මාධ්‍ය සංවිධානවලින් ඒකාබද්ධ ඉල්ලීමක්!!
සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුව සෞදි අරාබියේදී
මරණ දණ්ඩනය නියම වී ඇති ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකු වන ශිවරාස අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන සංවිධාන ද ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ඒකාබද්ධ නිවේදනයට අනුව, කල්මුණේ, නාර්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිවරාස අනෝජන් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.
සෞදි අරාබි රජයෙන් දයාව ඉල්ලා සිටින මාධ්‍ය සංවිධාන සිය නිවේදනය හරහා මෙසේ පෙන්වා දෙයි.
"සෞදි අරාබි රාජධානියේ ස්වෛරීභාවය සහ එහි අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අනුමත කරන අතරම, අදාළ බලධාරීන්ගෙන් සහ මේ සම්බන්ධයෙන් බලතල ඇති සියලුම ආයතනවලින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ දයාව සහ මානුෂීය සලකා බැලීම් ක්‍රියාත්මක කරන ලෙසයි. මරණ දණ්ඩනය ලිහිල් කිරීම සහ මානුෂීය විසඳුමක් ලබා දීම ඇතුළුව, ආපසු හැරවිය නොහැකි ජීවිත හානියක් වැළැක්වීම සඳහා පවතින සෑම නීතිමය සහ ක්ෂමාදාන යාන්ත්‍රණයක්ම සලකා බලන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු".
ශ්‍රී ලංකා රජය නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අනුගමනය කරමින් සෞදි බලධාරීන්ගෙන් සමාව ඉල්ලා සිටීමට මේ වන විටත් ගෙන ඇති උත්සාහයන් අගය කරන බව පවසන එම සංවිධාන, මෙය හදිසි ජාතික මානුෂීය ප්‍රමුඛතාවයක් ලෙස සලකන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ අනෝජ් වෙනුවෙන් සමාව ඉල්ලා ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් පවත්වාගෙන යන ලෙසත්, සෞදි අධිකරණ පද්ධතිය තුළ පවතින සෑම නීතිමය මාර්ගයක්ම අනුගමනය කරන ලෙසත්ය. ඊට අමතරව සුදුසු නීතිමය නියෝජනයක් සඳහා පහසුකම් සැලසීම සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මේ පිළිබඳව නිතිපතා දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කරති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ සංවිධානවලින් ද මෙම නඩුව සමීපව නිරීක්ෂණය කරන ලෙස මාධ්‍ය සංවිධාන සිය නිවේදනයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය හැකි ප්‍රකෝපකාරී භාෂාවකින් තොරව, වගකීමෙන් යුතුව මෙම සිදුවීම වාර්තා කරන ලෙස සෙසු මාධ්‍ය ආයතනවලින් ද ඔවුහු ඉල්ලා සිටිති.



