2019–2024 කාලසීමාව ශ්‍රී ලංකා දේශපාලනයේ සරල පක්ෂ මාරුවක් නොව, සමස්ත සමාජ–දේශපාලන පද්ධතියේ
ගැඹුරු අසාර්ථකත්වයට ජනතාව විසින් දැක්වූ ප්‍රබල ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය. ආර්ථික අර්බුදය, රාජ්‍ය ආයතනික අසාර්ථකත්වය, පවුල් පාලනය, දූෂණය සහ පක්ෂීය අධිකාරීවාදය එකට මුණගැසුණු තැන, සම්ප්‍රදාය බිඳ දැමීමේ සහ නව පාලනයක අවශ්‍යතාව ජනමනස තුළ තදින් ගොඩනැගුණි.

JVP–මාලිමා සන්ධානය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රචාරණ යන්ත්‍රණය සහ සන්නිවේදනය ජනතාවගේ හදවත් තුළට තදින්ම දැනෙන්නට වූයේ මෙම පසුබිම තුළය.

3% සිට ජයග්‍රහණය දක්වා සහ වත්මන් අභියෝග
පැරණි පක්ෂ සංස්කෘතියට විරුද්ධ විකල්පය ලෙස ජනප්‍රියත්වය දිනාගත් JVP–මාලිමා සන්ධානය, 3%ක්ව පැවති සිය මූලික ඡන්ද පදනම ජයග්‍රහණය දක්වා ගෙන යාම නව දේශපාලන විප්ලවයක් බඳුය. එහෙත් බලය ලැබීමෙන් පසු, තමන් එතෙක් විවේචනය කළ සම්ප්‍රදායික පක්ෂ මාර්ගයටම ඇද වැටීමේ අවදානමකට ඔවුන් මුහුණ දී සිටී.
හිටපු කථානායක අශෝක රංවල මහතාගෙන් ආරම්භ වූ මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලු, කථානායකවරයාට සහ ඇමතිවරුන්ට එරෙහිව නැගෙන චෝදනා මෙන්ම කන්ටේනර් සහ ගල් අඟුරු වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මතු වන දූෂණ චෝදනා ඔවුන්ගේ “පිරිසිදු පක්ෂ” ප්‍රතිරූපය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇත.

මීට අමතරව, ප්‍රතිපත්තිමය අසංවිධානාත්මකභාවය, පාලන අත්දැකීම් අඩුකම සහ IMF කොන්දේසි යටතේ පවතින ප්‍රායෝගික සීමාවන් නිසා ඔවුන්ගේ අතීත දේශපාලන ප්‍රකාශයන්ට පටහැනි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පාලන රටාවේ දැකිය හැකි සෘජු වෙනස්කම්

කෙසේ වෙතත්, වත්මන් පාලන රටාව තුළ ජනතාවට දැනෙන සාධනීය වෙනස්කම් කිහිපයක්ද හඳුනාගත හැකිය. විශේෂයෙන්ම V8 සහ ඩිෆෙන්ඩර් රථ පෙළපාලි සීමා වීම, පොලිස් ආරක්ෂක රථ (Escort) භාවිතය අවම වීම, ප්‍රභූ ගමන් බිමන් වෙනුවෙන් මාර්ග වැසීම නතර වීම සහ රාජ්‍ය වාහන අවභාවිතය වැළැක්වීම කැපී පෙනේ. එසේම මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, පාර්ලිමේන්තු ආහාර මිල ඉහළ දැමීම සහ දැඩි මූල්‍ය විනයක් අනුගමනය කිරීම රටේ පාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ලකුණු ලෙස සැලකිය හැකිය. මෙම සාධනීය කරුණු ඉදිරියට පවත්වාගෙන යාම මීළඟට බලයට පත්වන ඕනෑම පාලනයකින් ජනතාව බලාපොරොත්තු වන මූලික සාධක වනු ඇත.
ජනතාවගේ නව තීරණ මාවත

මෙවැනි වටපිටාවක, ජනතාව නැවතත් නව විකල්පයක් සෙවීමේ මනෝභාවයකට තල්ලු වීම ස්වාභාවිකය. එහෙත් ජනතාවට තදින් දැනෙන ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව සපුරාලීමට සමත් විකල්පයක් මේ දක්වා මතු නොවීම කනගාටුවට කරුණකි.
අද වන විට ජනතාව තීරණ ගන්නේ පක්ෂ නාම, පැරණි නායකයන් හෝ අතීත සිදුවීම් මත පදනම්ව නොවේ. ඔවුන් සිය තීන්දුව ගනු ලබන්නේ තමන්ගේ ජීවිතය, ආර්ථිකය සහ අනාගතය යන සාධක පදනම් කරගනිමිනි. 2022 අරගලයෙන් පසු ජනතාව වටහාගත් නව සත්‍යය වන්නේ; පාලන කාර්යක්ෂමතාව, දූෂණ විරෝධය, ආර්ථික ප්‍රතිඵල සහ ජීවන තත්ත්වය උසස් කරන නිවහල් පිරිසිදු පාලනයක අවශ්‍යතාවයි.

[සුදත් චන්ද්‍රසේකර කර්තෘ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයෙකි. ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් මෙන්ම උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ සහ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ].

