මෑතකදී ඉන්දියාවේ සිය මංගල සංචාරය නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිය පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉන්දු-ලංකා සබඳතා පිළිබඳව පුළුල් අදහස් දැක්වීමක් සිදු කළේය.
"ද හින්දු" පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් සමග පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු අවධාරණය කළේ ජවිපෙ කිසිදා ‘ඉන්දියානු විරෝධී’ පක්ෂයක් නොවූ බවත්, ඔවුන් විරුද්ධ වූයේ 1980 දශකයේදී ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් ඉන්දු-ලංකා ගිවිසුමක් පැටවූ එවකට සිටි ඉන්දීය රජයේ ක්‍රියාකලාපයට පමණක් බවත්ය.
ජාතික ජන බලවේගය රජයේ ආර්ථික ප්‍රතිපත්ති, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දේශපාලන බල ව්‍යුහය මෙන්ම බුදුදහම සහ රණවිරුවන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදී කාලීන මාතෘකා රැසක් පිළිබඳව ඔහු මෙහිදී විවෘතව අදහස් දක්වා තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන දිශානතිය තේරුම් ගැනීම සඳහා ඉමහත් පිටිවහලක් වන එම සම්මුඛ සාකච්ඡාව පහතින් කියවන්න.
ප්‍රශ්නය: ඔබ ඉන්දියාවට යාමට තීරණය කළේ ඇයි?
පිළිතුර: මම යන්න තීරණය කළේ නැහැ. ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ (ICCR) කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහනට (DVP) සහභාගී වන ලෙස මට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල හරහා ආරාධනාවක් ලැබුණා. ඒක මගේ පළමු ඉන්දීය සංචාරයයි.
ප්‍රශ්නය: ඔවුන් එම වැඩසටහන සැකසුවාද, නැතිනම් ඔබ සංචාරය කළ යුතු ස්ථාන තෝරා ගත්තාද?
පිළිතුර: ඔවුන් වැඩසටහන සැකසුවා, නමුත් මට විශේෂ කැමැත්තක් ඇත්දැයි ඇසුවා. කේරළය බොහෝ දුරට ශ්‍රී ලංකාව හා සමාන යැයි මට හැඟුණු නිසා මට කේරළයට යාමට අවශ්‍ය බව මම පැවසුවා.
ප්‍රශ්නය: ඔබ අමුල් සමුපකාරය නැරඹීමට ගියා. මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) පවත්වාගෙන යාම සඳහා පසුගිය රජය අමුල් සමඟ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජාතික ජන බලවේගයේ රජය ගත් තීරණය සම්බන්ධයෙන් ඔබේ සංචාරයෙන් යම් වෙනසක් සිදු වූවාද?
පිළිතුර: මෙම සංචාරය සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ සංවර්ධනය, විශේෂයෙන්ම බොහෝ ක්ෂේත්‍රවල තාක්‍ෂණය භාවිත කිරීම පෙන්වීමටයි. කිරි ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා තාක්‍ෂණය යොදාගෙන ඇති, ඔවුන්ගේ ජීවන තත්ත්වයෙහි සැලකිය යුතු වර්ධනයක් ඇති කර ඇති එක් ස්ථානයක් තමයි අමුල්. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය රජයේ පාලනය යටතේ පවතින බව අපි ඉන්දීය රජයට පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම අංශය දියුණු කිරීමට, විශේෂයෙන්ම නව තාක්‍ෂණය හඳුන්වා දීමට සහාය ලබා ගැනීමට අපි විවෘතයි.
ප්‍රශ්නය: ඔබේ පක්ෂය ඉන්දියානු විරෝධීව සිට, පසුව ඊට හාත්පසින්ම වෙනස් වී ඉන්දියාව සමඟ ඉතා සමීප වීමට තෝරාගෙන ඇති බවට පුළුල්ව කතාබහට ලක්වෙනවා නේද?
පිළිතුර: අපි කිසිදා ඉන්දියාවට විරුද්ධ වුණේ නැහැ. අපි එදා ක්‍රියා කළේ රජීව් ගාන්ධි යටතේ එවකට තිබූ ඉන්දීය රජයටත්, ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන රජයටත්, ඔවුන් අනුගමනය කළ දේශපාලන ප්‍රතිපත්තිවලටත් එරෙහිවයි. ඒ නිසා අපි රජීව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන යන ආණ්ඩු දෙකටම විරුද්ධ වුණා. එය සිදු වූයේ ඉන්දු-ලංකා ගිවිසුම පසුබිම් කරගෙනයි. අදටත් අපි පවසන්නේ එය නොවිය යුතුව තිබූ දෙයක් බවයි. එය මීට වසර 38කට පෙර ඉතිහාසයක්, දැන් ලෝකය වෙනස් වෙලා. ඉන්දියාව වෙනස් වෙලා, අපිත් වෙනස් වෙලා. අතීතය අනාගත සබඳතාවලට බාධාවක් කරගත යුතු නැහැ. අපි මේ තර්කයෙන් ගියොත් අපිට බ්‍රිතාන්‍යයත් එක්කත් ගනුදෙනු කරන්න බැහැ. ඔවුන් අපිව යටත් විජිතයක් කර ගත්තා; ඔවුන් 1815 කැරැල්ල මැඩපැවැත්වුවා යනාදිය, නමුත් අපි දැන් ඉදිරියට ඇවිත් තියෙනවා. ඉතිහාසය යනු ඉතිහාසයයි, අපි කවුරුත් එයින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. වර්තමානයට ගැළපෙන විදිහට අපි වැඩ කළ යුතුයි. අතීතයේ ජීවත් වීම වැරදියි.
ප්‍රශ්නය: විශේෂයෙන්ම 1988-90 කාලසීමාව තුළ ඔබේ පක්ෂයේ ඉන්දීය විරෝධී ස්ථාවරය හේතුවෙන් විශාල විනාශයක් සිදු වූවා, එහිදී බොහෝ ජීවිත බේරා ගැනීමටත්, පොදු දේපල විනාශ වීම වළක්වා ගැනීමටත් ඉඩ තිබුණා නේද?
පිළිතුර: එම විනාශය ජේ.ආර්. ජයවර්ධන මහතාට වළක්වා ගැනීමට ඉඩ තිබුණා. තම කැබිනට් මණ්ඩලයවත් දැනුවත් නොකර, මහජනතාව අඳුරේ තබා ඔහු මේ ගිවිසුමට අත්සන් නොකළේ නම් මේ තත්ත්වය උදා වන්නේ නැහැ. ඔහුගේ කැබිනට් අමාත්‍යවරයකු වූ ගාමණී ජයසූරිය මහතා ඊට විරෝධය පා ඉල්ලා අස්වුණා. ජනතාව ඊට (ගිවිසුමට) සාමකාමීව විරෝධය පළ කළා, නමුත් එය ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් බවට පත් කළේ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් සහ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කරමින්.

(ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
ඡායාරූපය - ඉන්දික හඳුවල)
ප්‍රශ්නය: රජයේ ක්‍රියාමාර්ගවලට ඔබේ පක්ෂය ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඔබට සහ පක්ෂයට යම් පසුතැවිල්ලක් තිබෙනවාද?
පිළිතුර: අයිසැක් නිව්ටන් පවා පවසා ඇත්තේ 'සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති' බවයි. අපි ක්‍රියා කළේ නැහැ. අපි කළේ ප්‍රතික්‍රියා දැක්වීම පමණයි. 1983 කලබලවලට සම්බන්ධ බවට බොරු චෝදනාවක් මත අපේ පක්ෂය තහනම් නොකළේ නම්, අපේ පක්ෂයට සැඟවී දේශපාලනය කිරීමට සිදු වන්නේ නැහැ. තහනම නොතිබුණා නම් අපි විවෘතව දේශපාලනය කරනවා. මෑත වසරවල අප කළාක් මෙන් අපි විවෘතව විරෝධතා දක්වනවා, නමුත් අපට එම අයිතිය අහිමි වුණා. සිදුවූ දෙය ගැන පසුතැවිය යුත්තේ ඔවුන් මිස අප නොවේ. ඔවුන් කිසිම පසුතැවිල්ලක් පෙන්වන්නේ නැත්නම්, අපි එසේ කළ යුත්තේ ඇයි? සිදු වූ දේ නොවිය යුතුව තිබූ බව අපි විශ්වාස කරනවා, නමුත් එය සිදුවී තිබෙනවා. අපි මෙය බොහෝ වාරයක් පවසා තිබෙනවා: සිදු වූ දේ සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ එවකට සිටි රජයට මිස අපට නොවේ. ජේ.ආර්.ගේ ආණ්ඩුව තමන්ගේ කිසිම විරුද්ධවාදියෙකුව ඉතිරි කළේ නැහැ. අපට ප්‍රතිචාර දැක්විය හැකි එකම ආකාරයට අපි ප්‍රතිචාර දැක්වූවා. සිදු නොවිය යුතු යම් යම් දේවල් සිදු වූවා නම්, ඒ ගැන අපි කණගාටු වෙනවා. නමුත් එවකට සිදුවූ දෙය පිළිබඳව තමන් කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ (UNP) කිසිවකු මේ දක්වා පවසා නැහැ.
