික දෘෂ්ටිවාදයන් බොහෝ විට විද්‍යාවේ භාෂාව භාවිතා කරයි. 

 

වමට අදාලව සැලකීමේදී, තාර්කික යුතෝපියාවක්, තාක්ෂණික හා සමාජ ගොඩනැංවීමක් හරහා සමාජයේ ව්‍යුහයන් කෙරෙහි පූර්ණ පාලනයක් සඳහා ඇති ආශාවක් පැනවීම සඳහා විද්‍යාව භාවිතා කෙරුණි (සෝවියට් සංගමය ඇතුළු සමාජවාදී රටවල). අද දවසේ ද ඉතිරිව ඇති වාමාංශිකයින් ඒ ස්ථාවරයේම පසුවේ (ජවිපෙ සහ පෙසප විසින් එම ස්ථාවරය හොඳින්ම දරා සිටී).

 

SovietScience Gordin 1

 

විශේෂයෙන් සෝවියට් යුගයේ දී වාමාංශික චින්තනය විසින් විද්‍යාත්මක සමාජවාදය වැළඳ ගත් අතර (“සමාජවාදය මනොරාජ්‍යයෙන් විද්‍යාව කරා සංවර්ධනය වීම” නමින් කෘතියක් ද ඇත) සමාජය පරිපූර්ණ කිරීම සිදුවන්නේ විද්‍යාව තුලින් බව පිළිගැණුනි. 

 

දක්ෂිණාංශිකයින් විද්‍යාව භාවිතා කරන්නේ අසමානතාවයන් ස්වභාවිකකරණය කිරීම, සාධාරණීකරණය කිරීම සහ පවතින ධූරාවලි ශක්තිමත් කිරීම සඳහා (උදා: සමාජ ස්ථරීකරණය පැහැදිලි කිරීම සඳහා ජීව විද්‍යාත්මක හෝ ජානමය තර්ක භාවිතා කිරීම වැනි ලෙස…) වන විට වාමාංශිකයින්, අනෙක් අතට, තාර්කික, සැලසුම් සහගත සමාජයක් නිර්මාණය කිරීමේ මාධ්‍යයක් ලෙස විද්‍යාව වැළඳ ගැනීමට නැඹුරු වී තිබේ. ඒ අනුව පැවසිය හැක්කේ දෙපාර්ශවයම දේශපාලන තීරණ ගැනීමේදී විද්‍යාව අවසාන අධිකාරිය ලෙස දකින බවය.

 

ලංකාවට මාක්ස්වාදය පැමිණෙනුයේ එංගලන්තය හරහාය. ප්‍රථම මාක්ස්වාදී දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය 1935 වසරේදී පිහිටවනු ලැබූ පුරෝගාමීන් එංගලන්තයේ සහ ඇමරිකාවේ ඉගෙනුම ලැබූ අයයි. ලංකාවේ වාමාංශික පක්ෂ වල ඉතිහාසය ගතහොත් ඒවා ගොඩනංවා ඇති ආරම්භක නායකයින් අයත් වන්නේ ඉහල ප්‍රභූ පැලන්තියටය. එසේම එම පුරෝගාමී නායකයින් සියලු දෙනාම විදේශ අධ්‍යාපනය ලැබූවන්ය.

 

Left2

 

