හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව
රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කිරීමේ චෝදනාව මත පැවැත්වෙන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂයකට එළැඹ තිබේ.
ඊයේ (23) දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ඖෂධ නියාමන අංශ ප්‍රධානී අකිලා කුමාරි ඒකනායක ගේ හරස් ප්‍රශ්න විමසුම හරහා, මෙරට ඖෂධ නියාමන පද්ධතියේ පවතින බරපතල ව්‍යුහාත්මක දුර්වලතා නීතියේ කිරුම් පඩියට ලක්විය.

මෙම නඩු විභාගය හුදෙක් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඉරණම තීන්දු කරන්නක් පමණක් නොව, සමස්ත සෞඛ්‍ය පද්ධතියේම විනිවිදභාවය පිළිබඳ මහජන විශ්වාසය උරගා බලන්නකි. විත්තියේ නීතිඥවරුන් විසින් මතු කරන ලද තර්ක සහ ඒ සඳහා සාක්ෂිකාරිය ලබා දුන් පිළිතුරු තුළින්, නෛතිකව සාධනය කළ යුතු "අපරාධ චේතනාව" (Mens Rea) සහ "පද්ධතිමය දුර්වලතා" (Systemic Failures) අතර ඇති සියුම් බෙදුම් රේඛාව මනාව විද්‍යාමාන වේ.
පහත දැක්වෙන්නේ අධිකරණයේදී මතු වූ ප්‍රධාන නෛතික තර්ක සහ ඒවායේ විවරණයයි:
1. පද්ධතිමය දුර්වලතා ද? නැතහොත් අපරාධ චේතනාව ද?
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ:
"ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද ඔබ අධිකාරිය මගින් පරීක්ෂා කරන්නේ?" සාක්ෂිකාරිය: "බොහෝවිට හරි අඩක ප්‍රමාණයක් වගේ තමයි රසායනාගාර වෙත යොමු කරන්නේ... එහෙම පරීක්ෂා කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ඖෂධ නියාමන අධිකාරියට නෑ. එහෙම නැතිනම්... නිෂ්පාදිත සමාගමෙන් ඉදිරිපත් කරන රසායනාගාර වාර්තා ඇතුළු ලේඛන මත තමයි අවසර දෙන්නේ."
- නෛතික විවරණය:
විත්තියේ හරස් ප්‍රශ්න ඇසීමේ මූලික අරමුණක් වන්නේ පැමිණිල්ලේ නඩුව සම්බන්ධයෙන් 'සාධාරණ සැකයක්' (Reasonable Doubt) මතු කිරීමයි. මෙහිදී විත්තිය උත්සාහ කරන්නේ අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කිරීම විත්තිකරුවන්ගේ හිතාමතා කළ කුමන්ත්‍රණයක් හෝ වංචාවක් නොව, එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කලක සිට පවතින සම්පත් හිඟකම සහ දුර්වල පරිපාලන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දීමටයි. රසායනාගාර පරීක්ෂණ නොකර විදේශීය සමාගම්වල වාර්තා මත පමණක් පදනම්ව අනුමැතිය දීම සාමාන්‍ය පිළිවෙතක් නම්, මෙම විශේෂිත සිදුවීමේදී පමණක් විත්තිකරුවන්ට වංචා කිරීමේ චේතනාවක් තිබූ බව ඔප්පු කිරීම පැමිණිල්ලට අභියෝගාත්මක විය හැක.

2. පූර්වාදර්ශ සහ තෝරාගත් නඩු පැවරීම් පිළිබඳ තර්කය
විත්තියේ නීතිඥවරයා:
"2025 වසර තුළදී පමණක්... ආනයනය කළ ඖෂධ අතරින් 79 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත්... මා යෝජනා කළොත්?"
සාක්ෂිකාරිය:
"එහෙමයි ස්වාමීනී"
විත්තියේ නීතිඥවරයා:
"...එකී සංකූලතා වලින් ඇස් අන්ධ වූ පිරිස්... ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවාද? එවැනි නඩු පැවරුම් නිසා ඔබ අධිකාරියේ යමෙකු හෝ අත්අඩංගුවට පත්වීමක් සිදුවී තිබෙනවාද?" සාක්ෂිකාරිය: "එහෙම මතකයක් නම් නෑ."
- නෛතික විවරණය:
මෙය විත්තිය විසින් ගොඩනගන ප්‍රබල නෛතික පලිහකි. ඖෂධ අසමත් වීම් සහ ඉවත් කිරීම් යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් සිදුවන්නක් බවත් (2025 දී පමණක් 79ක්), එවැනි අවස්ථාවලදී පරිපාලන නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් හෝ අපරාධ නඩු පැවරීමක් සිදු නොවන බවත් පෙන්වා දීම මින් අපේක්ෂා කෙරේ. ඒ හරහා, වත්මන් නඩුකරය සාමාන්‍ය පරිපාලනමය දෝෂයක් ඉක්මවා ගිය අපරාධයක් ලෙස සැලකීමට ඇති පදනම ප්‍රශ්න කෙරේ.

3. සාක්ෂිවල විශ්වසනීයත්වය සහ නිල වගකීම
විත්තියේ නීතිඥවරයා:
"ඔබ සේවය කළ ඖෂධ ඇගයීම් කමිටුව මගින් ලබාදෙන සහතික ටයිප් කලේ කවුද? කුමන අංශයක පරිගණකයකින්ද?"
සාක්ෂිකාරිය:
"මට ඒ ගැන හරියටම කියන්න බෑ... දැන් මට ඒ ගැන මතක නෑ."
විත්තියේ නීතිඥවරයා:
"අංශ ප්‍රධානියා ලෙස ඔබට ඒ ගැන දැනුමක් නෑ කියන්නේ ඔබ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මා යෝජනා කරනවා."
- නෛතික විවරණය:
අපරාධ නඩුවකදී ලේඛනමය සාක්ෂිවල (Documentary Evidence) සත්‍යතාව සහ ඒවා නිර්මාණය වූ ආකාරය (Chain of Custody) තහවුරු කිරීම අතිශය වැදගත්ය. අංශ ප්‍රධානියා වැනි වගකිවයුතු තනතුරක් දැරූ ප්‍රධාන සාක්ෂිකාරියකට නිල ලේඛන සකස් වූ ආකාරය පිළිබඳ මතකයක් නොමැති වීම, ඇයගේ සාක්ෂියේ විශ්වසනීයත්වය (Credibility) බිඳ හෙළීමට විත්තියට කදිම අවස්ථාවක් සපයයි. සාක්ෂිකරුවෙකුගේ නොසැලකිල්ල හෝ මතකය දුර්වල වීම විත්තිකරුවන්ට වාසිදායක ලෙස 'සාධාරණ සැකයක්' නිර්මාණය කිරීමට හේතු වේ.

මෙම හරස් ප්‍රශ්න ඇසීම තුළින්, නියාමන ක්‍රියාවලියේ පවතින අතිශය බරපතල හිඩැස් මහජනතාව ඉදිරියේ නිරාවරණය වී ඇත. පැමිණිල්ල ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ, මෙම ලියකියවිලි අනුමත කිරීම් හුදු පරිපාලනමය දුර්වලතා හෝ සම්පත් හිඟකම නිසා සිදුවූවක් නොව, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ පැහැදිලි "අපරාධ චේතනාවකින්" යුතුව සිදු කරන ලද්දක් බව 'සාධාරණ සැකයෙන් තොරව' (Beyond Reasonable Doubt) අධිකරණය හමුවේ ඔප්පු කිරීමයි. නීතියේ තුලාධාරය සමබර වනු ඇත්තේ ඉදිරියේදී කැඳවනු ලබන සාක්ෂිකරුවන්ගේ (විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ) සාක්ෂි මතින් ගොඩනැගෙන කරුණු මතය.
[මෙම නඩුව තවදුරටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බැවින්, සියලුම විත්තිකරුවන් වරදකරුවන් බවට නිසි අධිකරණයකින් තීන්දු කරන තුරු නීතිය ඉදිරියේ නිර්දෝෂී පුද්ගලයන් ලෙස සැලකේ].
නඩු වාර්තාව
23/02/2026
එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා නිල බලයෙන්ම ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති ධුරය දැරූ බවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ඉදිරිපත් කරන අයදුම් පත් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ඉදිරිපත් කරන ඖෂධ අතරින් ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරය වෙත යොමු කිරීමක් කරනුයේ භාගයක පමණ කොටසක් වන්නේ යැයි ඖෂධවේදනියක වන අකිලා කුමාරි ඒකනායක මහත්මිය විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (23) පැවසුවාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පැමිණිල්ලේ 33වන සාක්‍ෂිකාරිය ලෙස නම් කර තිබූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, ඖෂධවේදනියක ලෙස කටයුතු කරන එම මහත්මිය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පළමු දිනට සාක්ෂි ලබා දුන්නාය.
ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා හා ඊට අදාල ඇමනුම් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය එම සාක්ෂිකාරිය මගින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
අනතුරුව දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබතුමිය සෑහෙන කාලයක් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා කීවනේ. ඔබම තමයි නිල බලයෙන්, ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කළෙත් කියා මායෝජනා කළොත් ඔබ එය පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අය තමයි ඖෂධ ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙත්.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද ඔබ අධිකාරිය මගින් පරීක්ෂා කරන්නේ කියලා කියලා මම යෝජනාවක් ලෙස ඇසුවොත් ඔබට ඒ ගැන දැනුමක් තිබෙනවාද කියලා..
සාක්ෂිකාරිය ; එලෙස ආනයනය කිරීමට ඉල්ලුම් කළ ඖෂධ වර්ග අතරින් බොහෝවිට හරි අඩක ප්‍රමාණයක් වගේ තමයි රසායනාගාර වෙත යොමු කර ඒවායේ ප්‍රමිතිය නැත්නම් ගුණාත්මක භාවය පිළිබඳව සොයා බලන්නේ. එහෙම පරීක්ෂා කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ඖෂධ නියාමන අධිකාරියට නෑ. විශේෂයෙන් ඖෂධ ඇගයීම් කමිටුව ඉල්ලීමක් කළොත් එතනදි යෝජනාවක් ආවොත් තමයි රසායනාගාර වෙත යවන්නේ. එහෙම නැතිනම් ඖෂධ ආනයනකරු ඒවා නිෂ්පාදනය කරන රටේ නිෂ්පාදිත සමාගමෙන් ඉදිරිපත් කරන රසායනාගාර වාර්තා ඇතුළු ලේඛන මත තමයි ඒවා ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ.
විත්තියේ නීතිඥවරයා ; මේ වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මුල් සතිය දක්වා ඔබලා එලෙස ආනයනය කිරීමට අවසර ලබා දුන් ඖෂධ පහක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවත්වාගෙන යන වෙබ් අඩවියේ පළවී තිබූ බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. එහෙම මතකයි.
විත්තියේ නීතිඥ ; 2025 වසර තුළදී පමණක් ඖෂධ නියාමන අධිකාරියේ නිසි අනුමැතිය ලබාගෙන රටට ආනයනය කළ ඖෂධ අතරින් 79 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ආනයනය කළ එම ඖෂධ වර්ග 79 න් එකක් විදේශ රටකින් පරිත්‍යාග ලෙස ලැබුණ එකක් බවත් තවත් එක් ඖෂධයක් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ආනයනය කළ ඖෂධයක් බවටත් මම යෝජනාා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥවරයා ; බොහෝ එන්නත් වර්ග දියර වර්ග ලෙසනේ ආනයනය කරන්නේ. ඒවා රසායනාගාර මගින් නිසි පරීක්ෂණයකට ලක් නොකළොත් එම දියර වර්ගයේ අඩංගු කුමන එන්නත් වර්ගයද කියලා සනාථ කරගන්නේ කොහොමද? එලෙස පරීක්‍ෂා කිරීමේ වගකීම තිබෙන්නේ නිසි බලධාරියා වන ඖෂධ නියාමන අංශයට කියලා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය ; බොහෝ එන්නත් වර්ග සුදු පැහැති දියර ඒවා රසායනාගාර පරීක්ෂණයක් නොකළොත් අඳුර ගන්න බෑ.
විත්තියේ නීතිඥවරයා ; පසුගිය කාලය තුළ විවිධ සංකූලතා ඇති වූ ඖෂධ වර්ග එන්නත් වර්ග ඔබගේ ඖෂධ නියාමන අංශයේ අනුමැතියට යටත්වනේ ගෙන්වා ඇත්තේ. එහෙමනම් එකී සංකූලතා වලින් ඇස් අන්ධ වූ පිරිස් හා තවත් විවිධ සංකූලතා ඇති පිරිස් ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවාද? එවැනි නඩු පැවරුම් නිසා ඔබ අධිකාරියේ යමෙකු හෝ අත්අඩංගුවට පත්වීමක් සිදුවී තිබෙනවාද?
සාක්ෂිකාරිය; එහෙම මතකයක් නම් නෑ
විත්තියේ නීතිඥ; ඔබ සේවය කළ ඖෂධ ඇගයීම් කමිටුව මගින් ලබාදෙන සහතික ටයිප් කලේ කවුද ? කුමන අංශයක පරිගණකයකින්ද කියලා ඔබ දැනුවත්ද කියලා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය; මට ඒ ගැන හරියටම කියන්න බෑ.
විත්තියේ නීතිඥ; අංශ ප්‍රධානියා ලෙස ඔබට ඒ ගැන දැනුමක් නෑ කියන්නේ ඔබ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මා යෝජනා කරනවා?
සාක්ෂිකාරිය; නෑ මම කියන්නේ දැන් මට ඒ ගැන මතක නෑ කියන එකයි. මට ඒ ගැන හරි අවබෝධයක් නෑ.
නම වන විත්තිකාර හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ද සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකළ අතර පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න ඇසීම සඳහා අද (24) යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එම සාක්ෂිකාරියට විනිසුරු මඩුල්ල අවවාද කළේය.
පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ මුදල් අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කටයුතු හා මානව සම්පත් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතාට හෙට (24) පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමටද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