ප්‍රශ්නය: 1983 දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට ජවිපෙ කිසියම් ආකාරයකින් සම්බන්ධ වුණාද?
පිළිතුර: අපි කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වූවා නම්, අපට එරෙහිව එකම එක අධිකරණ නඩුවක් හෝ තිබිය යුතුයි. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයයි මේ කලබල ඇති කළේ. එය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය (NSSP) සමඟ ජවිපෙ තහනම් කිරීමට ඔවුන් භාවිත කළා.
ප්‍රශ්නය: ජවිපෙ ඉන්දු-චීන සබඳතා සමතුලිත කරන්නේ කෙසේද?
පිළිතුර: අපේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලියි. අපි කිසිම රටක් රවටන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, අපේ ගනුදෙනුවලදී අපි අවංකයි. ඉන්දියාව අපේ අසල්වැසියා වන අතර අපට සමීප සබඳතා තිබෙනවා, ඒ වගේම චීනයත් අපේ මිතුරෙක්. පාකිස්තානය සහ බංග්ලාදේශය ද අපේ මිතුරන්. ජනාධිපතිතුමාගේ (අනුර කුමාර දිසානායක) යහපත් මැදිහත්වීමෙන් පසුගියදා කොළඹ පැවති පාකිස්ථාන-ඉන්දියානු ක්‍රිකට් තරගය සාර්ථකව පැවැත්වීම අපගේ විදේශ ප්‍රතිපත්තිය සාර්ථක බවත්, එක් රටක් වෙනුවෙන් අනිත් රට පාවා නොදෙන බවත් පෙන්නුම් කරනවා. වර්තමාන යුගයට වඩාත්ම ගැළපෙන විදේශ ප්‍රතිපත්තිය මෙයයි.
ප්‍රශ්නය: ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා සමතුලිත කිරීමේදී බාධා ඇති වී තිබෙනවාද?
පිළිතුර: කිසිදු බාධාවක් ඇති වී නැහැ. මන්ද අපි රටවල් දෙකම මිතුරන් ලෙස සලකන අතර, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන් දෙපාර්ශවයම අපට උදව් කර තිබෙනවා. මම චීනයේ සහ ඉන්දියාවේ සංචාරය කර තිබෙනවා, රටවල් දෙකෙන්ම අපට ඉගෙන ගත හැකි දේවල් තිබෙනවා.
ප්‍රශ්නය: ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඉන්දියාව දෙස බැලුවේ සැකයෙන් වන අතර ඉන්දීය විරෝධී ස්ථාවරයක් ගත්තා. ඔබ ඔහුගේ ප්‍රතිපත්ති අතහැර දමා තිබෙනවාද?
පිළිතුර: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පෙකණිවැලකින් වගේ එකිනෙකට බැඳී තිබෙනවා. අපේ සංස්කෘතිය සහ ආගම ඒ සියල්ලම සම්බන්ධයි. බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාව අපේ එකම ආසන්නතම අසල්වැසියායි. ප්‍රශ්න මතු වුණේ අපේ රටට අහිතකර ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දීය ආණ්ඩු තිබූ විටයි. අපි කවදාවත් ඉන්දියාවට - ඒ කියන්නේ රටට සහ එහි ජනතාවට - විරුද්ධ වී නැහැ, නමුත් අපි සමහර ඉන්දීය ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට විරුද්ධ වී තිබෙනවා.
ප්‍රශ්නය: ජවිපෙ සහ ජාතික ජන බලවේගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රතිපත්ති සමඟ මනාව සමපාත වී තිබෙනවාද?
