SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වාණිජ ගිවිසුම් කඩවීමක් අපරාධමය වංචාවක් ලෙස අර්ථකථනය කළ හැකිද යන්න ශ්‍රී ලංකාවේ

නීති පද්ධතිය තුළ දීර්ඝ කාලීනව සාකච්ඡාවට ලක්වන සංකීර්ණ නෛතික ගැටලුවකි. මෙම තත්ත්වය මනාව පිළිබිඹු කරන නඩුකරයක් ලෙස, හිටපු අමාත්‍ය සහ සිලෝන් නිවුස් පේපර්ස් සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 290ක මූල්‍ය ගනුදෙනුවට අදාළ නඩුව මේ දිනවල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වෙමින් පවතී.

 

 

නඩුවේ පසුබිම -

ආර්ථික අර්බුදය සහ කඩදාසි හිඟය

මෙම ආරවුලට පාදක වී ඇත්තේ, 'මව්බිම' සහ 'Ceylon Today' පුවත්පත් මුද්‍රණය කරන සිලෝන් නිවුස් පේපර්ස් සමාගම විසින්, පුවත්පත් මුද්‍රණය සඳහා කඩදාසි සහ බෝඩ් සැපයූ LPL කේසර ලංකා පුද්ගලික සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 290ක ණය මුදලක් පියවීමට අපොහොසත් වීමයි. 2022 වසරේ සිට මෙරට මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය මුහුණ දුන් ඓතිහාසික කඩාවැටීම සහ කඩදාසි මිල දෙගුණයකින් පමණ ඉහළ යාම මෙම මූල්‍ය අර්බුදයට සෘජුවම බලපා ඇති බව පර්යේෂකයන්ගේ මතයයි.

 

ගනුදෙනුව සඳහා පසුව දින යෙදූ චෙක්පත් ඇපයක් ලෙස පමණක් ලබා දී තිබූ බවත්, ඒවා මුදල් බවට පත් කිරීමේ අරමුණින් නිකුත් නොකළ බවත් ටිරාන් අලස් ගේ පාර්ශ්වය අවධාරණය කරයි.

 

 

CID යේ පරස්පර ස්ථාවරය සහ මහේස්ත්‍රාත්වරයාගේ විමසීම

මෙම නඩු විභාගයේදී වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් ස්ථාවරයයි. අද (16) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී CID ය අධිකරණයට දැනුම් දුන්නේ, මෙය අපරාධ නඩුවක් නොවන බවටත්, එය හුදෙක් ව්‍යාපාරික (සිවිල්) ගනුදෙනුවක් බවටත් මේ වනවිට කරුණු වාර්තා වී ඇති බවයි.

 

එහෙත්, 2026 ජනවාරි 29 වැනිදා මෙම නඩුවටම අදාළව පොලිසිය බාර හිටපු ඇමති  ටිරාන් අලස් ව සැකකරුවෙකු ලෙස නම් කළ CID ය, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම, සිලෝන් නිවුස් පේපර්ස් සමාගමේ ගණකාධිකාරීවරයා ඇතුළු කළමනාකාරීත්වයේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමටද කටයුතු කර තිබුණි.

 

මෙම ආකල්පමය හැරවුම කෙරෙහි අවධානය යොමු කළ කොටුව මහේස්ත්‍රාත්වරයා, ටිරාන් අලස් ට එරෙහිව අපරාධ චෝදනා පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න පිළිබඳව ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු දක්වන ලෙස CID යට සෘජුවම නියෝග කළේය. එසේම, නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 මාර්තු මස 03 වැනිදා දක්වා කල් තැබීමටද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

 

 

නෛතික බාධාවන් සහ රිට් පෙත්සම

CID යේ මෙම ස්ථාවරය වෙනස් වීමට ප්‍රබල නෛතික සහ ආයතනික හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. විශේෂයෙන්ම, වාණිජ ආරවුල් අපරාධකරණය කිරීමේදී (උදා: Ganeshan Samson Roy v. M.M. Janaka Marasinghe නඩුව) ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ලබා දුන් දැඩි වන්දි නියෝග මීට හේතු වන්නට ඇත. හුදෙක් ගිවිසුමක් කඩවීමක් මත පමණක්, ආරම්භයේදීම පැවති වංචනික චේතනාවක් ඔප්පු නොකර අපරාධ නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවධාරණය කර ඇත.

 

අනෙක් අතට, ටිරාන් අලස් ඇතුළු පාර්ශ්වය විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමක් මගින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් ලබාගෙන ඇති බවද අද CID ය අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ රිට් පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

 

 

සමථයකට පත්වීමේ උත්සාහයක්

මේ අතර, ටිරාන් අලස් ගේ පාර්ශ්වය මෙම ගැටලුව අධිකරණයෙන් බාහිරව නිරාකරණය කරගැනීමේ උත්සාහයක නිරත වන බවක් පෙනෙන්නට ඇත. ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දන්වා සිටියේ අදාළ පැමිණිලිකාර සමාගම සමග සමථයකට පත්වීම සඳහා මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

 

ඒ අනුව, මෙය අපරාධ නඩුවක් ලෙස ඉදිරියට යන්නේද, නැතහොත් දෙපාර්ශ්වය අතර සිවිල් එකඟතාවයකින් නිමාවට පත්වන්නේද යන්න මීළඟ අධිකරණ දිනයේදී නීතිපතිවරයාගේ උපදෙස් මත තීරණය වනු ඇත. මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපති උපදෙස් පැතීම හරහා, නීතිපතිවරයා "කරුණු පිළිබඳ බේරුම්කරුවෙකු"  ලෙස ක්‍රියා කරමින් මෙම සංකීර්ණ නෛතික ගැටලුවට ස්වාධීන විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

නවතම ලිපි