අපි අද මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ යන්න හරි නමුත් සංකීර්ණ මාවතක් තියෙනව. ඒ සංකීර්ණ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ ඒ පෝලිමේ සෙනඟ නැහැ.
තවත් පැත්තකින් සරල නමුත් වැරදි පාරක් තියෙනව. ඒ පාරෙ හෝ ගාල සෙනඟ. නමුත් ඒ අය යන්නෙ ප්‍රපාතයට. අවාසනාවකට ඕක තමයි අපේ රටේ කතාව. සරල නමුත් වැරදි උත්තර හොයාගෙන ගිහින් අපි හෙලේ වැටුණ. ආයෙ වැටෙන්න ඉඩ තියෙනවා.
ප්‍රභාකරන් කිව්ව අපේ මිනිස්සුන්ට මතක තියෙන්නෙ සති දෙකයි කියල. ගිය අවුරුද්දෙ ගාල්ලෙ කොටුව ළඟ දැවැන්ත ගෑස් පෝළිමක් තිබුණා. ඒ අත්දැකීම් අමතක කරන්න එපා. මේ 2023 වර්ෂයේ අපට උයන්න ගෑස් තියෙනව. ගමනක් යන්න හැකියාව තියෙනව. ඒත් හැම දේම වියදම් වැඩියි. මතක තියා ගන්න අපි ණය නො පියවා බංකොලොත් රටක බංකොලොත් මිනිස්සු හැටියට තමයි මේ හැම දේම කරන්නෙ. හෙට නැවත පෝළිම් එන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා.
ජංගම ගිණුමේ හිඟය
මම SLVlog එකේ අයත් එක්ක 2021 ඉඳන් ඔය ගැන කතා කර කර හිටිය. මම සාමාන්‍යයෙන් අනාගතය පුරෝකථනය කරන්නේ නැහැ. මම එයාලට කීව මුලින්ම එන්නෙ ගෑස් ප්‍රශ්නය කියල. කිව්වා වගේම ගෑස් ප්‍රශ්නය තමයි මුලින්ම ආවෙ. ගෑස් ආනයනය කරන්න ණයවර ලිපි ඇර ගන්න බැරි තත්ත්වයක් අපට ඇති වුණා.
මේ අවුරුද්දෙ අප්‍රේල් වෙන තුරු කාලයේ අපේ ආනයන වියදම් වලින් 30% ගියේ තෙල්වලට. ඕනම රටක වේදනාව මුලින්ම එන්නේ ඔතනින්. උදාහරණයක් හැටියට, මේ වෙලාවෙ බංගලිදේශයෙ අර්බුදයක මුල් ස්වරූපය තියෙනව. ඒ ගොල්ලන්ගෙත් ඉන්ධන ප්‍රශ්නය තමයි මුලින්ම එන්නෙ.
මෙතන වුණේ අපි ආනයනය කරන අපේ එදිනෙදා ජීවිතයට, අපේ කර්මාන්තකරුවන්ට, අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙන්වා ගැනීමේ හැකියාව නැතිවීම. ආර්ථික විද්‍යාවෙ තෙල්වලට කියන්නෙ පාරිභෝගික භාණ්ඩයක් කියල නෙමෙයි අතරමැදි භාණ්ඩයක් කියල. ඉන්ධන පාවිච්චි කරන්නේ වෙන දේවල් කරන්න. තෙල් නැත්නම් තේවත්තක ෆැක්ටරියට දලු ටික ගෙනියන්න බැහැ. අතරමැදි කියන සංකල්පයෙන් කියන්නෙ තෙල් නැති වුණාම මුළු ආර්ථිකයම බහින බව.
සමහරු කියනව අපට ආනයනය නොකර ඉන්න පුළුවන් කියල. 1970- 77 කාලෙ වගේ ආනයනය නොකර පරිප්පු, කරවල නැතිව, කව්පි කාල ඉන්න පුළුවන් කියල. මම ඒ අයගෙන් ඉල්ලන්නේ දත්ත දිහා බලන්න කියල. ලංකාවෙ ආනයන ගත්තහම, වැඩියෙන්ම වියදම් වෙන්නෙ සුපර් ඩීසල්වලට. සුපර් ඩිසල් ගහන්නේ ලොරිවලට නෙමෙයි V-8 වලට. ඊළඟට ඔක්ටේන් 92 සඳහා බිලියන 116ක් වියදම් කරල තියෙනවා. ඊළඟට වීට් ග්‍රේන් ඒ කියන්නෙ පාන් හැදීමට අවශ්‍ය ප්‍රීමා ෆැක්ටරියට ගෙනෙන මූලික අමුද්‍රව්‍ය. ඊළඟට තියෙන්නේ අපේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන. අපි කපන්නෙ මේ ආනයනවලින් මොනවද? මේ ආනයන අතරෙ ඇපල්, මිදිවලට ලොකුවට වියදම් වෙලා නැහැ. පරිප්පුවලට බිලියන 27ක් වැය කරල තියෙනව. සීනිවලට බිලියන 45ක්. සෙලියුලර් ෆෝන් තියෙනව, අපේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනව. ඊළඟට ප්‍රතිශක්තිකරණ එන්නත් තියෙනව. මේව නැවැත්තුවොත් මොකද වෙන්නෙ? ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය ආනයන නොකළොත් ඇඟලුම් අපනයනය කිරීම කරන්න බැහැ. ඒ අනුව ගත්තහම කපන්න තියෙන ආනයන අයිතම හරි අඩුයි.
දැන් අපට තේරෙනව අපනයන තියෙන්න ඕන. අපනයන නැතිනම් ඩොලර් නැහැ, ඩොලර් නැත්නම් ඉන්ධන නැහැ, ඉවුම් පිහුම්වලට ගෑස් නැහැ. ඉස්සර අපේ අපනයනවලින් 90% තිබ්බෙ තේ, රබර් , පොල්. දැන් තේ 14%යි, රබර් 8.8% තියෙනවා නමුත් ඉස්සර පටවපු රබර් නෙමෙයි දැන් යන්නෙ, ටයර්, ග්ලවුස් වගේ නිමි ද්‍රව්‍ය, අගය එකතු කළ නිෂ්පාදන. විදුලි සහ විද්‍යුත් උපකරණ අපනයනය 2.7% තියෙන්නෙ. අනිත් අතට අපි ලැප්ටොප් ගේනවා, ඒව නැතුව නවීන සමාජයක් ගොඩනගන්න බැහැ. අපි ඒව අපනයනය කරන්නේ නැහැ. ඒව අපනයනය කරන්නේ නැත්නම් අත්‍යවශ්‍ය ආනයනය කරන්නත් හැකියාවක් නැහැ කියලයි මම කියන්නෙ. අපේ අපනයන විවිධාංගීකරණය වෙලා නැහැ. මේක එක ප්‍රශ්නයක් විතරයි.
අපේ රටේ 2023 වසරේ පළමු මාස 09ට භාණ්ඩ අපනයනය 10%කින් අඩු වෙලා. ඒක වෙළෙඳ පොළ ප්‍රශ්නයක්, වෙළෙඳ පොළ ඉල්ලුම අඩු වෙලා. නමුත් අපේ සේවා අපනයනය 60% විතර වැඩි වෙලා. මොනවද මේ සේවා? අපි සේවා අපනයනය මූලික වශයෙන් කරන්නේ සංචාරක කර්මාන්තය මගින්. ඒ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක්. මෘදුකාංග වගේ දේවල් අපනයනය කරල ඩොලර් උපයනව. ඊට අමතරව තාක්ෂණික වශයෙන් සේවා අපනයනයක් ලෙස හඳුන්වන දෙයක් තියෙනව; අපි ඒ ගැන කියන්න ලැජ්ජයි. අපි කොරියාවට, ජපානෙට මිනිස්සු පටවල ඒ මිනිස්සු සල්ලි එවනව. ආර්ථික විද්‍යාවෙ සංකල්පමය වශයෙන් ගත්තම ඒක හතරවන මාදිලියේ සේවා අපනයනයක් කියලයි හඳුන්වන්නෙ.
දැන් 2021 වුණු දේ තමයි, එදිනෙදා ආනයන කටයුතුවලට අවශ්‍ය වියදම පවා අපනයන වලින් උපයා ගන්න බැරි වුණා. ගෑස් ගෙන්නන්න බැරි වුණා. රටේ බංකොලොත්භාවයේ අර්බුදය ආවෙ එතනින්. ඉන් එහාට අපට ණය ගෙවා ගන්න බැරි වුණේ මොකද වගේ දේවල් කතාකරන්න පුළුවන්. ණය පිළිබඳව අපි කළේ ණයක් අරන් තවත් ණයක් පියවන එක. ඒ දේ කරගන්නත් බැරි වුණා. ඒක තමයි අපේ ක්ෂණික ප්‍රශ්නය වුනේ.