මාක්ස් – ට්‍රොස්කිවාදීන් ලෙස ඔවුන් දරා සිටි දෘෂ්ටිවාදය වූයේ “දයලෙක්තික භෞතිකවාදයයි”. එම පක්ෂයේ පළමු පෙළ නායකයින් ආර්ථික විද්‍යාව ඉගෙනගත් අය ලෙස මාක්ස්වාදී ආර්ථික නියතිවාදය දැඩි ලෙස වැළඳගැන්මට ලක්ව තිබුණි. ඔවුන් ඉතා ආඩම්බරකාරී ලෙස ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් කෙරෙහි උත්ප්‍රාසාත්මක වූයේ “ඓතිහාසික භෞතිකවාදයේ” එන සමාජ සංවර්ධන නියතිවාදය තුල ඉදිරි ලෝකය යනු අනීවාර්ය ලෙසම කුමක්ද යන්න දන්නා පිරිසක් ලෙසය. එනම්, ඊට අදාළ “වාස්තවික සත්‍ය” “සොයාගෙන” ඇති අතර එම දැනුම ඔවුන් සතුව තිබෙන බවට ඔවුන් ආඩම්බරකාරී විය. ඔවුනට අනුව සාම්ප්‍රදායික ප්‍රභූන් සහ සාමාන්‍ය මිනිසුන් යනු එම “වාස්තවික දැනුම” නොමැති ඒ ගැන නොදන්නා පිරිස්ය. එබැවින් “දැනුවත් කිරීම තුලින් පන්තිය සවිඥානික කිරීම” ඔවුන්ගේ විශාලතම කාර්යභාරය ලෙස සැලකුණි.

 

පසුව ල.ස.ප. දෙකඩ වී ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂය ලෙස ඉන් කොටසක් සංවිධානය විය. ඒ සෝවියට් සංගමයේ කොම්යුනිස්ට් පක්ෂයේ ලාංකීය ශාකාව ලෙසය. “සෝවියට් ප්‍රගති ප්‍රකාශක මන්දිරය” මගින් ඉතාම අඩු මිලට මාක්ස්, එංගල්ස්, ලෙනින් කෘතීන් මෙන්ම රුසියානු ලේඛකයින් විසින් රචිත කෘතීන් වල පරිවර්තන ද බෙදා හැරීම ආරම්භ වන්නේ ඉන් පසුය. ට්‍රොස්කිවාදී වාමාංශය සහ කොම්යුනිස්ට් පක්ෂය යටපත් කරමින් බිහි වූ ජවිපෙ සඳහා මෙම කෘතීන් ඉතා බලපෑම් සහගත විය. 

 

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පමණක් නොව 20 වන සියවසෙහි සමාජවාදයේ පදනම වූයේ විද්‍යාවට පදනම දැමූ කාටිසියානු ආත්මයයි. කාටිසියානු ආත්මය රඳා පවතින්නේ ලෝකය වාස්තවිකව නිරීක්ෂණය කළ හැකි හුදකලා, තාර්කික පුද්ගලයෙකුගේ දැක්මක් මතය. එනම්, විශේෂයෙන් වාස්තවික දැනුමක් ලබා ගත හැකි ඒකාබද්ධ, ස්වයං දැනුවත් පුද්ගලයෙකි.

 

නූතන විද්‍යාව, නිරීක්ෂකයාගේ ආත්මීයත්වයෙන් වෙන්ව, දැනුම ශුද්ධ වශයෙන්ම වාස්තවික (objective) වන බව පිළිගැනීමෙන් මෙම කාටිසියානු උරුමය රඳවා ගනී. 

 

ඒ අනුව, සෝවියට් සමාජවාදය ක්‍රියාත්මක වූයේ බුද්ධිප්‍රබෝදී (enlightenment) බෝඩ් ලෑල්ල යටතේය. සෝවියට් සමාජවාදය සමාජය සහ ඉතිහාසය මත සම්පූර්ණ, තර්ක බුද්ධිමය පාලනයක් තහවුරු කිරීමෙන් “ශුද්ධ වශයෙන්ම බුද්ධිප්‍රබෝධයේ” ආකාරයක් අත්කර ගැනීමට උත්සාහ දරන ලදී. වෙනත් වචන වලින් කිවහොත්, එය සමාජ බලවේග සහ ඓතිහාසික වෙනස්කම් පිළිබඳ විද්‍යාත්මක, “භෞතිකවාදී” (ද්‍රව්‍යවාදී) අවබෝධයක් මත පදනම්ව ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළේය. එම මූලධර්මය අනුගමනය කරමින් සෝවියට් පාලන තන්ත්‍රය, සෝවියට් බුද්ධිප්‍රබෝධි යුගය තුල තර්ක-බුද්ධිය (reason), ප්‍රගතිය සහ සමාජ පරිවර්තනය සඳහා වූ කැපවීමේ සැබෑ උරුමක්කාරයා ලෙස තමන්ව සැලකුවේය. එහි ප්‍රතිපක්ෂය ලෙස පෙනී සිටි ඇමරිකාව ලිබරල් ධනවාදය ලෝකයේ සංස්ථාපනය කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් තෝරාපත්කරගත් ජාතික රාජ්‍ය ලෙස ක්‍රියාත්මක විය. අද දවසේ එය ඉතා හොඳින් තහවුරුව ඇත.

