SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ

ඉලක්ක කරගනිමින් දීපව්‍යාප්ත වැටලීම් මාලාවක් දියත් කරන ලදී. එහිදී භාණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත්, සිල්ලර වෙළෙන්දාගේ සිට ආනයනකරු දක්වා සැපයුම් දාමය ඔස්සේ විමර්ශන කරන බවත් මාධ්‍ය හරහා ප්‍රචාරය විය. නමුත් විචාරකයින් නගන ප්‍රධාන ගැටලුව වන්නේ, මෙම දැවැන්ත වැටලීම්වල අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්නයි.

 

 

ලංකාවේ පාරිභෝගික නීතියේ සහ එහි ක්‍රියාකාරිත්වයේ පවතින බරපතලම දුර්වලතාවක් වන්නේ වැරදිකරුවන්ට පනවන අතිශය සුළු දඩ මුදල්ය. කොතරම් විශාල වැටලීමක් සිදු කළද, අවසානයේදී රුපියල් ලක්ෂයේ දෙකේ "දෙකයි පනහේ" දඩයකින් නීතිමය ක්‍රියාදාමය අවසන් කෙරේ. මෙය පාරිභෝගිකයාට කරන බරපතල අසාධාරණයක් මෙන්ම, පාරිභෝගිකයන් සූරාකන වංචනික වෙළෙඳුන්ට තවදුරටත් එම වැරදිම කිරීමට ලබාදෙන රුකුලකි.

 

 

සුළු දඩ මුදලක් ගෙවා පහසුවෙන් නිදහස් වීමට හැකි පසුබිමක් තුළ, කුටුම්භ වෙළෙඳුන්ට නීතිය පිළිබඳ කිසිදු බියක් නොමැත. එබැවින්, විචාරකයින් පෙන්වා දෙන්නේ පාරිභෝගික අධිකාරිය සතුව දිගුකාලීන නියාමන රාමුවක් වහාම සැකසිය යුතු බවයි. වරදක් ඔප්පු වූ පසු, එම වරදේ ස්වභාවය අනුව අදාළ ව්‍යාපාරික බලපත්‍රය (License) නිශ්චිත කාලයකට අත්හිටුවීම හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම වැනි දැඩි තීරණවලට එළඹිය යුතු කාලය එළඹ ඇත.

 

 

ඇයි සමහර නම් හෙළි නොකරන්නේ?

ඇයි සමහර නම් හෙළිකරන්නේ?

මෙහිදී මතුවන තවත් බරපතලම ගැටලුවක් වන්නේ පාරිභෝගික අධිකාරියේ පාරදෘශ්‍යභාවයයි. අදාළ වැටලීම්වලට ලක්වන ආයතන සියල්ලේම නම් හෝ අයිතිකරුවන්ගේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමට අධිකාරිය කටයුතු කරන්නේ ඇයි? මාධ්‍යයට නිකුත් කරන තොරතුරුවලට අනුව, නම් හෙළි කරන්නේ අතලොස්සකගේ පමණි. ඉතිරි ආයතනවල නම් සහ තොරතුරු සඟවන්නේ කුමන පදනමක් මතද යන්න බරපතල සැකයකට තුඩු දෙයි.

 

 

නම් හෙළි නොකිරීමට යම් නෛතික හෝ වෙනත් සාධාරණ හේතුවක් තිබේ නම්, එය නම් හෙළි කරන අනෙකුත් ව්‍යාපාරිකයන්ට අදාළ නොවන්නේ මන්ද යන්න පාරිභෝගික ජනතාව ඉතා වගකීමෙන් යුතුව ප්‍රශ්න කළ යුතුය. මෙවැනි ද්විත්ව ප්‍රමිතීන් හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටේ.

 

 

මෙම තත්ත්වයෙන් මිදීමට නම්, වරදේ ස්වභාවය හා බරපතලකම අනුව දඩ මුදල් තීරණය කෙරෙන සහ බලපත්‍ර තහනම් කිරීමේ සෘජු බලතල සහිත නව නියාමන පනතක් කඩිනමින් බලාත්මක කළ යුතුය. එසේ නොමැතිව, යල් පැන ගිය නීති රාමුවක් තුළ සිරවී කොතරම් වැටලීම් සිදු කළද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගත නොහැක.

 

 

අවසාන වශයෙන් කිව යුත්තේ, නිවැරදි හා ශක්තිමත් නීති රාමුවක් යටතේ සෘජුව කටයුතු නොකළහොත්, වංචනික වෙළෙඳුන්ට එරෙහිව නැගෙන බරපතල චෝදනා හෙට දිනයේදී පාරිභෝගික කටයුතු අධිකාරියට ද එල්ල වීම වැළැක්විය නොහැකි බවයි. පාරිභෝගික අධිකාරිය අනාගතයේදී දූෂණ චෝදනා පනතේ දැලට හසුවීමට පෙර, තමන්ගේ කාර්යභාරය නිසි ලෙසත්, පාරදෘශ්‍ය ලෙසත් ඉටු කිරීමට වහාම පියවර ගත යුතුව ඇත.

 

නවතම ලිපි