SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-South Asian හෙවත් “ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පල කරන ප්‍රාග්ධනය ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප්‍රකාශනය)

 

යොමුව -

 

pic 02 final

 

පෘථිවියේ බටහිර ඉම් පෙදෙසේ රෝමානු අධිරාජ්‍යය කඩා වැටීමත් සමඟ යුරෝපය පුරා විහිද පැතිර ගියේ අඳුරු-යුගයක් (Dark era) යැයි සැලකේ. වරක් ග්‍රීසියේ ලෝකඩ-යුගය (Bronze Era) ඇද වැටීමෙන් පසුව උදාවූයේ ද මෙතරම් ම වූ අඳුරු-යුගයක් යැයි සලකන ලදී.

 

ලොව පැවති අඳුරු-යුගයන් මොනවාද කියා සොයමින් මිනිස් සිතිවිල්ල හරස්-විමර්ශන (cross-checking) ඔස්සේ විචක්ෂණශීලී ලෙස මෙහෙයවුවහොත්, ඒ හරහා, “අඳුරු-යුගය” නැමති සංකල්පය විසින් භෞතික සාක්ෂි සහිතව ලොවට-ම-පොදු-වූ (Common to the World) කුමන හෝ තනි-යථා-යුගයක් (One Real Era) නිෂ්චිතව ම නියෝජනය කරන බව හෝ සිතුම්- කරවන (Signified) බව යුක්තියුක්ත කොට කීම කෙතරම් දුරට නිවැරදි (Accurate) ද කියා විමසූ කල්හි, ඒ පිළිබඳව අදටත් අපට හමුවන්නේ අපැහැදිල මතභේද රාශියකි.

 

මගේ කල්පනාවේ හැටියට නම්, පෘථිවියේ නානාවිධ දේශයන්හි පවතින්නේ, සමාන්තර සහ හරස් විමසුම්-අධ්‍යනයන්ට බඳුන් කළ යුතු, එකිනෙකට වෙනස් ස්වභාවයේ ඉතිහාසකත්ව (Historicity) නියෝජනය කරන, ගුණයෙන්, ප‍්‍රමාණයෙන් සහ ගතිකත්වයෙන් හෝ අනෙකුත් මානයන්ගෙන් එකිනෙකට වෙනස් වූ එක එක විදිහේ “අඳුරු යුග වර්ග ” රොත්තකි.

 

මන්ද, එකවර, මුළුලොව හැම ඉම් පෙදෙසකට ම පොදුවූ එක ම විදිහේ අසහාය හෝ සැනසිලිදායක වන තනි යුගයක් පැවතී නැති බැවිනි. එනම්, එක ම විදිහට ප‍්‍රගතිගාමී හෝ අගතිගාමී වන, ධනාත්මක හෝ සෘණාත්මක වන, දීප්තිමත් වන හෝ අඳුරු වන හෝ උදාසීන වන තනි යුගයක් කවදාවත් එකවර මුළු ලොවපුරා ම කිසිකලෙක පැවතී නැත. මීට ප‍්‍රධාන හේතුව වන්නේ, පෘථිවිය පුරා පවතින සෑම භූමියක් මත ම, එක ම කාලයක දී, එකවර, එක ම ප‍්‍රමාණයක්, ගුණයක් සහ ගතිකත්වයක් හෝ මානයක් සහිත තනි ඓතිහාසික යුගයක් හෝ යුග නොපැවතී තිබීම යි. ඒ වෙනුවට ලෝක සිතියමේ ඇති විවිධ භෞමික යථාර්ත සහ අනෙකුත් යථාර්ත සහිත විවිධ දේශයන් හෝ ඉම් පෙදෙස් විසින් මේ වනතුරුත් පසුකර යමින් පවතින්නේ, එකිනෙකට වෙනස් ප‍්‍රමාණ, ගුණ සහ ගතික හෝ මානයන් සහිත එකිනෙකට වෙනස් ඉතිහාස යුග බව ප‍්‍රත්‍යක්ෂ ය.

 

මෙය ම, මාක්ස්-විද්‍යාවේ භෞතික ආර්ථිකවාදී යොමුව පරිදි ගෙනහැර පෑවහොත්, ලෝක සිතියමේ හමුවන විවිධ දේශයන් හෝ ඉම් පෙදෙස් විසින් එක ම යුග කාල-අවකාශයක දී බිහිකරන්නට යෙදී තිබුණේ සහ බිහිකරමින් පවතින්නේ, ප‍්‍රමාණ, ගුණ සහ ගතිකත්වයන්ගෙන් හෝ වෙනත් මානයන් අනුව එකිනෙකට වෙනස් නිෂ්පාදන-උපකරණ හෝ ආම්පන්න (Means of Production) බව පැහැදිලි වෙයි.

 

යුගයක සංවර්ධන ගුණය, ප‍්‍රමාණය, ගතිකත්වය හෝ වෙනත් මානයක් තීරණය කරනු ලබන ප‍්‍රධාන සහ කේන්ද්‍රීය භෞතික සහ රසායනික සාධකය වන්නේ, ඒ යුගය පසුකරමින් සිටින මිනිස් වර්ගයා විසින් අලූතෙන් සොයාගෙන හෝ ආනයනය කොට ප‍්‍රති-නිෂ්පාදනය කර හෝ සමාජයක් ලෙස භාවිතයට ගනු ලබන නිෂ්පාදන-උපකරණ යි.

 

නිෂ්පාදන උපකරණ හැරුණුවිට වෙනත් ගුණ, ප‍්‍රමාණ, ගතිකත්වයන් හා මානයන් සහිත අනෙකුත් ස්වභාවික වූ භෞතික සහ රසායනික සාධක අනුව සලකා බැලූව ද, මිනිස් ප‍්‍රජාවන්ගේ ජනනික සාධක අනුව සලකා බැලූව ද, ඒ සෑම සාධකයක් ම පවා, ඒවා ඓතිහාසිකව පැවතුනා වූ ඉම් පෙදෙස අනුව එකිනෙකට වෙනස් වෙයි. සමහරවිට පරස්පර විරෝධී ද වෙයි. එනයින්, එවන් වෙනත් සාධක අනුව සලකා බැලූව ද යුගයෙහි (Era) භෞතික අරුත යන්න ඉම් පෙදෙසෙන් ඉම් පෙදෙසට වෙනස් වෙයි. ඒ නිසා යම් ඉතිහාසකත්වයක කාලය (ගෙවෙන මොහොත හෝ වසර) හැමවිට ම අවකාශයට (ස්ථානය හෝ පෙදෙසට) සාපේක්ෂ වෙයි.

 

ලෝකය සමස්තයක් ලෙස සැලකුවහොත්, වාෂ්ප ඇන්ජිම බිහි වූ කාර්මික විප්ලවය අවධියේ සිට අද පවතින අකාබනික ඇල්ගෝ-රිදමිකයන්ගේ සේවා නියුක්තිකභාවය උදෙසා පෘථිවිය මතට බිහිකොට වේගයෙන් මුක්ත කර හරිනු ලබන අධි-තාක්ෂණික උපරකරණ සහිත මේ ගෙවෙන අති-බහුමානික නව-නූතන අවධිය දක්වා ම, නිෂ්පාදන උපකරණ බිහිකිරීම නැමති අරුතින් පෘථිවිය මත සීඝ‍්‍ර සංවර්ධන ගමනයන් සිදුවී ඇති බව නොරහසකි. නමුත් ලොව සියළු ඉම් පෙදෙස්වල සිටින සියළු බහුතර ජන කණ්ඩායම් වලට ඒ මුුළුමහත් නිෂ්පාද උපකරණ සන්තතියෙන් වැඩි කොටසක් කෙසේ වෙතත් සැලකිය යුතු ගුණ සහ ප‍්‍රමාණවලින්වත් භාවිතයට ගැනීමට සහ භුක්ති විඳීමට ඉඩ-හසර ලැබී ඇති බවක් ඉන් අදහස් නොවේ.

 

ඊට හේතුව වන්නේ, නූතන-ධනේෂ්වර-යුගයේ (Modern Capitalist Era) සිට අද පවතින නව-නූතන-ධනේෂ්වර-යුගය (Neo Modern Capitalist Era) දක්වා ම ලොවට බිහිකරගත් සමස්ත-නිෂ්පාද-උපකරණ සන්තතිය ම සෘජුව හෝ වක‍්‍රව ක‍්‍රම-පද්ධතිගත (Systemized) වූ අධිරාජ්‍යවාදී බල-කේන්ද්‍ර හෝ වෙනත් ප‍්‍රාග්ධන බල-කේන්ද්‍ර වල බලාධිපත්‍යය සහ ප්‍රාග්ධන-සමුච්චකරණය (Capital Accumulation) තහවුරු කරගැනීම වස්තුමූලික (Objective) කරගෙන හෙවත් අරමුණ කරගෙන යොදවනු ලැබීම යි. වෙනත් වචන වලින් කිවහොත්, මෙතෙක් බල-අභ්‍යාසී ක්‍රම-පද්ධති විසින් නිෂ්පාදන-උපකරණ ලොව පුරා සමානව බෙදී යාම වලකා හෝ අවම කර හෝ මුළුමනින් සීමාකර පැවතුණි. 

 

මීට හේතුව වන්නේ, එකී ගෝලීය බල-කේන්ද්‍රයන්වල දේශපාලනාර්ථික උපාය-සැලසුම් ක‍්‍රියාන්විත කරගැනීම සඳහා යොදාගනු ලැබූ සියවස් ගණනක ඉතිහාසයක් ලොවෙහි පැවතී සහ පවතිමින් තිබීම නිසා නිෂ්පාදන උපකරණ ලොවපුරා බෙදීයාම හා සම්බන්ද එම අධිරාජ්‍යවාදී යොමුව ලොවපුරා සාමාන්‍යකරණය වී තිබීම යි. එනයින්, ලොව බහුතර ජනයා ජීවත්වන බහුතර ඉම් පෙදෙස් බොහොමයක් ම සෘජුව ම නූතන-ධනේෂ්වර-තත්වයක (Modern Capitalist Condition) හෝ නව-නූතන-ධනේෂවර-තත්වයක (Neo-Modern Capitalist Condition) පවතින්නේ නැති බව අප පැහැදිලිව තේරුම්ගත යුතුව ඇත. භෞතික හරයෙන් පූර්ණ-නූතන-ධනේෂ්වරයක හෝ පූර්ණ-නව-නූතන ධනේෂවරයක පවතින්නේ, පෘථිවිය මත ප‍්‍රාග්ධන කේන්ද්‍රයන් ගොඩනගාගත් සුළුතර ඉම් පෙදෙස් කිහිපයක් පමණි.

 

නූතන ධනේෂ්වර තත්වයක් හෝ නව-නූතන ධනේෂ්වර තත්වයක් හෝ අත්පත් කරගත් වෙනත් බලකේන්ද්‍රයකට යටත්ව සිටි හෝ සිටින පමණින්, මෙකී බහුතර ජන-ඉම්-පෙදෙස් වල ඇති දේශපාලනාර්ථික ක‍්‍රම-පද්ධතීන් සියල්ල ද නුතන හෝ නව-නූතන ධනේෂවරත්වයන් අත්පත් කරගෙන පවතිනවා යැයි නිගමනය කිරීම හෝ විනිෂ්චය කිරීම නිවැරදි නොවේ. 

 

සරල උදාහරණයකින් කිවහොත්, අප යම්කිසි ප්‍රාග්ධන බල-කේන්ද්‍රයකට අයත් විදේශීය හාම්පුතෙකුට යටත්ව පවතින ඔහුගේ කොම්පැනියේ, නිවසේ හෝ ගෙවත්තේ වැඩ කළ පමණින්, ඔහුගේ කොම්පැනියේ, නිවසේ හෝ ගෙවත්තේ ඇති සමස්ත ගුණාත්මක උපකරණ (Quality of Machines) භාවිතය හෝ ගුණාත්මක-ජීවිතය (Quality of Life) ම අපගේ ස්වදේශීය කොම්පැනියට, නිවසට හෝ ගෙවත්තට ද ලැබී ඇතැයි සැලකීම නිවැරදි නොවේ.

 

එසේ ලැබී ඇත්නම්, ඔහු හා අප අතර වෙනසක් නොමැත. ඔහු අපට වඩා වන භෞතික බල-කේන්ද්‍රයක් වන්නට හේතුවක් ද නොමැත. ඒ විදේශීය හාම්පුතා භෞතික බලකේන්ද්‍රයක හිමිකරුවා බවට පත්වන්නේ ම ඔහු දේශීය ජනයාට වඩා ඉහළ ගුණාත්මක උපකරණ, එනයින් ම ගුණාත්මක ජීවිතයක් ද අත්විඳින හෝ භූක්තිවිඳින බැවිනු යි. නමුත් යථා-සත්‍යය (Real Truth) වන්නේ, අප (එනම් ලෝකයේ බහුතර ඉම් පෙදෙස් සහ ඒවායේ වෙසෙන ජනයා) මූලික හරයෙන් ම නූතන ධනේෂ්වර හෝ නව-නූතන ධනේෂ්වර නිෂ්පාද උපකරණ හෝ ඒවා නිසා ලබන ගුණාත්මක ජීවිතය හෝ සැලකිය යුතු පමණකින්වත් අත්පත් කරගෙන නොතිබීම යි.

 

මේ අනුව, 1712 වසරේ එංගලන්තයේ දී වාෂ්ප එන්ජිම සොයැගැනීම නිසා 1804 වසරේ පෙබරවාරි 21 දා එංගලන්ත දේශය දුම්රියෙන් බඩු ප‍්‍රවාහනය සහ මිනිස් ගමන බිමන් ඇරඹීම සිදුකරන මොහොතේ, ලක් දේශය තුළ බඩු ප‍්‍රවාහන සහ ගමන් බිමන් සිදුකෙරුනේ දෙපයින් ම ඇවිද ගිය මිනිසුන් සහ ගොන්-කරත්ත ඇසුරින් ම මිසක, එවක ලක් දිවයිනේ රටවැසියන් එංගලන්තකයින් තරමට ස්වීය-කාර්මිකකරණයකට ලක් වූ නූතන-නිෂ්පාදන-උපකරණ හෝ නූතන-සේවා-උපකරණ බිහිකරගත් ලක් ඉතිහාසයකට උරුමකම් කියමින් සිටියේ නැත. 

 

pic 03 final

 

උඩරට රාජධානියෙන් බැහැර මූදුකරය, එංගලන්තක යටත්විජිවාදය නියෝජනය කරන සිලෝනීය කෑල්ලක් (Ceylonese Particle) ලෙස පැවති නිසා 1800 වසරේ දී ලන්ඩන් පරිපාලනය විසින් ලක්දේශයට සුළු දුම්රිය සැකැස්මක් ලබාදී, රට තුළ සුළු පිරිසකට නව ප‍්‍රවාහනයක් සහ ඊට අදාළ මාර්ග පද්ධතියක් භුක්ති විඳින්නට ලැබුණේ ද ආක‍්‍රමණික එංගලන්තක කිරීටයෙන් මෙහය වූ ලන්ඩන් පරිපාලනයේ  මැදිහත් වීම නිසායි. 

 

ඒ නිසා එංගලන්තයේ සිට ලක්-දේශය වෙත ඒ කාර්මික-සේවා-උපකරණයේ ආගමනය සිදුවීම, ලක්දේශයේ ස්වීය ස්වදේශික සංවර්ධන අවැසිතා ඓතිහාසිකව සමීකරණය කරගත් විශ්ලේෂන සැලැස්මකට අනුව සිදුවූ ආගමනයක් ලෙස භාරගත නොහැකි ය. එය, ලක් දේශයේ පැවති දේපළ, සම්පත්  සහ ශ්‍රමය ස්වදේශිකයන්ගේ ඇස්වලට පෙනි පෙනී ඇස්වලට වැලිගසා බලාත්කාරයෙන් එංගලන්තය වෙත සොරකම් කරගැනීම සඳහා එංගලන්තක කිරීටයෙන් මෙහෙයවූ ලන්ඩන් පරිපාලනයේ අරමුණ(Objective- වස්තුමූලිකය) පෙරදැරි කරගත් ප‍්‍රවාහන-උපකරණ කිහිපයක ආගමනයක් පමණි. ඒ නිසා ”ලංකාවට සුද්දන්ගෙන් කොච්චි ආවා” කියා ඉවක් බවක් නැතිව හදිසියේ ම ඒක ”මාර සංවර්ධනයක්” යැයි විනිෂ්චය කරන්නට ඉක්මන් වීම දේශපාලනාර්ථික විෂයෙහි හතරකොන් පටලවා ගැනීමකි.

 

pic 04 final

 

වඩා දියුණු නිෂ්පාදන-උපකරණ හෝ ඒවායෙහි තාක්ෂණය හෝ, ඒවා බිහිවූ දියුණු දේශයක සිට වෙනත් පසුගාමී දේශයක් වෙත ලොව කවරදාකවත් නොමිලේ සහ නිදහසේ බෙදාහැර දී නැත. ඒවා බිහිවූ දේශයෙන් වෙනත් දේශයක් කරා හුවමාරු වුණේ වී නම්, එක්කෝ යම්කිසි අධිරාජ්‍යවාදී දේශපාලනාර්ථික රාමුවකට යටත්ව ය. නැතිනම් බලෙන් උදුරා ගැනීම් විදිහට ය. උදාරහරණයක් ලෙස, යටකී පරිදි, ලංකාවට දුම්රිය නැමති කාර්මික ප‍්‍රවාහන උපකරණය ලැබුණේ සහ මෙරටේ දුම්රිය මාර්ග පද්ධතිය පවා තැනුණේ, මුළුමනින් ම ලාංකීය ජන්මවාසී-මනුෂ්‍ය-බහුතරයගේ (Native Human Majority) දේශීය අවශ්‍යතාවන්ට සාධාරණ වන සංවර්ධන ඉතිහාසයක් (A History of Development) ගොඩනගා ගැනීමට අදාළ වන යථා ක‍්‍රියා-සැලැසුමක් (Real Action Plan) පරිදි නොවේ.

 

එය සිදුවූයේ, එවකට එංගලන්තක කිරීටයේ ප‍්‍රාග්ධන උවමනා නියෝජනය කරමින් ලන්ඩන් පරිපාලනයෙන් මෙහෙයවූ සැලැස්ම පරිදි ක‍්‍රියාත්මක කෙරෙැණු ලක් දේශයෙන් දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරාගැනීම මූලික කරගත් යටත්විජිතවාදී හෙවත් කොලනිවාදී සහ අධිරාජ්‍යවාදී දේශපාලනාර්ථික රාමුවකට යටත්ව පමණි. මෙහිදී අප පැහැදිලිව සිහිඑළවාගත යුතු කාරණය වන්නේ, ලක් පොළව මත එංගලන්තයේ සමහරක් නූතන වෙනස්කම් ලක්දේශය මත සිදුකරන මොහොතේ ලක්වැසියා සිටියේ (being) නිදහස් භවයක් සහිත පුද්ගලයෙක් හෝ පුද්ගලියක් ලෙස නොව, එංගලන්තක කිරීටයේ යටත් වැසියෙකු ලෙස යි. රට වෙනුවෙන් රටේ ආවේනිකත්වය සලකා ස්වීය යෝජනාවක් කිරීම තබා එසේ සිතීම පවා ඔවුන්ට තහනම් කොට තිබුණි.

 

pic 05 final

එංගලන්තකයන්ට හසු නොවී පලා යන්නට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට පුෂ්-බයිසිකලයක්වත් නොතිබූ අතර, නිෂ්පාදන උපකරණ හා සම්බන්ධ එම භෞතික ද්‍රව්‍යමය යථාර්තය අවබෝධ කොට නොගෙන, ”එකල ලංකාවත් කාර්මිකකරණයෙන් මාර තත්වයක හිටියා” යැයි කියන මාන්නක්කාර මතිභ‍්‍රම මානසිකත්වයක සිටින (being), නොදැන(අවිඥානිකව) ඩොයිලිගේ යටිකූට්ටු බෙදුම්වාදී සමාජ මතයෙන් ඩෝප් වී, ඒ මතය නියෝජනය කරන සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ ජාතිවාදියෙකුට හෝ ජාතිකවාදියෙකුට මා මේ හෙළිදරව් කරන යථාර්ත-වියමනේ යටි පෙළෙහි ඇති කෙන්ද්‍රීය-තීසිසය (Central-Thesis) හසුවන්නේ සහ තේරුම් යන්නේ නැත.  

 

pic 06 final

 

 

මෙලෙස, ලොව සියළු දේශයන් එක ම අරුතකින් එක ම යුගයකදී එකවර එක ම ආකාරයට අඳුරුව පැවතියේ හෝ පුනර්ජීවනය වූයේ හෝ සමාන්‍ය උදාසීන තත්වයේ හෝ පැවතියේ නැති බව කවුරුත් නිහතමානීව පිළිගත යුතුව ඇත.

