ශ්‍රී ලංකාව පුරා පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන උත්සාහයන් ඇගයීමට ලක් කරන
"ජනාධිපති පරිසර සම්මාන 2025" අද (23) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසිනි.
පිරිසිදු, හරිත සහ තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා දායක වන මුලපිරීම් සමරමින්, "ලස්සන දිවයින, සිනාසෙන ජනතාව" ( “Beautiful Island, Smiling People”) යන දැක්ම සමඟ ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් 2025 සම්මාන උළෙල පැවැත්විණි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සම්මානලාභීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
පිරිනැමෙන සම්මාන සහ පාරිසරික පණිවිඩය
පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් කැප වූ මෙවර සම්මාන උළෙලේදී, රන් සම්මාන 17 ක්, රිදී සම්මාන 29 ක්, ලෝකඩ සම්මාන 38 ක්, කුසලතා සම්මාන 47 ක් සහ විශේෂ ජූරි සම්මාන 1 ක් ඇතුළුව මුළු සම්මාන 132 ක් පිරිනමන ලදී.
මෙහිදී කැපී පෙනෙන විශේෂත්වය වූයේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් ටින් වලින් මෙම සියලුම සම්මාන නිපදවා තිබීමයි. එමඟින් පාරිසරික හිතකාමී පිළිවෙත් සඳහා උත්සවයේ ඇති දැඩි කැපවීම තවදුරටත් අවධාරණය කෙරිණි. සියලුම අයදුම්පත් විශේෂඥ මණ්ඩල විසින් ඇගයීමට ලක් කළ අතර, අවසාන වශයෙන් ජූරි තීරණ සම්මත විය.
ඇගයීමට ලක් වූ ප්‍රධාන අංශ
ප්‍රධාන අංශ තුනක් යටතේ අයදුම්පත් කැඳවා තිබූ අතර, එහිදී හරිත ජයග්‍රහණ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ හඳුනා ගැනිණි:
කර්මාන්ත අංශය:
මෙම අංශය යටතේ රසායනික හා ආහාර කර්මාන්තවල සිට හෝටල්, රෝහල් සහ ලෝහ හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය දක්වා කාණ්ඩ 16 ක මහා පරිමාණ සහ කුඩා සිට මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇගයීමට ලක් විය.
ව්‍යාපෘති අංශය:
කුඩා පරිමාණ ජල විදුලිය, සූර්ය හා සුළං ව්‍යාපෘති ඇතුළු පුනර්ජනනීය බලශක්ති මුලපිරීම් මෙම අංශය හරහා හඳුනා ගැනිණි.
ආයතන, ජනමාධ්‍ය සහ සමාජ අංශය:
මෙම පුළුල් අංශය තුළ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පාරිසරික නවෝත්පාදන, සාම්ප්‍රදායික මාධ්‍ය සහ පළමු වරට ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා පවා ඇගයීමට ලක් කිරීම විශේෂත්වයකි.
පිරිසිදු සහ තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන, විවිධ ක්ෂේත්‍රවල පරිසරය වෙනුවෙන් කැපවන පුද්ගලයින්, ආයතන සහ ව්‍යාපෘති දිරිමත් කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය.