SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ (SJB) ලසන්ත වික්‍රමසේකරට ඊයේ

දහවල් කාලයේ සිදු වූ වෙඩි තැබීම ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ වාර්තා වූ පළමු දේශපාලන ඝාතනය ලෙස සලකුණු කර තිබේ.

 

 

මෙම බිය සැකයෙන් තොරව මහදවල් ප්‍රාදේශීය සභා කාර්යාලය තුළදී සිදුවූ මෙම ක්‍රියාව නිසා රට පුරා මහජන ආරක්ෂාව පිළිබඳ බිය යළිත් වරක් ඉහළ ගොස් ඇති අතර, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම්වල අනතුරුදායක වැඩිවීමක් නැවතත් කරලියට පැමිණ ඇත.

 

 

ඝාතනය සහ පාර්ලිමේන්තුවේ කැළඹීම

'මිදිගම ලසා' නමින් ද හැඳින්වූ 38 හැවිරිදි ලසන්ත වික්‍රමසේකර ඊයේ සිය කාර්යාලයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් මිය ගියේය.  

 

යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩික්කරු සුදු ඇඳුමකින් සහ කළු වෙස්මුහුණකින් සැරසී, අත්සනක් ලබා ගැනීමට පැමිණි අමුත්තෙකු ලෙස පