මගේ වැඩපිලිවෙල කරානම් අද මේ ආර්ථික අර්බුදය එන්නෙ නෑ…
වරාය නගර ව්‍යාපෘතියේ 2014 තිබූ ගිවිසුම ප්‍රතිශෝධනයකට ලක් කොට විදේශීය සමාගමකට ලබා දී තිබූ සින්නක්කර අයිතිය අහෝසි කොට, රටට, රටේ නාගරික සංවර්ධන අධිකාරියට මුළු බිම්කඩෙහි ම අයිතිය ලබාගෙන රටේ ස්වෛරීත්වය ස්ථාපිත කිරීමට 2015 දී තමන්ගේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හැකියාව ලැබුණු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.
2014 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තිබූ ගිවිසුම සහ තත්ත්වය අනුව, වරාය නගර ව්‍යාපෘතිය විධිමත් පරිසර අධ්‍යයනයකින් තොරව සිදු කළා නම්, උමා ඔය උමග ඉදි කළා මෙන් දැවැන්ත පරිසර ව්‍යසනයකින් කෙළවර වන්නට ඉඩ තිබූ බව ද පාටලී චම්පික රණවක පෙන්වා දෙයි.. Tax haven එකක් ඔස්සේ වරාය නගරය, මූල්‍ය නගරයක් බවට පත් කරගැනීමේ අරමුණ ඉටු කර ගැනීමේ හැකියාව ලැබුණේ නම්, ලංකාවේ අද පවතින මූල්‍ය අර්බුදය නොපැමිණෙන බව ද හෙතෙම අවධාරණය කළේය. ධන කුවේරයින්ගේ පුතුන් දෙතුන් දෙනෙකුට ෆෝමියුලා වන් කාර් රේස් පදින්න තිබූ දේ රටේ සමස්ථ දූ දරුවන්ට උරුම කිරීම සඳහා වරාය නගර ව්‍යාපෘති ගිවිසුම වෙනස් කිරීමට මැදිහත් වීම මගින් තමන්ට හැකියාව ලැබුණු බව ද ඔහු මෙහිදී සිහිපත් කරයි.
යළිත් මෙගා පොලිස් ඇති කළ යුතුද?
“වරාය නගරය නිර්මාණය කිරීමේ ඉංජිනේරුමය කාර්යය භාර වෙලා තිබුණේ අපේ අමාත්‍යාංශයට. එහි සැලසුම් මෙන්ම ආයෝජන පිළිබඳවත් අපි කාලාන්තරයක් ක්‍රියා කරපු නිසා මෙහි ඇත්ත නැත්ත දැනගැනීම ඉතා අවශ්‍යයි මේ රටේ ජනතාවට. 2002 දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කරපු යලි පුබුදමු ශ්‍රී ලංකා කියන වැඩසටහනෙන් මෙවැනි නගරයක් පිළිබඳ අදහසක් ගෙන තිබුණා. ඒ මූලික අදහස තිබුණේ දැනට තියෙන වරාය ඇතුලෙම එහි තිබෙන නොගැඹුරු වරායන් එහෙම නැත්නම් ජෙටි ඉවත් කරලා සහ අනෙකුත් ගොඩනැගිලි ඉවත් කරලා ඒ වරාය නගරය තුළ වරාය තුළ වරාය නගරයක් ඉදිකිරීමේ අදහස තමයි තිබුණේ. ඊළඟට දකුණු වරාය සංවර්ධනය ආරම්භ වුණාට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ඒ දිය කඩනය ඉදි වුණාට පස්සේ පෙනීගිය දෙයක් තමයි දකුණේ සිට උතුරට වැලි මුහුදේ වැලි කළු ගඟෙන් ආදියෙන් එන වැලි ගමන් කරන ප්‍රවනතාවක් තිබෙන නිසා ඉබේම මේ ස්ථානයේ යම්කිසි ආකාරයක වැලි ගොඩ ගැනීමක් වෙනවා. ඒ නිසා වරාය නගරය වැනි මුහුදේ යම් දූපතක් ඇතිකර ගැනීමේ ස්වභාවික ශක්‍යතාවක් තිබෙන බව අවබෝධ වුණා. ඒ අනුව තමයි මේ යෝජනාව සී සී ආයතනය එවකට පැවති රජයට ඉදිරිපත් කරලා 2014 අවසාන කාර්තුවේ දී මෙහි වැඩ ආරම්භ කළේ. මොකද මුහුද ගොඩ කිරීම කියන එක ලංකාවේ ඉංජිනේරුමය කාර්යයක් හැටියට එතෙක් කල් අපි දැකලා තිබුනෙ නෑ. යම් යම් තැන්වල සිදු වූ පරිසර ඛාදනයන් වලට යම් යම් අවස්ථාවල ප්‍රතිචාර දැක්වුවා මිසක්.
