SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෙලින්කෝ ඛේදවාචකයේ මීළඟ දිගහැරුමද?

 

 

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහට ලක්වූ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ඇතුළු ආයතන 6ක

සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ සියලු වත්කම් අත්හිටුවීමට (Freeze) ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා පියවර ගත්තේය. මහ බැංකුවේ මෙම නීත්‍යානුකූල පියවරත් සමඟම, අදාළ ආයතනවල මුදල් ආයෝජනය කළ දහස් ගණනක් වූ සාමාන්‍ය ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

 

 

තමන්ගේ අනාගතය වෙනුවෙන් යෙදවූ මුදල් ආපසු ලබා දෙන ලෙස බල කරමින් සහ ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් ඉල්ලා සිටිමින් ඔවුහු ලබන සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යාමට මේ වන විටත් සූදානම් වෙමින් සිටිති.

 

 

නීතියේ දැල එලීම සහ වත්කම් අත්හිටුවීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ (FBA) 44 වැනි වගන්තිය ප්‍රකාරව මහ බැංකුවේ බැංකු නොවන මුදල් ආයතන පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වත්කම් තහනම් නියෝගය පනවන ලද අතර, කොළඹ මහාධිකරණය විසින් එය තවදුරටත් තහවුරු කර දීර්ඝ කර ඇත. මේ අනුව පහත සඳහන් සමාගම්වල සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ නිශ්චල හෝ චංචල දේපළ විකිණීම, පැවරීම හෝ ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

 

 

 

අදාළ නියෝගයට යටත් වූ සමාගම්:

  • කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (Kasagala Green Plantation (Private) Limited)
  • සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (Ceylon Green Life Plantation (Private) Limited)
  • සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් (Singhe Capital Investment Limited)
  • ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසින් (Pro Shop Advertising Holdings (Private) Limited)
  • ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (Athens International Education Centre (Private) Limited)
  • එයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් (Eyon Lanka Investment & Film Production International Company)

 

 

මෙම සමාගම් මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මූල්‍ය ව්‍යාපාරවල නිරත වී ඇති බවට සහ මහජනතාවගෙන් තැන්පත් භාරගෙන ඇති බවට මහ බැංකුව විසින් මේ වන විටත් තහවුරු කරගෙන තිබේ.

 

 

ආයෝජකයන්ගේ භීතිය සහ සෙලින්කෝ සෙවණැලි

 

 

මහ බැංකුවේ මෙම නිවේදන මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟම, කඩිනමින් ධනවත් වීමේ අපේක්ෂාවෙන් හෝ සිය ජීවිත කාලය පුරාවටම උපයාගත් ධනය මෙම සමාගම්වල යෙදවූ සාමාන්‍ය ජනතාව දැඩි සේ කලබලයට පත්වූහ. තමන් ආයෝජනය කළ මුදල් ආපසු ලබා දෙන ලෙස ඔවුන් අදාළ සමාගම්වලින් ඉල්ලා සිටියද, ආයෝජන ගිවිසුම්වල කොන්දේසි පෙන්වා දෙමින් "නියමිත වසර ගණනාවක් ගතවන තුරු මුදල් ආපසු ලබා දිය නොහැකි" බව පවසමින් එම සමාගම් වින්දිතයන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.

 

 

ජනතාව තුළ පවතින ප්‍රධානතම බිය වන්නේ, මීට පෙර සෙලින්කෝ ආයතනය බිඳවැටුණු අවස්ථාවේදී එහි තැන්පත්කරුවන්ට වසර ගණනාවක් පුරා තමන්ගේ මුදල් වෙනුවෙන් මහ මඟ රස්තියාදු වීමට සිදුවූ ආකාරයේ ඛේදවාචකයක් තමන්ටද අත්වනු ඇතැයි යන සැකයයි. ගිණුම් සහ වත්කම් සම්පූර්ණයෙන්ම අත්හිටවූ පසුව තම මුදල් ලබාගැනීමට කිසිදු නීත්‍යානුකූල අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඔවුහු බියෙන් පසුවෙති. ලබන සතියේ මහ බැංකුව වෙත ගොස්, තමන් සතු අදාළ ආයෝජන ලේඛන සහ ගිවිසුම් පරීක්ෂා කර, අත්හිටුවා ඇති ගිණුම් සහ වත්කම් හරහා තම මුදල් නැවත ලබාදීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස බල කිරීමට වින්දිතයන් තීරණය කර ඇත්තේ මෙම අවදානම මඟහැර ගැනීම සඳහාය.

 

 

මාධ්‍යයේ භූමිකාව සහ මහ බැංකුවේ වගකීම

මහජනතාව මෙවැනි අනවසර ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ පටන්ම දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු කළ බව සැබෑවකි. එහෙත්, මෙම ඊනියා වගා ආයෝජන වංචාකරුවන් ඊට වඩා බලවත් හා උපක්‍රමශීලී ලෙස ක්‍රියාත්මක විය.

 

 

ඔවුන් දැවැන්ත මුදලක් වියදම් කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සිය ග්‍රහණයට නතු කර ගත් අතර, විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රාජ්‍ය මාධ්‍ය ආයතන පවා මෙම වංචාවේ වක්‍රාකාර කොටස්කරුවන් බවට පත්විය. අසත්‍ය වගා ව්‍යාපෘති පිළිබඳව ආකර්ෂණීය වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධන වැඩසටහන් නිර්මාණය කිරීම හරහා සාමාන්‍ය ජනතාව පහසුවෙන්ම රවටා ගැනීමට මෙම සමාගම් සමත් විය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින්ම අදාළ මාධ්‍ය ආයතන වෙත දැඩි ලෙස අනතුරු අඟවා සිටියේ මෙම බරපතළ පසුබිම තුළය.

 

 

කෙසේ වුවද, හුදෙක් නීතිය සහ රෙගුලාසි මත පමණක් පිහිටා කටයුතු නොකර, වංචාවට හසුවූ මෙම අහිංසක ජනතාවගේ ඉල්ලීම් කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව මීට වඩා සංවේදී විය යුතුව ඇත. නීතිවිරෝධී සමාගම්වල ගිණුම් අත්හිටුවීම මූල්‍ය පද්ධතියේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය වුවද, එහි අවසන් ප්‍රතිඵලය ලෙස අහිංසක ජනතාවගේ මුදල් සදහටම අහිමි වී යාමට ඉඩ නොදිය යුතුය.

 

 

එබැවින්, මෙම සමාගම්වල වත්කම් සුරක්ෂිත කර, සැබෑ ආයෝජකයන්ගේ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මුදල් සාධාරණ ලෙස ආපසු ලබා දීමේ විනිවිදභාවයෙන් යුත් කඩිනම් යාන්ත්‍රණයක් මහ බැංකුවේ මැදිහත්වීමෙන් නිර්මාණය කිරීම මේ මොහොතේ ජාතික අවශ්‍යතාවකි. සෙලින්කෝ ඛේදවාචකයේ කටුක අත්දැකීම් යළිත් වරක් මෙරට ජනතාවට අත්විඳීමට ඉඩ නොදීම නියාමන බලධාරීන්ගේ මූලිකම වගකීමයි.

 

 

නවතම ලිපි