SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

යෝෂිත රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද ආන්දෝලනාත්මක කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්

(CSN) නාලිකාව, නව මුහුණුවරකින් සහ නව නාමයකින් යළිත් වරක් මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයට අවතීර්ණ වීමට නියමිත බව වාර්තා වේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙය හුදෙක් නාලිකාවක ආරම්භයක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන දෘෂ්ටිවාදයේ සැබෑ ස්වභාවය මනාව නිරූපණය කරන සජීවී සාක්ෂියක් බවයි.

 

 

 

විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසන පරිදි, මෙහි වඩාත්ම විස්මයට කරුණ වන්නේ මෙම ක්‍රියාවලිය ජාතික ජන බලවේගයේ (NPP) ආණ්ඩුවක් යටතේ සිදුවීමයි. එදා CSN නාලිකාවේ දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා සමාජය හමුවේ හෙළිදරව් කරමින් ඊට එරෙහිව මහමග සටන් කළ වසන්ත සමරසිංහලා සහ සුනිල් වටගලලා නියෝජනය කරන ආණ්ඩුවක් යටතේම, මෙම නාලිකාවට යළි පණ ලැබීම දෛවයේ සරදමකි.

 

දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරන ආකාරයට, මෙම CSN පුනරාගමනය හුදෙක් ව්‍යාපාරික ආයෝජනයක් නොවේ. මෙය නාමල් රාජපක්ෂ ගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතියේ ඊළඟ අදියර දියත් කිරීම සඳහා සකස් කෙරෙන ප්‍රබල මාධ්‍ය මෙවලම විය හැකි බව වාර්තා වේ. රාජ්‍ය බලය අහිමි වී ඇති මොහොතක, තම දේශපාලන කඳවුර යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය මාධ්‍ය ආධිපත්‍යය නිර්මාණය කර ගැනීමට ඔවුන් මේ හරහා උත්සාහ ගන්නා බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 

කෙසේ වුවත් ප්‍රහසනය වන්නේ, ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වී ඇත්තේ ඊනියා 'පද්ධතිමය වෙනසක්' වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුවක් යටතේ වීම බවයි. රාජපක්ෂවරුන්ගේ දේශපාලන ව්‍යාපෘතියට අවශ්‍ය මාධ්‍ය ජාලය යළි එසවෙද්දී, වසන්ත සමරසිංහලාගේ දූෂණ විරෝධී හඬ අදෘශ්‍යමාන ප්‍රාග්ධන ජාලය තුළ මුළුමනින්ම නිහඬ වී ඇති බවක් දිස්වන බව විචාරකයෝ අවධාරණය කරති.

 

මේ අතර, මෙම දේශපාලන නාටකයේ වඩාත්ම උපහාසාත්මක සිදුවීම වාර්තා වන්නේ අලුතින් ආරම්භ වන මෙම නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) සම්බන්ධයෙනි. අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි, එම තනතුර සඳහා කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහාම ජාතික රූපවාහිනිය ගොඩනැගීම සඳහා පත් කළ ප්‍රථම සභාපතිවරයා ය.

 

ජාතික රූපවාහිනිය වෘත්තීය සමිති හරස්වීම් හේතුවෙන් පාලනය කළ නොහැකි බව පවසමින්, මාධ්‍යයට වෙනත් කරුණු දක්වමින් මාස කිහිපයකින් එම තනතුරෙන් ඉවත් වූ ඔහු, දැන් යෝෂිතගේ පැරණි නාලිකාවේ සුක්කානම අතට ගෙන ඇති බව වාර්තා වේ. ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය මාධ්‍ය ජාලයක් මෙහෙයවීමට පැමිණි පුද්ගලයාම, මෙලෙස රාජපක්ෂවරුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන පෞද්ගලික නාලිකාවක මෙහෙයුම් ප්‍රධානියා වීම අහම්බයක් විය නොහැකි බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

කෙසේ වුවත් මෙය බරපතළ ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කරන බව විචාරක අදහසයි. වාර්තා වන ආකාරයට, මේ වන විටත් මෙම පුද්ගලයා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින චිත්‍රපට අනුමණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. විශ්වවිද්‍යාලයක උගන්වන අතරතුර, රාජ්‍ය අනුමණ්ඩලයක සභාපතිත්වයද දරමින් (සභාවාර සඳහා දීමනාවක් හිමි විය හැකි ගරු තනතුරක් වුවද), ඊට සමගාමීව දේශපාලනික අරමුණු සහිත පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඉහළම තනතුරක් දැරීම බරපතළ සදාචාරාත්මක ගැටලුවක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

 

ආරංචිමාර්ග මගින් තහවුරු වන පරිදි,දන්නා තරමින් තවමත් මෙම නාලිකාවේ විකාශන බලපත්‍රය පවතින්නේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ රොහාන් වැලිවිටගේ නමිනි. නෛතික අයිතිය සහ බලපත්‍ර කොන්දේසි සම්බන්ධයෙන් එදා නැගූ ප්‍රශ්න අද වන විට මුළුමනින්ම යටපත් වී ඇති බවක් මින් ගම්‍ය වේ.

 

අවසාන වශයෙන් විචාරකයන් පෙන්වා දෙන්නේ, ආණ්ඩු පෙරළියක් සිදුවී බාහිරව වෙනසක් පෙනෙන්නට තිබුණද, සැබෑ බල ව්‍යුහය සහ ප්‍රාග්ධනය තමන්ට අවශ්‍ය පරිදි නීතිය සහ පද්ධතිය මෙහෙයවමින් සිටින බවයි. නාමල්ගේ දේශපාලන ගමනට පාර කපන නාලිකාවට, මාලිමාවේ හිටපු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියාම නායකත්වය දීම තුළින් ඔප්පු වන්නේ, දූෂණ විරෝධය යනු හුදෙක් බලය ලබාගැනීමේ සටන් පාඨයක් පමණක්ම වී ඇති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති. ධනය හා බලය හමුවේ මාලිමාවුන් ගේ සැබෑ ස්වරූපය හා ෆැන්ටසිය දැන් හෙළිදරව් වී අවසන්ය.

 

 

#සිරාගේ කොළම

නවතම ලිපි