 

“විද්‍යාත්මක සමාජවාදය” පිළිබඳ සෝවියට් සංගමයේ විශ්වාසය සහ සමාජ හා දේශපාලන ප්‍රගතියට මඟ පෙන්වීම සඳහා තාර්කිකත්වය වැළඳ ගැනීම ද “පිරිසිදු බුද්ධිප්‍රබෝධය” පිළිබඳ එම ආඛ්‍යානයට හොඳින් ගැලපුනි. විද්‍යාව සහ “තර්ක බුද්ධිමය හේතුව” (තර්ක බුද්ධිමය හේතුව සත්‍ය ලෙස) තුළින් සමාජය නිර්මාණය කර සදාතනිකව මිනිස් දුක් වේදනා තුරන් කළ හැකි බව සෝවියට් නායකයින් විශ්වාස කළහ. කෙසේ වෙතත්, තර්ක බුද්ධිය සහ විද්‍යාත්මක සැලසුම් කිරීම සඳහා වූ මෙම කැපවීම අවසානයේ සැබෑ බුද්ධිප්‍රබෝධය සමෘද්ධිමත් වීමට ඉඩ සැලසූ දේවල් මර්දනය කිරීමට හේතු විය. දෘෂ්ටිවාදය විසින් ජීවිතයේ සියලු අංශ තීරණය කරන දැඩි හා පීඩාකාරී පද්ධතියක් නිර්මාණය කෙරුණි.

 

වාමාංශික සහ දක්ෂිණාංශික යන පාර්ශවයන් දෙකම පිළිගෙන ඇති ස්ථාවරය වන්නේ අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය (objective reality) පවතී යන ස්ථාවරයයි. ඒ අනුව දක්ෂිනාංශිකයින් නෛසර්ගිකවම ද වාමන්ශිකයින් ඊට එරෙහි සුවිශේෂී දෘෂ්ටිවාදයක් ලෙස වැළඳගත් දයලෙක්තික සහ ඓතිහාසික භෞතිකවාදය ද යන දෘෂ්ටිවාදයන් තුල ධාවනය වේ. ජවිපෙට කිසිඳු පැකිලීමකින් තොරව ධනවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකිව ඇත්තේ අපෙන් ස්වායත්ත සහ සංජානනය කල හැකි වාස්තවික යථාර්තය පවතී යන ඔවුනගේ න්‍යායික ස්ථාවරය දරා සිටින බැවිනි.

 

 

ඉහත ස්ථාවර දෙකම (සැබවින්ම ස්ථාවරය) ප්‍රශ්න කරමින්, “සමාජවාදයට නව අර්ථකතනයක්” අවශ්‍ය බව පවසමින්, වාස්තවික යථාර්ථයේ පැවැත්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, “බටහිර විද්‍යාවට” එරෙහිව ලංකාව තුල ප්‍රථම වරට බරපතල ස්ථාවරයක පිහිටන්නේ නලින් ද සිල්වා පමණි. ඉහත ස්ථාවරය දෙකටම එරෙහිව ලංකාව තුලින් පැමිණි එකම විකල්පය වූයේ එයයි. පසු කලෙක නලින්ගේ ඉදිරිපත් කිරීම “සමාජවාදයට නව අර්ථකතනයක්” යන්න වෙතින් විතැන් වෙමින් “සිංහල බෞද්ධ ජාතිකත්වය” බවට පත්විය.

