SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 - දඬුවම් නියම කිරීම 28දා

 

 

ප්‍රභූ සමාජ තත්ත්වයක් පෙන්වමින් රුපියල් ලක්ෂ 476ක (මිලියන 47.6ක) මූල්‍ය වංචාවක් සිදුකළ බවට

චෝදනා එල්ල වූ ප්‍රකට චීන කටු වෛද්‍යවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන ප්‍රසාද් දේශප්‍රිය විතාරණ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම චෝදනාවලට වරදකරු කරනු ලැබ ඇත. ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩු 4ක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇති අතර, ඊට අදාළ දඬුවම් නියම කිරීම එළඹෙන ඔක්තෝබර් 28 වැනි දින සිදු කිරීමට නියමිතය.

 

 

 

කොළඹ 7 සහ කළුබෝවිල ප්‍රදේශවල පවත්වාගෙන ගිය වෛද්‍ය සායන හරහා ගොඩනගාගත් සමාජ හා වෘත්තීය ප්‍රතිරූපය භාවිතා කරමින්, ඔහු නුගේගොඩ පදිංචි ව්‍යාපාරික සුදර්ශන මංගල ගෙන් කෙටිකාලීන පදනම මත මෙම විශාල මුදල ලබාගෙන තිබිණි. එහෙත්, එම ණය පියවීම සඳහා ඔහු නිකුත් කළ චෙක්පත් බැංකු ගිණුම්වල ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් අගරු වීමෙන් මෙම නීතිමය ක්‍රියාදාමය ආරම්භ විය.

 

 

නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් ජයසිංහ හමුවේ මෙම නඩු මාලාව විභාගයට ගැනිණි. එහිදී රුපියල් ලක්ෂ 400ක අගනාකමින් යුත් ප්‍රධාන නඩු දෙක සඳහා දීර්ඝ සාක්ෂි විභාගයක් පැවැත්වුණු අතර, අවසානයේ විත්තිකරු සාපරාධී විශ්වාසය කඩකිරීම සහ වංචාව යන චෝදනාවලට වරදකරු බවට අධිකරණය තීන්දු කළේය. ඉතිරි රුපියල් ලක්ෂ 76ක වටිනාකමකින් යුත් නඩු දෙක සඳහා විත්තිකරු ආරම්භයේදීම සිය වරද පිළිගන්නා ලදී.

 

 

සාමාන්‍යයෙන් චෙක්පතක් අගරු වීම මුදල් අයකරගැනීමේ සිවිල් නඩුවකට මුලපුරන්නක් වුවද, මෙම නඩුවේදී එය සාපරාධී වංචාවක් ලෙස ඔප්පු වී තිබීම විශේෂත්වයකි. ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම සහ මුදල් පියවීමේ සැබෑ චේතනාවක් නොමැතිව ඔහු චෙක්පත් නිකුත් කර මුදල් ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ තහවුරු වීම ඊට හේතුවයි.

 

 

ඒ අනුව, ලබන ඔක්තෝබර් 28 වැනිදා විත්තිකරුට බරපතළ සිරදඬුවම් සහ වන්දි ගෙවීමේ නියෝග පැනවීමට දැඩි ඉඩකඩක් පවතී. මීට අමතරව, මෙම අපරාධ නඩු තීන්දුව ප්‍රබල සාක්ෂියක් කරගනිමින්, අගතියට පත් පාර්ශවයට අහිමි වූ මුළු මුදල සහ ඊට අදාළ පොලිය සම්පූර්ණයෙන් අයකර ගැනීම සඳහා දිසා අධිකරණයේ විශේෂ සිවිල් නඩුවක් ගොනු කිරීමටද මේ වනවිට නීතිමය පසුබිම විවෘතව පවතී.

 

නවතම ලිපි