රනිල් ගේ නායකත්වය!
ඒ පිළිබඳ නොයෙක් චෝදනා, ප්‍රතිචෝදනා එල්ල වුණා. මේකට ගල් ගේන්නේ කොහෙන්ද කියලා ඇහුවා. මේකෙන් මුහුදේ ඇතිවෙන පරිසර විනාශය ගැන කතා පැවැත්වුවා. ඒ වගේම අන්තර් ප්‍රශ්නයක් මෙතන පැන නගිනවා කියලා කිව්වා. මොකද මෙතන සින්නක්කර අයිතියක් විදේශ සමාගමකට ලැබීම නිසා. ඒ වගේ නොයෙක් පාරිසරික ගැටලු, ඒ වගේම ජාත්‍යන්තර ගැටලු, ඒ වගේම ආර්ථික ආයෝජන ගැටලු ගණනාවක් පැන නැග්ගා. ඒ අනුව එවකට පැවති යහපාලන ආණ්ඩුවෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තමයි මේ කලින් තිබුණේ මේ මහ නගර ක්‍රියාවලිය. එහි ප්‍රධානියා හැටියට හිටපු අජිත කොස්තා මහත්මයා පත්කරලා මේ පිලිබඳ වාර්තාවක් ගත්තා. එහි තිබූ එක් වැදගත් කාරණයක් තමයි වරාය අධිකාරියට, ඒ පනතට අනුව මෙවැනි සංවර්ධන ක්‍රියාවලියකට එළඹිය නොහැකි බව. ඉතින් ඒ කාරණය මත පදනම් වෙලා තමයි, අපේ අමාත්‍යාංශයට ආරාධනයක් ලැබුණේ. 2015 වර්ෂයේදී, මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා.
ඊනියා පරිසර අධ්‍යයනයන්!
එහි පළවෙනි පියවර හැටියට, අපි ඒ ව්‍යාපෘතියේ, සම්පූර්ණයෙන්ම ඇති කරගෙන තිබූ ගිවිසුම 2014 ගිවිසුම, ප්‍රතිශෝධනයට ලක් කළා. ඉන් ප්‍රධාන කාරණය තමයි සින්නක්කර අයිතියක් ලබා දී තිබූ ඒ අයිතිය අහෝසි කරලා එම විදේශීය සමාගමකට රටට රටේ නාගරික සංවර්ධන අධිකාරියට මේ මුළු බිම්කඩෙහි ම අයිතිය ලබාගෙන රටේ ස්වෛරීත්වය ස්ථාපිත කිරීම තමයි අපි පළමුවෙන්ම කළේ. ඒ වගේම අපට ලැබුණා මාස 36 ක කාලයක්. එම කාලය ඇතුළත අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. විධිමත් පරිසර අධ්‍යයනයක් කලින් තිබුන් නෑ. විධිමත් පරිසර අධ්‍යයනයකින් තොරව කටයුත්ත කළා නම් සමහරවිට මේ ව්‍යාපෘතියත් අර උමා ඔය උමග ඉදිකලා වගේ දැවැන්ත පරිසර ව්‍යසනයකින් කෙළවර වෙන්න ඉඩ තිබුණා. ඒකට හේතුව තමයි කොළඹ නගරය මුහුදු මට්ටමෙන් පහළ තත්ත්වයක තියෙන්නේ. එතකොට මේ මුහුද පැත්තට පස් දාන්න දාන්න ඇති විශාල ප්‍රමාණයන්ගෙන් කොළඹ නගරයේ භූගත ජල මට්ටම ඉහළ ගිහිල්ලා පැරණි ගොඩනැගිලි වලට ඒ කියන්නේ කරලා නොතිබූ පැරණි ගොඩනැගිලි වලට ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශය වැනි සහ පැරණි හෝටල් වලට බරපතල හානියක් වීමේ අනතුර තිබුණා. ඒ නිසා අපි විදේශ විශේෂඥයින්ගෙත් සහාය ඇතුව භූ ජල වාර්තාවක් ලබා ගත්තා. පරිසර අධ්‍යයනයක් කළා. ඒ පරිසර අධ්‍යයනයට අති විශාල පිරිසක් විරෝධතා ගොනු කළා. ඒ විරෝධතා අනුව යමින් හැත්තෑ ගාණක් මාර්ගෝපදේශනයන් අපි අදාළ සමාගමට ලබා දුන්නා.