 

490268842 3065347290281377 8050031993217536808 n 1

 

කෙසේ වෙතත් බටහිර විද්‍යාව පිළිබඳව ඔහුගේ කියවීම මෙරට වාමාංශිකන් හට දිරවා ගැනීමට නොහැකි විය. එය තේරුම් ගැනීමට උත්සාහ දරනවාට වඩා ඔවුන් විසින් සිදු කරන ලද්දේ නලින් යනු ජාතිවාදියෙකු බවත්, මෙතරම් ආශ්චර්යජනක, කීර්තිමත් විද්‍යාව ප්‍රතික්ෂේප කරන අමු පිස්සෙකු බවත්, විඥානවාදීයෙකු බවත්, පවසමින් ඔහුට ගැරහීමයි. ඔහුට විවේචන ගෙන ආ මෙරට බොහෝ වාමාංශික කොටස් විචාරය සඳහා අල්ලා ගත්තේ ජාතිය, ජාතිකත්වය, ඊළාම් අරගලය වැනි ඔහුගේ ඉදිරිපත් කිරීම් වල ඔවුනට ගෝචර වන ස්ථානයන්ගෙන් පමණි. නමුත් කිසි විටකත් ඔහු නූතන විද්‍යාව (ඔහුට අනුව බටහිර විද්‍යාව) සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය සමග කිසිවෙකුත් සාර්ථකව නොපැටලුන අතර පැටලුන කිහිප දෙනා ඔහුගේ නූතන විද්‍යාව පිළිබඳව අදහස ප්‍රශ්න කරන ලද්දේ සාම්ප්‍රදායික බුද්ධිවාදී ස්ථාවරයේ සිටය (උදාහරණයකට කළෝ ෆොන්සේකා සහ වික්‍රමභාහු කරුණාරත්න).

 

නමුත් තේරුම්ගත යුතු කාරණය වන්නේ නලින්ගේ දේශපාලන ගොඩනැංවීම, එනම් “සිංහල බෞද්ධ ජාතිකත්වය” යන්න ව්‍යුත්පන්න වූයේ යථාර්තය පිළිබඳව ඔහුගේ ස්ථාවරය තුලය යන්නයි. ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය නොපවතීය යන්නයි.

 

මගේ ලෝකය කෘතියේ පෙරවදනෙහි ඔහු මෙසේ සඳහන් කරයි: 

“මම ජීවත්ව සිටින තාක් මම ලෝකයේ ම කොටසක් වෙමි. එසේ නම් මට බාහිර ව ලෝකයක් ගැන පැවසීම නිවැරදි ද? සමස්තය එහි කොටසකට බාහිර ව පැවතිය නො හැකිය. එබැවින් මගෙන් බාහිරව ලෝකයක් පවතී ය යන්න නිවැරදි නොවේ. එසේ නම් මා කිව යුත්තේ මගෙන් ස්වායත්ත ව ලෝකයක් පවතින බව ද?

 

ලෝකයේ කොටසක් ව මා ජීවත්වන තාක්කල් මා කරන කියන දෑ ලෝකයට ද බලපායි. ඒ බලපෑම නො සලකා හැරිය හැකි ප්‍රමාණයේ එකක් බව සැබෑ ය. එසේ වුවත් මා ලෝකයේ කොටසක් වීම නිසා ම ලෝකයට මගෙන් ස්වායත්ත විය හැකි නොවේ.”

 

ඔහු එම ස්ථාවරයට පැමිණියේ මාක්ස්වාදී දේශපාලන පක්ෂයකදී ඔහු විසින් ද දරා සිටි වාස්තවික යථාර්තය පිළිබඳව ස්ථාවරයෙන් පිටමන් වෙමිනි. නමුත් නලින් වැනි පුද්ගලයෙකු එවැනි විතැන් වීමකට ගමන් කලේ ඇයි ද යන්න පවා බරපතල ලෙස සලකා බැලීමට ඔහු සිටි දේශපාලන පක්ෂය හෝ සමත් නොවුනි.

