බදු සහනය ඉවත් කිරීම කල් යන්නේ ඇයි?
ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකින් හිස ඔසවමින් සිටින, රජයට ලැබෙන සෑම සතයක්ම
අතිශය තීරණාත්මක මොහොතක, මෙරට වාහන ආනයන බදු දැලේ පවතින ව්‍යුහාත්මක හිඩැසක් (Loophole) හරහා වාර්ෂිකව රුපියල් බිලියන 100 ත් 120 ත් අතර දැවැන්ත මුදලක් ජාතික භාණ්ඩාගාරයට අහිමි වෙමින් පවතී.
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග මේ වනවිට ඩොලර් බිලියන ගණනින් රටින් පිටතට ගලා යමින් තිබේ. මහ බැංකු දත්ත වලට අනුව 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් වාහන ආනයනයට ඩොලර් මිලියන 600 ක් වැය වී ඇති අතර, වසර අවසන් වන විට එය ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇත. එහෙත් ඊට සරිලන බදු ආදායමක් රජයට ලැබෙනවාද? නැත.
2025 දී බිලියන 870 ක් වූ වාහන රේගු බදු ආදායම, 2026 වසර සඳහා රුපියල් බිලියන 266 ක් දක්වා 69.4% ක දැවැන්ත කඩාවැටීමක් පෙන්වනු ඇතැයි රේගුවම පුරෝකථනය කර තිබේ. මේ මහා ආදායම් කාන්දුව පිටුපස ඇත්තේ කුමක්ද?

සමාජයේ කතාබහ සහ 70% ක වෙළෙඳපොළ යථාර්ථය
"කාර් සේල් හිමියන් වාහන ගෙන්වන්නේ ඉන්වොයිස් අගය අඩු කර (Undervalue) සකස් කිරීමෙන්" යන්න මෙරට සාමාන්‍ය ජනසමාජය තුළ කාලයක් තිස්සේ මුල් බැසගත් මතයකි. කර්මාන්ත දත්ත සහ රේගු වාර්තා විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ, සමාජය තුළ පවතින මෙම සැකය කිසිසේත්ම පදනම් විරහිත නොවන බවයි.
පසුගිය කාලය තුළ මෙරට වෙළෙඳපොළේ අලෙවි වී ඇති සමස්ත වාහන ප්‍රමාණයෙන්, බලයලත් නිල නියෝජිතයින් හරහා අලෙවි වී ඇති සම්පූර්ණයෙන්ම නව (Brand-new) වාහන ප්‍රමාණය 30% ක් පමණි. ඉතිරි දැවැන්ත ප්‍රතිශතය වන 70% ක්ම අලෙවි වී ඇත්තේ පාවිච්චි කළ (Reconditioned) වාහන ධාරිතාවය යටතේය. මෙම 70% ක වෙළෙඳපොළ කොටස තුළ, රජයේ ආදායම් ඉලක්ක විකෘති කරන මහා බදු විෂමතාව සැඟවී තිබේ.
15% ක්‍ෂයවීමේ නෛතික ආවරණය
මෙම ආදායම් කාන්දුවේ ප්‍රධානතම නෛතික පලිහ වන්නේ 2016 වසරේ නිකුත් කරන ලද අංක 1971/10 දරන රේගු ගැසට් නිවේදනයයි.
නිල නියෝජිතයෙකු ඩොලර් 50,000 ක නව වාහනයක් ගෙන්වීමේදී සම්පූර්ණ මුදලටම රේගු බදු ගෙවිය යුතුය. එහෙත් සමන්තර ආනයනකරුවෙකු (කාර් සේල් හිමියෙකු) එම කර්මාන්තශාලාවෙන් පිටවූ අලුත්ම වාහනයම විදේශයකදී දින කිහිපයක් පමණක් ලියාපදිංචි කර ලංකාවට ගෙන්වූ විට, එය නීතිය ඉදිරියේ 'පාවිච්චි කළ වාහනයක්' බවට පත්වේ. එහිදී රේගුව අදාළ වාහනයේ වටිනාකමෙන් 15% ක ක්‍ෂයවීමක් ලබා දෙයි. එනම් ඩොලර් 50,000 වාහනයේ බදු තක්සේරුව ඩොලර් 42,500 දක්වා පහත වැටේ.
උදාහරණයක් ලෙස එංගලන්තයේ වෙළෙඳපොළ වටිනාකම පවුම් 100,000 ක් වන වාහනයක් අපනයනය කිරීමේදී එරට අය කරන පවුම් 20,000 ක වැට් බද්ද අහෝසි වේ. එය ලංකාවට ගෙනවිත් දින කිහිපයක ලියාපදිංචිය පෙන්වූ විගස තවත් 15% ක සහනයක් ලැබී රේගු තක්සේරුව පවුම් 85,000 දක්වා පහළ බසී.
බිලියන 120ක පාඩුව සහ එන්ජින් ධාරිතාවයේ (CC) වංචාව
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ඉදිරිපත් කරන දත්ත මගින් මෙම නියාමන විෂමතාවයේ තරම මනාව තහවුරු වේ. Honda Vezel රථයක් ගෙන්වීමේදී නිල නියෝජිතයා රු. මිලියන 3.4 ක බද්දක් ගෙවද්දී, සමන්තර ආනයනකරුවා ගෙවන්නේ රු. මිලියන 1.6 කි (මිලියන 1.8 ක පාඩුවක්). මේ වනවිට ආනයනය කර ඇති Toyota Raize රථ 8,900 හරහා පමණක් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 18.7 කි. Toyota Yaris හරහා රු. බිලියන 12 ක්ද රජයට අහිමි වී ඇත. 2026 වසර අවසන් වන විට සමස්ත ආදායම් පාඩුව රුපියල් බිලියන 120 ක් වනු ඇතැයි ගණනය කර තිබේ.
15% වංචාවට අමතරව එන්ජින් ධාරිතාවය සඟවා බදු වංචා කිරීම්ද සිදුවේ. මෑතකදී සමන්තර ආනයනකරුවන් පිරිසක් Audi A5 රථ 13 ක් 1400 CC එන්ජින් ඇති බවට රේගුවට ප්‍රකාශ කර තිබූ අතර, නිල නියෝජිතයා මැදිහත් වී ඒවා 2000 CC වාහන බව තහවුරු කිරීමෙන් පසු රජයට අහිමි වීමට ගිය රු. මිලියන 160 ක බදු මුදලක් ගලවා ගැනීමට හැකි විය.
උණ්ඩියල්/හවාලා අවදානම සහ පාරිභෝගික ඛේදවාචකය
මෙහි ඇති බරපතළම ඛේදවාචකය වන්නේ, රජයට අහිමි වන මෙම රුපියල් මිලියන ගණනක බදු මුදල, අවසානයේ පාරිභෝගිකයාට සහනයක් ලෙස වාහනයේ සිල්ලර මිලෙන් අඩුවී නොලැබීමයි. බදු විෂමතාවයෙන් උපදින සමස්ත ලාභයම ආනයනකරුවාගේ අතිරේක ලාභාංශයක් බවට පත්වේ.
කර්මාන්ත ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ, මෙලෙස උපයන අතිවිශාල කළු සල්ලි හවාලා හෝ උණ්ඩියල් වැනි අවිධිමත් මූල්‍ය ක්‍රම හරහා යළිත් විදේශගත වීමේ දැවැන්ත අවදානමක් පවතින බවයි.
