විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට පෙර විත්තියේ නීතිඥවරුන්ගෙන් අධිකරණයට දැඩි ඉල්ලීමක්!
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් ලක්ෂ 1,444 ක රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව යළිත් වරක් තීරණාත්මක හැරවුමකට ලක්විය.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, පැමිණිල්ල විසින් ඖෂධ ගෙන්වීමේ මූල්‍ය ක්‍රියාවලිය පිළිබඳව අතිශය වැදගත් සාක්ෂි පෙළක් අධිකරණය හමුවේ දිගහරින ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සහ සමන් රත්නායකගේ භූමිකාව
පැමිණිල්ලේ 289 වන සාක්ෂිකාරිය ලෙස අධිකරණය හමුවට කැඳවා තිබුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් තිලකා ජයසුන්දරයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් ඇයගේ සාක්ෂිය මෙහෙයවන ලද අතර, එහිදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පිහිටුවා තිබූ ප්‍රධාන කමිටුවේ ක්‍රියාකාරීත්වය මනාව පැහැදිලි කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"ඔබ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රධාන කමිටුවක සාමාජිකයකු ලෙස කටයුතු කළාද? ප්‍රධාන කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ කවුරුන්ද?"
සාක්ෂිකාරිය:
"එහි ප්‍රධානත්වය සභාපති ලෙස වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් දැරුවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු එහි කටයුතු කළ අතර මුදල් අමාත්‍යාංශයේ නියෝජිත වරයෙකුද එම කමිටුවේ කටයුතු කළා. අත්‍යවශ්‍ය ආහාර, භාණ්ඩ සහ ඖෂධ ඇතුළු ද්‍රව්‍ය වශයෙන් අනුකමිටු තුනක් තිබුණා."
මෙහිදී පැමිණිල්ල විසින් නඩුවේ දසවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ සෘජු මැදිහත්වීම අධිකරණය හමුවේ ස්ථාපිත කිරීමට කටයුතු කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වූයේ කවුරුන්ද?"
සාක්ෂිකාරිය:
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමන් රත්නායක මහතා එම කමිටුවේ කටයුතු කළා."
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
"කරුණාකර බලන්න, ඔහු මේ අධිකරණයේ කොතැනක හෝ සිටිනවාද කියලා?"
(මෙහිදී සාක්ෂි කූඩුවේ අසුනින් නැගී සිටි සාක්ෂිකාරිය විත්තිකරුවන් අතර සිටි වෛද්‍ය සමන් රත්නායකව අධිකරණය හමුවේ හඳුනා ගත්තාය).
මිනිට් සටහන් සහ ඩිජිටල් අත්සන්
2022 අප්‍රේල් මස සිට 2024 ජනවාරි දක්වා වූ අනුකමිටු වාර්තා සහ මිනිට් සටහන් රැසක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් එකින් එක සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරන ලදී. එම සියලු වාර්තා ප්‍රධාන කමිටුව විසින් අනුමත කර මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවත්, ඒ සෑම එකකම වෛද්‍ය සමන් රත්නායකගේ අත්සන ඇතුළත් බවත් සාක්ෂිකාරිය තහවුරු කළාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:
"2021 වසරේ අප්‍රේල් මස 06 වැනි දින මිනිට් සටහන බලන්න. එහි වෛද්‍ය රත්නායක ඉඳලා තිබෙනවාද? Dr. රත්නායකගේ අත්සන එහි තිබෙනවාද?"
සාක්ෂිකාරිය:
"එහෙමයි ස්වාමීනී, වෛද්‍ය රත්නායක මෙහි ඉඳලා තිබෙනවා. ඔව් ස්වාමීනි, ඔහුගේ අත්සන මෙහි තිබෙනවා."
2022 ජූලි 04 දිනැති මිනිට් සටහන පිළිබඳව සාක්ෂි දෙමින් ඇය ප්‍රකාශ කළේ, "මේ සඳහා ඩොක්ටර් රත්නායක email මඟින් තමයි අනුමැතිය දී ඇත්තේ, එහි ඔහුගේ digital අත්සන සඳහන් වෙනවා" යනුවෙනි. ඒ අනුව කමිටු රැස්වීම්වලට භෞතිකව හෝ Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වී මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ ප්‍රසම්පාදන ඉන්වොයිස් (Invoices) සඳහා වෛද්‍ය සමන් රත්නායක පූර්ණ අනුමැතිය ලබා දී ඇති බව පැමිණිල්ල විසින් මහාධිකරණයට පෙන්වා දෙන ලදී.
මෙම සාක්ෂිකාරියගෙන් දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවි හංස විජේසිංහ හරස් ප්‍රශ්න යොමු කළ අතර, 2022 අගෝස්තු 05 දිනැති වාර්තාවක සාක්ෂිකාරියගේ අත්සන නොමැති බව ඔහු මතු කළේය. ඊට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ අදාළ සටහනට අනුමැතිය ලැබී ඇති බවත් තමන් එම සටහන මීට පෙර දැක ඇති බවත්ය.

සාක්ෂි ලැයිස්තුව සංශෝධනයට අවසර
මෙම සාක්ෂියෙන් අනතුරුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අනුකමිටුවට ඉදිරිපත් කළ ලිපිවල මුල් ලේඛන අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළාය. මුලින් නම් කර සිටි පුද්ගලයින් මේ වන විට එහි සේවය නොකරන බැවින්, වත්මන් සාමාන්‍යාධිකාරීවරයා හෝ නියෝජිතයෙකු කැඳවීමට සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලට අවසර ලබා දුන්නේය.
විමර්ශන නිලධාරීන් කැඳවීමට පෙර විත්තියෙන් දැඩි කොන්දේසියක්!
නඩුවේ ඉදිරි විභාගය ලබන 28 වැනිදාට කල් තැබුණු අතර, එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි ලබා ගැනීමට නියමිත බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.
මෙහිදී අටවන විත්තිකරු (කෙහෙළිය රඹුක්වැල්ල) වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ නයන්ත විජේසුන්දර, සාධාරණ නඩු විභාගයක් සහ විත්තියේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නෛතික තර්කයක් මහාධිකරණය හමුවේ ගොනු කළේය.
ඔහු අධිකරණයට දැඩිව අවධාරණය කළේ, විමර්ශන නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේදී ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා, මෙතෙක් ලබාදී ඇති සාක්‍ෂි සටහන් පරිශීලනය කිරීම විත්තියට අත්‍යාවශ්‍ය කරුණක් බවයි. එබැවින් අදාළ සාක්ෂි සටහන් විත්තියට ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඒවා නිසි පරිදි පරිශීලනය කර සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, දෙවැනි විත්තිකරු (වෛද්‍ය කපිල වික්‍රමනායක) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ද අධිකරණයට ප්‍රකාශ කළේ, අදාළ සටහන් ලබා ගැනීමකින් තොරව මෙම විමර්ශන නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම අතිශය අසීරු කටයුත්තක් වන බවයි. එමෙන්ම තමන් විසින් මින් පෙර ඉල්ලා ඇති ඇතැම් සටහන් මෙතෙක් විත්තියට ලැබී නොමැති බවද ඔහු අධිකරණයේ අවධානයට යොමු කළේය.
විත්තියේ නීතිඥවරුන්ගේ මෙම සාධාරණ සහ තාර්කික නෛතික ඉල්ලීම කෙරෙහි සිය අවධානය යොමු කළ සභාපති විනිසුරුවරයා, ඒ සඳහා සුදුසු විසඳුමක් ලබා දෙන බවට දැනුම් දුන්නේය.
පසුබිම සහ ඉදිරි පියවර
රුපියල් ලක්ෂ 1,444 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යන අධිචෝදනා 13 ක් යටතේ අයිසොලෙස් සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය විජිත් ගුණසේකර ඇතුළු 12 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද ඇතුළු 350 කට අධික සාක්ෂිකරුවන් පිරිසක් සහ නඩු භාණ්ඩ 300 කට ආසන්න ප්‍රමාණයක් මෙම නඩුවට අදාළව නම් කර ඇති අතර, නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා යළි පැවැත්වීමට නියමිතය.
(මූලාශ්‍ර නඩු වාර්තාව උපුටාගැනීම - ද ලීඩර්)

