SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්ලසට එරෙහි සහතිකයම දූෂණයේ මෙවලමක් වීම

 

 

පසුගියදා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සඳහා වන ඩිජිටල්

ආරක්ෂිත ලක්ෂණ කළමනාකරණ පද්ධතිය හෙවත් 'ඩිජිටල් ස්ටිකර් ටෙන්ඩරය' සම්බන්ධයෙන් නිකුත් කළ සංශෝධිත නිවේදනය, බැලූ බැල්මට පාරදෘශ්‍යභාවය තහවුරු කරන පියවරක් සේ පෙනී යා හැකිය. විශේෂයෙන්ම, තාක්ෂණික ඇගයීමේදී ISO 37001 (අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධති) සහතිකය හිමි සමාගම් සඳහා විශේෂ ලකුණු ලබාදීමේ තීරණය ඊට හේතු වේ.

 

 

එහෙත්, මෙම 'අල්ලස් විරෝධී සහතිකය' ස්ටිකර් ටෙන්ඩරයට අනිවාර්ය කිරීම පිටුපස ක්‍රියාත්මක වන්නේ මෙරට රාජ්‍ය ප්‍රසම්පාදන ඉතිහාසයේ දැවැන්තම ක්‍රෝනි ධනවාදී මෙහෙයුමක් බව තේරුම් ගැනීමට අපි එහි අභ්‍යන්තර දේශපාලන හා ආර්ථික කියවීමකට යා යුතු වෙමු.

 

 

දූෂිතයාගේ පුනරාගමනය සහ 'ප්‍රොක්සි' මෙහෙයුම

පසුගිය වතාවේ මෙම සුරාබදු ස්ටිකර් ටෙන්ඩරය ක්‍රියාත්මක කළ සමාගමට එරෙහිව එල්ල වූයේ සුළුපටු චෝදනා නොවේ. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පමණක් නොව, පාර්ලිමේන්තුවේ කෝපා (COPA) කමිටුවෙන් සහ විධායකයෙන් පවා ඔවුන්ට එරෙහිව බරපතල දූෂණ චෝදනා එල්ල විය. විහිළුව නම්, එම අතිශය දූෂිත සමාගම් මෙවර ද මෙම ටෙන්ඩරය සඳහා තරඟ කිරීමය.

 

 

එපමණක් නොව, පසුගිය වතාවේ සිදුවූ අතපසුවීම් හෝ චෝදනා හේතුවෙන් අවසන් මොහොතේ තමන්ට යම් නෛතික හෝ පරිපාලනමය අර්බුදයක් හටගත්තොත් ඊට විකල්පයක් ලෙස, ඔවුන් විසින්ම මෙහෙයවන තවත් 'ප්‍රොක්සි' (Proxy) සමාගමක් ද අදාළ ඉල්ලීම සඳහා සූදානම් කර ඉදිරිපත් කර තිබීම මගින් මේ ජාවාරමේ ගැඹුර පැහැදිලි වේ.

 

 

මෙම පසුබිම තුළ, හදිසියේම ටෙන්ඩරයට රිංගවූ ISO 37001 සහතිකය පිළිබඳව අපට ඇත්තේ බරපතල සැකයකි. දැනට ඉල්ලුම් කර ඇති සමාගම් අතරින් මෙම වැඩි ලකුණු හිමිකර දෙන ISO 37001 සහතිකය ලබාගෙන ඇත්තේ සමාගම් දෙකක් පමණක් නම්, ඉන් අදහස් වන්නේ කුමක්ද?

 

 

මීට පෙර අවස්ථාවකදී, මෙම ISO 37001 සහතිකය අනිවාර්ය නොකර එය තාවකාලිකව ඉවත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින්ම ජනාධිපතිවරයාගෙන් පවා ඉල්ලීම් කර තිබූ බව අප අමතක කළ යුතු නැත. එසේ වූයේ නම්, අද මේ සහතිකය අනිවාර්ය සාධකයක් නොවුනත් එමගින් වැඩි ලකුණු හිමිකරදීම (Bonus points) දක්වා පත්කර ඇත්තේ කාගේ වුවමනාවටද? ඒ යට සැඟවුණු වෙනත් අරමුණු නැතැයි කිව හැක්කේ කාටද?

 

 

 

දෘෂ්ටිවාදී ෆැන්ටසිය සහ 'මහා අනෙකා'

මෙම සමස්ත ක්‍රියාවලිය මනෝ විශ්ලේෂණයේ අර්ථයෙන්ම කියවා බැලීම මෙහිදී වඩාත් උචිතය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම ටෙන්ඩරයට හදිසියේම ISO 37001 රිංගවීම හුදු පාරදෘශ්‍යභාවය පිළිබඳ තාක්ෂණික කාරණයක් නොවේ. එහිදී මෙම සහතිකය ක්‍රියාත්මක වන්නේ, පවතින දූෂිත යථාර්ථය (The Real) වසන් කරන 'දෘෂ්ටිවාදී ෆැන්ටසියක්' (Ideological Fantasy) ලෙසිනි.

 

 

ධනවාදී සමාජය යම් ක්‍රියාවලියක් පිටුපස ඇති දූෂිත ස්වභාවය ඉතා හොඳින්ම දනී. නමුත් එය නොදන්නා සේ හැසිරේ. ISO 37001 සහතිකය මෙහිදී ක්‍රියාත්මක වන්නේ 'ෆෙටිෂ්' (Fetish) වස්තුවක් ලෙසය. "මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය අතිශයින්ම දේශපාලනීකරණය වූ සහ දූෂිත එකක් බව අපි දනිමු, එහෙත් අල්ලස් විරෝධී ජාත්‍යන්තර සහතිකයක් ඊට ඇති බැවින් අපි ඒ පාරදෘශ්‍යභාවයට රැවටීමට කැමැත්තෙමු" යන්න එහි මනෝවිශ්ලේෂණාත්මක අරුතයි. මෙය හුදෙක් මහජනයාගේ ඇසට වැලි ගසන සංකේතීය ආවරණයක් පමණි.

 

 

මෙහිදී ISO ප්‍රමිතිය සහ අදාළ ජාත්‍යන්තර ආයතන ක්‍රියාත්මක වන්නේ 'මහා අනෙකා' (The Big Other) ලෙසය. දේශීය නිලධාරීන්ට සහ සුරාබදු බලධාරීන්ට තම වගකීමෙන් නිදහස් වී, "අපි නෙවෙයි තීරණය කළේ, ටෙන්ඩරය දුන්නේ ජාත්‍යන්තර සහතිකය තියෙන අයටයි" යැයි කීමට මෙමගින් කදිම අවස්ථාවක් ලැබේ. පුද්ගල මට්ටමින් සිදුවන දූෂණය, ආයතනික හා ව්‍යුහාත්මක මට්ටමකට නීත්‍යානුකූලව මාරු කරනු ලබන්නේ මෙම 'අල්ලස් විරෝධී' සහතිකය හරහාමය.

 

 

අරවින්දලාගේ පැමිණීම

මෙම ටෙන්ඩරය පිටුපස ඇති සැබෑ ධනවාදී ගතිකයන් තේරුම් ගැනීමට නම්, මීට සම්බන්ධ වන පුද්ගලයින්ගේ ස්වභාවය නිරීක්ෂණය කළ යුතුය. උදාහරණයක් ලෙස, මෑතකදී ආන්දෝලනාත්මක සිදුවීමකට නම ඈඳුණු ප්‍රසිද්ධ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා වැනි චරිත පවා මෙම ටෙන්ඩරය ලබාගැනීමට විශාල උත්සාහයක නිරත වෙමින් සිටීම අහඹුවක් නොවේ.

 

 

මෙතරම් පිරිසක් මේ සඳහා පොරකන්නේ ඇයි?

ඊට පිළිතුර ඇත්තේ ස්ටිකර් මුද්‍රණයෙන් ලබන සෘජු ලාභය තුළ නොවේ. සැබෑ ලාභය ඇත්තේ, මෙම ස්ටිකර් මුද්‍රණය කිරීමේ ඒකාධිකාරිය ලබාගැනීමෙන් අනතුරුව සිදුකළ හැකි 'අවශේෂ වෙළඳාම' (Residual/Illicit trade) හෙවත් හොර ස්ටිකර් ජාවාරම සහ මත්පැන් වෙළඳපොළ හැසිරවීම තුළය. ව්‍යාපාරිකයින් මීට මෙතරම් ආශක්ත වීම ධනවාදයේ සැබෑ ස්වරූපයයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ රටට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක අතිවිශාල බදු ආදායමක් සදාකාලිකවම අහිමි වී යාමය.

 

 

අල්ලසට එරෙහි වීම සඳහා ගෙන එන ජාත්‍යන්තර සහතිකයක්ම, ජාතික සම්පත් කොල්ලකෑමේ සහ බදු වංචා කිරීමේ සුරක්ෂිතම ආයුධය බවට පත්වීම තරම් ඛේදවාචකයක් තවත් තිබේද?

 

 

සුරාබදු ඩිජිටල් ස්ටිකරය යනු හුදු කඩදාසියක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රෝනි ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන කැඩපතකි.

එය බිඳ හෙළිය හැක්කේ මේ සංකේතීය ආවරණ පිටුපස ඇති නිරුවත් සත්‍යය සමාජය ඉදිරියේ විවෘත කිරීමෙන් පමණි.

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

නවතම ලිපි