SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

බැංකුවක් රැඳී පවතින්නේ හුදෙක් මුදල් මත නොව, ගනුදෙනුකරුවා තබන "විශ්වාසය" මතය.

ගනුදෙනුකරුවෙකුගේ ගිණුමක ඇති මුදල්, තාක්ෂණික කාරණයක් මත හෝ බාහිර පාර්ශ්වයක මැදිහත් වීමෙන් අහිමි වන්නේ නම් සහ ඊට බැංකුවෙන් ලැබෙන ප්‍රතිචාරය මන්දගාමී නම්, එය සමස්ත බැංකු පද්ධතිය කෙරෙහිම තැබූ විශ්වාසය පළුදු කිරීමකි.

 

 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රය තුළ දිගින් දිගටම අර්බුද සහ පාරිභෝගික විශ්වාසය කඩවීම් වාර්තා වෙමින් පවතින වකවානුවක, ජාතියේ මහා පහන් ටැඹ බඳු රාජ්‍ය බැංකු ගැන පාරිභෝගිකයන් සතුව දැඩි විශ්වාසයක් පැවතුණි. ජනතාව අමාරුවෙන් උපයා ගත් මුදල් රජයේ බැංකුවක තැන්පත් කළේ එය "තමාගේම බැංකුවය" යන දැඩි හැඟීමෙනි.

 

එහෙත්, මෑතකදී ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) පාරිභෝගිකයෙකුට මුහුණ දීමට සිදුවූ අතිශය ඛේදජනක අකටයුත්තක් හා මූල්‍ය අක්‍රමිකතාවක් ‘හරි දේශය’ වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබුණි.

 

මධ්‍යම රාත්‍රියේ විනාඩි 14ක ගනුදෙනු සංහාරය

ලංකා බැංකුවේ ජංගම දුරකථන යෙදුම (Mobile Banking App) හරහා සිදුවූ බව කියන අතිශය සැකකටයුතු ගනුදෙනු මාලාවකින්, විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකුගේ ගිණුමක තිබූ රුපියල් 28,69,000ක (විසි අට ලක්ෂ හැට නවදහසක) දැවැන්ත මුදලක් මිනිත්තු 14ක් වැනි සුළු කාලයක් තුළදී අතුරුදන්වීමේ බරපතළ සිදුවීමක් මෙලෙස වාර්තා විය.

හමුදා සේවයෙන් විශ්‍රාම ලබා මේ වන විට කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රැකියාවක නිරත වන මෙම නිලධාරියාගේ ගිණුම පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකා බැංකුවේ බද්දෙගම ශාඛාවේය. තමන්ට කියා නිවසක් තනා ගැනීමේ අරමුණින් තම විශ්‍රාම වැටුප ඇපයට තබා ලංකා බැංකුවෙන්ම ලබාගත් රුපියල් ලක්ෂ 44ක ණය මුදලින් කොටසක් මෙලෙස වංචනිකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

පසුගිය අගෝස්තු මස 14 වන දින මධ්‍යම රාත්‍රී 01:24 සිට 01:38 දක්වා වූ මිනිත්තු 14ක කෙටි කාලය තුළ එක දිගට රුපියල් ලක්ෂය බැගින් අවස්ථා 28කදී වෙනත් ගිණුම් වෙත මෙම මුදල් සංක්‍රමණය වී තිබේ. ඊට අමතරව රුපියල් 50,000ක සහ රුපියල් 19,000ක මුදල් හුවමාරු දෙකක් ද සමඟින් අවස්ථා තිහකදී (30) සම්පූර්ණ මුදල අදාළ ගිණුමෙන් හිස් කර ඇත.

තම දුරකථනයට එක දිගට පැමිණි කෙටි පණිවිඩ (SMS Alerts) මඟින් මෙම අනවසර මුදල් පිටවීම දුටු ගිණුම් හිමිකරු සහ ඔහුගේ බිරිඳ, වහාම ක්‍රියාත්මක වී ලංකා බැංකුවේ ක්ෂණික ඇමතුම් සේවාව (Hotline) අමතා ගිණුම සහ කාඩ්පත අත්හිටුවන ලෙස (Block) ඉල්ලා ඇතත්, එම තීරණාත්මක මොහොතේ එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවට වින්දිතයෝ චෝදනා කරති.