ඊනියා පරිසරවේදී විරෝධතා!
මින් මහා පරිසර විනාශයක් වෙනවාය. උනාය, වෙමින් තියෙනවාය කියන කාරණය පිළිගන්න අපි නම් ලෑස්ති නෑ. මොකද ඒ තිබූ සෑම චෝදනාවක්ම, ධීවරයින්ගේ ගැටළු, පාරිසරික ගැටලු කියන ඒවා පිළිබඳව ලබාගත් නියෝග හැත්තෑ ගාණක් ක්‍රියාත්මක කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශයෙන් කළා. ඒ වගේම අපි ශක්‍යතා වාර්තාවක් කළා. මෙවැනි පස් කන්දක් මෙතන ගෙනල්ලා දූපතක් හදලා නිකන් වැඩක් තියෙනවද? මේකෙන් මොකක්ද කරන්න පුළුවන් ආර්ථික ක්‍රියාවලිය ලංකාව ඉදිරියට ගෙනියන්න. මෙතන ෆෝමියුලා වන්, රේස් පැදලා මෙතන හෝටල් හදලා, මෙතන විදේශිකයන්ට ගෙවල් හදලා, ලංකාවේ ආර්ථිකයට අලුත් ගැම්මක් ගන්න මෙතනින් පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වුණා. ඒ අනුව තමයි අයුතු විදිහටත් උපයාගත් ධනය තැන්පත් කරගැනීම සඳහා බැංකු පද්ධතියක් බවට මේ පරිවර්තනය කිරීමයි අපිට අවශ්‍ය වුණේ. ඒ කියන්නේ ටැක්ස් හෙවන් එකක් හදන්න තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ තමයි ඒ මූල්‍ය නගරයේ පදනම. ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණා නම් මේ මූල්‍ය අර්බුදයක් ලංකාවට එන්නේ නැහැ. මොකද මේ කලාපයේ විශේෂයෙන්ම මේ ඉන්දියානු කලාපයේ එවැනි ස්ථානයක් නැහැ. ඒ ස්ථානය ගොඩනැගීම තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ වගේම අපි බොහොම ආඩම්බරයෙන් කියනවා මාස 36 කින් කළුගල් මදිවෙයි කිව්වා ලංකාවේ මේකට. වැලි මදිවෙයි කිව්වා. ධීවර ජනතාව විනාශ වෙයි කිව්වා. නොයෙක් අනතුරු ඇඟවීම් කළා.
කොළඹ නගරය ගිලා බැසීම මිත්‍යාවක්ද?
කොළඹ ගිලා බහිනවා කියලා කිව්වා. මට කණගාටුයි කියන්න අපේ හිටපු ජනාධිපතිතුමාත් පඬුවස්නුවරට ගිහින් මේක කළොත් කොළඹ ගිලා බහිනවා කියලා. ඒ කිසිම අනතුරකින් තොරව. කිසිම ගැටලුවකින් තොරව, මාස තිස් හයක ව්‍යාපෘතියක් අපි මාස විසිනමයෙන් කළා. මේ රටේ ඉංජිනේරුවෝ, ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරු අතිශය කැපවීමෙන් කළේ. නමුත් මම කණගාටුයි කියන්න, 2020 නව ආණ්ඩුව ආවට පස්සේ, ඒ සියලු දෙනාම සී. අයි. ඩී. යට දක්කපු එක තමයි කළේ. දක්කලා ඒගොල්ලෝ යම් යම් ආකාරයේ අයුතු ප්‍රයෝජන වරාය සමාගමෙන් ගත්තයි කියලා ඔප්පු කරන්න තමයි උත්සාහ කළේ. ඒකයි උත්සාහයක්වත් හරි ගියේ නෑ. මොකද ඉතාම නිවැරදිව කිසිම කප්පම් ගැනීම කිසිම දුෂණයකින් තොරව ඔය කියන අභියෝග සියල්ලම ජයගෙන ඒ කටයුත්ත කරන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම අපි තව පරිසර ඇගයීමක් කළා. ඒක තමයි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා. ඒ සඳහා අපි ජාත්‍යන්තර තරගයක් පැවැත්වුවා. ඒ අනුව තමයි මේ සෙකෝ කියන විදේශීය යුරෝපීය සමාගම ඇවිල්ලා වැදගත් සැලසුමක් අපට ඉදිරිපත් කළේ. වැදගත් භූ නිර්මාණ සැලසුමක් අපට ඉදිරිපත් කළේ එතනට.