පිළිතුර: මම හිතන්නේ රජීව් ගාන්ධිගෙන් පසු පැමිණි සියලුම ආණ්ඩු ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැහැ. අපේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් මෝදි රජය සමග මිත්‍රශීලීව කටයුතු කරන්න අපට පුළුවන්. මෝදි රජය අපට සැබෑ මිතුරෙකු බව අපට හැඟෙනවා.
ප්‍රශ්නය: ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ භූ දේශපාලනික න්‍යාය පත්‍රය ගැන මෙරට මහජනතාව තුළ තවමත් සැකයක් පවතින බව ඔබට හැඟෙන්නේ නැද්ද?
පිළිතුර: ඒ සැකය ඇති කළේ ඇතැම් ඉන්දීය ආණ්ඩුවල ක්‍රියාමාර්ග මගින්. ඉන්දීය රජයේ ක්‍රියාකලාපයත් එක්ක ඒ සැකය නැතිවෙලා යාවි. ශ්‍රී ලංකාව කෙරෙහි වත්මන් ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සමඟ එම සැකය පහව යමින් පවතින බව මට හැඟෙනවා. ඉන්දියාව නම් බිල්ලා මවන්න හදන පිරිසක් ඉන්නවා. ඉන්දියාවෙන් ඉල්ලීමක් ආවොත් ඒ අයම තමයි ඉන්දියාව ඉදිරියේ දණින් වැටෙන්න ලෑස්ති වෙන්නෙත්. අතීතයේදී අපට ඉන්දියාව කෙරෙහි කෝපයක් ඇතිවීමට හේතුව එකල ශ්‍රී ලංකාවේ පාලකයින්ද ඉන්දියාවේ බලපෑම්වලට යටත් වීමයි. ඒ පීඩනවලට මුහුණ දෙන්න තරම් ආත්මශක්තියක් ඔවුන්ට තිබුණේ නැහැ. ආණ්ඩුවකට තම ස්ථාවරය ගැන ස්ථීර විය හැකි නම්, ඕනෑම පාර්ශවයකින් එන අනවශ්‍ය බලපෑම් ජයගන්න පුළුවන්.
ප්‍රශ්නය: දැන් ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැද්ද?
පිළිතුර: නැහැ, අපිට එහෙම කිසිම බලපෑමක් නැහැ. අපි ඔවුන් සමඟ කතා කරන විට, අපේ ප්‍රතිපත්ති ගැන අපි පැහැදිලියි. (හිටපු ජනාධිපති) රනිල් වික්‍රමසිංහගේ රජය අමුල් සමූපකාරය සමඟ අත්සන් කළ ගිවිසුම ගන්න. මෙම අංශය අපට සම්පතක් බවත්, අපි එය පාවා නොදෙන බවත්, එය සංවර්ධනය කිරීමට පමණක් සහාය ලබා ගන්නා බවත් අපි ඔවුන්ට (ඉන්දියානු පාර්ශවයට) පැවසුවා, ඔවුන් අපගේ ස්ථාවරය පිළිගත්තා. අපි ඉන්දියාවට ගරු කරනවා, ඔවුන් අපට ගරු කරනවා. මා (ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය) එස්. ජයශංකර් හමුවූ අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ හිතවත් මිතුරෙකු බව ඔහු පැහැදිලි කළා.
ප්‍රශ්නය: ඔබ බලයට පත්වීමට පෙර, ඔබ පවසන පරිදි ඉන්දියාව සමඟ සබඳතා මේ තරම් සුමටව ඉදිරියට යාවි කියා ඔබ බලාපොරොත්තු වුණාද?
පිළිතුර: අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන අපි නිතරම විශ්වාසයෙන් හිටියා. අපේ ප්‍රතිපත්ති අසාර්ථක වෙයි කියලා හිතුවේ විපක්ෂයේ හිටපු අය. නමුත් අපි අපේ ප්‍රතිපත්ති ගැන සැමවිටම නිසැකව සිටියා, මන්ද අප බලයට පත්වීමට පෙර සිටම ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා වර්ධනය කරගෙන තිබුණා.
ප්‍රශ්නය: ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ඔබට බලපෑමක් එල්ල වුණේ නැද්ද?
පිළිතුර: මෙවැනි දේශපාලන ප්‍රශ්න ගැන මා සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ.
ප්‍රශ්නය: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබුණත් ඒවා ප්‍රසිද්ධ කර නැහැ. මේවායේ ඇති රහස කුමක්ද?
