SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

CSN පුනරාගමනය

 

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, මෙන්ම අදටත් විවිධ නඩුකරයන්ට මුහුණ දී සිටින

CSN රූපවාහිනී නාලිකාව යළිත් වරක් මාධ්‍ය කරළියට පිවිසීමේ සූදානමක පසුවන බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම පුනරාගමනය පිටුපස ඇති පසුබිම දැඩි විමසිල්ලකට ලක් කළ යුතුව තිබේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ, මෙම ක්‍රියාදාමය මෙහෙයවන්නේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ මෑතකාලීනව රට තුළ දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතින 'වගා ආයෝජන' (Plantation Investments) නමින් පෙනී සිටින, නියාමනයකට ලක් නොවූ සැක කටයුතු මූල්‍ය ජාලයක් වීමයි.

 

 

වාර්තා වන අන්දමට, මෙම නාලිකාව වසර 20ක දීර්ඝකාලීන බදු පදනමක් යටතේ අත්පත් කරගෙන ඇත්තේ 'Agro Ventures' නම් ව්‍යාපාරික ජාලයට අනුබද්ධිත 'බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල්' (Business Media International) නම් ආයතනයක් හරහාය. ඒ වෙනුවෙන් CSN නාලිකාවේ හිමිකරු වෙත මාසිකව රුපියල් දෙකෝටි තිස්අට ලක්ෂයක (මිලියන 23.8) දැවැන්ත මුදලක් ගෙවීමට එකඟ වී ඇති බවද පැවසේ.

 

 9ccff37b-b161-42e7-98bd-7808eac3ec3a.jpeg

 

 

පසුගියදා 'සිරාගේ කොළම' හරහා CSN නාලිකාවේ මෙම පුනරාගමනය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කෙරිණි. ආන්දෝලනාත්මක නඩුකර ගණනාවකට මුහුණ දෙමින් වසර ගණනාවක් වැසී තිබූ මෙම නාලිකාව, මේ වන විටත් මාස හයකට ආසන්න කාලයක සිට පර්යේෂණ විකාශන කටයුතු (Test Transmission) ආරම්භ කර ඇති බව එහිදී අනාවරණය විය. එම වාර්තාවේ දැක්වුණේ නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස වත්මන් රජයට සම්බන්ධ හිටපු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු කටයුතු කරන බවයි. එහෙත්, අප වෙත ලැබී ඇති නවතම තොරතුරු වලට අනුව, එම තනතුරේ කටයුතු කරන්නේ ස්වර්ණවාහිනී නාලිකාව අයත් සමාගමේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වන නිලූප රණවීර ය. අදාළ හිටපු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියා, එම නාලිකාවේම ඊට ඉහළින් ඇති ප්‍රධාන තනතුරක් වන CCO තනතුර හොබවන බව වැඩිදුරටත් වාර්තා වේ.

 

 

වගා ආයෝජන සහ සැක කටයුතු වත්කම් වර්ධනය

මෙම සමාගම්වල ව්‍යාපාරික ආකෘතිය ඉතා සූක්ෂ්ම එකකි. ඔවුහු "වැනිලා ප්ලැනිෆෝලියා" (Vanilla Planifolia) හෙවත් 'හරිත රන්' වගා කරන බවත්, 2030 වන විට වැනිලා වැල් මිලියන 4ක් සිටුවා කිලෝග්‍රෑම් මිලියන 16ක අස්වැන්නක් ගන්නා බවත් පවසති. ආයෝජනයේ නීතිමය සුරක්ෂිතභාවය පෙන්වීම සඳහා මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ඉඩම් හිමිකාරීත්වය පවරා දෙන බව (Fully Asset-Backed) පැවසුවද, ඔවුන් වසර 5කට පසු පොරොන්දු වන 120% ක පමණ අතිවිශාල ප්‍රතිලාභය සාමාන්‍ය ව්‍යාපාරික සිද්ධාන්තයන්ට මෙන්ම ජාත්‍යන්තර හා දේශීය සත්‍ය අපනයන දත්තයන්ට ද බෙහෙවින් පටහැනිය.

