SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාභාවික යුක්තිය පසිඳලීමේ පරම අයිතිය උදෙසා විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දරගෙන් මහාධිකරණයට ප්‍රබල නෛතික තර්කයක්!

(අද සටහන - බාල බෙහෙත් නඩුවේ අටවන විත්තිකරුට එල්ල වූ චෝදනාවට අදාළ දිනවල ඔහු එම ස්ථානයේ නොසිටි බවට වන ප්‍රතික්ෂේප කළ නොහැකි ස්වාධීන සාක්ෂි තිබියදීත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හරහා එම මෝසම මගහැර යාම කෙතරම් දුරට යුක්ති සහගතද යන්න පිළිබඳව නීතිඥ නයන්ත විජේසුන්දර මතු කළ බරපතළ නෛතික කතිකාවත).

 

 

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රජයේ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව, හුදු සාක්ෂි විභාගයකින් ඔබ්බට ගොස් 'තාක්ෂණික නීතිය' සහ 'ස්වාභාවික යුක්තිය' අතර දැවැන්ත ගැටුමක් නිර්මාණය කළ තීරණාත්මක නඩු දිනයක් බවට පත්විය.

 

 

 මහේස්ත්‍රත් අධිකරණයේ දී alibi - කෙටි විමසුමක්

 

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේදී, අටවන චූදිත (හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල) වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නයන්ත විජේසුන්දර, සිය සේවාදායකයාගේ 'නොතැනියාව' (Alibi - අදාළ අපරාධය සිදුවූයේ යැයි කියන වෙලාවේ විත්තිකරු වෙනත් ස්ථානයක සිටීම) තහවුරු කිරීම සඳහා අතිශය තර්කානුකූල සහ ප්‍රබල නෛතික මෝසමක් ඉදිරිපත් කළේය.

 

 

බාල ඖෂධ නඩුවේ තීරණාත්මක හෙළිදරව්වක්!!! වවුචර අනුමත කිරීමේ ජාලය සහ සැපයුම්කරු සමග ගත් ඇමතුම් 180ක අභිරහස

 

 

නීතියේ "එසේ වුවද" (Proviso) නම් වූ ජීවගුණය සහ විත්තියේ තර්කය

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 අ (1) වගන්තියට අනුව යම් විත්තිකරුවෙකු 'නොතැනියාව' තම විත්තිවාචකය ලෙස ඉදිරිපත් කරන්නේ නම්, එය අධිචෝදනා භාර දී දින 14 ක් ඇතුළත නීතිපතිවරයාට දැනුම් දිය යුතුය. එසේ නොකළ බව විත්තිය පිළිගත්තේය. එහෙත් නීතිඥ නයන්ත විජේසුන්දර  මහාධිකරණයේ අවධානය යොමු කළේ එම වගන්තියේම අන්තර්ගත වන "එසේ වුවද" (Proviso - ව්‍යතිරේකය) යන අතිශය වැදගත් කොටස වෙතය. නීතිඥවරයා පෙන්වා දුන්නේ ප්‍රමාද වී හෝ ඊට ප්‍රමාණවත් හේතු අධිකරණයට ඉදිරිපත් කළ හැකිනම්, යුක්තිය පසිඳලීම උදෙසා එම මෝසම භාරගැනීමට අධිකරණයට පූර්ණ අභිමතයක් සහ බලයක් ඇති බවයි.

 

සිය සේවාදායකයාගේ නොතැනියාව ඔප්පු කිරීම සඳහා ඔහු ගොනු කළේ කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි, පැමිණිල්ල විසින්ම ගෙන ආ 'ස්වාධීන සාක්ෂි' වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

 

සාක්ෂිකරුවන්ට බලපෑමක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ'- බෙහෙත් නඩුවේ දී සභාපති විනිසුරු කියයි

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

"ස්වාමීනී, 10v63 සහ 10v53 දරන ලේඛන වලට අදාළ රැස්වීම් තිබුණු බව කියන 2022/09/05 දින සහ 2022/10/10 දින මිනිට් සටහන්වලින් කිසිදු අපරාධමය වරදක් අනාවරණය වන්නේ නැහැ. නමුත් පැමිණිල්ලේ ස්ථාවරය වූයේ එහිදී කුමන්ත්‍රණය නම් වරද කර ඇති බවයි. එයින් විත්තිය වික්ෂිප්ත භාවයට පත්වුණා. එසේ කුමන්ත්‍රණය නැමැති වරදක් එහි සිදුවී තිබෙනවා නම් එම මීටිමට සම්බන්ධ වූ සියලු දෙනාටම එරෙහිව අධි චෝදනා ගොනු කළ යුතුයි."

 

"ස්වාමීනි, නොතැනියාවට හේතු දැක්වීම දැනටමත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඊට හේතු දෙකක් තිබෙනවා. 2022 සැප්තැම්බර් 2 වැනි දා 08 වන විත්තිකරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා භූතානය බලා ගියා. එය තහවුරු කිරීම සඳහා ආගමන විගමන ලේඛන සහ විදෙස් ගමන් බලපත්‍රය තිබෙනවා. ඒවා ස්වාධීන සාක්ෂි. එම සාක්ෂි පිළිගන්නා ලෙස මම ඔබතුමන්ලා ගෙන් ඉල්ලා සිටිනවා."

 

"2022/10/10 පැවති රැස්වීමට 08 වන චූදිත සහභාගී නොවූ බව පැමිණිල්ලේ සාක්ෂි මගින්ම පසුගියදා අනාවරණය වුණා. දුරකතන සංවාද සම්බන්ධයෙන් ඩයලොග් ආයතනයේ සාක්ෂිකරු විසින් සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී, මෙම දිනයේදී අදාළ රැස්වීම පැවැත්වූ බව කියන වෙලාව වන පෙරවරු දහය වන විට අටවන විත්තිකරු ජාඇල, කඳාන ප්‍රදේශයේ සිටි බවට කරුණු අනාවරණය වුණා. එමගින් ඔහු එම රැස්වීමට සහභාගි නොවූ බව තහවුරු වෙනවා. මේවා පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ ස්වාධීන සාක්ෂි."

 

 

 Dialog Pay Business | Billing Services

 

 

ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යය මගහැර යා හැකිද?

මෙහිදී පැන නගින බරපතළම සහ තීරණාත්මකම නෛතික විචාරය වන්නේ, යම් අපරාධයක් සිදුවූවා යැයි කියන අවස්ථාවේ විත්තිකරුවෙකු එහි නොසිටි බවට පැමිණිල්ලේම සාක්ෂිවලින් (ඩයලොග් වාර්තා) සහ රාජ්‍ය ලේඛනවලින් (විදෙස් ගමන් බලපත්‍රය) ඍජුවම ඔප්පු වී තිබියදීත්, හුදෙක් එය දින 14 ක් ඇතුළත දැනුම් නොදීමේ 'පරිපාලනමය හෝ තාක්ෂණික' ප්‍රමාදයක් මත පදනම්ව විනිසුරු මඩුල්ලට මෙම මෝසම මගහැර යා හැකිද යන්නයි.

 

නීතිඥ නයන්ත විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ගේ නඩු තීන්දුවක්ද උපුටා දක්වමින් අධිකරණයට අවධාරණය කළේ, ස්වාභාවික යුක්ති මූලධර්මය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති 'සර්ව සාධාරණ නිදහස' තාක්ෂණික කරුණු මත යටපත් කළ නොහැකි බවයි.

 

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

"ස්වාමීනී ඔබතුමන්ලා මට වැඩිය දන්නවා. ස්වාභාවික යුක්ති මූලධර්මයට අවධානය යොමු කළ යුතු බව. අටවන විත්තිකරුටත් සර්ව සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 126 අ (1) වගන්තියේ 'එසේ වුවද' (proviso) යනුවෙන් සඳහන් කර ඇති කොටස යටතේ විත්තිවාචකය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

 

 

The Importance of Law and the Necessity of Obeying It - Sudari Dissanayake

 

 

පැමිණිල්ලේ විරෝධය: නීතියේ තාක්ෂණික රාමුව

මෙම ප්‍රබල තර්කය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සිය විරෝධය ගොනු කළේ නීතියේ අකුරටම ගරු කරමිනි. විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරයේදී අදාළ රැස්වීමේ මුලසුන දැරූ බව පිළිගෙන අත්සන් කර ඇති බවත්, නඩු විභාගය ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් කාලයක් තිබියදී තම අයිතිය වෙනුවෙන් පෙනී නොසිටි බවත් ඇය පෙන්වා දුන්නාය.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"ස්වාමීනී, තමන්ගේ අයිතීන් මත නිදාගෙන ඉඳලා එකවරම ඇහැරිලා අයිතීන් ගැන කතා කරන්න බැහැ. අදාළ රැස්වීමේ ප්‍රධානත්වය 08 වන විත්තිකරු විසින් දැරූ බවට ඇති මිනිට් සටහනට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අත්සන් තබා ඇති අතර, එසේ විරෝධය පළ කළා නම් එවැනි නිලධාරියකු විසින් අත්සන් කළ ලේඛණ දෝෂ සහගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලට විමර්ශනයක් සිදුකිරීමට හැකියාව තිබුණා. 08 වන චූදිතට කුමන හෝ ස්ථාවරයක් තිබුණත් තමන්ට ඕන ඕන විදියට වෙච්ච විත්ති වාචක හදන්න බෑ."

 

 

 නීතිය | Online Educator

 

 

විනිසුරු මඩුල්ලේ තීන්දුව සහ ඉතිරි වන ප්‍රශ්නාර්ථය

කරුණු සලකා බැලූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ තීන්දු කළේ, නීතියේ 'එසේ වුවද' යන ව්‍යතිරේකය යටතේ අවසර දීමට නම් ප්‍රමාදයට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් 08 වන විත්තිකරු අදාළ චෝදනාව නොදැන සිටීම පමණක් හේතුවක් ලෙස ඉදිරිපත් කිරීම සහ CID ප්‍රකාශය කියවා තේරුම්ගෙන ඊට අත්සන් තබා තිබීම හේතුවෙන්, ප්‍රමාණවත් හේතු ඉදිරිපත් වී නොමැති බව නිගමනය කර අදාළ ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කළේය.

 

 

කෙසේ වෙතත්, නීතිඥ නයන්ත විජේසුන්දර ගේ හරස් ප්‍රශ්න කිරීම් සහ නෛතික තර්ක හරහා මහාධිකරණය තුළ අතිශය ඝනකම් සැකයක් නිර්මාණය කිරීමට විත්තිය සමත් ව ඇති බව පෙනේ. පුද්ගලයෙකුට එරෙහිව පවතින ලිඛිත ලියවිල්ලක් (මිනිට් සටහන හෝ කටඋත්තරයක්) සහ පැමිණිල්ලේම ස්වාධීන සාක්ෂිවලින් (විදෙස් ගමන් බලපත්‍රය/දුරකථන වාර්තා) තහවුරු වන ඔහුගේ භෞතික නොපැවතීම යන දෙකෙන් නීතිය ඉදිරියේ වඩා ප්‍රබල විය යුත්තේ කුමක්ද?

 

 

 

එය හුදෙක් නීති පොතේ වගන්තිවලින් ඔබ්බට ගොස් සාධාරණ නඩු විභාගයක් සහ සත්‍යය ගවේෂණය කිරීම පිළිබඳ බරපතළ විනිශ්චයකි. නඩු විභාගය තුළ මෙම 'නොතැනියාව' මෝසම ප්‍රතික්ෂේප වුවද, පැමිණිල්ලේ සාක්ෂි මතින්ම මතුව ආ එම ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යය, ඉදිරි නඩු විභාගයේදී විත්තියට අතිශය ප්‍රබල තුරුම්පුවක් වනු ඇති බව නිසැකය. නඩුවේ ඉදිරි විභාගය සහ විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි විමසීම ඔක්තෝබර් 05 වැනිදාට කල් තැබිණි.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

(අධිකරණ වාර්තා ඇසුරු කරගනිමින් සකස් කර ඇත)

නවතම ලිපි