පිළිතුර: කිසිදු රහසිගත ගිවිසුමක් අත්සන් කර නැහැ, ඒ වගේම ගිවිසුම්වල සියලුම රාමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රහසිගත ගිවිසුම් තිබුණා නම් මේ වන විට ඒවා ප්‍රසිද්ධියට පත්වෙලා. අපි ආවේ මේ රට ගොඩනගන්න, රටට අහිතකර කිසිම තීරණයක් අපි ගන්නේ නැහැ. අපි රට පාවා දෙන්නේ නැහැ, නමුත් අපට උදව් කිරීමට කැමති ඕනෑම රටකින් අපට ලබාගත හැකි ඕනෑම සහායක් අපි ලබා ගන්නවා.
ප්‍රශ්නය: අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඉන්දියාවේ කිසියම් අප්‍රසාදයක් පැවතුණාද? ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වූයේ එයද?
පිළිතුර: බිමල් සහෝදරයාට වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයට අමතරව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශත් තිබුණා. මේ අතර, කරු සහෝදරයාට (අමාත්‍ය අනුර කරුණාතිලක) නාගරික සංවර්ධන අමාත්‍යාංශය තිබුණා. වසරක් බලයේ සිටීමෙන් පසු, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ එකට වඩා හොඳින් ක්‍රියා කරනු ඇති බවත්, ඒ ආශ්‍රිත විශාල වැඩ කොටස සඳහා හොඳම පුද්ගලයා බිමල් බවත් අපට තේරුම් ගියා. මෙම වෙනස්කම් සිදු කිරීමට හේතුව එයයි. අපි වැඩ කරන්නේ නිවැරදි දේ අනුව මිස බාහිර බලපෑම් මත නොවන බව මට සහතික විය හැකියි.
ප්‍රශ්නය: ජවිපෙ දේශපාලන හා ආර්ථික දර්ශනයේ සිදුවන පරිවර්තනය කුමක්ද?
පිළිතුර: අපේ අරමුණු වෙනස් වෙලා නැහැ. අපි කැමතියි සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න. එය ආර්ථිකමය සහ සමාජීය වශයෙන් යුක්ති සහගත, ජාතික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පවතින සමාජයක් විය යුතුයි. එදා අපේ අරමුණ වුණෙත්, අද අපේ අරමුණ වෙන්නෙත් එයමයි. අපගේ ආර්ථික දර්ශනය අනුව, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතු බව අපි විශ්වාස කරනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අර්ථය වන්නේ රටේ ආර්ථිකයට සහභාගී වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ලබා දීමයි. ක්ෂුද්‍ර (micro) ආර්ථික මට්ටමේ සිටින අය ඇතුළුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකම මීට ඇතුළත්. මෙවැනි ආර්ථිකයක ප්‍රතිලාභ අපේ සමාජය තුළ සාධාරණ අයුරින් බෙදී යා යුතු බවත් අපගේ අදහසයි. ඒ අරමුණ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඇත්ත වශයෙන්ම, මෙය සාක්ෂාත් කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇත.
ප්‍රශ්නය: ජවිපෙ කොමියුනිස්ට් මානසිකත්වයක සිට නව ලිබරල් මානසිකත්වයකට මාරුවී තිබෙනවාද?
පිළිතුර: අපි නව-ලිබරල් මානසිකත්වයකට අනුගත වන්නේ නැහැ. අපිට එහෙම ලේබල් අලවන්න හදන අයට කොමියුනිස්ට්වාදය හෝ නව ලිබරල්වාදය කියන්නේ මොකක්ද කියලාවත් පැහැදිලි කරන්න බැහැ. ‘ලිබරල්’, ‘නව-ලිබරල්’, ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී’, ‘ප්‍රජාතන්ත්‍රවාදී’ හෝ ‘කොමියුනිස්ට්’ වැනි ලේබල් අපට වැදගත් නැහැ. අපට තිබෙන්නේ රට ආර්ථික වශයෙන් දියුණු කර එම සංවර්ධනයේ ප්‍රතිඵල සාධාරණ අයුරින් ජනතාව අතරට යාම තහවුරු කිරීමේ ඉලක්කයයි. ජනතාව අතර පවතින ආර්ථික විෂමතාව අවම කර ජනතාවට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට මෙය උපකාරී වේවි. ඒක තමයි අපේ අරමුණ, කවුරුහරි ඒ පදනම මත අපිට ලේබලයක් අලවන්න කැමති නම් ඒ අයට එහෙම කරන්න පුළුවන්.