කර්මාන්තයේ අභ්‍යන්තර ගැටුම සහ කෝප් කමිටුවේ අසරණකම
බලපත්‍රලාභී නියෝජිතයින් පෙන්වා දෙන්නේ තමන් යටිතල පහසුකම් සඳහා දැවැන්ත ආයෝජන කරමින්, සේවක අර්ථසාධක (EPF/ETF) ගෙවමින් කටයුතු කරද්දී, සමන්තර ආනයනකරුවන් බොහෝවිට දුරකථන අංකයකින් පමණක් ව්‍යාපාරය මෙහෙයවන බවයි. තවද නිල නියෝජිතයින් ලබාදෙන වසර 5 ක වගකීම (Warranty) හේතුවෙන් අමතර කොටස් සඳහා රටින් ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරි වන බවද ඔවුහු පවසති.
අනෙක් අතට පාවිච්චි කළ වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) චෝදනා කරන්නේ, දේශීය අගය එකතු කිරීමකින් තොරව වාහන එකලස් කරන (SKD) එක්තරා ව්‍යාපාරයකට බදු සහන ලබා දීමෙන් පමණක් ඩොලර් මිලියන 500 ක් අපතේ යන බවයි. කෙසේ වෙතත් ආනයනික වාහන සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන මෙම විකෘති බදු ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ආරවුල් විසඳීමේ කමිටුවට ගෙන යාමේ අවදානමක්ද මතු වී තිබේ.
මෙම අතාර්කික බදු ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා රේගුවෙන් දැඩිව ප්‍රශ්න කළද, රේගුවේ පිළිතුර වූයේ මුදල් අමාත්‍යාංශය අදාළ 1971/10 ගැසට්ටුව වෙනස් කරන තුරු තමන්ට කළ හැකි දෙයක් නොමැති බවයි. මීට අමතරව වාහන ණය අනුපාතය (LTV ratio) 40% ත් 60% ත් අතර නිරන්තරයෙන් දෝලනය වීම කර්මාන්තයේ අස්ථාවරත්වය තවදුරටත් තීව්‍ර කර ඇත.
ප්‍රතිපත්තිමය ප්‍රමාදය පිටුපස ඇති දේශපාලන සැකය
COPF කමිටුවේදී පවා කරුණු අනාවරණය වී තිබියදීත්, අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට රජය දිගින් දිගටම පමා වන්නේ ඇයිද යන්න අද වන විට බරපතළ ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් සමාජය සහ දේශපාලන විචාරකයින් අතර ප්‍රබල කතාබහක් නිර්මාණය වී ඇත. එහිදී මතුවන ප්‍රධානතම ජනමතය වන්නේ, වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ මෙරට වාහන වෙළෙඳපොළෙන් 70% ක්ම පාලනය කරන ප්‍රබල කාර් සේල් හිමියන් අතර යම් නොපෙනෙන දේශපාලනික බැඳීමක් පවතින්නේද යන්නයි. මෙම 15% බදු සහනය හදිසියේ අහෝසි කර නීතිය දැඩි කළහොත්, එම යෝධ මූල්‍ය ශක්තියක් සහිත ව්‍යාපාරික කඳවුර වත්මන් පාලනයට එරෙහිව වෙනත් දේශපාලන දිශානතියකට හැරෙනු ඇතැයි යන සැකය බලධාරීන් තුළ පවතින බවට සමාජයේ මතයක් ගොඩනැගී තිබේ.
සම්පූර්ණයෙන්ම සමාන වාහන දෙකකට ක්‍රම දෙකකට බදු පැනවීම සාධාරණීකරණය කළ නොහැක. සැබෑ පද්ධති වෙනසක් රජය අපේක්ෂා කරන්නේ නම්, දේශපාලන හිතවත්කම් සහ මැතිවරණ බිය පසෙකලා, ඉදිරි අයවැය හරහා හෝ ඊට පෙර මෙම යල්පැනගිය 1971/10 රේගු ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතුය. රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරමින්, උණ්ඩියල් ජාවාරමටද පාර කපන මෙම නෛතික හිඩැස වසා දැමීමට රජය ගන්නා තීරණය, ඔවුන්ගේ ආර්ථික කළමනාකරණයේ අවංකභාවය මනින සැබෑ පරීක්ෂණය වනු ඇත.
#SirimaleeLiyanagama
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

