SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“යුද්ධය ඉතිහාස විනාශ කර දමයි”. මෙහෙම කියන්නේ 'වුල්ෆ්ගැන්ග් ගොතේ.

ජර්මනියේ විශිෂ්ඨතම ලේඛකයෙකු වෙන වුල්ෆ්ගැන්ග්, ඔහුගේ අදහස ඔහුගෙන් පසුවට ජර්මන් ජාතිකයන්ට පිලිපැදීමට නොහැකි වීම ඛේදජනක සිදුවීමක්.

ඉතිහාසය තුළ සිදුවු අතීත යුධ ස්මරණයන් නුතනයේ පවා දෝංකාර දනවන බවට හොඳම නිදර්ශනයක් වන්නේ ෆ්‍රැන්සිස් ෆෝඩි කපෝලා විසින් අධ්‍යක්ෂණය කරන ලද "Apocalypse Now"චිත්‍රපටය.

යුද්ධය කියන දේ කොහොමටත් කුරිරුවුත් දුක්ඛිතවුත්, කම්පනය දනවනවුත් තත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරන්නක්. එහි වීරත්වයක් නැහැ. එහි ශ්‍රේෂ්ඨභාවයක් නැහැ. මේ සියලු දේ තියෙන්නේ යුද්ධයේ ප්‍රේක්ෂකයන්ට විතරයි. යුද්ධය කිසිම අවස්ථාවක මානුෂික නැහැ. අනෙක් අතට මානුෂවාදී යුද්ධයකට අතපොවන්නට කිසිවකුටත් බැහැ. කොටින්ම මනුස්ස ගති ගුණ ඒ වෙලාවට එලියට අයින් නොකර යුද්ධ කරන්න බැහැ.

 

war 1

"Apocalypse now" චිත්‍රපටය තුල කපිතාන් විලාර්ඩිටත් යුධ මානසිකත්වය නිසා සිදු වී තිබෙන ඛේදවාචකය තමයි යට කී කාරණාව. මානුෂිකව යුද්ධයක් කරන්නෙ කොහොමද කියලා මුලින්ම ආතතියට හසු වීම තමා චිත්‍රපටය දෙන මුල්ම පණිවිඩය.

"Apocalypse now" චිත්‍රපටය ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩ නැගෙනවා. වියට්නාම යුද්ධය අතරතුර එහි විශිෂ්ඨතම ඇමෙරිකානු කර්නල්වරයෙක් වන වෝල්ටර් කර්ට්ස් (මාලන් බ්‍රැන්ඩෝ) තමන්ගේ හමුදා කාණ්ඩයත් සමඟ අමානුෂික ඝාතන රැසක් කරමින් ඇමෙරිකානු හමුදා නියෝග නොතකා හැර යුද්ධය ඔහුගේම ක්‍රමයකට කරගෙන යනවා. ඇමෙරිකානු හමුදාව මේකට ප්‍රතික්‍රියා කරන්නේ ඔහුව ඝාතනය කරන්නට තැත් කිරීමෙන්.

 

war 3

ඔහු ඉන්පසු කාම්බෝජයට පලා ගොස් එහි සිට වියට්කොංවරුන්ට එරෙහිව ඔහුගේ ක්‍රමයට යුද්ධය කරගෙන යනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ කර්නල් කර්ට්ස් ව ඝාතනය කිරීම සඳහා යවන කපිතාන් විලාඩ් (මාටින් ෂීන්) හට මේ සඳහා වියට්නාම ගඟක් දිගේ ඉහලට යායුතු වන අතර එම කාර්ය ඉෂ්ඨ කර ගන්නේ හමුදා බෝට්ටුවක් සහ එහි කාර්ය මණ්ඩලය යොදාගෙන. සම්පුර්ණයෙන්ම පාහේ චිත්‍රපටියේ වැඩි ප්‍රමාණයක් අවධානය යොමු කරන්නේ මේ බෝට්ටු ගමන හා ඒ අතරතුර හමුවෙන චරිත සඳහායි.

 කාම්බෝජය ඉලක්ක කොටගෙන මේ ගමන් කරන නඩය හරහා වීර චාරිකාවක් සමඟ යුධ ගිනිදැල් මැද යෙදෙන බිහිසුණු ගමනාන්තයත්, යුද්ධයේ විකාරරූපී ස්වාභාවයත් ඉස්මතු කර පෙන්වන්නට අධ්‍යක්ෂකවරයා විශිෂ්ට ලෙස සමත් වෙලා තියෙනවා.

 

war 2

වියට්නාම වැසි වනාන්තර සුන්නද්ධූලි අළු වෙලා යන  උදෑසන සුළඟත් සමඟ, නේපාම් ගැසොලින් සුවඳ දැනෙනවට කැමති සර්ෆ් ක්‍රීඩාව කිරීමට ඉඩ සාදා ගැනීම සඳහාම වියට්කොංවරුන්ගේ කඳවුරු වලට ප්‍රහාර එල්ල කරන, යුද්ධ භුමිය සෙල්ලම් පිට්ටනියක් කියලා හිතා ගත්තු තඹ දොයිතුවකටවත් යුධ භුමිය මායිම් නොකරන ලුතිනන් කර්නල් කිල්ගෝර් (සුප්‍රසිද්ධ “Charlie dont surf!” ප්‍රකාශය අඩංගු වෙන්නේ මේ චිත්‍රපටියේ.)

ඒ වගේම සූප වේදියෙකු වීමට හමුදාවට බැඳුණු චෙෆ්, Playboy Bunny ලාගේ සාද පැවැත්වීම සියල්ලටම වැඩිය වැදගත් ලෙස සලකන හමුදා කඳවුරු, නායකයන් නැතිව ගිය හමුදා කඳවුරු, ජෙනරල්ලාගේ ඇඟ බේරා ගැනීම සඳහා වචනයේ අර්ථය වෙනුවෙන් පමණක් පාලම තබා ගැනීම සඳහා වියට්කොංවරුන් නැවත නැවත විනාශ කරන වාරයක් පාසා සොල්දාදුවන් පූජා කර නැවත ගොඩ නගන පාලම් මේ සියල්ලටම අයත්.

 

war 7

තනි පුද්ගලයාගේ මට්ටමින් යුද්ධය එකම විකාරයක් බවට විකෘති වෙලා තිබෙනවා. එක් තැනක කැප්ටන් විලාඩ් පවසන පරිදි යුද්ධය කරගෙන යන්නෙ තරු හතරේ ජෝකර්ලා විසින්.

"No wonder Kurtz put a weed up Command's ass. The war was being run by a bunch of four star clowns."

ඒත් අපි නැවතත් හිතලා බැලුවොත් ඉහත කී කරුණු මොනවද කියල අපිට ඇත්තටම තේරෙනවා ඒවා සාමාන්‍යයෙන් මිනිස්සු ආස කරන දේවල්. යුද්ධ නොකර එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන ඕනෙම මනුස්සයෙක් ආසයි ටිකක් සර්ෆ් කරලා ජීවිතේ රස විඳින්න. තමන් ආස කරන නිලියක් හැබැහින් දකින්න ආස නැත්තෙ කවුද? (විශේෂයෙන්ම Playboy Bunny කෙනෙක්). ඒත් ඒ දේවල් හමුදා සොල්දාදුවෙක්ට කරන්න බැහැ. එතකොට ඔහු අසාර්ථක සොල්දාදුවෙක් වෙනවා. සරලවම කිව්වොත් යුද්ධ කරන්න මනුස්සයෙක් වෙලා බැහැ.

මේ බෝට්ටු ගමනේ අන්තිමට කැප්ටන් විලාඩ් ට කර්නල් කර්ට්ස් මුණ ගැහෙනවා. එතනදි කර්ට්ස් තමන්ගේ ක්‍රියාවන් එකින් එක විලාඩ්ට පැහැදිලි කරලා දෙනවා.

"අපි ගම්මානයක ළමයින් සියලු දෙනාටම පෝලියෝ සඳහා එන්නත් ලබා දීලා ආවා. ටික දුරක් යනකොට මහලු මනුස්සයෙක් අපි පස්සෙන් අඬාගෙන ආවා. අපි ආපහු ගිහින් බලනකොට වියට්කොංවරු අපි පිටවුනාට පස්සෙ ගමට ඇවිත් කියලා අපිට තේරුනා. අපි එන්නත් කරපු හැම අතක්ම උන් කපලා ගම මැද්දෙ ගොඩ ගහලා තිබුනා….. මට මතකයි….. මම ඇඬුවා, මම වැලපුනා වයසක ගෑණු කෙනෙක් වගේ. මගේ දත් එලියට ඇදලා දාන්න හිතුනා. මොනව කරන්නද කියල මට හිතා ගන්න බැරි වුනා."

 

war 5

"ඊට පස්සේ මම තේරුම් ගත්තා, හරියට මට වෙඩි වැදුනා වගේ, දියමන්තියකින් වෙඩි වැදුණා වගේ. නලළ හරහා ගිය දියමන්ති උන්ඩයක්. ඊට පස්සෙ මට හිතුනා “මගේ දෙයියනේ ඒකෙ දක්ෂකම. ඒ දේ කරන්න තිබුන හැකියාව. ඒක තමයි දක්ෂකම. පරිපූර්ණ, අව්‍යාජ, පැහැදිලි, සුපිරිසිදු දක්ෂකම.” මට ඊට පස්සේ තේරුනා උන් මට වැඩිය ශක්තිමත්, ඒ දේ කරන්න පුලුවන් කම තිබුන නිසා මට වැඩිය ශක්තිමත් බව. මේ ම්ලේච්ඡයො නෙමෙයි. මේ අය මිනිස්සු, පුහුණ කරපු කාඩර් වරු. මේ මිනිස්සු තමන්ගේ හදවතින් සටන් කරපු අය, පවුල් හිටිය අය, ළමයි හිටිය අය, ආදරයෙන් පිරිච්ච අය….. ඒ දේ කිරීමට ශක්තිය තිබුන අය…."

"මට ඒ වගේ හමුදාංශ දහයක් තිබුනොත් අපිට මෙහෙ තියෙන කරදර බොහෝම ඉක්මනට ඉවර කරලා දාන්න පුලුවන්. අපිට ඕනෙ සදාචාරාත්මක, ඒත් ඒ ගමන්ම තමන්ගේ ප්‍රාථමික ඝාතනය කිරීමේ හැකියාවන්, හැඟීමෙන්, දැනීමෙන්, ආසාවකින් තොරව, විශේෂයෙන්ම විනිශ්චය කිරීමකින් තොරව ප්‍රයෝජනයට ගන්න පුලුවන් මිනිස්සු."

"ඒ අපිව පරාජය කරන්නේ විනිශ්චය කිරීම නිසා!"

කර්නල් කර්ට්ස් ගේ ඉහත ප්‍රකාශයම මුලු චිත්‍රපටියේ දෘෂ්ටිවාදය එක මිටකට අරන් පෙන්වනවා. ඒ මේ විදියටම නෙමෙයි. මිනිස්සු විදියට අපි යුද්ධ කරන්න යනවා නම් සම්පූර්ණයෙන්ම නොමිනිස්සු විය යුතුයි කියන එක. මොකද තමන් මරපු මිනිහෙක්ගේ මරණය බොහෝම සැහැල්ලුවෙන් විනිශ්චයකින් තොරව හිතෙන් අයින් කරලා දාන්න පුලුවන් වෙන්නේ නොමිනිස් මට්ටමකින්ම හේතු සහගත අයෙකුට පමණක් නිසා.

චිත්‍රපටය තුල වියට්නාමය අත්පත්කරගැනීමේ වෑයම් කරන පාර්ශවයක් වන ප්‍රංශය ඇයි මේ වියට්නාමයටම දත නියවන්නෙ කියලා ප්‍රංශකාරයෙක් හරි අපුරු ලස්සන උත්තරයක් කපිතාන් විලාර්ඩ්ට දෙනවා.

"අපි ඉන්දු-චීන යුද්ධයක් කලා, අපි ඉන්දුනීසියාවත් එක්ක යුද්ධ කලා. අපි පරාද වුනා. අපිට ඔිනා අපේ රටටම කියලා ලෝකේ කොහේහරි බිම් කෑල්ලක්."

"ඇයි ඇමරිකන්ස්ලා යුද්ධ කරන්නේ?" එවිට ප්‍රංශ ජාතිකයා පවසන්නේ මෙවැන්නක්.

"While you American’s you are fighting for........the biggest nothing in history"

මේ විලාර්ඩ්  සහ ප්‍රංශ ජාතිකයා අතර යෙදෙන සංවාදය ලොකු දේශපාලන කියවීමක් සහිත එකක්.

චිත්‍රපටිය අවසානයේදි කර්නල් කර්ට්ස්ව මරන්න තීරණය කරන කැප්ටන් විලාඩ් මඩ තවරාගෙන මීදුම පිරිච්ච දිය පාරකින් උඩට මතුවෙන තැනක් තිබෙනවා. මට දැනුන හැටියට මේ මෙතෙක් වෙලා කර්ට්ස් විසින් අපිට තේරුම් කරලා දෙන්න හදපු පරමාදර්ශී යුධකාමියාගේ දර්ශනයක්. කාම්බෝජයේ ගෝත්‍රිකයන්ගේ බිලි පුජාව සහ විලාඩ්ගේ ක්‍රියාදාමය හා සංස්කරණය, ඒ ගැලපුම චිත්‍රපටය අවසානයේ ප්‍රබල කම්පනය ගෙනදෙන රූප රාමු පෙළක්. කැප්ටන් විලාඩ්ගේ ඒ දර්ශනය හරියට පොලොවෙන් මතුවෙන යක්ෂයා නිරූපණය කිරීමක් වගේ.

කොහොම වෙතත් Apocalypse Now රස විඳීමෙන් දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මම ඒක විස්තර කරන්න යාමෙන්ම ඒ හැඟීම එක්තරා විදියකින් විකෘති කරනවා. ඒක තමන්ම හොයා ගත යුතු දෙයක්.

 

war 9

"Apocalypse Now" චිත්‍රපටය හොලිවුඩය තුළ නම් දැරූ නලුවන් කිහිප දෙනෙක් දායක වී තිබෙනවා. සුප්‍රසිද්ධ මාලන් බ්‍රැන්ඩෝ (The Godfather හි දොන් විටෝ කෝර්ලියෝනෙ), මාටින් ෂීන් (The Departed හි කැප්ටන් ක්වීනෑන්), රොබට් ඩුවෑල් (The Godfather හි නීතිඥ ටොම් හේගන්), ලෝරන්ස් ෆිෂ්බර්න් (The Matrix හි මෝෆියස්) මේ අය අතුරින් කිහිප දෙනෙක්. ෆ්‍රැන්සිස් ෆෝඩි කපෝලාගේ " Apocalypse now", චිත්‍රපටය කරදර බාධක ගොඩක් මැද්දේ වියට්නාම, කාම්බෝජ වැසි වනාන්තර තුල දිග කාලයක් ගත කර නිපදවන ලද මේ චිත්‍රපටිය ඒ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵල ලබා දීලා තියෙනවා කියල කියන්න පුලුවන්. චිත්‍රපටය විශිෂ්ටබව කියාපාන සංස්කරණ ක්‍රමවේදයන්, කැමරා කෝණ, රූප ඛණ්ඩ ආදිය තුළින් සිනමාවේ ශිල්ප ක්‍රම දැවැන්ත අන්දමින් දැකගත හැකි චිත්‍රපටයක් ලෙසද "Apocalypse Now" චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන්.

වියට්නාම-ඇමරිකානු සංග්‍රාමයේ සැබෑ තත්ත්වය පිළිබඳ අමානුෂික වූත් විකෘති වූත් ස්වාභාවය කියැවෙන හොඳම චිත්‍රපටි වලින් එකක් තමයි Apocalypse Now. 1979දි මුලින්ම තිර ගත වෙන මේ චිත්‍රපටිය මේ වෙනකොට ලෝකයේ හොඳම චිත්‍රපටි ලැයිස්තු අතර පලවෙනි ස්ථානය පවා ලබාගෙන තිබෙනවා. මා මෙතෙක් නරඹා තිබු විශිෂ්ටතම වියට්නාම යුද්ධය තේමා කරගත් චිත්‍රපටයක් වු ඔලිවර් ස්ටෝන්ගේ "Platoon" චිත්‍රපටය දෙවන තැනට ඇද දමමින් නැරඹු හොඳම වියට්නාම යුධ චිත්‍රපටය බවට නිරායාසයෙන්ම පත්වුවා.

"Money is about war"

"War is about money" - නෝර්මන්

 

@ මලින්ත විතානගේ