ප්‍රශ්නය: සන්නද්ධ හමුදාවන්ගේ භූමිකාව අවතක්සේරු කරමින් ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වීම පවා ප්‍රතික්ෂේප කිරීමට ජවිපෙ කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වෙනවා නේද?
පිළිතුර: අපි ජීවත් වෙන්නේ අතීතයේ නෙවෙයි. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා, නමුත් අපි අතීතයේ ජීවත් වෙන්නේ නැහැ. අතීතයේ ජීවත් වන අයට මේවා ප්‍රශ්න. අපි එවැනි පාරිභාෂිත ගැන වැඩිය හිතන්නේ නැහැ; අපි වැඩ කරන්නේ රටේ සියලුම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්. සමහරු ඔවුන්ට සොල්දාදුවන් ලෙසත්, සමහරු රණවිරුවන් ලෙසත් හඳුන්වනවා. ඒ සඳහා යම් පාරිභාෂික වචන පාවිච්චි කරන්න කියලා සංවිධානාත්මක ව්‍යාපාරයක් නැහැ.
ප්‍රශ්නය: බුද්ධාගම රාජ්‍ය ආගම වීම පිළිබඳව ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද, එය වෙනස් කිරීමට යම් පියවරක් තිබේද?
පිළිතුර: අපි මේ බව කොහේ හරි කියලා තියෙනවද? මේවා කියන අය මැතිවරණයට කලින් අපි බෞද්ධ විරෝධීන් විදිහට පෙන්නලා බිල්ලෙක් මවන්න හැදුවා වගේ වැඩක් කරන්නයි හදන්නේ. නමුත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස්. අපි ශ්‍රී දළදා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය කළා. අපි බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබෙනවා, මෑතක දී පළමු වරට ලෝඩ් බුද්ධගේ (බුදුරජාණන් වහන්සේගේ) පූජනීය දේව්නිමෝරි ධාතූන් වහන්සේලා ඉන්දියාවේ සිට මෙරට ප්‍රදර්ශනය සඳහා වැඩම කරනු ලැබුවා. ජනාධිපතිතුමා නිතිපතා දළදා මාළිගාවට ගොස් මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගන්නවා. අපි බුද්ධාගමට විරුද්ධයි කියන්නේ රාජපක්ෂලාගේ ඉත්තන් වෙලා හිටපු, දැන් බලය නැතිවෙලා මේ වගේ කතා පතුරුවන අයයි. ඒ වගේ දේවල් කියන අය බුද්ධාගමට යහපතට වඩා කරන්නේ හානියක්. මම පැවතෙන්නේ බෞද්ධ පවුලකින්. මම දහම් පාසල් ගියා. හය වසරේ සිට දහය වසර දක්වා මම ඉගෙන ගත්තේ පිරිවෙනක. මම උසස් පෙළ විභාගයට බෞද්ධ සංස්කෘතිය ඇතුළුව විෂයයන් හතරක් හැදෑරුවා. අපි ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුවයි.
ප්‍රශ්නය: ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීම වළක්වා තිබෙනවාද? ඇතැම් මන්ත්‍රීවරුන් පෞද්ගලිකව එසේ පවසා තිබෙනවා නේද?
පිළිතුර: පක්ෂයෙන් නොඅසා මාධ්‍යයට කතා කරන්න බැහැ කියන එක අසත්‍යයක්. රූපවාහිනී විවාද සඳහා යන අපගේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඔවුන් සූදානම් නැති ප්‍රශ්න අසන අවස්ථා තිබෙනවා. ඔවුන් කරුණු නොදන්නේ නම්, උදාහරණයක් ලෙස, අපි අපේ ඉන්දියානු සංචාරයේදී සාකච්ඡා කළ දේ ගැන නොදන්නේ නම්, සාකච්ඡාවට යාමට පෙර ඔවුන් අපෙන් ඇසිය යුතුයි. ඒ හැරුණු කොට පක්ෂයේ පෙර අනුමැතියකින් තොරව ඔවුන්ට මාධ්‍යයට කතා කිරීමට වෙනත් බාධාවක් නැහැ. මැති ඇමතිවරු තමන්ගේ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා ඔවුන්ව සම්බන්ධ කරගන්න බැරි අවස්ථා තියෙනවා. සමහර වෙලාවට පක්ෂයේ කටයුතු වලටවත් අපිට ඔවුන්ව සම්බන්ධ කරගන්න බැරි අවස්ථා තියෙනවා.