 

පහතින් දක්වන්නේ වී. ජී. අපනාසියෙව්ගේ “මාක්ස්වාදයේ මූලධර්ම” නමැති කෘතියේ “දර්ශනයේ මූලික ප්‍රශ්නය” නමැති පළමු පරිච්ඡේදයෙන් උපුටා ගත් කොටසකි:

 

“මිනිසා වටා ඇති ලෝකය දෙස ප්‍රවේශමෙන් බලන්නේ නම් එහි ඇති සියලුම වස්තු සහ ප්‍රපංච එක්කෝ ද්‍රව්‍යමය, නැතිනම් විඥානමය හෙවත් අධ්‍යාත්මික වන බව පෙනෙනු ඇත. වාස්තවිකව පවතින හැම දෙයක්ම, එනම් මිනිසාගේ විඥානයෙන් බැහැරව සහ ඉන් ස්වාධීනව (මිහිපිට ඇති වස්තු සහ ක්‍රියාදාමයන්, විශ්වයේ ඇති අසංඛේය වස්තූන් ආදිය) ද්‍රව්‍යමය වස්තූ හා ප්‍රපංච වන්නේය. අනෙක් අතට මිනිසාගේ චින්තයෙහි පවතින හැම දෙයක්මත් ඔහුගේ මානසික ක්‍රියාකාරීත්වයට අයත් (කලපනා සහ සංවේදනා, චිත්තවේග, වින්දනය ආදී….) මේ හැම දෙයක්ම විඥානමය, අධ්‍යාත්මික ක්ෂේස්ත්‍රයට අයත්ය.

 

ද්‍රව්‍යමය සහ අධ්‍යාත්මික දෑ එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද? අධ්‍යාත්මය හෝ විඥානය විසින් ද්‍රව්‍ය බිහි කලේද නැති නම් ද්‍රව්‍ය විසින් විඥානය බිහිකරනු ලැබුවේද? දර්ශනයේ මූලික ප්‍රශ්නයට අඩංගු වන්නේ මෙම සම්බන්ධයෙහි ස්වභාවයයි. චින්තනය සහ සත්වයා අතර සම්බන්ධතාවයයි. එනම් විඥානය සහ ද්‍රව්‍ය අතර සම්බන්ධයයි.”

 

අපනාසියෙව්ගේ එම ස්ථාවරය සඳහා පදනම වැටෙනුයේ ඩෙකාට්ස්ගේ ස්ථාවරයෙන් සහ විශේෂයෙන්ම ඩාවිනියානු පරිනාමවාදය තුලිනි. ඉහත ස්ථාවරයේ ප්‍රබලතම ප්‍රකාශකයින් වූයේ එංගල්ස්, ලෙනින් සහ ට්‍රොස්කිය. මාක්ස්ට ද ඩාවිනියානු පරිනාමවාදයේ බලපෑම නැතුවා නොවේ. නමුත් ඩාවිනියානු පරිනාමවාදය මැවුම්වාදයේම ව්‍යුත්පන්නයක් බව ඔවුන්ට නොවැටහුනි.

 

මෙහිදී අපනසියෙව්ගේ කෘතියේ උපුටනයක් දැක්වූයේ එංගල්ස්, ලෙනින් සහ ට්‍රොස්කිට වඩා ලාංකික මාක්ස්වාදීන්ට බලපෑම් සහගත පුද්ගලයා අපනාසියෙව් බැවිනි (ඔහු වෙතින් නියෝජනය වන්නේ එම රුසියානු මාක්ස්වාදීන්ගේ ස්ථාවරයයි). අපනාසියෙව්ට අනුව අපෙන් ස්වායත්ත, සංජානනය කල හැකි වාස්තවික යථාර්තය පවතී.

