රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූවාට මාස 10ක් තිස්සේ කේවල් කිරීමක් තිබුනේ. ඒක එයාට අහම්බෙන් ලැබුනු ජනාධිපති පුටුව නිසා ලැබිච්ච ඉන්ටර්වල් එකක්.
ඒ ඉන්ටර්වල් එක අරන් දුන්නෙත් එයාට ඡන්ද වරමකුත් නැතිව ඉන්ඳැද්දි තමුන්ගේ හැටනව ලක්ෂෙ ඡන්ද ටිකත් එක්කම ජනාධිපති පුටුව පරිත්‍යාග කළ ගෝඨාභයමයි. ඒක නම් ඛේදවාචකයක්. ඛේදවාචකය ගෝඨටද රනිල්ටද කියල කියන්න නම් දැන්ම බැහැ.
ඔන්න ඉතිං හැම වැඩක්ම කල්දමමින් එකම ටාර්ගට් එකයැ කිය කියා හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ණයෙන් කොටසක් දැන් ලැබෙනවා.
අයිඑම්එෆ් එක ලංකාවට අනුමත කරපු ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකමේ පළමු වාරිකය විදිහට ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක ඇතුළත මෙරට ලැබීමට නියමිතයි.
දැන් තමයි වැඩේ තියෙන්නෙ...
වසර හතරක් තුළ වාරික වශයෙන් මේ ඩොලර් බිලියන තුන ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරල තියෙන නිර්දේශ හා කොන්දේසි ඉටු කිරීමේ පදනම මත. ලංකාව කලින් වතාවල ණය ගනිද්දි පැහැර හැරපු ඒ කොන්දේසි ගැනත් මතක් කරන ගමන්ම අපි බලමු ලංකාව මීළඟට ක්‍රියාත්මක කල යුතු ජාත්‍යන්තර මූල්‍ය විසින් පනවන ලද ප‍්‍රධාන කොන්දේසි මොනවද කියල. මෙන්න ඒවා..
- ණය ප්‍රතිව්‍යුහගතකරන සැලසුම අප්‍රේල් මාසය අවසන් වන විට ඉදිරිපත් කළ යුතුය
- එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුය
- රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය ඉතා ඉක්මණින් ගත යුතුය
- ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කළ යුතුයි
- දේපළ සහ ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දිය යුතුයි.
- 2023 වසර අවසන් වන විට උද්ධමනය 12%-18% දක්වා ගෙන ඒමට ඉලක්ක කළ යුතුයි.
- ජූනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන අපනයන සීමා ඉවත් කළ යුතුයි.
- විනිමය අනුපාත නම්‍යශීලීභාවය පවත්වාගෙන යාම
- මහබැංකුව වඩා ස්වාධීන කිරීම
- ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දීම
ඔන්න ඉතිං මම ඇවිද්ද හතර අතේ ටිකක් සමබර කියවීමක් කවුරු හරි ලියාවිද කියල. මොකද හැමෝම එක්කො කඩේ යනව ගෝනි නැතුව. නැත්නම් බෙල්ල මුලින් විරුද්ධ වෙනව. එහෙම බැහැනේ. ඔන්න ඉතිං ඉකොනමැට්ටගේ පේජ් එකේ ඉකොනමැට්ටාත් අද මේ ණය මුදල නිසා ඇතිවිය හැකි වෙනස්කම් හා බලාපොරොත්තු ඉටුවෙන්නට පුළුවන් ප්‍රමාණය ගැන සුපුරුදු විදිහට කරුණු දක්වල තිබුණ.
ආර්ථික වර්ධනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව මේ වසර තුළ ආර්ථිකය තවත් 3%කින් හැකිළීමට නියමිත අතර ඉන් පසු ඉතා සෙමෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. කෙසේ වුවද 2026 වන විටද ආර්ථිකය පවතිනු ඇත්තේ 2018 පැවති මට්ටමට වඩා 5%ක් පහළින්.