 

මෙම පිරමීඩ මුදලාලිලා කෙබර වැනිලා වගා ව්‍යාපෘතිවලින් රුපියල් බිලියන ගණන් මුදල් උපයන බවට කයිවාරු ගැසුවද, ජාතික අපනයන දත්ත නිරීක්ෂණය කිරීමේදී මොවුන්ගේ මෙම ඉලක්කම් හුදෙක් ප්‍රායෝගික නොවන අමු මුළාවක් බව ගණිතමය වශයෙන්ම තහවුරු වේ. සංඛ්‍යා ලේඛනවලට අනුව, 2024 වසරේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම අපනයනය කර ඇත්තේ වැනිලා කිලෝග්‍රෑම් 5,262ක් වැනි ඉතා අල්ප ප්‍රමාණයකි. එයින් ලැබුණු සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.07ක් (US$ 1,066,230) පමණි. එය ඊට පෙර වසර හා සැසඳුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.41කට (US$ 1,406,160) වඩා වැඩි වී නොමැත.

 

 

 

2024 වසරේ අදාළ අපනයන ආදායම වර්තමාන විනිමය අනුපාතයට අනුව ගණනය කළහොත් එය දළ වශයෙන් රුපියල් මිලියන 320–350 (රු. කෝටි 32–35) අතර අගයක් ගනී. මෙහි ඇති බරපතලම ගණිතමය විහිළුව වන්නේ, සමස්ත ශ්‍රී ලංකාවේම වාර්ෂික වැනිලා අපනයනය කිලෝග්‍රෑම් පන්දහස් දෙසිය ගණනකට (5,262 kg) සීමා වෙද්දී, මෙම එක් සැකකටයුතු සමාගමක් පමණක් 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 16ක (16,000,000 kg) අස්වැන්නක් ලබාගන්නා බව පැවසීමයි. එනම් ඔවුන් පවසන්නේ වර්තමාන සමස්ත ශ්‍රී ලංකාවේම අපනයනය මෙන් 3,040 ගුණයක අස්වැන්නක් තමන් තනිවම ලබාගන්නා බවයි.

 

 

 

තවද, සමස්ත ලෝකයේම වාර්ෂික වැනිලා නිෂ්පාදනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 8,000 ක් (කිලෝග්‍රෑම් මිලියන 8ක්) පමණ වෙද්දී, ලංකාවේ එක් සමාගමක් සමස්ත ලෝක නිෂ්පාදනය මෙන් දෙගුණයක් (කිලෝග්‍රෑම් මිලියන 16ක්) නිෂ්පාදනය කරනවා යැයි කීම කිසිදු ගණිතමය, කෘෂිකාර්මික හෝ ආර්ථික පදනමක් නොමැති කෙබරයකි. සමස්ත රටේම මුළු වැනිලා ආදායම රුපියල් කෝටි 35කට සීමා වී තිබියදී, බිලියන ගණනක ලාභ බෙදන බව කීමෙන් මනාව පැහැදිලි වන්නේ මොවුන් භෞතික වගාවක් වෙනුවට, හුදෙක් ගණිතමය වශයෙන් කළ නොහැකි මායාවක් විකුණමින් මහජනතාවගේ මුදල් කොල්ලකෑමේ යෙදී සිටින බවයි.

ඒ අනුව 2022 වසරේ ආරම්භ වී වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සමාගම රුපියල් බිලියන 60ක මූල්‍යමය වත්කම් ගොඩනගා ගත්තේ කෙසේද යන්න බරපතල ගැටලුවක් වනවා පමණක් නොව, වසර කිහිපයකට පෙර සාමාන්‍ය රක්ෂණ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් තලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයින්, අද කොළඹ සුපිරි මහල් නිවාසවල ජීවත් වන මට්ටමට කෝටිපතියන් වූයේ කෙසේද යන්න මෙම මුදල් ජාලයේ විනිවිදභාවය පිළිබඳව සාධාරණ සැකයක් මතු කරයි.