 

නලින් ද සිල්වා මෙසේ පවසයි:

 

“බටහිර විද්‍යාව පිළිබඳ මා දරණ ස්ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක් දැනුම් පද්ධතියක් පමණ ය. බටහිර විද්‍යාව එතෙක් තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී  විද්‍යාවන්ට වඩා වෙනස් වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියැවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක් (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක් විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස් වන්නේ එය පදනම්වන චින්තනයේ ඇති වෙනසක් නිසා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි.”

 

එනම්, ඔහුට අනුව බටහිර විද්‍යාව අනෙක් විද්‍යා ඇතුළු දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එය පදනම් වන චින්තනයේ ඇති වෙනස නිසාය. එම ස්ථාවරය ප්‍රතික්ෂේප නොකරන මුත් විද්‍යාව පිළිබඳව අපගේ ස්ථාවරය ඉන් වෙනස් වේ. මෙම ලිපි පෙළෙහි ඉදිරියේදී ඒ පිළිබඳව කරුණු දක්වනු ලැබේ.

 

එසේම “දැනුම” සම්බන්ධයෙන් නලින්ගේ ස්ථාවරයට අපගේ ස්ථාවරය ඒ අයුරින්ම සමාන නොවේ. එසේම වාස්තවික යථාර්තය පිළිබඳව වාමාංශික ස්ථාවරය ද අප සපුරා ප්‍රතික්ෂේප කරන්නෙමු.

 

 

මෙහිදී වැදගත් කරුණක් සඳහන් කල යුතුව ඇත. එනම්,  ලකානියානු මනොවිශ්ල්ෂණයට අනුව සියලු දැනුම මැදිහත්වනු ලබන්නේ භාෂාව, සංස්කෘතිය, සමාජ ප්‍රතිමාන – නීති, සම්මතයන් සහ හැඟවුම්කාරක පද්ධතියක් වන සංකේත රටාව (symbolic order) මගිනි.

 

 

අප යථාර්ථය වටහා ගන්නා සහ සංකල්පනය කරන ආකාරයම අප භාවිතා කරන භාෂාව සහ හැඟවුම්කාරක මගින් එය හැඩගැසී ඇත. වෙනත් වචන වලින් කිවහොත්, යමෙකු යමක් පරීක්ෂා කිරීමට හෝ “සොයා ගැනීමට” (විද්‍යාත්මක සොයා ගැනීම්) උත්සාහ කරන විට, එම දෙය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සැමවිටම ඔවුන් වාසය කරන සංකේතීය ව්‍යුහයන් මගින් තීරණය වේ. මෙයින් අදහස් කරන්නේ ආත්මයට කිසි විටෙකත් වාස්තවික, “ශුද්ධ” සත්‍යයකට ප්‍රවේශ වීමට නොහැකි බවත්; ඒ වෙනුවට, ඔවුන්ට ග්‍රහණය කර ගත හැක්කේ ඔවුන්ගේ සංස්කෘතික, භාෂාමය සහ සමාජීය රාමුව හරහා පෙරහන් කරන ලද සත්‍යයේ අනුවාදයක් පමණිය යන්නයි. ලැකාන්ට නම්, යථට (අමු, මැදිහත් නොවූ යථාර්ථයට) සෘජු ප්‍රවේශයක් නොමැත. එබැවින් ඕනෑම “සොයාගැනීමක්” සැමවිටම ක්‍රියාත්මක වන සංකේතීය පද්ධතිය මගින් හැඩගස්වනු ලැබේ. එබැවින්, “සොයා ගැනීම” යනු බාහිර සත්‍යයක පිරිසිදු හෙළිදරව්වක් නොව සංකේතීය සීමාවන් තුළ අර්ථ නිරූපණයක් හෝ ප්‍රතිසංකල්පීකරණයකි. වෙනත් අකාරයකට ප්‍රකාශ කරන්නේ නම් අපට ක්ෂිතිමය ලෙස හෝ රෝග ලක්ෂණයක් ලෙස මුණගැසෙන ඕනෑම දෙයක් (මෙතෙක් අර්ථකථනය නොවූ සහ ආගන්තුක) වෙත ප්‍රවේශ වීමේදී අපගේ සංකේත රටාව සැමවිටම පූර්ව සහ ආරම්භයක් බවට පත් වේ. 

 

මනොවිශ්ලේෂණයට අනුව, ආත්මයේ කේන්ද්‍රීය ව්‍යුහකරණය සිදුවන්නේ සංකේත රටාව මගිනි. එනම් ආත්මය ගොඩනැංවෙනුයේ සංකේත රටාව මගිනි. එය අප ඉපදෙන විටම අපට පූර්වයෙන් ගොඩනැගී ඇත. අප ඉපදෙනු ලබන්නේ ඒ තුලටය. නමුත් ලකාන්ට අනුව කිසි ලෙසකින් යටත් කල නොහැකි තත්වයක් ආත්මය සතුය. නලින් ද සිල්වාට මෙන්ම ඔහු අභාෂය ලැබූ පෝල් ෆෙයිරාබෙන්ඩ්, තෝමස් කූන් වැනි අයට ද අදාළ නොවූ, එනම් ඔවුන්ගේ ආකෘතිය තුල නොමැති, ඔවුන් අවබෝධ කරනොගත් දෙය එයයි.

 

මනෝ විශ්ලේෂණට ලැකාන්ගේ වැදගත්ම දායකත්වයක් වන්නේ ඔහුගේ යථ (the REAL) පිළිබඳ සංකල්පයයි. එය ඔහුගේ ආත්මය පිළිබඳ අවබෝධයේ කේන්ද්‍රීය කොටසකි. ලැකානියානු න්‍යායේ දී, යථ යනු ආත්මය මගින් සම්පූර්ණයෙන්ම සංකේතවත් කිරීමට, නිරූපණය කිරීමට හෝ දැන ගැනීමට නොහැකි දෙය වන අතර එය ආත්මයේ පැවැත්ම සහ අත්දැකීම් හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 

 

ලැකාන්ගේ ආකෘතිය තුල යථ යන්න පරිකල්පනීය (imaginary) සහ සංකේතීය (symbolic) යන රෙජිස්ටර දෙකෙන් වෙනස් වන අතර, ආත්මයේ අත්දැකීම් ව්‍යුහගත කරන අනෙක් අංගය එයයි. මෙහිදී යථ යනු බාහිර, එනම් අපෙන් ස්වායත්ත, සංජානනය කල හැකි ‘වාස්තවික යථාර්තය’ නොව, භාෂාව, සංකේතකරණය හෝ පරිකල්පනීයත්වය මගින් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි, යථාර්ථයේ නිරූපණය කළ නොහැකි අංගයයි. එය ආත්මයට කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකි හෝ සංකේතාත්මක ලෝකයට ඇතුළත් කළ නොහැකි පරතරයක්, හිස්බවක් හෝ නොමැතිකමකි. එනම්, සංකෙතරකරණයෙන් ඔබ්බට වන යමකි. එය භාෂාවෙන් නිරූපණය කළ නොහැකි හෝ පරිකල්පනීයත්වය මගින් ග්‍රහණය කළ නොහැකි යමකි. එය “නොහැකියාවක්” හෝ “සිතාගත නොහැකි” යමකි. ආත්මයට සංකේතවත් කිරීමට හෝ අර්ථවත් කිරීමට නොහැකි දෙයකි. යථ යන්න පරිකල්පනීය සහ සංකේතීය යන රිජිස්ටර දෙක මගින්ම සම්පූර්ණකරණයට විරුද්ධ වේ.