 

කෙසේ වුවත්, නිසැකව ම, ලතින් භාෂාවේ “Saeculum Obscurum” යන වචනයෙන්  ව්‍යුත්පන්න වූ ”අඳුරු-යුගය” නැමති බටහිරවාදී නාමකරණය සිදුවී ඇත්තේ නම්, ක‍්‍රි. ව. 476 සිට ක‍්‍රි. ව. 1450 දක්වා යුරෝපයේ පැවති මධ්‍යතන-යුගයට (Middle Ages) අදාළව බව සතයයකි. නමුත්, ඒ නිසා, ලොව පුරා හැම තැනක ම එකවර එක ම ආකාරයේ මධ්‍යතන යුගයක් හෝ ඊට සාමන හෝ සමාන්තර වූ යුගයක් පැවතුණේ යැයි අදහස් කිරීම ගවේශණාත්මක ඉතිහාස-විද්‍යාවට අනදාළ ප‍්‍රලාපයකි. 

 

එසේ නම්, යුරෝපයේ බිහිවූ මෙකී ”අඳුරු-යුගය” සංකල්පය පොදුවේ යුරෝපා රටවලට සේ ම එම රටවල යටත්-විජිතයන් බවට පත් වූ සෑම රටකට ම ද අදාළ වන  මුළු පෘථිවියේ ම ”අඳුරු-යුගයක්” වන්නේය යන මතය ලක්වැසි ජනයා මත පැටවීම සහ එය ලක්දේශය තුළ කතිකාවක් බවට පත්කිරීම පිටුපස ඇත්තේ බල-දේශපාලන ව්‍යූහයකි (Structure of Power-Politics). ලොව පුරා මේ වන විට පවතින අධ්‍යාපන-ක‍්‍රම-පද්ධති (Educational Systems) සියල්ල ම විශ්ලේෂණය කර බැලූවත්,  ඒ අධ්‍යාපන-ක‍්‍රම-පද්ධති හැම එකක් ම සෘජුව ම හෝ වක‍්‍රව කුමක් හෝ අධිපති-මතවාදයක් (Dominant ideology) නියෝජනය කරන සමාජ-කතිකාවකින් (Social Discourse) මෙහෙයවනු ලබන බව හඳුනාගත හැකි ය.

 

අද ලොව පිළිගන්නා විද්‍යාත්මක ප‍්‍රමිතීන්ට අනුව සලකා බලන කල ද, සියළු ලක්වැසි ජනයාට අධ්‍යාපනය නිදහසේ සමානව භුක්ති විඳීමට ඉඩ නොදුන් 1815ට පෙර යුගයේ පැවති ස්වදේශීය රාජාණ්ඩු ක‍්‍රමය තුළ දී ලක්දේශයේ අධ්‍යාපන-ක‍්‍රමය ලක් රජුට පක්ෂ අධිපති මතාවදයක් නියෝජනය කරන ස්වදේශීය සමාජ-කතිකාවකින් මෙහෙයවනු ලැබූ ආකෘතියකට අනුව පැවති අතර, ඊට ප‍්‍රතිපක්ෂව, 1505හේ පටන් වසර 500කට අධික කාලයක් පුරා එය කෙමෙන් යුරෝපයේ අධිපති මතවාද නියෝජනය කරන සමාජ-කතිකාවන්ගේ බල-දේශපාලනයන්ට යටත් විදේශීය කෘතිම ශික්ෂණ ව්‍යාපාරයක ආකෘතියක් බවට හැරී පැවතිණි. 

 

විශේෂයෙන් 1815න් පසුව, එතෙක් රජුගේ යටතේ තිබූ අධ්‍යාපන ආකෘතිය ස්වයංව ඊළඟ සංවර්ධන අවධිය කරා ද්වීඝඨනාත්මකව වර්ධනය කරගන්නට ඉඩ නොදී, යටත්විජිතවාදී ලන්ඩන් පරිපාලනය ලක්දේශයේ සමස්ත පැවැත්ම මැද්දට හිදිසියේ පැන ස්ථාපිත කළ එංගලන්තක අධ්‍යාපන පද්ධතිය දෙස දැනෙන මානයේ සිට අනුභූතිකව පමණක් බලා, එංගලනත්කයින් විසින් ලක්දේශයට එහි ජනයා නොපැතූ විරූ ”අධ්‍යාපන සංවර්ධනයක්” සිදුකළා යැයි කීම සාධනීය සහ නිවැරදි නොවේ. මන්ද, මෙය ගවේශණ-විද්‍යානුකූලව සීරුවෙන් විමර්ශනයට සහ විශ්ලේෂනයට ලක්කිරීම හරහා එළඹිය යුතු නිගමනයක් මිසක, මතුපිට රූපය දෙස බලා ඊට ”ඔව්” යැයි කියන්නට යෑම ලක් සමාජයේ අනාගතයට අනතුරුදායක බව දැන්වත් තේරුම්ගත යුතුව ඇත.    

 

1948 දී ලැබුනාය කියන ඊනියා නිදහසින් දශක 7කට පසු අදටත්, මේ යටත් විජිතවාදීන්ගේ අධිපති කතිකාවෙන් ලක්වැසියන් වන අපව මිදී නිදහස්වී නැති බව පැහැදිලි වන්නේ, ලක්දේශයේ බහුතර ජනයා මේ ගෙවෙන වර්තමාන මොහොතේ දී පවා භුක්ති විඳිමින් සිටින දේශපාලනාර්ථික, සමාජීය සහ සංස්කෘතික නිදහසේ ප‍්‍රමාණය, ගුණය, ගතිකය හෝ මානය අනුසාරව යි.

 

අද ලක්වැසි අප ලබන රාමුගත පාසල් සහ සරසවි අධ්‍යාපනයෙන් පිටවන සැලකිය යුතු සියයට ප‍්‍රමාණයක ලක් දරුවන්ව රටේ නිෂ්පාදන, සේවා සැපයීම සහ යහ-පැවැත්ම උදෙසා නොයෙදන තත්වයක පැවතීම පිටුපස ඇත්තේ, වසර 500කටත් වඩා දිග ඉතිහාස කතන්දරයක් බව අවබෝධ කොට නොගෙන, 21වන ශතවර්ෂයේ ප‍්‍රායෝගික ලෝකයට පිවිසීම සඳහා සුදුසුකම් දැරිය හැකි දකුණු ආසියානු කලාපවාදී (South Asian Regionalist) ලාංකේය නව-නූතන-ප‍්‍රායෝගික-අධ්‍යාපන-ක‍්‍රම-පද්ධතියක් (Practical Neo-Modern Education System) ලක්දේශය තුළ ගොඩනගා ගැනීමට නොහැකි වනු ඇත.  

 

pic 07 final

 

 

එංගලන්තක පරිපාලනය විසින් පවා එංගලන්තයේ අතීත නූතනවාදී අධ්‍යාපන-ක‍්‍රම-පද්ධති සහ සමාජ හර පද්ධතීන් විසින් ව්‍යුත්පන්න කරදෙනු ලැබූ අතීත නූතනවාදී දේශපාලනාර්ථික රාමුව සහ ඊට අනුයුක්ත අධ්‍යාපන රාමුව, අතීත කාර්මික විප්ලව අවධියේ පැවති නූතන පදනමේ සිට වත්මන් අති-බහුමානික නව-නූතන තාක්ශණ අවධිය දක්වා වන ප‍්‍රගතිගාමී මට්ටමකට සංවර්ධනය (Development) කරගෙන, කාලයාගේ ඇවෑමෙන් එංගලන්තක නිෂ්පාදන-මාදිලය ද ගෝලීය ප‍්‍රමිතීන්ට සමාන්තර කරගෙන පවතී. 

 

මේ අතර, එංගලන්තයට වසර සිය ගණනින් යටත්ව සිටි, අදටත් සැබෑ යථා නිදහසක් නොලැබ සිටින ලක්දේශය වැනි රටවල් තවමත් ඒ අතීත ලන්ඩන් පරිපාලනයෙන් පටවන ලද නූතන-යටත්-විජිත-අධ්‍යාපන-රාමුවේ (Modern Colonial Education Form) මූලික අධිරාජ්‍යවාදී කතිකාමය සහ භෞතිකමය හරයන්ගෙන් මිදී නිර්මාණශීලී ස්වදේශිකවාදී ස්වාධීන නිදහස් අධ්‍යාපනයක් (Creative Local Independent Free Education) නිර්මාණය කරගැනීමට සමත් වී නැත. නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීම ලෙස වරදවා වටහාගත් ජන සමාජයක්, අතීත අධිරාජ්‍යවාදී කතිකාමය සහ භෞතික අගතීන්ගෙන් ගලවාගෙන ස්වාධීන නිර්මාණශීලී හදාරන්නන් සහ නිෂ්පාදකයින් බවට පත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බව ඇත්තකි. එහෙත් කළ යුතුව පවතින්නේ ද එය ම යි. එය එක අතකින් කතිකාමය අරගලයක් වන් අතර, අනෙක් අතින් සමූහවාදී දේශපාලනාර්ථික නිදහස් අරගලයක් වෙයි.

 

සිතින් අතීතය කරා යෑම භෞතික යථාවක් නොවන බව දැන දැන ම, අවස්ථාවාදීව, 1956දී එංගලන්තක ඩොමීනියන් ව්‍යවස්ථානුකූල ලේඛන-වියමනක (Written Text) පොදු-සංදර්භය තුළ ම පවතින ලිඛිත පනතක් හෙවත් සමස්ත (Total) එංගලන්තක ව්‍යවස්ථාවේ ම අවයවයක්(Part) විදිහට පමණක් සම්මත කරගත්තා වූ කෘතිම ”සිංහල පමණයි” පනත හරහා අත්තනෝමතික ලෙස සහ ඉතිහාස විරෝධී ලෙස ඉංග‍්‍රීසි භාෂාව සහ ඉංග‍්‍රීසි දේශපාලනාර්ථික හර පද්ධතීන් හිතූමනාපේ ඩිලීට් කරන්නට යෑමෙන් සවිඥානිකව හෝ අවිඥානිකව අපේක්ෂා කළා වූ, නැවත ටයිම්ටනල් එකකින් සේ 1815වෙන් පිටුපස යුගයට ගොස් 1956ට වසර සීයකට වඩා පැරණි අතීත ඉතිහාස උරුමයක්ව පැවති ස්වාධීන, ස්වභාවවාදී, ප‍්‍රකෘති සහ අව්‍යාජ යැපුම්-දේශපාලානාර්ථික ස්වදේශිකත්වය යලි-මුණගැසීම, අත්පත්කර ගැනීම හෝ-පිහිටුවාගැනීම යථාවක් බවට පත්කර ගැනීමට හැකි වූයේ නැත.