 

 අයවැය විවාදය: දේශීය අර්තාපල් සහ ලොකු ළුෑණු ගොවීන්ගේ ගැටලු ගැන ඇමැති වසන්නත  කළ විශේෂ ප්‍රකාශය - Rathu Ira Newspaper

 

වගා ව්‍යාපාරවලට අධික මිළ ගෙවා මාධ්‍ය නාලිකා මිලට ගත යුතු ඇයි?

අප මුලින් නැගූ ප්‍රශ්නයට දැන් පැමිණෙමු. පිරමීඩ වගාකරුවන්ට බිලියන ගණන් වියදම් කර ජනමාධ්‍ය නාලිකා මිළට ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි?

මෙයට ප්‍රධාන හේතු කිහිපයකි.

 

මෙවැනි පොන්සි (Ponzi) හෝ පිරමීඩ ස්වරූපයේ ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් දිනපතා අලුත් ආයෝජකයින්ගෙන් විශාල මුදල් ප්‍රවාහයක් ගලා ආ යුතුය. ඒ සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හරහා සමාජයට 'නීත්‍යානුකූල සහ විශ්වසනීය' ප්‍රතිරූපයක් (Credibility) මවා පෙන්වීම ඔවුන්ට අත්‍යවශ්‍ය වේ.

 

 

 

අනෙක් අතට, මහ බැංකුව සහ සෙසු වගකිවයුතු ආයතන මෙම වංචාවන් පිළිබඳව ජනතාව දැනුවත් කරන විට, එම පුවත් යටපත් කිරීමටත්, තම ව්‍යාපාරය සාධාරණීකරණය කරමින් ජනතාවගේ මොළ සේදීමටත් ඔවුන්ට තමන්ගේම කියා මාධ්‍ය බලයක් අවශ්‍ය වේ. කසාගල ප්ලාන්ටේෂන් වැනි සමාගම් මුදල් ගෙවා ජාතික මාධ්‍යවල වැඩසටහන් විකාශය කිරීම හරහා මහ බැංකුවේ දැඩි අවධානයට ලක්වීමෙන් පසු, වෙනත් ගුවන් විදුලි නාලිකා දෙකක් මිලදී ගැනීමට දැරූ උත්සාහය එම නාලිකාවන්හි පවතින නඩු කටයුතු හේතුවෙන් නීතිමය ගැටලු නිසා ව්‍යර්ථ වූ බවට පළවන වාර්තා වලින්ද තහවුරු වන්නේ මෙම කූට මාධ්‍ය ආධිපත්‍යය පැතිරවීමේ න්‍යාය පත්‍රයයි.

 

[විශේෂ අවධානයට: මේ ආකාරයට රට තුළ වගා ව්‍යාපාර ජාලයන් වේගයෙන් ව්‍යාප්ත වුවද, හාල්, අල, ළූනු පමණක් නොව එළවලුද පිටරටින් ගෙන එන දැවැන්ත සංග්‍රාමයක් අද රට තුළ පවතී. මෙවැනි පසුබිමක, මෙම වගා ව්‍යාපාර සැබැවින්ම, මේ කියනා තරම් ම භෞතික වගාවන්හි නිරත වනවාද යන්න පිළිබඳව, ඔවුන්ගෙන් මුදල් ලබාගෙන දැන්වීම් සහ අනුග්‍රාහක වැඩසටහන් විකාශය කරනු ලබන ජනමාධ්‍ය ආයතන විසින් වගකීමෙන් යුතුව සොයා බැලිය යුතුව ඇත].