උද්ධමනය
මෙම වසර අවසාන වෙද්දී උද්ධමනය 15.2% මට්ටමේ පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනයයි. ඉන් පසුව, 2026 දක්වා වන ඉදිරි වසර තුන තුළ එය ක්‍රමයෙන් 5.2% මට්ටම දක්වා අඩු වෙනවා. අරමුදල විසින් 15.5% – 16.5% මට්ටම දක්වා පොලී අනුපාතික ඉහළ දැමිය යුතු බව කියන්න ඇත්තේ ඔවුන්ගේ මෙම 15.2% උද්ධමන ඇස්තමේන්තුව මත පදනම්වයි. මෙම වසර තුළ සාමාන්‍ය උද්ධමනය 28.5% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
සංචිත මුදල්
මෙම වසර තුළ 23.5%ක සැලකිය යුතු සංචිත මුදල් වැඩි වීමකට ඉඩ සලසා තිබෙනවා. ඒ අනුව, මුදල් සැපයුමද වසර තුළදී 22.6%කින් ඉහළ යනවා. 2026 දක්වා ඉදිරි වසර වලදී මුදල් සැපයුමේ වර්ධනය පාලනය කෙරෙනවා. 23.5%ක සංචිත මුදල් වැඩිවීමක් යනු රුපියල් බිලියන 317ක සල්ලි අච්චු ගැසීමක්. මේ වන විටද එම ප්‍රමාණය ඉක්මවා සංචිත මුදල් වැඩි වී ඇති බැවින් ඉදිරි කාලය තුළ සංචිත මුදල් තව දුරටත් වැඩි කිරීමට ඉඩක් නැහැ. වසර අවසාන උද්ධමනය 15.2% ලෙස ඇස්තමේන්තු කරන්නට ඇත්තේ මුදල් සැපයුමෙහි මෙම ඉහළ යාම මත පදනම්වයි.
ආනයන වියදම්
මෙම වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6ක් පමණ වනු ඇති අතර 2026 වන විට එම වියදම ඩොලර් බිලියන 23.8 දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා.
අපනයන ආදායම්
අපනයන ආදායම් මෙම වසරේදී ඩොලර් බිලියන 13.7 දක්වාත්, 2026 වන විට ඩොලර් බිලියන 16.1 දක්වාත් ඉහළ දමාගත යුතුයි. මෙය මගේ අදහස අනුව ඉතා අභියෝගාත්මක කටයුත්තක්. මේ අභියෝගය ජයගත යුතුව තිබෙන්නේ බලයේ සිටින කවර හෝ ආණ්ඩු විසිනුයි.
ජංගම ගිණුම් ශේෂය
මෙය දිගටම ඩොලර් බිලියන 1.1 කට ආසන්න මට්ටමක පවත්වා ගත යුතු වෙනවා.
පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂය (දදේනි % ලෙස)
මෙය ධන පැත්තේ තබා ගත යුතුයි. ඒ කියන්නේ ආනයන ආදිය සඳහා වැය කළ හැක්කේ උපයන ඩොලර් පමණයි. විදේශ ණය යෙදවිය හැක්කේ පරණ ණය වාරික හා පොලී ගෙවීමට පමණයි.
2023- 0.2%
2024- 0.9%
2025- 1.1%
2026- 0.8%
අපනයන ආදායම් ඉලක්ක ලඟා කරගත නොහැකි වුවහොත් මෙම ඉලක්ක තුළ රැඳී සිටීමේ හැකියාවක් නැහැ.
විදේශ සංචිත
මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි.
විදේශ ණය
දැනට ඩොලර් බිලියන 56.2ක් වන විදේශ ණය 2026 වන විට ඩොලර් බිලියන 63.9 දක්වා ඉහළ යනවා. දදේනියෙහි අනුපාතයක් ලෙස 78% ආසන්න මට්ටමක්. 2023 වසර තුළ ඩොලර් බිලියන 2.5ක පමණ විදේශ ණය අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉහත පරිදි ඩොලර් බිලියන 4.7කින් පමණ විදේශ ප්‍රමාණයක් අලුතෙන් ගනිද්දී ඩොලර් බිලියන 2.5ක විදේශ ණය අඩු වීමක් වීමටනම් ඩොලර් බිලියන 7.2ක පමණ විදේශ ණය කප්පාදුවක් සිදු විය යුතුයි. මෙයින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිලාශ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්.
රජයේ ආදායම
පසුගිය වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ.
පොලී අනුපාතික හා විණිමය අනුපාතය
බොහෝ දෙනෙකුට දැනගන්නට අවශ්‍යව ඇත්තේ මේ දෙක ගැන වුවත්, මේ දෙකම තීරණය වන්නේ වෙළඳපොළ මත මිස සැලසුමකට අනුව නොවන නිසා, අපේක්ෂා කළ හැකි පරිදිම, පොලී අනුපාතික හා විණිමය අනුපාතය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. එසේ වුවත්, අනෙක් ගණන් හිලවු මත අරමුදල විසින් මෙම පරාමිතීන් සම්බන්ධව කර ඇති උපකල්පන ගැන අදහසක් ගත හැකියි.