"අපට ඉන්න හිටින්න තැනක් නැහැ" - බිරිඳගේ කම්පිත හෙළිදරව්ව

සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදාළ විශ්‍රාමික නිලධාරියාගේ බිරිඳ මෙසේ ප්‍රකාශ කළාය:

"අපට ඉන්න ස්ථිර ගෙයක් නැහැ. ඒ නිසා මහත්තයාගේ විශ්‍රාම වැටුප ඇපයට තියලා අපි ලංකා බැංකුවෙන්ම ලක්ෂ 44ක ණයක් අරගෙන ඒ මුදල් තමයි මේ ගිණුමේ තැන්පත් කරලා තිබුණේ. එයා රට වෙනුවෙන් යුද හමුදාවේ හෙද නිලධාරියෙක් විදිහට සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. දැන් කොළඹ වෙනත් රැකියාවක් කරනවා."

"පසුගිය අගෝස්තු 14 වෙනිදා රෑ 1.24 ඉඳලා 1.38 වෙනකම් එක දිගට ලක්ෂය ලක්ෂය බැගින් 28 වතාවක් එයාගේ ගිණුමෙන් අඩු වුණා. SMS එනකොටම අපි බයවෙලා බැංකුවේ හොට්ලයින් එකට කතා කරලා ගිණුමයි කාඩ් එකයි බ්ලොක් කරන්න කිව්වා. ඒත් ඒක නතර වුණේ නැහැ. 1.38 වෙනකොට ලක්ෂය බැගින් 28 වතාවකුයි, 50,000 සහ 19,000 බැගින් තවත් වාර දෙකකුයි සේරම සල්ලි ඇදලා ඉවරයි. පහුවදාම අපි අදාළ බද්දෙගම බැංකු ශාඛාවට ගිහින් ඇඬූ කඳුළින් කිව්වා. ඒත් බැංකුවේ නිලධාරීන් කිව්වේ 'අපිට දැන් කරන්න දෙයක් නැහැ' කියලා විතරයි."

 

 

නීතිය හමුවේ පැමිණිල්ලත් අතරමං වෙයි

බැංකු ශාඛාවෙන් කිසිදු සහනයක් නොලැබුණු පසුබිමක, වින්දිත පාර්ශ්වය ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි කිරීමට උත්සාහ කර ඇතත්, මුදල විශාල බැවින් එය සාමාන්‍ය පොලිසියෙන් භාරගත නොහැකි බව පවසා ඔවුන්ව හරවා යවා තිබේ.

 

පසුව ඔවුන් සියලු ගනුදෙනු ලේඛන රැගෙන ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ද නිල වශයෙන් කරුණු වාර්තා කර තිබේ.

 

කෙසේ වෙතත්, මෙම මහා මූල්‍ය අපරාධය සිදුවී මසකට අධික කාලයක් ගතවී ඇතත්, වංචනිකයන්ට එරෙහිව හෝ මුදල් ගලාගිය ගිණුම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් හෝ විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

 

 

ලංකා බැංකුවේ "ඇඟ බේරාගැනීමේ" ප්‍රතිචාරය

මෙවැනි ඛේදවාචකයකදී වැදගත්ම සහ කණගාටුදායකම කරුණ වන්නේ ඊට බැංකුව දක්වන ප්‍රතිචාරයයි. තමාගේම පවුලේ බැංකුව යැයි සිතන රාජ්‍ය බැංකුව තම පවුලේ සාමාජිකයාගේ ප්‍රශ්නයේදී ඇඟ බේරා ගෙන පැන යෑම, ඔහුගේ ගැටලුවට සරණක් නොවීම නින්දිත තත්ත්වයක් නොවන්නේද? මෙම පුවත මාධ්‍ය මගින් හෙළිදරව් වීමෙන් අනතුරුව, වින්දිතයාට සහනයක් සැලසීම වෙනුවට ලංකා බැංකුව කළේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය වගකීමෙන් නිදහස් වීමට උත්සාහ කිරීමයි.

 

BOC_3.jpeg

නිකුත් කර ඇති අදාළ විශේෂ නිවේදනය හරහා ලංකා බැංකුව පවසන්නේ මෙවැන්නකි:

"අදාළ ගනුදෙනු, ලංකා බැංකුවේ බැංකු පද්ධතිවල හෝ ඩිජිටල් බැංකු යෙදුම්වල කිසිදු ආරක්ෂක බිඳවැටීමක්, අනවසර ප්‍රවේශයක් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ ඒවා නොවන බව බැංකුව අවධාරණය කරයි."

එමෙන්ම ඔවුන් තවදුරටත් පවසන්නේ,

"අදාළ ගනුදෙනු සඳහා අවශ්‍ය අන්තර්ජාල බැංකුකරණ පිවිසුම් තොරතුරු සහ ලියාපදිංචි දුරකථන අංකයට යොමු කරන ලද එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය (OTP) භාවිත කරමින් එම ගනුදෙනු සත්‍යාපනය කර ඇත"

යනුවෙනි.

 

 

 

මෙයින් පැහැදිලි වන්නේ, සියලු වරද පාරිභෝගිකයා මත පටවා, බැංකුවේ පද්ධතිය ආරක්ෂිත යැයි පවසමින් අත පිසදා ගැනීමට ලංකා බැංකුව උත්සාහ කර ඇති බවයි. වාර්ෂිකව මුදල් කෝටි ගණනක් යොදා පාරිභෝගික විශ්වාසය ගැන වෙළෙඳ දැන්වීම් කප්පරක් ගැසුවත්, සත්‍ය වශයෙන්ම අසරණ වූ පාරිභෝගිකයෙකු නොතකා හරින්නේ නම් එම ප්‍රවර්ධන වැඩසටහන්වලින් ඇති ඵලය කුමක්ද?

 

 

 

ආරක්ෂාව යනු කුමක්ද?

බැංකු සිය ප්‍රවර්ධන මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ තම "ඩිජිටල් බැංකු පද්ධතිය ආරක්ෂිත" බවයි. එහෙත් තාක්ෂණිකව බැංකුවේ අභ්‍යන්තර පද්ධතිය ආරක්ෂිත වීම පමණක් ප්‍රමාණවත්ද? නූතන ඩිජිටල් බැංකුකරණයේදී "ආරක්ෂාව" යන්න බැංකුවේ දොරටුවෙන් එහාට විහිදී ගිය පුළුල් වගකීමකි.

 

  1. සයිබර් තර්ජන හඳුනාගැනීමේ යාන්ත්‍රණය: බැංකුවේ නම සහ නිල ලාංඡනය භාවිත කරමින් ව්‍යාජ වෙබ් අඩවි (Phishing sites) අන්තර්ජාලයේ සැරිසරන විට, ඒවා ක්ෂණිකව හඳුනාගෙන අක්‍රිය කිරීමට (Take down) බැංකුවට ඇති හැකියාව කොපමණද?
  1. පාරිභෝගික දැනුවත්භාවය: හුදෙක් කෙටි පණිවිඩයක් හෝ නිවේදනයක් නිකුත් කිරීමෙන් ඔබ්බට ගොස්, තම ගනුදෙනුකරුවන් මෙවැනි 'ඩිජිටල් උගුල්' වලින් බේරා ගැනීමට බැංකුව ප්‍රමාණවත් හා ප්‍රායෝගික මැදිහත්වීමක් සිදු කරන්නේද?

 

 

පාරිභෝගිකයාගේ නොදැනුවත්කම මත වරද පැටවීම නීතිමය වශයෙන් බැංකුවට වාසිදායක විය හැකි වුවත්, සදාචාරාත්මකව සහ ව්‍යාපාරික කීර්තිනාමය අතින් එය බැංකුවට ගෙන දෙන්නේ දැඩි හානියකි.

 

 

ජාතියේ මහා පහන් ටැඹ නිවී යා යුතු නැත. තම පවුල් සාමාජිකයින් මෙන් පාරිභෝගිකයින්ට සලකා ඔවුන්ගේ ප්‍රශ්නවලදී කර නොහැර ඔවුන්ව රැකගත යුතුය. විශ්වාසය තහවුරු කළ හැක්කේ ප්‍රායෝගික ක්‍රියාවෙන් මිස, ඇඟ බේරාගන්නා නිවේදන මගින් නොවේ.

 

 

සටහන: මෙම ලිපිය මාධ්‍ය වාර්තා, වින්දිතයින්ගේ පැමිණිලි සහ පාරිභෝගික දත්ත මත පදනම් වූ කරුණු ඇසුරින් සකස් කර ඇත. මෙහි අරමුණ මහජන දැනුවත්භාවය, ආයතනික වගකීම සහ පාරිභෝගික විශ්වාසයේ වැදගත්කම අවධාරණය කිරීමයි.

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

 

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

නවතම ලිපි