 

 

image-77.jpeg

 

 

CSN හි අඳුරු අතීතය සහ මහ බැංකුවේ අනතුරු ඇඟවීම

CSN නාලිකාවේ අතීතයද මෙවැනිම අඳුරු එකකි. 2011 දී කිසිදු විනිවිදභාවයකින් හෝ තරඟකාරී ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ITN නාලිකාවට අයත්ව තිබූ Prime TV හි සංඛ්‍යාත සහ Pay TV අයිතිය දේශපාලන බලයෙන් අත්පත් කරගනිමින් ඇරඹි CSN නාලිකාව, එදා පටන්ම ආන්දෝලනාත්මක විය. අද එම නාලිකාවම, නියාමනය නොවන මූල්‍ය ජාලයන්ගේ මාධ්‍ය මෙවලමක් බවට පත්වීමේ අවදානමක් පවතී.

 

 

 

මේ සම්බන්ධයෙන් මෙරට මූල්‍ය පද්ධතියේ ප්‍රධානියා වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා පැහැදිලිවම මෙසේ අවධාරණය කළේය.

 


"කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම් මුවාවෙන් ක්‍රියාත්මක වන මෙවැනි අධිලාභ ලබාදෙන ව්‍යාපෘති සහ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කිසිසේත්ම නියාමනය වෙන්නේ නැහැ. මේවා බොහෝදුරට නීති විරෝධී තැන්පතු එකතු කිරීමේ ක්‍රමවේදයන් (Unregulated Deposit Taking) විය හැකියි. එමනිසා මෙවැනි අනාරක්ෂිත ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස අපි ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා."

 

 

 

 

 

මෑතක් වනතුරුම සක්විති, කොතලාවල වැනි මූල්‍ය වංචාවලට හසුවූ වින්දිතයින්ගේ කඳුළු තවමත් වියළී නැත.

 

Golden Key: System and investors to blame

Golden Key: System and investors to blame

Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  G-Key Sri Lanka's second largest financial

 

 

මෙවන් පසුබිමක, මහ බැංකුව පවා දැඩිව අවවාද කරද්දීත්, ජනතාව ඉක්මන් ධනය පසුපස හඹා යමින් තමන්ගේ ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් ඉපැයූ මුදල් මෙවැනි ආයතන වලට පූජා කරන්නේ නම් එය බලවත් ඛේදවාචකයකි. බිලියන ගණන් වියදම් කර මාධ්‍ය ආයතන මිලට ගන්නේ ජනතාවට සේවය කිරීමට නොව, තමන්ගේ හෙළිදරව් නොවන ධනය සුදු කරගනිමින් ජනතාවගේ මුදල් තවදුරටත් ආකර්ෂණය කරගැනීමේ මෙහෙයුමට නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීමට බව අප වටහා ගත යුතුව ඇත.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

 

පෙර සබැඳි -
https://slleader.lk/news/14087-2026-07-03-04-51-23
(මහ බැංකු නියෝග අමු අමුවේ උල්ලංඝනය කරන "කසාගල කෘෂි-පොන්සි ජාවාරම)

https://slleader.lk/news/14034-itn
(කසාගල හිමිකරුටයි ITN ප්‍රධානීටයි දෙදෙනාටම නඩු? වසර පහක සිර දඩුවමක්!)

https://slleader.lk/news/14019-ponzi
(කසාගල කෘෂි-Ponzi ජාවාරම: 'ක්ලීන් ශ්‍රී ලංකා' සෙවණේ වැඩෙන තවත් එක් මූල්‍ය මාෆියාවක්ද?)

https://slleader.lk/news/14060-factcrescendo
("මහ බැංකුවේ කසාගල පුද්ගලික සමාගමට එරෙහි රාජ්‍ය නිවේදනයට පයින් ගැසූ FactCrescendo මැදිහත්වීම")

https://slleader.lk/news/14109-csn
(CSN පුනරාගමනය - නාමල්ගේ ව්‍යාපෘතියට නව රජයෙන් රතු පලසක් -(සිරාගේ කොළම)

නවතම ලිපි