රනිල් හාමුලා සහ රාජපක්ෂ බේබිලා!
මෙහි තිබුණු ඇතැම් බේබි හාමුලට රේස් පදින්න හදපු ඒ ෆෝමියුලා වන් එක අපි මේ රටේ මහජනයාට විවෘත කළා. අද මේ රටේ ලක්ෂ ගණන් මහජනයාට යන්න පුළුවන් පොදු උද්‍යානයක්, වරාය නගරය ඉදි කළේ අපි මැදිහත් වෙලා කරපු ඒ වෙනස්කමෙන්. නැත්නම් මේ රටේ ධන කුවේරයින්ගේ පුතුන් දෙතුන් දෙනෙකුට අර ෆෝමියුලා වන් කාර් රේස් පදින්න තිබිච්ච දේ මේ රටේ සමස්ථ දූ දරුවන්ට උරුම කරන්න අපි ඒ වෙනස ඇති කළා. ඒ වගේම මම කියන්න ඕනේ අද සමහරු කියනවා මාස විසි එකක් මේක පමා කළා. ඒ නිසා මේ ආයෝජන ආවේ නෑ. ඇත්තටම විධිමත් පරිසර අධ්‍යයනයක්, විධිමත් භූ ජල අධ්‍යයනයකින් තොරව ඒ කටයුත්ත කළා නම්, ඇතැම්විට දැවැන්ත පරිසර විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්. දැන් මේක මේ ගොඩනැගීම අවසන් කරලා, තව අවුරුදු හතරක් මොනම ආයෝජනයක්වත් ඇවිල්ලා නැහැ. අර මාස විසිඑක ගැන කතාකලා. එහෙම ආයෝජන වැඩපිළිවෙලක් නැහැ. දැන් කොහොමත් බංකොලොත් වුණාට පස්සේ ඒක ඉතාම අමාරුයි. හැබැයි මතක තියාගන්න, අපි 2018 දී, ප්‍රධාන ආයෝජන හතරක් මෙතන්ට ගෙන එන්න කටයුතු කළා. එකක් තමයි, ඔය ඔය බැංකු නගරයේ එහෙම නැත්නම් මූල්‍ය නගරය ඒකට ආයෝජනය කරන්න ඩොලර් බිලියනයක් ආයෝජනය කරන්න එම සමාගමම CHEC සමාගමම ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ අපි අවබෝධතාවකට ආවා. ඇත්තම කිව්වොත් මේ කටයුත්ත අවසන් වුණාට පස්සේ අපි 2018 අග භාගයේදී ඒ ඒ සියලුම ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ඇවිල්ලා අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා 2018 මේ සැලසුම ඉදිරිපත් කළා.
දින 52 කුමන්ත්‍රණයෙන් සංවර්ධනය නැවතීම
අවාසනාවකට අර දින 52 කුමන්ත්‍රණය නොවුණා නම්, ඒ වැඩපිළිවෙලට මුල්ගල තියලා ඒ ඉදිරි පිම්ම පනින්න අපිට සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය වුණා. ඊට පස්සේ සහරාන්ගේ ප්‍රහාරය වුණා. ඒ ආදී වශයෙන් ගිහිල්ලා අවසානයේ මේ රට රකින විරුවෙක් ගේන්න ගිහිල්ලා අවසානයේ මේ සියලු ව්‍යාපෘතීන් එක්ක රට අද බංකොලොත් තාවයට පත් වුණා. ඒකට අපේ වගකීමක් නැහැ. නමුත් අපේ වගකීම අපි අකුරටම ඉෂ්ඨ කළා. මේ ආයෝජන එනවා එනවා කියලා කිව්වට අපි එකක් මතක තබා ගත යුතුයි. දැන් ලංකාවේ තියෙන්නේ ආපසු මුදල් යෑමේ යුගයක්. ලැබෙන ආයෝජන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඒ පැරණි ආයෝජන වලින් මුදල් ආපසු අරන් යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආයෝජන පිළිබඳව විශේෂයෙන්ම බංකොලොත් රටක කරන ආයෝජන පිළිබඳව මීට වඩා වෙනස් උපාය මාර්ගයක් රජය අනුගමනය කළ යුතුයි.