ප්‍රශ්නය: වසරක් බලයේ සිටීමෙන් පසු ඔබ නිවැරදි මාවතක ගමන් කරන බව ඔබට හැඟෙනවාද?
පිළිතුර: අපි කටයුතු කරන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු අනුවයි. කිසිම බාධාවක් නැහැ කියලා මම කියන්නේ නැහැ. මෑතකදී ඇති වූ සුළි කුණාටුව වැනි ස්වභාවික බාධා පවතිනවා, ඇතැමුන්ගේ පැරණි පුරුදු නිසා බාධා තිබෙනවා, නමුත් අපේ ජනතාවට යහපත් ජීවිතයක් ලබා දීම සහ රට සෑම කෙනෙකුටම ආඩම්බර විය හැකි ස්ථානයක් බවට පත්කිරීම යනාදී වශයෙන් අප කිරීමට බලාපොරොත්තු වූ බොහෝ දේ සාක්ෂාත් කර ගැනීමේ මාවතේ අප සිටින බව අප විශ්වාස කරනවා. තවමත්, ඔබ ද්වේෂයකින් තොරව අපගේ ජයග්‍රහණ දෙස බැලුවහොත්, අපට ආඩම්බර විය හැකි ස්ථානයක අපගේ රට මේ වන විටත් ස්ථානගත කර තිබෙනවා. අපි ජාත්‍යන්තර ප්‍රජාව දිනාගෙන තියෙනවා වගේම කිසිවෙකුට යටත් නැහැ. ආර්ථිකය වඩා හොඳින් ක්‍රියාත්මක වන අතර අපගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ධනාත්මක ප්‍රතිඵල ලබා දෙමින් පවතිනවා.
ප්‍රශ්නය: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙ දුන් පොරොන්දුව ගැන කුමක් කිව හැකිද?
පිළිතුර: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආණ්ඩුව විසින් පමණක් නොසැකසිය යුතු බවත්, එය ජනතාව, විවිධ සංවිධාන ආදිය සම්බන්ධ කරගන්නා සාමූහික ප්‍රයත්නයක් විය යුතු බවත් අපි විශ්වාස කරනවා. ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇත.
ප්‍රශ්නය: පොදු මතය වී ඇත්තේ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස බලය පිටුපස සිටින සැබෑ බලවතා ඔබ බවයි?
පිළිතුර: මීට පෙර ආණ්ඩු මෙහෙයවනු ලැබුවේ එක් පුද්ගලයෙකු විසින්. කෙනෙකු විධායක ජනාධිපති වුණාම ඔහු/ඇය තනිව ක්‍රියා කළ අතර අනෙක් අය හුදෙක් ඔව් කියන අය බවට පත් වී නායකයා අනුගමනය කළා. අපි ඊට වෙනස්. අපි ජාතික ජන බලවේගය (NPP) පිහිටුවා ගත්තා, එහි ජවිපෙ ද කොටසක්. අපි යම් නව තීරණයක් ගන්නවා නම් ජාතික ජන බලවේගය ලෙස සාකච්ඡා කර ඒ වෙනස්කම් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව කැබිනට් මණ්ඩලයත් තමන්ගේ තීරණ ගන්නවා. අපි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ජාතික ජන බලවේගය තේරී පත් වූ පක්ෂය බව සිහියේ තබාගෙන සාමූහික තීරණ ගන්නවා. එක් පුද්ගලයෙකු සියලු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම අපි ‘බලය’ කියන වචනයට කැමති නැහැ. අපි හැමෝටම වගකීමක් තියෙනවා, ඒක ඉටු කරන්න අපි වැඩ කරනවා. සමහරු හිතනවා වගේ පිටුපස ඉඳන් නූල් අදින නොපෙනෙන බලවේගයක් මෙහි නැහැ. අපි එකමුතුකමේ සහ පිළිපැදීමේ ලිච්ඡවි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අපි නිතර එකතු වෙලා ප්‍රශ්න ගැන එකට සාකච්ඡා කරලා අවශ්‍යතාව අනුව තීරණ ගන්නවා.
@ නිරෝමී සුබ්‍රමනියම්