රාජ්‍ය මූල්‍ය හිඟය
ලංකාවේ අර්බුදය ගැන කතා කරද්දි අපි හිඟ දෙකක් ගැන කියනව: ද්විත්ව හිඟ. එකක් මම පැහැදිලි කළ ජංගම ගිණුමේ හිඟය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය හිඟය. රාජ්‍ය මූල්‍ය කතාව ගැන අහන සමහර අය අපි මොකටද බදු ගෙවන්නෙ, බදු මොනවටද වියදම් කරන්නෙ, වගේ දේ අහනව.
මම පැහැදිලි කරන්න යන්නෙ, ලංකාවේ බදු ආදායමට වෙන දේ. ලංකාවේ බදු වර්ග තුනයි. එකක් අපි හැමෝම ගෙවන වැට් එක; අගය එකතු කල බද්ද. ඊළඟට අපි අල, පරිප්පු, කිරි පිටි පැකට් එකක් ගන්න විට තව බද්දක් ගෙවනව, ඒව විදේශ වෙළෙඳාම මත පනවන බදු. ඊට අමතරව රටේ ඉතාම සුළු පිරිසක්, අසාධාරණ ලෙස සුළුතරයක්, ආදායම් බදු ගෙවනව. මේ බදුවලට වුණු අලකලංචිය නිසා තමයි රට අර්බුදයට ගියේ. මොකද එතකොට මිලියන එක හමාරක විතර තිබුණු අපේ ආදායම් බදු ෆයිල් ගෝඨාභය මහත්තය ආපු හැටියෙ ලක්ෂ හතරට බැස්සුව. ඒ නිසා ආණ්ඩුවට ණය ගෙවා ගන්න බැහැ කියල ශ්‍රේණිගත කිරීම්වලින් පහළට දැම්ම. ජාත්‍යන්තර ණය ගන්න බැරි තත්වයකට අපි වැටුණා. අපි පතුලට ගියේ එතැනින්.
දැන් අපේ ආදායම් ප්‍රභව තුනම එකතු කරල ඒව මොකටද පාවිච්චි වෙන්නෙ? 2016, 2017 කාලෙ බදු ආදායමෙන් 46%ක් 50% වගේ ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට වැය කළා. සෞඛ්‍යය, බන්ධනාගාර, ජලසම්පාදන, හමුදා (වැටුප් හැර), ලිපි ද්‍රව්‍ය ආදියට 54% ක් හෝ 50% ක් ඉතිරි වුනා.
එතකොටත් රාජ්‍ය බදු ආදායම මදි. ඉතුරු ටික කළේ දේශීය සහ විදේශීය ණයවලින්. 2020 මොකද වුණේ, රාජ්‍ය ආදායම ඩිග් ගාල වැටුණ. වියදම් හෙමින් හෙමින් වැඩි වුණා. එතකොට, රජයේ ප්‍රධාන බදු ආදායම්වලින් 86%ක් වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට වැය වුණා. දැන් මදි කොටසට මොකද කළේ? පිටරටින් සල්ලි දෙන්නෙත් නැහැ. මහ බැංකුවට සල්ලි මවන්න (සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ සල්ලි අච්චුගැසීම) කිව්වා. මුදල් මැවීමේ ප්‍රතිඵලයක් හැටියට බඩු මිල ඉහළ ගියා. 70% උද්ධමනයක් ආව. මොකද සල්ලි තිබුණාට ඒව හරි සල්ලි නෙමෙයි මවපු සල්ලි. 2020, 2021 වුණ දේ ඕක.
2022 අවුරුද්දෙ බදු වැඩි කළා ඔක්කොම වැඩි කළා. ඒත් 2018 මට්ටමට යන්න බැරි වුනා. මේක තමයි අපේ අර්බුදයෙ ස්වරූපය. අපි ඇති වෙන්න අපනයන වර්ධනය කරලත් නැහැ. ආනයනය අඩු කරන්නත් බැහැ. බදු ආදායම වැඩි කරගන්නත් බැහැ, ටිකක් වැඩි කරගන්න පුළුවන් වුණත් අපට හරි වේදනයි. වියදම් අඩු කර ගන්නෙත් නැහැ. වියදම් කතාව ගත්තොත්, මැතිවරණ වර්ෂවල රාජ්‍ය වියදම 15% කින්, 25%කින් අනිවාර්යයෙන් රජයේ වියදම වැඩි වෙනව. පක්ෂ දෙකම කරන්නෙ එහෙමයි. හැම ආණ්ඩුවම කරන්නේ අපේ සල්ලි අපටම අල්ලස් ලෙස දීල අපේ ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක් තමයි.