 

Queen Elizabeth II with her Commonwealth Prime Ministers at Buckingham Palace where she entertained them for dinner. The premiers are (l-r): Johannes Gerhardus  Strijdom (South Africa), Mohammad Ali (Pakistan), Sidney Holland (New Zealand), Louis St Laurent (Canada), Sir Anthony Eden (Great Britain), Robert Menzies (Australia), Pandit Jawaharlal Nehru (India) SWRD Bandaranaike (Ceylon) and Lord Malvern (Federation of Rhodesia and Nyasaland).   (Photo by PA Images via Getty Images)

 

ඒ වෙනුවට ”සිංහල පමණයි” යන්න එංගලන්තකයින් පවත්වාගෙන ගිය යටිකූට්ටු බෙදාපාලනය කිරීමේ යටත්-විජිත උපාය-මාර්ගය ම වෙනත් වටයකින් කරලියට ගෙන ඒමක් බවට පත්විය. එනයින් එය, ඓතිහාසික බෙදුම්වාදයක් දක්වා වන තීව්ර වරිගවාදී ගමනාන්තයක් දෙසට යොමුගත (Focused) වූ යුධවාදී විනාශයකට මුලපිරී ය. මන්ද, 1956දී කළ ඒ සවිඥානික ඊනියා භාෂා-කේන්ද්‍රීය පාරභෞතික ව්‍යාජ ජාතික අපේක්ෂාවේ අවිඥානික යටි පෙළ, ඊට සියවසකට වඩා පෙර කලෙක සිට ජෝන් ඩොයිලි විසින් කතිකාමය ලෙස ස්ථාපිත කොට අභ්‍යාස කළ එංගලන්තක විජාතිකත්වයට ගැති බෙදුම්වාදී උපායකට අදාළ භෞතික හරය නියොජනය කළ බැවිනි. මෙය ඩොයිලිවාදී බෙදීමක් යැයි නිෂ්චිත කොට කිව හැකි ය.

 

මෙම ඩොයිලිවාදී බෙදීම යනු ලක්දේශය තුළ පැවති එංගලන්තක යටත්-විජිත පරිපාලනයේ ප‍්‍රධාන පාලන රීතියක් වූ බෙදා-පාලනය-කිරීම (Divide and Rule) නැමති කුමන්ත්‍රණකාරී යටත්විජිත උපායමාර්ගය මත සෘජුව ම රඳා පැවතියකි. එනයින්, “සිංහල පමණයි” පනත යනු, දැන හෝ නොදැන එංගලන්තක අධිරාජ්‍යවාදී උපායමාර්ගික ක‍්‍රියාකාරීත්වයේ ම හරය වෙනත් තීව්ර ස්වරූපයකින් කරලියට ගෙන ඒමක් බව ප‍්‍රත්‍යක්ෂ ය. 

 

මේ අනුව, 1956යේ “සිංහල ඔන්ලි” පනත මගින් ව්‍යවස්ථාපිත කළ මේ “සිංහල ඔන්ලි” සංකල්පය ම එංගලනත්කයින් විසින් මහ-ජාතිය සහ සුළුජාතිය ලෙස ගෙනා බෙදුම්වාදයේ ම තවත් එක් සිලෝනීය දිගුවක් පමණි. සැබෑ යථාව නම්, 1815ට පෙර ලක්දේශයේ භාෂා භාවිතය තුළ සුළු-ජාතිය සහ මහ-ජාතිය යනුවෙන් බෙදුම්වාදී ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂයක් (Binary Opposition) නියෝජනය කරන සංකල්පයක් පැවතී නොතිබීම යි. 

 

එනම්, එවැනි නාගරික හෝ ග‍්‍රාම්‍ය භාෂා ශබ්ද-සංකේතයක් පූර්ව-යටත්විජිත ලක්දේශයේ භාවිතා වී නොතබීම යි. එනයින් මේ සුළු-ජාතිය සහ මහ-ජාතිය යන ද්වයිතික සංකල්පය ම එංගලන්තක පරිපාලනයේ ඉංග‍්‍රීසි වදන් දෙකක් වන Majority හෙවත් බහුතරය සහ Minority හෙවත් සුළුතරය යන අරුත් කොළඹ උගතුන් විසින් සිංහලට අනුවර්තනය කරගැනීම නිසා කෘතිමව ලක්වැසි මනස් තුළ අතිපිහිත කරවූවක් (Superimposed) බව පැහැදිළි ය. එනයින් සුළු-ජාතිය සහ මහ-ජාතිය යන ද්වයිත සංකල්පයට ඇත්තේ විදේශීය එංගලන්තක භාෂා-තඨාකයේ සාරයක් සහිත සංකල්පීය අරුතක් බව මොනවට හෙළිදරව් වේ.

 

ඩොයිලිවාදී කතිකාව විසින් නිර්මාණය කළ කෘතිම පවුල් පසුබිමක් සහ ඊට අදාළ එංගලන්තක අධ්‍යාපන ශික්ෂණයක් තූළින් පමණක් හැදී වැඩුණු, සිංහලෙන් ලේඛනය කිරීමට පවා නොදැන සිටි සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායකට ඉක්මනින් රටේ නායකයා වීමට තිබූ පටු දේශපාලන උවමනාව එක පසෙකිනුත්, අවම තරමින් නූතන පුරා-විද්‍යාව සහ මානව-වංශ-විද්‍යාවේ විෂයික හරයන්වත් ලක්දේශයේ සංදර්භයට අනුව ගලපවා ගැනීමට නොදැන සිටි සහ මහා-වංශය ඇතුළු අනෙකුත් පුරාවෘත්තමය (Epical) වංශකතා තමන්ට ආසා විදිහට අර්තකථනය කරගෙන සිටි කොළඹ කේන්ද්‍රීය සිංහල මහ සභාවේ උගතුන් තව පසෙකිනුත් හවුලේ ගෙනා බෙදුම්වාදයකි මෙය.

 

මේ දෙපාර්ශවය ම දැන හෝ නොදැන 1815ට පෙර රජුගේ කිරීටය යටතේ “සිංහල” යන්නට පැවති යථා-අරුත (Real Meaning) උල්ලංඝනය කොට, ඊට ප‍්‍රති-අර්තකථන බිහි කිරීමේ අවභාවිතය ද සිදුකරමින්, වගකීම් විරහිතව සංධානගතවී හිඳ ඇති බව දැකිය හැකි ය. ඒ නිසා 1956දී, බණ්ඩාරනායක, සිංහල මහ සභාව සහ මහජන එක්සත් පෙරමුණ හරහා එංගලන්තයකයින්ටත් වඩා තීව්ර ලෙසින් යලි සමරන ලද්දේ, ඒ එංගලන්තක පරිපාලනය විසින් ම ගෙනා බෙදා-පාලනය-කිරීමට (Divide and Rule) අයත් ඩොයිලිවාදී බෙදුම්වාදය ම ය. මෙම සත්‍යය නොපිළිගන්නා තාක්කල්, ජෝන් ඩොයිලි පැමිණි 1801 සිට බණ්ඩාරනයක පාලන බලය ලබාගත් 1956 දක්වා සියවසකට කාලාන්තරය අතර පැවති සහ අදටත් පවතින කිසිදු යටත්විජිතවාදී ගැටයක් ලිහා නිරවුල් කරගැනීම අසීරු වනු ඇත.     

 

මන්ද, එක අතකින්, සියවසකට වඩා කාලයක් යටත්විජිත මතයකට ගොදුරු වී කෙලෙසුනු භාෂාවක් හුදු පනතක් මගින් තනි-කේන්ද්‍රයකට ගැනීමෙන් භෞතික දේශපානාර්ථික ඉතිහාසයක් ආපසු හැරවිය නොහැකි බැවිනි. අනෙක් අතින්, එම ”සිංහල ඔන්ලි” පනත නැවත වරක් එංගලන්ත ඩොමීනියන් ව්‍යවස්ථා සංදර්භය තුළ ම නිර්මාණය කරගත්තක් වන බැවිනි. ඊටත් වඩා, එම ”සිංහල ඔන්ලි සංකල්පය” ලක්දේශයට ආවේනික නොවූ යටත්විජිතවාදී එංගලන්තකයින්ගේ බෙදුම්වාදී කතිකාවක ප‍්‍රති-නිෂ්පාදනයක් වන බැවිනි.  

 

වසර 100කට වැඩි දේශපාලනාර්ථික යටත්විජිත යුගයක ඉතිහාසය, එම යටත්විජිත ව්‍යවස්ථා රාමුව තුළ ම ගෙනෙන භාෂා පනතකින් ආපසු හැරවිය හැකි යැයි සිතීම සලකා බලන කල, යටත්ව සිටි දේශය කුමක් වුවත්, එයින් ඒ දේශයට සැබෑ අනන්‍යතාව හමුවේ යැයි සිතීම අවිද්‍යාත්මක මුලාවකි. මේ පවස දෙය සැබැවක් දැයි දැන ගැනීමට ලෙහෙසි ම මග එවන් පනතකින් පසුව ප‍්‍රතිඵල කෙරුනු යුධ සහ ආර්ථික ව්‍යසනයක් දක්වා පැමිණි ඉතිහාසය හැදෑරීම යි.  

 

සිංහල ඔන්ලි පනත ගෙන ඒම සහ ඒ පනත කෘතිමව බලාත්මක කොට ක‍්‍රියාත්මක කරන්නට යෑමෙන් සිංහල-දෙමල ප‍්‍රභූන් දෙපාර්ශවයක් ව්‍යවස්ථානුකූලව කතිකාමය-ප‍්‍රභන්දාර්තයකට(Discursive fiction) ගොදුරු විය. මේ සිංහල-දෙමල ප‍්‍රභූන් දෙපාර්ශවය ම දැන සහ නොදැන ඩොයිලියානු සටකපට කතිකාධිපත්‍යයකින් (Discursive Dominance) ශික්ෂණය වී සිටි උදවිය බව විශ්ලේෂණය කරගන්නට සාමාන්‍ය පොදු බහුතරය වූ නිර්ප‍්‍රභූ සිංහල-දෙමල ජනයා දැන සිටියේ නැත. ඔවුන් මේ නූගත්කම නැමති අඳුරේ සිට තම ප‍්‍රභූන්ගේ ප‍්‍රභන්දාර්තමය බෙදුම්වාදී කතිකාව නොදැන නඩත්තු කරන්නන් බවට පත්වූවා සේ ම, ඒවායේ ව්‍යසනික අනතුරුවල ඵල භුක්ති විඳින්නෝ ද බවට පත්වූහ.

 

pic 09 final

 

එංගලන්තක බෙදුම්වාදී-කතිකාධිපත්‍යයෙන් (Separatist Discursive Dominance) මිදීමට සමූහවාදී-භෞතික-නිදහස්-අරගලයක් (Collectivistic-Material-Freedom-Struggle) අවැසිව තිබූ ලක්දේශයට, 1956දී හුදු ඒක භාෂාමය වඳ-සැත්කමක් කිරීමට යාමෙන් සිදුවූයේ, වසර 100කට අධික කාලයක් ඇතුළත ඩොයිලි පැල කළ බෙදුම්වාදය ම ක‍්‍රමයෙන් ප‍්‍රශ්නයක සිට ව්‍යසනයක් දක්වා දුරදිග ගොස්, වසර 30ක විනාශකාරී වරිග යුද්ධයකින් ද අනතුරුව අද වන විට එකිනෙනකට අසම්බන්ධ බංකොලොත් ආර්ථිකයක් ද, ආර්ථික න්‍යාමධර්මවලින් පරාරෝපිත දේශපාලනයක් ද බිහිවීම යි.