 

ලැකාන්ගේ ආත්මය යන්න භින්න හෝ බෙදී ඇත. යථ විසින් ආත්මයේ සවිඥානික අවබෝධය (පරිකල්පනය) සහ අත්දැකීම් සංවිධානය කරන සංකේතාත්මක ව්‍යුහයන් (සංකේතීය) අතර සීමාව සලකුණු කරයි. යථ යනු ආත්මයට තරණය කළ නොහැකි සීමාව වන අතර එය විසින් ආත්මය කිසිදා සමස්ත හෝ සම්පූර්ණ වීම වළක්වයි.

 

 

යථ යනු සෑම විටම ආත්මයට ග්‍රහණය කර ගත නොහැකි යම වන බැවින්, එය ආත්මීයත්වයේ (subjectivity) මූලික අංගයකි. ආත්මය සැමවිටම යථට සම්බන්ධිතව පවතින නමුත් එය සැමවිටම භාෂාව, සංකේත සහ සවිඥානකවයේ සීමාවන් මගින් එයින් වෙන් කරනු ලැබේ. මෙම බෙදීම විසින් ආත්මය ලෝකයට ඇති සම්බන්ධතාවය නිර්වචනය කරයි. ආත්මයේ ආශාව හැඩගස්වා ඇත්තේ එයට තිබිය නොහැකි දේ සහ සැබවින්ම තේරුම් ගත නොහැකි දේ (යථ), එය සැමවිටම සොයමින් හෝ ඒ සඳහා දැඩි ලෙස ආශා කරමින් සිටී යන කාරණය මගිනි. විද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඒ තුලිනි.

 

 

මෙම ලිපි පෙලින් විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය සාකච්චා කරන අතර, එය නලින් ද සිල්වාගේ ස්ථාවරයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්නත් ඒ අතරතුර සාකච්ඡා කරේ.

 

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කාරණයක් තිබේ. ඒ කොළඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිත ප්‍රජාවක් විසින් දෙවියෙකු ලෙස සලකන, නමුත් මේ වන විට කුල්ල කුජීත වී, පැත්තකට විසිවී ගොස් ඇති ක්වෙන්ටින් මෙයාසූ පිළිබඳවයි.

 

ක්වෙන්ටින් මෙයාසූගේ සමපේක්ෂන යථාවාදය (speculative realism) තුලින් යෝජනා කරනුයේ, සංජානනය කල හැකි අපෙන් ස්ව්‍යයත්ත (ආත්මයෙන් ස්ව්‍යයත්ත) වාස්තවික යථාර්තය පවතීය යන්නයි. 

 

ඔහුගේ ප්‍රධාන කෘතිය වන “After Finitude” (2006), කෘතියෙහි සහසම්බන්ධතාවාදය (correlationism) යනුවෙන් ඔහුම ගොඩනගන විකාරයක් ඔහු විසින්ම විවේචනය කරමින් නිරපේක්ෂ දැනුමේ (absolute knowledge) හැකියාව සහ මිනිස් අත්දැකීම් වලින් සැබවින්ම ස්වාධීන බැවින් අපට ලෝකයට ප්‍රවේශ විය හැකිය යන අදහස වෙනුවෙන් මෙයාසූ පෙනී සිටී. ඔහු අවධාරණයෙන් පවසා සිටියේ සමපේක්ෂන යථාවාදය විද්‍යාවේ දර්ශනය බවට පත්කළ යුතුය යන්නයි. ඔහු කිසි ලෙසකින් අපනාසියෙව්ගෙන් වෙනස් නොවේ.

 

සැලකිය යුතු ඉදිරිපත් කිරීමක් නොවූව ද ඔහුට වන්දනාමාන කරන අමනයින් පිරිසක් සිටින බැවින් මේ ලිපි පෙළ අවසානයේ සමපේක්ෂන යථාවාදය වෙත ද පිළිතුරක් සපයනු ඇත.

 

@ස්පාර්ටකස් ලිපි

උපුටාගැනීම - https://www.spartacus.lk/

(ස්පාර්ටකස් සාමූහිකයේ වෙනත් ලිපි කියවීමට අවශ්‍ය නම් ඉහත වෙබ් අඩවිය වෙත පිවිසෙන්න)