සමහරු කියනවා වගේ මේක මේ චීන සමාගමේ ආයෝජනයක් පමණක් නෙවෙයි. ලංකා ආණ්ඩුවත් ආයෝජනයක් කරලා තියෙනවා. ඩොලර් බිලියනයකට වැඩි ආයෝජනයක් කරලා තියෙනවා. මෙතෙන්ට අපි ගෙනල්ලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලය. ජලය සපයලා තියෙනවා. අපජලය පිළිබඳව ගෙනල්ලා තියෙනවා. වැසිකිළි, කැසිකිළි පද්ධති වලට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනගලා තියෙනවා. ඉඟුරුකඩේ හන්දියේ ඉඳන් ඉහළින් එන මාර්ගයක් තනලා තියෙනවා. ඒ වගේම මෙතන්ට අපි කඩුවෙල සිට එන්න නියමිතව තිබුණු ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය, මේක ඇතුලේ දුවන්න වැඩ පිළිවෙලක් හදලා තිබුණා. ඒ වගේම මේ නගරය සහ කොල්ලුපිටිය හන්දිය යාකරලා, තවත් මාර්ගයක් ඇතිකරලා තිබුණා සියල්ලටම වැඩි ප්‍රමාණයක ආයෝජනයක් සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මේක තනිකරම මේ ප්‍රදානයක් නිකන් හම්බවුණු දෙයක් නෙමෙයි. ලංකා ආණ්ඩුවත් එකට එකක්. මේ රටේ පුරවැසියොත් එකට එකක් මේකට දායක වෙලා තියෙනවා.
මූලික සැලැස්ම අපි හැදුවා..
පෙට්ටි කඩ දාන්න එපා!
මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මූලික සැලසුමක් අපි හැදුවා. කරුණාකරලා පෙට්ටි කඩ දාලා, ඒ සැලසුමෙන් පිට පනින්න එපා. ඒ සැලසුම වෙනස් කරන්න ඕන්නං කාලානුරූපව. ඒක විද්‍යාත්මකව කරන්න. වැඩපිළිවෙලක් ඇතුව කරන්න. එහෙම නැතුව ඒක වෙන හිතුමතේට තැන් තැන් වල වෙනස් කරන්න එපා. ඒ වගේම තවත් ආයෝජන අතිශය විශාල ගාණක් ඔය බේරේ වැව ආශ්‍රිතව ඇති කරලා තියෙනවා. ඒ ආයෝජන වලට පටහැනි දෑ මෙතන ඇති කළාම ඒ ආයෝජනත් වැටෙනවා මේ වරාය නගරයත් වැටෙනවා. ඒක නිසා මේ වරාය නගරය අතිශයින්ම වැදගත් තැනක්. මේක අනාගතය නිර්මාණය කරගන්න ඕන නම් මේ බංකොලොත් රටට ගැලපෙන විදිහේ නව ආයෝජන ක්‍රියාවලියකට, රට යොමු කළ යුතුයි. මේ ගැසට් නිවේදනයෙන් ලබා දීලා තියෙන තත්ත්වයන්, ආයෝජන සහන සහ අනෙකුත් දේවල් වලින් ඒවා ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අලුත් ක්‍රියාමාර්ග වරාය නගරය සම්බන්ධයෙන් අවශ්‍යයි. 2016 දී අපි වරාය නගරය සම්බන්ධයෙන් අලුත් ක්‍රියාවලියක් හඳුන්වා දීලා සාර්ථකව භෞතික වශයෙන් ඒක නිර්මාණය කළා. ඒක සම්බන්ධයෙන් තිබුණු චෝදනා ඉවත් කළා. අවාසනාවකට ඒ ආයෝජන ටික අද ආවා නම් 2023-24 වෙනකොට වරාය නගරය ලංකාවේ මූල්‍ය නගරය බවට පත්වෙලා ආර්ථිකමය වශයෙන් යෝධ ඉදිරි පිම්මක් ගන්න තිබුණු අවස්ථාවකුත් රටට අහිමි වුණා. නමුත් විධිමත්ව ක්‍රියා කළොත් අලුත් ආයෝජන සැලසුමක් ඇති කළොත් මේක සාර්ථක කරගන්න දකුණු ආසියානු කලාපයේ අපට ඉඩකඩක් තිබෙනවා.”
– Media unit