2023 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය සඳහා
රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගොනුකර ඇති නඩුව, මේ වනවිට හුදෙක් දේශීය දේශපාලන දඩයමකින් ඔබ්බට ගිය අතිශය සංකීර්ණ ජාත්‍යන්තර නෛතික චෙස් ක්‍රීඩාවක් බවට පරිවර්තනය වෙමින් තිබේ.
පැය 31යි විනාඩි 10ක ලන්ඩන් ට්‍රාන්සිට් කාලයක් වෙනුවෙන් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන විසින් ඉදිරිපත් කළ අධික වියදම් ඇස්තමේන්තුව මුල් කරගනිමින් ඇරඹි මේ නඩුවේ විත්ති කූඩුවට නැගීමට පෙර, රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික කඳවුර විසින් සමස්ත පරීක්ෂණයම වෙනස් මාවතකට හරවන අලුත්ම සැලසුමක් දියත් කර ඇති බව දැන් රහසක් නොවේ.
මෙම හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ලන්ඩනයේ "ස්කයිවින්ග්ස් ට්‍රැවල්ස්" (Skywings Travel) නමැති ආයතනය සහ බ්‍රිතාන්‍යයේ "2010 අල්ලස් පනත" (UK Bribery Act 2010) යි.
ස්කයිවින්ග්ස් හැරවුම: විත්තියේ අලුත්ම ගේම් ප්ලෑන් එක
ස්කයිවින්ග්ස් යනු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ අතිශය සමීප සබඳතා පැවැත්වූ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි සමාගමකි. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය දැන් තර්ක කරන්නේ, මුදල් ගෙවීම් සිදුවී ඇත්තේ බ්‍රිතාන්‍ය අධිකරණ බලසීමාව තුළ බ්‍රිතාන්‍ය සමාගමකට බැවින්, මෙහිදී දූෂණයක් හෝ අසාමාන්‍ය ගාස්තු අයකිරීමක් සිදුවී ඇත්නම් එය විමර්ශනය කළ යුත්තේ බ්‍රිතාන්‍ය නීතිය යටතේ බවයි. විශේෂයෙන්ම, යම් වරප්‍රසාදයක් වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙම ආයතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ නම්, එය බ්‍රිතාන්‍යයේ අල්ලස් පනතට අනුව බරපතළ වරදකි.
මෙමගින් හිටපු ජනාධිපතිවරයා තම කර මතට එන "සාවද්‍ය මුදල් පරිහරණය" යන චෝදනාව, දූෂිත නිලධාරී තන්ත්‍රයක් සහ විදේශීය සමාගමක් අතර සිදුවූ "ප්‍රසම්පාදන වංචාවක්" (Procurement fraud) දක්වා සාර්ථකව විතැන් කරමින් සිටී.
ශානිලා සහ දිලීප පීරිස්ලාට ඇති සැබෑ අභියෝගය: SFO සමග එක්වීම
මෙම නඩුව මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හමුවේ දැන් ඇත්තේ වෙනස්ම අභියෝගයකි. මෙම වියදම් ඇස්තමේන්තුව සැකසූ නිලධාරිනිය (සරෝජා) වසන් කරමින් හුදෙක් ඉහළ දේශපාලන චරිතයක් පමණක් ඉලක්ක කිරීමෙන් මෙය "පෞද්ගලික හෝ දේශපාලන උවමනාවක්" මත ක්‍රියාත්මක වන්නක් බවට සමාජය තුළ මතයක්/කතිකාවක් නිර්මාණය වෙමින් පවතී. එසේ වීමට බලපා ඇත්තේ ශානි/ආණ්ඩුව පාර්ශ්වයෙන් කතිකාවට දායක වන තරිඳු උඩුවරගෙදර, සනත් බාලසූරිය, සරෝජ් පතිරණ වැනි මාධ්‍යවේදීන්ගේ පෙනී සිටීමේ භාශාවත්, ප්‍රතිපක්ෂව රජිත් කීර්ති තෙන්නකෝන්, නිලන්ත සත්සර, සුදර්ශන ගුණවර්ධන, සහ වෙබ් මාධ්‍ය හරහා කෙෂාල් ජයසිංහ වැන්නවුන්ගේ භාශාවත් එක්කෙරෙමිනි.
එහි දිගුවක් ලෙස යෝජනා වන්නේ, ඔවුන් සැබැවින්ම දූෂණයට එරෙහිව සටන් කරන්නේ නම්, ඔවුන් කළ යුත්තේ දේශීය නීති රාමුවෙන් ඔබ්බට ගොස් බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (Serious Fraud Office - SFO) සමඟ එක්ව කටයුතු කිරීමයි.