මේ අර්බුදය එක් එක් ජන කොටස්වලට බලපාන්නෙ කොහොමද? ගිය අවුරුද්දෙ අප ආදායම් බදු වැඩි කළා, දොස්තරල, විශ්ව විද්‍යාල ආචාර්යවරු වගේ අය අනේ අපට දරාගන්න බැහැ කියල මහා ලොකු ගෝරියක් දැම්ම. රට දාල යනව වගේ දේ කිව්ව. ඒ කාලෙ 2023 පෙබරවාරි ඡන්දයක් එනව කියල ආරංචියක් තිබුණ. ලී ක්වාන් යූ මහත්තය කියල තියෙනව ලංකාවෙ ඡන්ද කියන්නෙ නොමැති සම්පත් වෙන්දේසි කිරීමේ ක්‍රමවේදයක් කියල. ඡන්දෙ එද්දි ඒ ඒ පක්ෂ වෙන්දේසියේ ලංසු තිබ්බ.
ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් බලමු. මේ වසරේ සිට ක්‍රියාත්මක බදු ක්‍රමය යටතේ මාසයකට ලක්ෂ 1.25 නැත්නම් අවුරුද්දකට මිලියන 1.5ක් උපයන කෙනෙක් ඉන්නව කියල හිතන්න. එයා මේ ක්‍රමය යටතෙ වසරකට ගෙවිය යුතු බද්ද, ආදායමෙන් 1.2%ක් නැත්නම්, රුපියල් 18,000/- ක්. ඊළඟට සෑහෙන්න ධනවත් පුද්ගලයෙක් ඉන්නව, එයා මාසයට මිලියන දෙකක් උපයනව; ඒ කියන්නෙ අවුරුද්දට මිලියන 24යි. එයාගෙ ප්‍රතිශතය 32.3% යි. එයා ගෙවන්න ඕන මුදල මිලියන 7.8යි .
පළාත් පාලන මැතිවරණ වෙන්දේසියේ ජනතා විමුක්ති පෙරමුණ දුන්න ලංසුවක්. සජබත් ලංසුවක් දුන්න. ඒ ලංසු දෙක අනුව බැලුවොත්, වසරට මිලියන 1.5ක් උපයන කෙනා බදු ගෙවන්න ඕනම නැහැ. මිලියන දෙකක් උපයන කෙනා ජවිපෙ ලන්සුව යටතේ ගෙවන්නෙ මිලියන 5යි. එයාට ඉතිරි වනවා මිලියන 2.8ක්. සජබ ලන්සුව අනුව කළා නම්, මිලියන 7.1ක් ගෙවන්න වෙනව. ඉතිරිය රුපියල් හයලක්ෂ හතළිස් අට දාහයි. මේ වෙන්දේසිය කරන්නේ මධ්‍යම පන්තියට. රටේ බොහොම සුළු සංඛ්‍යාවක් ඉන්න බදු ගෙවන පන්තියට කරන වෙන්දේසියක්. ඡන්ද දිනන්න අපේ දේශපාලන පක්ෂ කරන්නේ මේව නම්, රජයේ වියදම් ණය නොගෙන අපේ මුදල්වලින් ගෙවන්න අපට බැරි වෙනව.
මගේ මතය මධ්‍යම පන්තිය මේක දරාගෙන ඉන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. ඒ අය කියනව අපේ බදු සල්ලි නාස්ති කරනව කියල. ඒව වියදම් කරන්නේ රජයේ සේවකයන්ට පඩි, විශ්‍රාම වැටුප් ගෙවන්න. එතන ගහන්න දෙයක් නැහැ. ගහන ගැහිලි තියෙනව. ඒ සේරම කරන්නෙ ණය ගත්තු සල්ලිවලින්. ඒ වැඩේ තියෙන්නෙ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ. ඒ හේතුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රසම්පාදනය ගැන වැඩි උනන්දුවක් දක්වනව.
අර්බුදයෙන් වැඩිම පීඩනය කාටද?