 

මෙයින් දෙවරක් ඌන-සංවර්ධනයට හසුවී ඇති ලක්දේශය, මේ වන විට දේශපාලානාර්ථික සතුරු බලවේගවලට විවෘත්ත අදේශපාලනාර්ථික අස්ථානයකට ඇද වැටී ඇත. මීට ප‍්‍රධාන හේතුව වන්නේ, ඩොයිලියානු එජාප-ශ‍්‍රිලනිප සහ දෙමල කුල පීඩක ප‍්‍රභූ පක්ෂ නායකයින් ඇතුළු ඒ නායකයින්ට චන්දය දුන් සිංහල දෙමල පොදු-ජනයා විසින් “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන ඉතිහාස විරෝධී ප‍්‍රභන්ධාර්තීය කතන්දරමය ව්‍යාජ මතයට තවමත් ගොදුරු වී සිටීම යි.  

 

එලෙස ම, එංගලන්තකයින් ශරීර වශෙයන් නික්ම ගිය පසු (1948න් පසු), ඊළඟ ස්වාධීන ස්වදේශීය නූතන-ධනේෂ්වර-නිෂ්පාදන-මාදිලියක් (Modern Capitalist Mode of production) ගොඩනගාගෙන එයින් ව්‍යුත්පන්න කරගත් දේශාපාලානර්ථික ක‍්‍රම-පද්ධතියක් ද ස්ථාපිත කරගැනීමට අපට හැකි වුණේ නැත. ඒ නිසා ම තිරසාර ලෙස ඩොයිලිගේ කෘතිම, විකෘති  සහ බෙදුම්වාදී ව්‍යාජ ස්වදේශිකත්වයෙන් සහ එහි කතිකාධිපත්‍යයෙන් (Discursive Dominance) සහමුලින් ගැලවී මිදී ඥාන-විභාගාත්මක-ඛන්ඩනයකට (Epistomological Break) බඳුන් වූ බහුතර ජනතාවක් සහිත සැබෑ ස්වාධීන ස්වදේශිකත්වයක් බිහිකරගන්නට අද වන තුරුත් ලක්දේශයට හැකි වී නැත.  

 

ඒ වෙනුවට යටත්විජිතවාදීන් ලක්දේශයට බිහි කළ ව්‍යාජ ප‍්‍රභූන්, ඔවුන්ව ම ශික්ෂණය කරනු ලැබූ ව්‍යාජ ඩොයිලියානු ස්වදේශිකත්වය ම සංදර්භය කරගෙන, ඒ තුළ ම ඊට විරුද්ධ වෙන්නට වෑයම් කිරීමෙන්, වෙනත් වටයකින් යටත්-විජිත සමයේ පැවති ඩොයිලියානු කතිකාවට ම ලක්දේශය නැවත නැවතත් තීව්ර ලෙස ගොදුරු කරවන්නට විය. සෘජු යටත්විජිත සමයේ භෞතික ගැටුම් ලෙස පිටතට ඒමට නොදී ලන්ඩන් පරිපාලනය විසින් යටගසාගෙන සිටි ඩොයිලයානු බෙදුම්වාදී මනස, 1956න් පසුව ගාල කඩාගෙන එළිපිට ම සමරන්නට පටන් ගත් අතර, එයින් ඇතිවූ ආර්ථික අනවබෝධය,  ගැටුම් සහ යුධ නිරාකරණය වූයේ ම නැත. නමුත් මේ ආර්ථික අනවබෝධය, ගැටුම් සහ යුධ  කළමනාකරණය කර දෙන්නටැයි කියා පොරොන්දු වූ විදේශ ව්‍යාපෘති රැගත් භාහිර බලවේග නියෝජනය කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන කතිකා සංවිධාන හරහා, නැවත වරක් වෙනත් වටයකින් ලක්දේශය වක‍්‍රාකාර යටත්විජිතවාදයකට ගොදුරු විය. මේ වන විට සාගතවාදී සහ මිලිටරිවාදී ස්වරූපයකින් ලක් පීතෘභූමියේ ස්වාධීනත්වය සහ සමාජාර්ථික සංවර්ධනය ගිලගෙන පවතින්නේ මේ දෙවන වක‍්‍ර යටත්-විජිතවාදය විසිනු යි.     

 

 

1956යේ “සිංහල පමණයි” පනත ද, ඒ පිටුපස පැවති සිංහල මහසභාව සහ ශ‍්‍රලනිපය ද, පනතට යටින් සහයෝගය දුන් එජාපය ද ප‍්‍රමුඛ කොළඹ පදනමික සිංහලුන් සහ ඔවුන්ගේ කතිකාවට හසුවුණ  නගරෙයන් පිටත වසන ඌන-සංවර්ධිත සිංහල ගැමියන් ද, එම “සිංහල පමණයි” ව්‍යාපෘතිය අනෙකා කරගත් යාපනය සහ කොළඹ පදනමික වෙල්ලාල කුලවාදී දමිල ප‍්‍රභූන් සුළුතරයක් සහ කුලයෙන් යටත් නිසා ප්‍රභූන්ගේ බලහත්කාරී මෙහෙයවීමට හසුව සිටි දමිල බහුතරය නියෝජනය කළ අඩුකුලයන්ට අයත් ඌන-සංවර්ධිත ගැමියන් ද, තමන් මේ නැවත නැවතත් අභ්‍යාස කරමින් සිටින්නේ යටත්විජිතවාදීන් හඳුන්වා දුන් ඩොයිලිවාදී බෙදා-පාලනය කිරීමට යටත් බෙදුම්වාදී කතිකාව ම බව නොදැන, ඒ පිළිබඳව අවිඥානිකව පසුවූහ.  

 

ඔවුන් මේ පන පොවමින් යළි කූටප‍්‍රාප්තියක් බවට පත්කරවන්නේ 1948ට පෙර පැවති ඩොයිලවාදයටත් වඩා විකෘති, කෘතිම, ව්‍යාජ සහ විනාශකාරී වන බෙදුම්වාදී වරිගවාදී කතිකාධිපත්‍යයක් බව ඔවුන් අතරින් බොහොමයක් දැන නොසිටියහ. මෙහි සැබෑ ස්වරූපය ඒ ගෙවන මොහොතේ ම අංකුර ලෙසින් ද, දීර්ඝ කාලීන ලක් ඉතිහාසය තුළ එම අංකුර වැඩී කරලියට පැමිණි ව්‍යසනික යුද්ධ ලෙසින් ද අත්දැකීමට ලක්වැසියන්ට හැකිවිය.

 

කූට ලන්ඩන් පරිපාලනය විසින් තම බෙදා පාලනය කිරීමේ උපයාමාර්ගයට අනුව ලක්දේශයට ”බෙදීම” යන්න හඳුන්වා දුන්නේ, ප‍්‍රශ්නයක් හෝ ගැටළුවක් ලෙස නොව තමන්ට අවැසි මොහොතක පාලනය කරගත හැකි ”විසඳුමක්” විදිහට ය. ඔවුන් කිසිවිටෙක බෙදීම යන්න එළිපට ප්‍රකාශයට පත් කළ වදනක් නොවීය. ඒ කියන්නේ, ලන්ඩන් පරිපාලනය විසින් “බෙදීම” යන්න කෙලින් ම බෙදීම ලෙස ම නිරුවත්කොට ලක්වැසි ජනයාට හඳුන්වා දුන්නේ නැත. කූට ලන්ඩන් පරිපාලනය අපට බෙදීම හඳුන්වාදුන්නේ, සිංහල සහ දෙමල වැසියන් අතර 1815ට පෙර නොතිබූ බෙදීමක් සැබෑවට පවතින බෙදීමක් ලෙසින් ලක්වැසියන්ට ම උපකල්පනය කරගන්නට පොලඹවා, ඊට විසඳුම් සලසා දෙන්නා එංගලන්තකයින් ලෙස ලක්වැසියන්ට වක්‍රව හැඟවෙන පරිදි ය. 

 

උදාහරණයක් ලෙස කූට ලන්ඩන් පරිපාලනය විසින් ස්ථාපිත කළ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ ආසන සංයුතිය පිළිබඳ ව්‍යවස්ථාමය ස්ථාවරයට අදාළ භාෂා-වියමන (Language Text) සැලකිය හැකිය. එනම් ඒ ස්ථාවරය විසින්  ඕනෑ ම ජාතියක හෝ වරිගයක හෝ කුලයක පදනමකින් තොරව  ඕනැ ම පාර්ශවකට තම බහුතරය පෙන්වා පාලන බලය තහවුරු කළ හැකි නිදහස් පදනමක් ලන්ඩන් පරිපාලනය විසින් හඳුන්වා දුන්නේ නැත. ඒ වෙනුවට කූට ලන්ඩන් පරිපාලනය විසින් සිදුකළේ, රාජ්‍ය ජන-සංඝනනික දත්ත වෙන්කිරීමේ එංගලන්තකවාදී නියාමන යොදාගනිමින්, ඒ මත රාජ්‍ය මණ්ත‍්‍රණ සභාවේ බහුතරය වූ වරිගය මහජාතිය කොට සලකා ඔවුන්ට වැඩි ආසන ප‍්‍රතිශතයක් ද, සුළුතරය වූ වරිගයන් සුළුජාතිය කොට සලකා ඔවුන්ට අඩු ආසන ප‍්‍රතිශතයක් ද ලබාගත හැකි වන ලෙස යටින් බෙදුම්වාදය බලවත් කරවන විදිහේ ක‍්‍රමවේද හඳුන්වා දීම යි. ලන්ඩන් පරිපාලනය විසින් මෙය නාමකරණය කළේ ප්‍රජාතන්ත්‍රකරණීය ක්‍රියාවළිය (Democratization Process) විදිහට යි.

 

pic 10 final

 

1815ට පෙර ලක්දේශීය කිරීටයට අදාළ භාෂා-වියමන (Language text) තුළ මහජාතිය සහ සුළුජාතිය යනුවෙන් නිෂ්චය කළ තීව්ර සංකල්ප පැවතුණේ නැති අතර, මේ ප‍්‍රතිපක්ෂය එංගලන්තක බෙදුම්වාදය විසින් ස්ථාපිත කළ සංකල්ප දෙකකි. මෙය 1815ට පෙර ලක්වැසියන් දැනසිටි බෙදීමක් නැත. 1815ට පෙර ලක්වැසියන් භාෂාව අනුව බෙදුන බෙදුම්වාදීන් වූයේ නැත. ඔවුන් කිරීටය හිමි රජු කේන්ද්‍ර කරගත් සමස්තයක අවයවයන් බඳු වූ සමූහවාදීන් (Collectivists) විය. අද ඒ් සමූහවාදය හිත පාරවන ස්මාරකයක් ලෙස අතීතයට ඒක්වී ඇත.

 

bw (බෝමුරේ)

 

ඒ නිසා 1815ට පෙර ඔවුන් තුළ සමස්තය සහ අවයවය නැමති ලක්දේශික ප‍්‍රතිපක්ෂයක් පිළිබඳ අවබෝදයක් පැවතිණි. එංගලන්තකයින් තම බලාධිපත්‍යය ස්ථාපිත කිරීමත් සමඟ මේ සමස්තමය ජීවන පැවැත්ම ලක්වැසියන් ජනයා කෙරෙන් කැඞී විසිරී ගියේ ය. 

ඒ නිසා අවැසි මොහොතක ලන්ඩන් පරිපාලනයට අවාසි හෝ බාධා වන අයුරින් මේ ඩොයිලියානු බෙදීම උත්සන්න වුවහොත්, වරිගවාදී බෙදුම්වාදීන් වීමේ හෘදසාක්ෂිය සිංහල-දෙමල, මුස්ලිම් හෝ මැලේ වූ ලක්ජනයා මත ම පටවා, ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන එය විසඳා දමන සාමකාමී පාර්ශවය ලෙසට පෙනී සිටීම ලන්ඩන් පරිපාලනයේ ක‍්‍රමවේදාත්මක උප්පරවැට්ටිය විය.

 

ලන්ඩන් පරිපාලනය විසින් ”බෙදීම” යන්න බෙදීම ලෙස ම නිරුවත්කොට හඳුන්වා නොදී, ”බෙදීම” යන්න විධිමත් රාමුවක තබා අභ්‍යාස කරමින් තම යටත්විජිතවාදී බලයේ පැවැත්ම තහවුරු කරගත් අතර, සිංහල මහසභාව සහ බණ්ඩාරනායක සංධානයේ ප‍්‍රමුඛත්වයෙන් ”බෙදීම” යන්න බෙදීම ලෙස ම නිරුවත්කොට හඳුන්වා දී ඩොයිලිටත් වඩා ඩොයිලියානු වී රෙදිගලවාගෙන මහා විනාශයකට මුළ පිරූහ.

 

ලක්දේශය තුළ එංගලන්ත පරිපාලනය පහසුකරගැනීම සඳහා යටත්විජිත යුගයේ දී ම පදනම දමා ඩොයිලි විසින් ගොඩනැගූ මෙම බෙදුම්වාදී හරය නියෝජනය කරන කතිකාව සහ එහි කතිකාධිපත්‍යය, 1956න් පසුව බණ්ඩාරනායක විසින් ගෙනා සිංහල ඔන්ලි පනත හරහා පෙරටත් වඩා අනවශ්‍ය සංකීර්ණ බෙදීම් ගණනාවක් බවට පැටව් ගස්සවන විකාර-රූපී (Absurd) ස්වරූපයක් අරගත් සමාජ කතිකා යන්ත‍්‍රයක් නිර්මාණය කළේ ය.

 

ඒ අනුව 1956න් පසුව මෙම ඩොයිලිවාදී කතිකාව ස්වරූප කිහිපයක් නියෝජනය කරන්නට පටන් ගත් බව හඳුනාගත හැකිය. එක අතකින් මෙහි, අනාගතය දෙසට දිග්ගැස්සෙන තරමේ යුධවාදී සිංහල-දෙමල බෙදුම්වාදයක් දක්වා යොමු වන ස්වරූපයක් විය. තවත් අතකින් කොලඹ ඇතුළු නාගරික ප‍්‍රභූ පැලැන්තිය සහ සමාන්‍ය පොදු නිර්ප‍්‍රභූ ජනයා අතර ඉංග‍්‍රීසි-සිංහල සහ ඉංග‍්‍රීසි-දෙමල ඉංග‍්‍රීසි-මුස්ලිම් ලෙසින් වරිගයන් තුළම පවතින ප‍්‍රභූ සහ නිර්ප‍්‍රභූ බෙදුම්වාද කිහිපයක ස්වරූප ලක් ජන-සමාජයට ඇතුළු වුණේ ය.

(මේ අනුව ඉංග‍්‍රිසි භාෂාව ඒ එක් එක් ප‍්‍රතිපක්ෂ වල ප‍්‍රභූත්වය නියෝජනය කරන චරිත ලක්ෂණය බවට ද පත්විය. එනම් බහුතර නිර්-ප‍්‍රභූ ජනයා කෙරෙන් ඉංග‍්‍රීසි භාෂාව පෙරටත් වඩා දුරස්තර කෙරිණි. ඒ හරහා ඉංග‍්‍රීසි නොදැනීම නිර්-ප‍්‍රභූත්වය නියෝජනය කරන චරිත ලක්ෂණයක් බවට පත්විය. මෙය හුදු රාජ්‍ය පද්ධතියෙන් හෝ අධ්‍යාපන පද්ධතියෙන් ඉංග‍්‍රීසි ගලවා දැමීම ලෙස තේරුම් ගන්නවා වෙනුවට, බල-දේශපාලනික කතිකාමය අභ්‍යාසායක් ලෙස ඉංග‍්‍රීසි භාෂාව නැවත අසවිකිරීමක් හෙවත් විසංධි-කිරීමක් ලෙස තේරුම්ගත යුතුය.

1956දී වූ භාෂාමය වරිගවාදය, යටත්විජිත යුගයේ ඉංග‍්‍රිසියට තිබූ බලය, නග්න දේශිය-ප‍්‍රභූ ආන්තික බල මෙවලමක් ලෙසින් ලක්වැසි ඩොයිලියානු ප‍්‍රභූන්ට වාසිදායක වන අන්තයක් කරා ගෙනගොස් යලි ස්ථාපනය කරවීමක් විදිහට ද තේරුම්ගත යුතු ය. නිර්ප‍්‍රභූ බහුතර ජනයාට ඉංග‍්‍රීසිය අහිමි වීම යනු හුදු ”භාෂාවක් අහිමිවීම”ට එහා ගිය ”නිර්ප‍්‍රභූත්වයෙහි ම සිරවී සමාජ බලය අහිම වී හෝ අවම වී යාමක්” විදිහට තහවුරු වී අලූතින් අයහපත් අතුරුඵල කර දුන්නේ ය.

 

මේ සියල්ලටම වඩා සුවිශේෂී සහ හැඟවුම්කරණිය අනාර්ථිකවාදී-උභතෝකෝටිකයක් (Non-Economic Problematic) 1956න් පසුව බිහිවිය.

 

මේ උභතෝකෝටිකය කුමක් ද?

 

එතෙක් පැවති එකිනෙකට සම්බන්ධ අන්‍යෝන්‍ය සමාජ දේශපාලනාර්-ථික අනුපිළිවෙල වූයේ, පළමුව ප‍්‍රාග්ධනය, දෙවනුව ඊට සම්බන්ධ එංගලන්තකයින් හැදූ ආර්-ථික ව්‍යූහය, තුන්වනුව ඊට සම්බන්ධ එංගලන්තකයින් හැදූ දේශපාලනික ව්‍යුහය යන පිළිවෙල යි. මේ අනුපිළිවෙල අනුව යමෙක් දේශපාලන ව්‍යූහයේ ඇති භාෂා-සංකේත සැකැස්ම තාර්-කිකව බිඳ දැමුවොත්, ඊට සම්බන්ධව පැවති ආර්-ථික ව්‍යූහයේ භාෂා-සංකේත සැකැස්ම මතු වෙයි. ඒ ආර්-ථිකයට අයත් භාෂා-සංකේත සැකැස්ම තාර්-කිකව බිඳ දැමුවොත්, ඊට ඓන්ද්‍රීයව සම්බන්ධ ප‍්‍රාග්ධනය (Capital) නැමති භෞතිකයේ ගුණ සහ ප‍්‍රමාණ හමුවෙයි.

 

දේශපාලානාර්තික පද්ධතියක ඇති යථාව (Real) හසුකර ගැනීමට ඇති ක‍්‍රියාමාර්ගය මෙම ද්වෛත නිරීක්ෂණය යි. සමාජයේ සැබෑ යථාව හෙළිදරව් කරගැනීම කළ හැක්කේ මේ ද්වෛති නිරීක්ෂණය හරහා යි. 

 

නමුත් 1956න් පසුව. රටේ දේශපාලන ව්‍යූහයේ භාෂා-සංකේත සැකැස්ම තාර්-කිකව බිඳ දැමුවාට ආර්-ථික ව්‍යූහයක භාෂා සංකේත සැකැස්ම මතු වන්නේ නැත. මන්ද, ආර්-ථික ව්‍යුහය තවමත් ඉංග‍්‍රීසි එගලන්තක විෂයක් ලෙස පවතින බැවිනි. එලෙසම 1956න් පසු ආර්-ථික ව්‍යුහයෙන් ඉදිරියට ඊට සම්බන්ධ භාෂා-ව්‍යූහයක් ගොඩනැගුවාට ලක්දේශයේ දේශපාලන ව්‍යුහය හැදෙන්නේ නැත. මන්ද දේශපාලන ව්‍යුහය වරිගවාදයක් කරපින්නාගෙන ඇති කතිකාවක් හරහා පනතක් ලෙස මිස ආර්-ථිකයකින් ව්‍යුත්පන්න නොවන්නක් වන බැවිනි. එය හැම විට ම අසාර්-ථක ලෙස 1815න් පිටුපස දේශපාලන-භාෂා-වියමන ලෙසින් බොරුවට පෙනී හිඳිමින්, 1815ට පෙර රජුගේ කිරීටය විසින් අනුගමනය කළ දේශපාලන-භාෂා-වියමනෙහි සියලූ හර පද්ධතීන් ද උල්ලංඝනය කරන්නකි.

 

එහෙයිින් 1956න් පසුව, ලක්දේශයේ ආර්-ථිකයේ භාෂා-ව්‍යුහය යනු ඊට ඓන්ද්‍රීය වර්තමානික-දේශපාලන-ව්‍යුහයක් (Present Political Structure) නැති දේශපාලනයෙන් හුදෙකාලා සහ දේශපාලයෙන් වියුක්ත භෂා-සංකේත-ව්‍යුහයකි. එලෙස ම, 1956න් පසුව, ලක්දේශයේ දේශපාලන-ව්‍යුහය යනු ඊට ඓන්ද්‍රීය වර්තමානික-ආර්-ථික-ව්‍යුහයක්(Present Economic Structure) නැති ආර්-ථිකයෙන් හුදෙකලා සහ ආර්-ථිකයෙන් වියුක්ත භාෂා-සංකේත ව්‍යුහයකි. ආර්-ථික ප‍්‍රශ්න හමුවේ දේශපාලකයන් හුදු ප‍්‍රලාප ගොතන්නන් බවට පත්වීම ද, දේශපාලන ප‍්‍රශ්න හමුවේ ආර්-ථිකවේදීන් අන්දෝසංසාරයක් දන්නැති අමුතු ම සත්ත්ව වර්ගයක් ලෙස පෙනී සිටීම ද පිටුපස ඇති ලක්දේශීය රහස මෙය යි.   