පොලී අනුපාතික සාමාන්‍යයෙන් උද්ධමනයට වඩා තරමක් ඉහළින් පවත්වා ගත යුතුයි. ඒ අනුව, වසර අවසන් වෙද්දී පොලී අනුපාතික 16-18% වැනි මට්ටමක පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනය බව පෙනී යනවා. ඒ වගේම වසර අවසාන වන විට ඩොලරයක මිල රුපියල් 380 ආසන්නව පවතිනු ඇතැයි සලකා ඇති බවක්ද පෙනෙනවා. මෙම මිල 2026 වන විට රුපියල් 460 පමණ දක්වා ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවද උපකල්පනය කර ඇති බව පෙනෙනවා.
අද දවසේ සිරිකොත පාක්ෂිකයන් වගේම වැලේ වැල් නැතිව හිටපු පොහොට්ටු පාක්ෂිකයිනුත් අද ඉතිං මහ ඉහළින් සැමරුව කියල මාධ්‍යවල පවා ගියානේ. ලෝකයේ ණයක් අනුමත කරගෙන රතිඥ්ඥ පත්තුකරල කිරිබත් කන එකම රට අපි වෙන්න පුළුවන්. කොහොම උනත් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නම් කිව්වෙ දැන් ලංකාව ගොඩ කියලයි. බලාගෙන ගියාම එයත් අර පහුගිය කාලේ හිස් පුටුවලට සංවාදයක් අරගෙන රටවටේ ගෙනියපු ගොඩයමුල වගේ කතා තමයි අද නම් කිව්වෙ.
කොහොම උනත් ඉකොනමැට්ට අද එයාගේ සටහන අවසන් කරල තිබුණෙ මේ විදිහට. ඒක කියවල හිත රිදෝගෙන වැඩක් නැහැ. ඔය ඔිනම දෙයක් වෙන්න පුළුවන් තත්වයක් තමයි තියෙන්නෙ.
ඉකොනමැට්ට අපෙන් අහනවා මෙහෙම..
මේ වැඩ සටහන සාර්ථක වෙයිද?
වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි.
ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.
මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි. මේ වන විට ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් විසින් රටේ ආර්ථික වර්ධනය හා බැඳුනු ණය ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට යන බවක්ද වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළුනොත් අඩුවෙන් හා වර්ධනය වුනොත් වැඩියෙන් ගන්න ක්‍රමයක්.
සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වුනත් කවදා හෝ එම ණය ආපසු ගෙවන්න වෙනවා. එවිට නැවතත් රටට සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. කෙසේ වුවත්, ඒ ගැන දැන්ම කතා කරන එකේ තේරුමක් නැත්තේ ඊට කලින්ම එන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝග සුළුපටු නොවන නිසයි. අදාළ ඉලක්ක වලට නොගියොත් නැවත පෙර වසරේ මෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ණය ආපසු ගෙවන්නට සිදු වන කාලය දක්වා ඉන්න වෙන්නේ නැහැ. මෙම ඉලක්ක වලට යන ආකාරය තවමත් කිසිවෙකු විසින් පැහැදිලි කර නැහැ. රත් වූ හට්ටිය අතට ගන්න වෙන්නේ ඊළඟට බලයට පත් වෙන කවර හෝ ආණ්ඩුවටයි.
අරමුදලේ ණය කියන්නේ ගඟේ ගහගෙන යද්දී අල්ලාගෙන ගොඩ පීනන්නට උදවු වන වැලක් මිසක් ජැක්ගේ මායා බෝංචි වැල වැනි වැලක් නෙමෙයි. ගොඩ පීනීම සහ ඉන් පසු නැවත සැඩ පහරකට අහු නොවන දුරක් ගං ඉවුරේ සිට ඇවිදගෙන යාම රට හමුවේ තිබෙන අභියෝගයයි.(ඉකොනොමැට්ටා ගේ පිටුවෙන් බාගත කරගන්නා ලදී)
කොහොම උනත් අපේ පරණ මිනිස්සු කියන දෙයක් තමයි ණයක් නැතිව මැරෙන්න ඔින. එහෙම නැතිනම් මැරෙන්නවත් නිදහසක් නැහැ කියල. අනේ අපිට තව පරම්පරා කීයක් ගිහිල්ලවත් ඒ විදිහට මැරෙන්න නම් ලැබෙන එකක් නැහැ. අපි විතරක්යැ අපේ ඉදිරි පරම්පරා ගණනාවක් ණයබරිත කරපු දේශපාලන නායකයෝ, ආර්ථික විද්‍යාඥයෝ, මහ බැංකු අධිපතියො තමයි අපිට ඉන්නෙ. ඒ අයට නම් කවදාවත් මැරෙන්න අවස්ථාවක් නොලැබේවා!
@ රුහුණේ සුගලා