පහු ගිය කාලෙ අපේ රටේ දරිද්‍රතාවෙන් එළියට ආව සෑහෙන පිරිසක් හිටිය. ආණ්ඩුවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ මිලියන තුනක් හිටියා. දැන්, වසංගතයට රට වැසීමත් ආර්ථික අර්බුදයත් නිසා සංශෝධනය කරන ලද ආණ්ඩුවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ මිලියන හතක්, නැත්නම් රටේ ජනගහනයෙන් 31%ක් ඉන්නව. මේව විශ්වසනීය විද්‍යාත්මක දත්ත. 47% - 48% අතර සංඛ්‍යාවක් තමන්ගේ කෑම වේලේ ප්‍රමාණය අඩු කළා. කලින් වේල් තුන කෑව 33% ක් වේල් දෙකට බැස්ස. 27% මවුපියො තමන්ගේ කෑම අඩු කරල දරුවන්ගේ කෑම වේල දුන්නා. 31 % ගෙදර තිබුණු රත්තරන් බඩු, ශීතකරණ (ලංකාවේ නිවාස 60%ක ශීතකරණ තියෙනවා; මහන මැෂින්වලට වඩා ෆ්‍රිජ් තියෙනවා) වගේ දේ වික්ක. ඉතිරි කිරීම් ක්ෂය කරගෙන තමයි ජීවත් වෙන්නේ කියල 50% කියනව.
වගකීම කාගෙද?
අපේ ආර්ථිකයේ නිදන්ගත රෝගයක් තිබුණා.ඒ තමයි මුලින් කීව හිඟ දෙක. මේ රෝග අතරට වෙන වෙන ආර්ථික රෝගත් ආව, ඒ රෝගවලට ගොඩ වෙදකම් කළා. ඒකෙන් රට මුළුමනින්ම අර්බුදයට ගියා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා කියනවා, මේ අර්බුදයෙන් රැකෙන්න පුළුවන් ඍජුවම ඩොලර් උපයන අයට පමණයි කියල.
මේක ඒ තරමට පුළුල් සහ ගැඹුරු අර්බුදයක්. මේ අර්බුදයෙන් රටේ ජනගහනයෙන් තුනෙන් එකකට තමයි වැඩියෙන්ම වැදුණෙ. ඒක ඒ අයගෙ වරදක් නෙමෙයි, එයාල තමන්ගේ පාඩුවෙ වැඩක් කරගෙන හිටිය අය. හැබැයි ඒ අයත් 100% නිර්දෝෂිත් නැහැ.
ලංකාවෙ ගුරුවරු ආදායම් බදු වැඩි කිරීමට විරුද්ධව පෙළපාලි ගියා. ඒ අයට මාසයකට ලක්ෂයකට වැඩියෙන් හම්බ වෙනවද? නෑ! ජෝශප් ස්ටාලින් මහත්තය විරුද්ධ නිසා ගුරුවරු බදුවලට විරුද්ධයිලු. ආණ්ඩුවේ ආදායම් ප්‍රවර්ධනය කර ගන්න වත්කම් තියෙන අයගෙන් බදු ගන්නවට විරුද්ධව වත්කම් නැති මිනිස්සුත් කතාකරනව. හැමෝටම බලපාන VAT බදු ගැන සද්දයක් නැහැ. ඒ තමයි අපේ සංස්කෘතිය.
මැතිවරණ කාලෙට මහපොළ, සමෘද්ධිය වැඩි කරල දුන්නම ඒ මිනිස්සුන්ට ඡන්දය දෙනව. පිළිවෙළක් ඇතිව, වගකීමෙන් වැඩ කරන, මේ ප්‍රශ්න නිරාකරණය කරන්න උත්සාහ කරන දේශපාලනඥයන්ට ඡන්දය දෙන්නෙ නැහැ. කට හැකර, බොරුකාර දේශපාලනඥයන්ට තමයි අපේ මනාපය. ඒක තමයි, අපි කාගෙත් වරද. කවුරුත් නිර්දෝෂී නැහැ කීවෙ ඒ නිසයි.
@මහාචාර්ය රොහාන් සමරජීව
(“අපට සිහිනයක් තිබේ” සාමුහිකය ඔක්තෝබර් 27 දා ගාල්ලේ සංවිධානය කළ ගාලු පුරවැසි සභාව හමුවේ කළ කතාව ඇසුරෙනි )
උපුටාගැනීම - Theleader.lk