  

රටේ දේශපාලානාර්-ථික ව්‍යුහයට අදාළ සාමාන්‍ය අනුමිතික පිළිවෙල සහ ඓන්ද්‍රීය සබඳතාව 1956න් පසුව මෙසේ හොර රහසේ ගිලිහීගොස් ඇති බව තේරුම්ගත යුතු ය. 1956න් පසු නියත ලෙස ම එංගලන්තකයින් දුන් ආර්-ථික ව්‍යූහය සහ දේශපාලන ව්‍යුහය අතර වූ ඓන්ද්‍රි්‍යය සම්බන්ධතාවය බිඳ වැටිණි. සරලව කිවහොත්, 1956ට පෙර එංගලනත්කයින් දුන් දේශපාලන-ව්‍යූහය තාර්-කිකව විවේචනය කිරීම හරහා දේශපාලනයට වඩා භෞතිකයට ලඟ එංගලන්තකයින් දුන් ම ආර්-ථික-ව්‍යුහය හසුකර ගැනීමට ද, එංගලන්තකයින් දුන් ආර්-ථික-ව්‍යුහය තාර්කිකව විවේචනය කිරීම හරහා ඊට වඩා භෞතික වන ප‍්‍රාග්ධනය හසුකර ගැනීමට ද හැකියාවක් තිබුණි. මන්ද එංගලන්තකයින් දුන් දේපාලන ව්‍යූහය එංගලන්තකයින් දුන් ආර්-ථික ව්‍යුහය සමඟ ඓන්ද්‍රීයව සම්බන්ධව පැවති බැවිනි. මාක්ස්-විද්‍යාත්මක යොමුවකින් කිවහොත්, එංගලන්තකයින් දුන් දේශපාලන ව්‍යුහය යනු එංගලන්තකයින් දුන් ආර්-ථික ව්‍යුහයේ ම ව්‍යුත්පන්නයකි.

 

නමුත් 1956න් පසුව ලක්දේශයට හඳුන්වා දුන් ”සිංහල ඔන්ලි” හෙවත් ”සිංහල පමණයි” දේශපාලන-ව්‍යූහය එවක වර්තමානයේ පැවති නූතනවාදී ඉංග‍්‍රීසි ආර්-ථික ව්‍යුහයේ ව්‍යුත්පන්නයක් නොවේ. ඒ දෙක අතර කිසිදු ඓන්ද්‍රීය සබඳතාවයක් නොමැත.

 

අනෙක් අතින්, 1956දී ලක් දේශයට හඳුන්වා දුන් මෙම සිංහල-ඔන්ලි දේශපාලන ව්‍යූහය, 1815ට පෙර පැවති යැපුම්-ආර්-ථික පද්ධතියෙන් ව්‍යුත්පන්න වූ රජුගේ දේශපාලන ව්‍යුහයේ මූලික හරයන් නියෝජනය කරන්නක් ද නොවෙයි. එනයින්, එයට ඓතකිහාසික පදනමක් නොමැත. එයට ඇත්තේ ප‍්‍රභන්ධාර්-තමය පදනමකි. ඒ අනුව 1956 සිට දශක 6ක් පුරා පැවති ඇත්තේ ප‍්‍රබන්ධ දේශපාලනයකි. දශක 06ක් පුරා ප‍්‍රබන්ධ දේශපානයක් පැවති

 

රටක ආර්-ථිකයක් බංකොලොත් වීම සිදුවන්නට ම බැඳී තිබූ සංසිද්ධියකි. ඒ නිසා රාජපක්ෂලා මේ ආර්-ථික බංකොලොත්භාවය කූටප‍්‍රාප්තියට ගෙන ගිය සනුහරයක් පමණි. 

  

රජුගේ කිරීටය විසින් නඩත්තු කළ දේශපාලන-ව්‍යුහයට අදාළ භාෂා-වියමන තුළ ”සිංහල ඔන්ලි” හෙවත් ”සිංහල පමණයි” යනුවෙන් සංකල්පයක්, හරයක් හෝ අරුත් සාරයක් පැවතිලා ම නැත. ඒ නිසා 1956න් පසුව, ලක්දේශයේ දේශපාලන-ව්‍යූහය තාර්-කිකව ප‍්‍රශ්න කිරීමෙන් ඉංග‍්‍රීසි ආර්-ථික ව්‍යුහය හෝ රජුගේ සිංහල කිරීටයේ ආර්-ථික ව්‍යුහය හෝ කුමන ආර්-ථික ව්‍යුහයක් හෝ හමුවන්නේ නැත. 1956යෙන් පසු රටේ දේශපාලන ව්‍යුහය පැවතියේ ම අනාර්-ථික (Non-Economic) සංදර්භයක ය. කොටින්ම කියතොත් 1956න් ගමන් ඇරඹු  සිංහල-ඔන්ලිවාදී දේශාපලන-ව්‍යුහය යනු කිසිදු නූතන හෝ වෙනත් ආර්-ථික-ව්‍යුහයකට සම්බන්ධයක් නැති, කිසිදු ආර්-ථික නියාම ධර්මයකට සමාන්තර නොවන සහ වගනොකියන මතිභ‍්‍රමික-දේශපාලන-ව්‍යුහයකි (Paranoid Political Structure).

 

1956න් පසුව බිහිවූ සිංහල ඔන්ලි දේශපාලන ව්‍යුහයේ සංකල්ප විවේචනය කිරීමෙන් ඊට වඩා භෞතික වන ආර්-ථික ව්‍යුහයක් හමු නොවේ. 1956න් පසු දේශපාලන ව්‍යුහයේ සංකල්ප විවේචනය කිරීමෙන් නැවත හමුවන්නේ ඒ භාෂා දැලේ ම පවතින පාරභෞතික සංකල්පයන් ම ය. මේක, එකම පාරභෞතික දේශපාලනික භාෂා-දැලක් තුළ එකම සංකල්පීය ඉම් පෙදෙස් නැවත නැවත පසුකර යන උමතු-චාරිකාවකි (Mad Journey). දැන් මේ උමතු චාරිකාවට වසර 60කට අධික ය. ලක්දේශයේ මේ දශක 6 ගත කර ඇත්තේ දෙවරක් විකෘති වූ අමුතු ආකාරයකට ය. 

 

මන්ද මේ වසර 68 තුළ ලක්දේහයේ රාජ්‍යය තුළ ආර්-ථිකය සම්බන්ධයෙන් දේශපාලන විවේචනයක් තිබී නැත. දේශපාලානය සම්බන්ධයෙවන් ආර්-ථිකමය විවේචනයක් තිබී ද නැත. ආර්-ථිකය දේශපාලනයට අනදාළව ආර්-ථිකවේදීන් කිහිප දෙනෙකුගේ සහ මූල්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ඔළුගෙඩි වලට අනුව ඔහේ පැවතී විත් ඇත. දේශපානය ආර්-ථිකයට අනදාළව බෙදුම්වාදය සමගින් පැවතී විත් 1956දී සමාජයේ සමූහවාදය දෙවනවරටත් විනාශ කර ඇත.    

 

එනයින්, එම දේශපාලන-ව්‍යූහය එකල පැවති ඉංග‍්‍රිසි ආර්-ථික-ව්‍යුහයෙන් ඓන්ද්‍රීයව වෙන්වී, ආර්-ථික වගකීමක් හෝ වගවීමකින් තොරව අහසේ පාවෙන භාෂා-දැලක් විදිහට විතරක් පැවතිණ සහ පවතීි. එම දේශපාලන ව්‍යුහයට පිටත පවතින භෞතික ආර්-ථික ලෝකය හා සමඟ කිසිදු සබඳතාවක් දේශපාලනයට නොතිබිණි සහ නොතිබේ. ඒ දේශපාලන-ව්‍යුහයට සබඳතාව තිබුණේ, බන්ඩාරනායක, සිංහල මහ සභාවේ හෝ මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රභූ උදවියගේත්, ඊට ප‍්‍රතිපක්ෂවෙමින් ඒ බෙදුම්වාදී කතිකාව ම ශක්තිමත් කළ වෙල්ලාල කුලවාදී චෙල්වනායගම් සහ ෆෙඩරල් පක්ෂයේ ප‍්‍රභූ උදවියගේත්, ඒ ප‍්‍රභූ දෙපාර්ශවයේ ම බෙදුම්වාදී දහංගැට වලට අහුවූ සිංහල-දෙමල චන්දදායක උදවියගේත් මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් සමග පමණි. ඔවුන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන්ට පිටතින් තිබූ භෞතික ආර්-ථික ව්‍යුහය සමගින් හෝ එහි ප‍්‍රාග්ධන ප‍්‍රාග්ධන අතිරික්ත සමුච්කරණ ක‍්‍රියාවලිය සමඟින් හෝ මේ මොලය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් කිසිවකට කරන්නට කිසිදෙයක් තිබුණේ නැත. මන්ද ඔවුන්ට තම මොළය ප‍්‍රධාන පද්ධති තුළ සමරගන්නට මහා ඩොයිලියානු බෙදුම්වාදී එදිරිවාදිකමක් එන්නත් කොට තිබුණි. ඉන්පසුව ඒය 1956දී කූටප්‍රප්තියට පත්කොට ද තිබුණි. 

 

 ඒ නිසා 1956න් පසුව දේශපාලකයා යනු ආර්-ථිකයට වගනොකියා ජාතියක් ලෙස සලකා ගත් සිංහල හෝ දෙමල වරිගයකට පමණක් සංකල්පීය වගකියන්නන් පිරිසක් බවට පත්විය. ශ්‍රිලනිප-එජාප දෙපක්ෂයට ම එළඹි  ඕනෑ ම තීරණාත්මක ආර්-ථික ප‍්‍රශ්නයක් ජාතිය පිළිබඳ භාෂා දැලෙන් වසා දමන්නට මුළු හැකියාව උදාවුණේ 1956න් පසුව යි. ඒ අනුව දේශපාලකයා ආර්-ථිකයට වග නොකියා ඊට අනදාළව ජාතිවාදී හෝ ජාතිකවාදී පිස්සු කෙලින පිරිසක් බවට මුළුමනින් පත්වූයේ 1956න් පසුව ය. මෙය 1815ට පෙර ලක් රජුගේ කිරීට පාලනය විසින් කෙලිනු නොලැබූ පිස්සුවකි.     

 

සංක්ෂිප්ත කොට කිවහොත්, 1956යේ මෙම කතිකාව හරහා වසර සියකටත් වඩා දිවයිනේ පැවති එංගලන්ත ආර්-ථික-ව්‍යුහයෙන් ගැලවුණ, එංගලන්ත හෝ වෙන කිසිදු ආර්-ථික ක‍්‍රමපද්ධතියක න්‍යාම ධර්මවලට වගනොකියන, භෞතික පදනමක් නැතිව ආනාර්-ථිකව (Non-economically)  අහසේ පාවෙන, සිංහල-දෙමල භාෂාවාදී සහ වරිගවාදී ප‍්‍රභන්දාර්-තයක පැවති සංකල්පීය දේශපාලන පද්ධතියක් ස්ථාපිත කෙරුණේ ය. මෙම දේශපාලන-භාෂා-පද්ධතියට ඓතිහාසික වූ ආර්-ථික භෞතික පදනමක් නොතිබුණේය. එයට තිබූ එක ම භෞතික පදනම එම ප‍්‍රභන්දාර්ථමය භාෂා-පද්ධතියේ ශබ්දාරුත් සිත්හි දරාගත් සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ-බර්-ග ජනයාගේ ශරීර පමණි. ඉදින් ඒ සිංහල සහ දෙමල බෙදුම්වාදීන් දෙපාර්ශවය ම අවිඥානිකව ලක්දේශයේ ආර්-ථික සංවර්ධන ගමනය විනාශ කරන්නෝ බවට පත් වූහ. එනයින් තම සිතේ පවතින බෙදුම්වාදී ප‍්‍රභන්ධාර්ථයක් නිසා, ඒ වෙනුවෙන් තම ශරීරයේ පැවැත්ම ස්වයං-විනාශයට ලක් කරගනු ලබන නූගත් පිරිසක් බවට ලක්වැසි බහුතරය පත්වූහ.

 

අනෙක් අතින් ආර්-ථික ව්‍යුහය දේශපාලන ව්‍යුහයෙන් වෙන්ව ඉංග‍්‍රිසි උගත් ආර්-ථිකවේදීන් හෝ මූල්‍යවේදීන් අතර ඉංග‍්‍රීසියෙන් පමණක් කතාබහට ගන්නා පවුල්වාදී නිළධාරීන් සුළුතරයකගේ කතිකාවක් බවට පමණක් පත්විය. දේශපාලනය බෙදුම්වාදය කරපින්නාගත් සිංහල හෝ දෙමල (පසුව මුස්ලිම්) වරිගවාද කතාබහට ගන්නා කතිකාවකින් පමණක් මෙහෙයවමින් වරිග පොර අල්ලන අතරතුර, ආර්-ථික සහ මූල්‍ය ක්ෂේත‍්‍ර මෙහෙයවන නිළධාරීන්ට හෝ දේශපාලකයින්ට ආර්-ථික නියාම ධර්මවලට වගනොකියා බහුතර ජනයා නොදැනුවත්ව අවභාවිත පිස්සුවක් කෙලීමට ඉඩක් 1956 සිට ම ඇතිවී, පැවතී, කෙමෙන් වැඩි වර්ධනය විය. 

 

 

මහින්ද රාජපක්ෂ සහ අජිත් කබ්රාල් යනු පසුගිය දශක 6ට ම එම පිස්සුව එළිපිට ම කෙලපු නිසා මාට්ටු වූ දෙදෙනෙකු පමණි. 1956යේ සිට 2023 වසරේ නිර්-පාක්ෂික අරගලය ඇතිවන තුරු ම ආර්-ථික නියාම ධර්ම අදාළ නොකරගෙන ”ජාතිය ගොඩනැගුවොත් රට හොඳ ආර්-ථිකමය තැනකට ඒවි” යන විෂය විරෝධී මතය ගෝඨා ජනපති වනතුරුමත් චන්දාදයකයින් සහ චන්ද ලබන්නන්ගේ මතයක්ව පැවති බව කාටත් නොරහසකි. විෂයානුබද්ධ මතය වන්නේ ”ආර්-ථිකය ගොඩනැගීම තුළ ජාතිය ගොඩනැගේ” ය යන්න යි..   

 

එංගලන්තකයින් උපාය ලෙස යොදාගත් සිංහල-දෙමල බෙදීම බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් ලක්දේශික ප‍්‍රබන්ධ ජන-කතිකාවක් බවට පත්කළහ. එංගලන්තක කිරීටය නියෝජනය කළ යටත්විජිතවාදී ලන්ඩන් පරිපාලනයට එරෙහි සමූහවාදී-නූතන-නිදහස් අරගලයක් හෙවත් පුනර්-ජීවන අරගලයක් මෙහෙයවනවා වෙනුවට බන්ඩාරනායක ප‍්‍රමුඛ සිංහල මහසභාව ඇතුළු මහජන එක්සත් පෙරමුණ විසින් සහ ශ‍්‍රිලනිපය විසින් ද, ඔවුන්ව අනෙකා කරගත් චෙල්වනායගම් ඇතුළු වෙල්ලාල කුලවාදී ෆෙඩරල් සංවිධානය ඇතුළු අනෙකුත් දෙමල සංවිධාන විසින් ද එංගලන්තක ඩොමීනියානු ව්‍යවස්ථාපිතයේ ම සංදර්භය තව තවත් ශක්තිමත් කළහ. 

 

ඒ අනුව,  දෙමල වරිගය විරෝධී සිංහල වරිගයේ කෘතිම නිදහස් සටනක් ද, ඔවුන්ට එරෙහිව සිංහල වරිගය විරෝධී දෙමල වරිගයේ කෘතිම නිදහස් සටනක් ද පනගන්වන මුග්ධ ව්‍යාපෘතියක් වෙනුවෙන් දශක ගණන් කාලය කා දැමිණි. නමුත් ඒ දෙක ම සැබෑ නිදහස් සටන් බවට පත්වූයේ වූයේ නැත. ඒවා ජාතිවාදී ආන්තිකත්වයන් වැලඳගෙන ක‍්‍රමයෙන් දීර්ඝ-කාලීන ව්‍යසන බිහි කළේ ය. 

 

මේවා 1815ට පෙර ලක්දේශවාසී ප‍්‍රභූන් සහ පොදු ජනයාට ”සිංහල” හෝ ”දෙමල” සම්බන්ධයෙන් තිබූ සංකල්පීය අරුත් හෝ සටන් පාඨ හෝ භාවිත නොවේ. මෙය 1801න් (ඩොයිලිගේ පැමිණීමෙන්) පසු ක‍්‍රමයෙන් එංගලන්තක පරිපාලනයේ කතිකා ප‍්‍රභන්දකයා වූ ඩොයිලි විසින් ස්ථාපිත කොට පවත්වාගෙන පැමිණි යටත්විජිතවාදි යටි අරුත් සහ සටන් පාඨ දෙකකි. 

 

1815ට පෙර පැවති සිංහල කිරීටය ”සිංහල” යන නාමකරණය ලබා සිටි පලියට දෙමල විරෝධී කිරීටයක් නොවී ය. පානඩ්‍ය වංශික පළවන පරාක‍්‍රමභාහු, මෞර්ය-වංශික සීගිරි කාශ්‍යප සහ නායක්කාර් වංශික රාජසිංහ යන අයට ඒ කිරීටයේ ප‍්‍රධාන නායකත්වය වන රජකම භාරගන්නට හැකි වීමෙන් ම පෙනී යන්නේ සිංහල කිරීටය කිසි කළෙක ජාතිවාදි හෝ බෙදුම්වාදී ස්ථාවරයක නොපැවති බවයි. සිංහල කිරීටයේ මූලික කොන්දේසිවලට යටත් වන්නට කැමති  ඕනෑ ම රාජවංශිකයෙකුට ඒ කිරීටයේ රජුවීමට ඉඩදීමට තරම් භාෂා පිළිබඳ සහ මිනිසුන් පිළිබඳ විවෘත්ත සහ නිදහස් ආසියාතික සිතීමක් ලක්දේශයේ කිරීටයට අදාළ පරිපාලන ව්‍යුහයට තිබී ඇත.

 

 

pic 13 final

1815ට පෙර ලක් ඉතිහාසය පුරා සිංහල කිරීටය විසින් දෙමල භාෂාවට දුන් ගරුත්වය සලකා බැලූවොත්, එය මොනවට පැහැදිලි වෙයි. ක‍්‍රි.ව. 1408දී උපත ලද බහුභාෂා ශාස්ත‍්‍රඥයෙකු වූ තොටගමුවේ සිරි රාහුල හිමියන් ද සංස්කෘත, ප‍්‍රාකෘත, අපභ‍්‍රංශ, ශෞරසේනී සහ පයිසාචි යන භාෂාවන්ගෙන් කෙල පැමිණියෙකු බව සඳහන් වේ. මේ භාෂාවලින් බහුතරයක් ඉන්දීය භාෂාවන් වූ අතර, මෙයින් සංස්කෘත භාෂාව පැහැදිලිව ම දෙමල භාෂාව ව්‍යුත්පන්න කරන්නට උරදුන් නිරුක්තික භාෂාවකි. සිංහල-දෙමල භාෂා දෙක අතර සමාන ශබ්දාර්ථ පද රාශීියක් පවතින්නේ ම, මෙම භාෂා දෙක ම සංස්කෘත සහ ප‍්‍රාකෘත භාෂා වලින් යැපෙමින්, සංස්කෘතිකව එකිනෙකට ඥාතීව වසර දහස් ගණනක් පුරා එකිනෙකට සමාන්තර ගමනක් පැවත ආ බැවිනි. එය එකල ලක්-රජු ඇතුළු සියළු ලක්වැසියන් පිළිගත් ඓන්ද්‍රීය යථා භෞතික සත්‍යයක් ලෙස පැවතියකි.  

 

ලක්වැසි ජන බහුතරය ඩොයිලි-බණ්ඩාරනායකවාදී බෙදුම්වාදි කතිකාවට හසුවී සිටින නිසා ම, මා මේ බව කියද්දී, එල්ලාලන් හෙවත් එළාර සහ කාලිංග-මාඝ යන ආක‍්‍රමණික චෝල ද්‍රවිඩයින් ලක්දේශයට කඩාපාත්වීම සහ පාලනය කිරීම පිළිබඳව සමහර පාඨකයන්ගේ සිතිවිලි නලියන ස්වභාවයකට පත්වීමට ඉඩ ඇතිවීම පිළිබඳව ගත්කරු සබුද්ධික ය. මේ පිළිබඳව ඉදිරි පරිච්චේඡද වල දී එළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

@ අරවින්ද හෙට්ටිආරච්චි

(තව කොටසක් ලබන සතියේ)