- SFO හි නීතිමය පටිපාටිය: බ්‍රිතාන්‍ය සමාගමක් විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීම (Foreign bribery) හෝ වංචා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පැමිණිලි භාරගැනීමට සහ විමර්ශනය කිරීමට SFO ආයතනයට පූර්ණ බලය ඇත. ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් SFO වෙත පැමිණිලි කර, අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතා ගිවිසුම් (Mutual Legal Assistance) හරහා ස්කයිවින්ග්ස් සමාගමේ ගිණුම් වාර්තා සහ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඇති ඊමේල් ගනුදෙනු පරීක්ෂා කළ හැකිය. සැබෑ හොරුන් ඇල්ලිය හැක්කේ එවිටය.
රාජ්‍ය මුදල් වෙන්කිරීමේ සම්මත ක්‍රමවේදය කෝ?
මෙහිදී සිතාමතාම සඟවන ඇත්තක් තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුගේ හෝ නිලධාරියෙකුගේ විදෙස් සංචාරයක් සඳහා මුදල් වෙන් කිරීම හිටිහැටියේ සිදුවන්නක් නොවේ.
- අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය (High Commission) විසින් නවාතැන්, ප්‍රවාහනය සහ ආරක්ෂාව සඳහා වන වියදම් ඇස්තමේන්තුවක් සකස් කර විදේශ කටයුතු අමාත්‍යාංශයට එවනු ලබයි.
- ඉන්පසු එය ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහා භාණ්ඩාගාරයේ (Treasury) අනුමැතියට යොමු කෙරේ.
- මුදල් නිදහස් කරන්නේ මෙම දැඩි නිලධාරිවාදී පෙරහනින් පසුවය.
එසේනම්, පැය 31කට ලක්ෂ 166ක් වැනි අතාර්කික ඇස්තමේන්තුවක් හැදුවේ කවුද? එය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අනුමත කළේ කුමන නිලධාරීන්ද? මේ සමස්ත නිලධාරී දාමයම ආරක්ෂා කරමින් එක පුද්ගලයෙකුට පමණක් ඇඟිල්ල දිගු කිරීම නෛතික වශයෙන් විශාල දුර්වලතාවකි.
කපටි නරියා සහ ලිලිපුට්ටන්ගේ සටන
දේශපාලන පිටියේ අත්දැකීම් බහුල, නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව මනා අවබෝධයක් ඇති රනිල් වික්‍රමසිංහ වැනි "කපටි නරියෙකු" සමඟ නීතියෙන් හැප්පෙන්නට යාමේදී, හැඟීම්බර දේශපාලන න්‍යායපත්‍ර පසෙකින් තබා තර්කානුකූලව සිතීම අනිවාර්ය වේ. දේශීය නීති පොතේ ඇති පටු රාමු තුළින් පමණක් මෙවැනි ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නා ගැටලුවකට ප්‍රවේශ වීමට උත්සාහ කළහොත්, බ්‍රිතාන්‍ය අල්ලස් පනත සහ ජාත්‍යන්තර ආයතනික නීතිය (Corporate Law) නමැති දැවැන්ත පවුර ඉදිරියේ ශානි අබේසේකරලාට සහ දිලීප පීරිස්ලාට සිදුවන්නේ "ලිලිපුට්ටන්" බවට පත්වීමටය.
සඟවන ඇත්ත නම්, මෙම නඩුව හරහා විවෘත වී ඇත්තේ දේශපාලඥයෙකුගේ ගිණුමක් නොව, දශක ගණනාවක් තිස්සේ විදේශ දූත මණ්ඩල සහ අතරමැදි සමාගම් ජාලයක් හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය තාන්ත්‍රික දූෂණයේ අඳුරු අගාධයකි. මෙය දේශපාලන පලිගැනීමක්ද, නැතිනම් සැබෑ පද්ධතිමය වෙනසක් (System change) සඳහා වන විමර්ශනයක්ද යන්න තීරණය වන්නේ, CID ය හුදෙක් කොළඹින් නවතිනවාද, නැතිනම් SFO හරහා ලන්ඩනයටම යනවාද යන්න මතය. කෙසේ වුවත් මෙම නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ ජනප්‍රිය මැති ඇමැතිවරු තවමත් නිහඩ වෘතයක කොටස්කරුවන් ය.
# සමාරා පරණවිතාන

