SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති කළ

මූල්‍ය සමාගම් කඩාවැටීම්, නියාමන ප්‍රමාදයන්හි බරපතලකම අපට මනාව පෙන්වා දුන්නේය. මෙම අතීත වැරදි නිවැරදි කරමින්, නියාමනය නොකළ "ඡායා බැංකු" සහ අනවසර තැන්පතු ජාල වෙත ක්ෂණික සහ තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පියවර ගෙන ඇත.

 

 

 

මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, 2026 සැප්තැම්බර් 22 දින මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් විශේෂ නියෝග මාලාවක් නිකුත් කර තිබේ.

 

 

Press_Release_-_Freezing_Orders_22.09.jpeg

 

 

 

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ (FBA) 44 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝග මගින්, තෝරාගත් සමාගම් හයක සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ සියලුම දේපළ සහ වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ ගනුදෙනු කිරීම මුළුමනින්ම තහනම් කර ඇත.

 

 

 

මෙම දැඩි නියාමන අත්හිටුවීමට ලක් වූ සමාගම් හය වන්නේ Kasagala Green Plantation, Ceylon Green Life Plantation, Singhe Capital Investment, Pro Shop Advertising Holdings, Athens International Education Centre සහ Eyon Lanka Investment & Film Production යන ආයතනයන්ය. මින් පළමු සමාගම් ද්විත්වය මේ වන විට පනතේ 42 වැනි වගන්තිය යටතේ ක්‍රියාකාරී විමර්ශනයකට ලක්ව ඇති බව මහ බැංකුව සිය නිවේදනය හරහා තහවුරු කරයි.

 

 

 

සෙසු සමාගම් හතර, එනම් Singhe Capital, Pro Shop Advertising, Athens International සහ Eyon Lanka යන ආයතන, මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මහජන තැන්පතු භාරගෙන ඇති බවට මහ බැංකුව මේ වන විටත් නිශ්චිතවම තීරණය කර අවසන්ය. මෙම පරිපාලනමය පියවරයන් නෛතිකව තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ මහාධිකරණය විසින් අදාළ සමාගම්වලට එරෙහි වත්කම් අත්හිටුවීමේ නියෝග තහවුරු කර, ඒවා තවදුරටත් දීර්ඝ කිරීමට ද කටයුතු කර ඇත.

 

 

 

මෙම නියාමන මෙහෙයුමේ ඇති වඩාත් විචාරාත්මක සහ සංකීර්ණ පැතිකඩ වන්නේ මෙම ආයතන මහජන මුදල් රැස් කළ ආකාරයයි. මොවුන් කිසිවිටෙකත් සාම්ප්‍රදායික මූල්‍ය සමාගම් ලෙස පෙනී සිටියේ නැත. ඒ වෙනුවට, කෘෂිකර්මාන්තය, පරිසර සංචාරක ව්‍යාපාර, ප්‍රචාරණ, අධ්‍යාපන සහ චිත්‍රපට නිෂ්පාදන වැනි සමාජය තුළ ඉහළ පිළිගැනීමක් සහ ආකර්ෂණයක් ඇති ක්‍ෂේත්‍ර, තම වංචනික මූල්‍ය ක්‍රියාවන් වසං කිරීමේ කදිම ආවරණයක් ලෙස සූක්ෂ්මව භාවිත කර තිබේ.

 

 

 

ආර්ථික අර්බුදයකින් බැට කෑ සමාජයක්, ඉහළ උද්ධමනය සහ පහත වැටෙන සාම්ප්‍රදායික බැංකු පොලී අනුපාත හමුවේ, අතාර්කික ලෙස ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කිරීම මෙවැනි වංචාවන් සඳහා සරුබිමක් නිර්මාණය කළේය. ඉතා ඉහළ සාක්ෂරතාවක් ඇති අප රටේ මූල්‍ය සාක්ෂරතාව බෙහෙවින් පහත මට්ටමක පැවතීම, මෙවැනි "ඉක්මනින් පොහොසත් වීමේ" ඡායා බැංකු ජාලයන්ට මහජන මුදල් බිලියන ගණනින් කොල්ලකෑමට අවස්ථාව උදා කර දී ඇත.

 

 

මෙම බරපතල තත්ත්වය හමුවේ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරන මහ බැංකුව, තම වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා නීත්‍යානුකූලව බලයලත් ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස ජනතාවට තරයේ උපදෙස් දෙයි. 1988 අංක 30 දරන බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත (FBA) යටතේ බලපත්‍ර ලබා ඇති, හෝ එම නීතිවලින් නිශ්චිතවම නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජන තැන්පතු භාරගැනීමට නීතිමය අවසරය ඇති බව ඔවුහු යළිත් අවධාරණය කරති.

 

 

 

අතීතයේදී මෙන් ආයතන සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ද්‍රවශීලතා අර්බුදයක් නිර්මාණය වනතුරු බලා නොසිට, වත්කම් ක්ෂණිකව අත්හිටුවීම හරහා මහජන මුදල් කොල්ලකෑම නැවැත්වීමට මහ බැංකුව ගත් මෙම පූර්ව-නිවාරණ පියවර අතිශය තීරණාත්මකය. අඛණ්ඩව ලැබෙන පැමිණිලි මත තවත් ආයතන සහ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව නිවේදනය කරන මහ බැංකුව, අනවසරයෙන් තැන්පතු භාරගන්නා බවට සැක කෙරෙන ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තමන් වෙත වහාම වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. නීතිය බලාත්මක කිරීම සේම, පොදු ජනතාවගේ සුපරික්ෂාකාරීත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම මෙම වංචනික ආවරණයන්ගෙන් සමාජය ගලවා ගැනීමේ එකම සහ ස්ථිරසාර විසඳුම වනු ඇත.

 

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි