SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ රාජපක්ෂවරුන්ගේ නැගීම ද? බැසීම ද?

 

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී

සිදුවූ බව කියන ඩොලර් මිලියන 2කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාව සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය. මෙය හුදෙක් අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ ලියවෙන තවත් එක් නෛතික සිදුවීමක් පමණක් නොව, ශ්‍රී ලාංකේය දේශපාලන බල ව්‍යුහයේ සහ මතවාදී අවකාශයේ ගැඹුරු කම්පනයක් සලකුණු කරන්නකි.

 

 

 

2013 වසරේදී එළැඹි මෙම අභිරහස් ගිවිසුමට අදාළව යුරෝ මිලියන 1.454ක (ඇ.ඩො. මිලියන 2ක) මුදලක් සංසරණය වී ඇත්තේ ඉතා සූක්ෂම කවච සමාගම් ජාලයක් හරහාය. ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ නමින් සිංගප්පූරුවේ ලියාපදිංචි ‘බිස්සොලුෂන්’ (Biz Solutions) සමාගම හරහා චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද රාජපක්ෂට මෙන්ම ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා වෙතද අතිවිශාල මුදල් කන්දරාවක් ගලා ගොස් තිබේ. නිමල් පෙරේරා හරහා අවසානයේ රුපියල් කෝටි 10ක (මිලියන 100ක) මුදලක් සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ වෙත ලැබී ඇති බවට වෝහාරික විගණන වාර්තා සහ ජාත්‍යන්තර විමර්ශන මගින් අධිකරණය හමුවේ කරුණු ගොනු වෙමින් පවතී.

 

 Airbus bribery scam: How racketeers piloted SriLankan into disaster | Times Online - Daily Online Edition of The Sunday Times Sri Lanka

 

 

මෙම විමර්ශනය දේශීය දේශපාලන වේදිකාවේ සාමාන්‍යයෙන් ඇසෙන "දූෂණ චෝදනාවකට" එහා ගිය ජාත්‍යන්තර තලයේ අතුල පැතුරුණු එකකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ දැක්වූ කරුණු ඊට මනා සාක්ෂියකි.

 

 

"ස්වාමීනි මෙම විමර්ශනය ආරම්භ කරන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බද සහිත ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන්. මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනවා. එම සිද්ධියටම අදාළවම අල්ලස් කොමිසම එක කොටසකුත් අපරාධ පරීක්ෂණය එක කොටසකුත් විමර්ශන සිදු කරනු ලබනවා. හැබැයි මේ කරන්නේ හවුල් විමර්ශනයක් ලෙස. මෙම සිද්ධියට අදාළ සියලු උද්ධෘත නීතිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා."

 

 

ජාත්‍යන්තර මැදිහත්වීම සහ මූල්‍ය හුවමාරුවේ ව්‍යුහය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ගෙනහැර දැක්වූයේ මෙසේය.

 

 

"විමර්ශනයට අදාලව වර්චුවල් ලීගල් හරහා ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් පුලුල් විමර්ශනයක් කළා. මේ යන්නේ එහා අවසන් අදියර. ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ එයාර් ලයින් සමාගම සමග ගිවිසුමක් ඇති කර ගත්තා බද පුලුල් ගුවන් යානා 16 ක් ලබා ගැනීමට. එයින් 2ක් ලංකාවට ලැබී තිබෙන අවස්ථාවක එයාර් බස් සමාගමට අමතර තවත් සමාගම් සදා ගෙන යුරෝ 1.454 ක මුදලක් ලබා ගෙන. එම මුදල US ඩෝලර් මිලියන 2ක්. බිස්සෝලුෂන් නමැති සමාගමේ තනි අයිතිය හිමි වුණේ ප්‍රියංකා නියෝමාලිහටයි... ප්‍රියංකා නියෝමාලිගේ බිස්සොලුෂන් සිංගප්පූරු සමාගමේන් යුරෝ එක්ලක්ෂ හැට දාහස් හරසියක මුදලක් එවකට හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද රාජපක්ෂගේ ගිණුමට යවලා. ඔහුගේ සමාගමකට මිලියන 13ක් චෙක්පත් මගින් සහ මිලියන 6 ක් මුදලින් ලබා දුන් ආකාරය ගැන ද සිද්ධියට අදාලව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා."

 

 

මෙහිදී වඩාත් ඛේදජනක සහ බරපතළම කරුණ වන්නේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවයි. පද්ධතියේ බල ව්‍යුහය කොතරම් ප්‍රබලද යත්, සාක්ෂිකරුවන්ට රට හැර යාමට පවා සිදුව ඇත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව අධිකරණයට අවධාරණය කළේය.

 

 

"මෙම සිද්ධියට අදාල සාක්ෂිකරුවෙක් වන නිමල් පෙරේරා නමැත්තා 127 වගන්තිට අනුව ප්‍රකාශය ලබා දුන් පසු බලපෑම් ඇති බැවින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙන බව දිවුරුම් ප්‍රකාශයක් මගින් දැන්වු බවයි. ඔහු ඕස්ට්‍රේලියාවෙවත් සිටීමට නොහැකි බවයි දක්වා තිබෙන්නේ. තවද ස්වාමීනි එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ඇවිත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. තවද කරන ලද වෝහාරික විගණනවල අදාළ සාක්ෂි ලේඛන අනුව එයාර් බස් සමාගමේ ඇතුලේ තිබූ ඊමේල් මගින් මෙම සිද්ධියේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ ක්‍රියා කළ ඇති ආකාරය අනාවරණය වී තිබෙනවා..."

 

 Namal Rajapaksa remanded until Sept. 23 in airbus case | Sri Lanka News | Ada Derana | Truth First

 

 

කෙසේ වෙතත්, නීතිය ඉදිරියේ ඕනෑම සැකකරුවෙකු නිවැරදිකරුවෙකු වීමේ පූර්ව නිගමනය  භුක්ති විඳියි. නාමල් රාජපක්ෂ දේශපාලන පළිගැනීමකට ලක්ව ඇති බවට විත්ති පාර්ශ්වය ප්‍රබල තර්කයක් ගොඩනගයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා අධිකරණය හමුවේ මෙසේ සිය විරෝධය පළ කළේය.

 

 

"ස්වාමීනි මගේ සේවා දායකයාට ඇප ලබා දිය හැකියි. ඔහුට ඕස්ට්‍රේලියාවේ ගිහින් සැඟව සිටින්න බෑ. මොකද ඔහු දේශපාලනය කරන්නේ ලංකාවේ. ඒ හින්දා මෙම නඩුවේ අනිත් සැකකරුවන් වගේ තත්ත්වයට දාන්න බැහැ. තවද රජයට ඕන වෙන විදිහට රිමාන්ඩ් කරන්න බැහැ. ඇප පනතේ වගන්ති මූලධර්ම තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න ඕන. රැස්වීමක් තියෙනවා කියලනේ මේ රිමාන්ඩ් කරේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්. තවද නිමල් පෙරේරා කියන කෙනා ගිණුමට සල්ලි දාගෙන ගිහිල්ලා. ඒකට අපි වැරදි නෑ නඩුවක් තියෙන එක අපට ලොකු කාරණයක් වෙයි. ඒ නිසා මගේ සේවා දායකයාට ඇප ලබාදෙන්න."

 

 මහින්ද අනුරාධපුර රැළියට- ඇත්තටම පව් මේ මනුස්සයට කෙළින් හිට ගන්න බැහැ වාරු නැහැ හුස්ම ගන්නෙත් අමාරුවෙන් #fypシ゚viralシ #fyp #highlight #trending | Ranjith Rupasinghe | Facebook

 

අධිකරණයේ පූජනීය අවකාශය තුළ දිගහැරෙන මෙම නෛතික සංවාදය, හුදෙක් නීතිමය කරුණු දැක්වීමකට එහා ගිය ගැඹුරු දේශපාලනික කියවීමක් අපෙන් ඉල්ලා සිටියි. දශක ගණනාවක් පුරා රාජපක්ෂවරුන් යනු ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රබලතම අධිපති සංකේතයකි. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය නිරන්තරයෙන්ම පෝෂණය වූයේ අර්බුද මධ්‍යයේ ගොඩනැගෙන ජනතා සහනුභූතිය සහ අනෙකාට එරෙහිව නිර්මාණය කළ ජාතිකවාදී මතවාදයන් මතිනි.

 

එහෙත්, ජාත්‍යන්තර වෝහාරික විගණන, ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ අභ්‍යන්තර ඊමේල් දත්ත සහ මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ලබාදුන් ඍජු සාක්ෂි මත ගොඩනැගෙන මෙම මුදල් විශුද්ධිකරණ චෝදනා මාලාව, ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශපාලන පලිහ විනිවිද යමින් පවතී.

 

 

 

නාමල් රාජපක්ෂ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වීම හුදු දේශපාලන පළිගැනීමක් ලෙස සමාජගත කරමින්, අනුකම්පාවේ රැල්ලක් හරහා යළිත් වරක් රාජපක්ෂ කඳවුරේ ඓතිහාසික 'පිබිදීමකට' (Rise) පාර කපනු ඇත්ද? නැතහොත්, ගෝලීය මූල්‍ය අපරාධ ජාලයක හෙළිදරව් වීම් මධ්‍යයේ දේශපාලන පරමාදර්ශයන්හි යථාර්ථයේ නිරුවත ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වීමෙන්, මෙය ඔවුන්ගේ අවසන් 'බැසයාම' (Fall) සනිටුහන් කරනු ඇත්ද? නීතියේ ආධිපත්‍යය සිය ස්වාධීනත්වය උරගා බලන සැප්තැම්බර් 23 වනදා, මෙරට දේශපාලන අනාගතයේ ඊළඟ පරිච්ඡේදය කුමක්ද යන්න පිළිබඳ තීරණාත්මක ඉඟියක් සපයනු නොඅනුමානය.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි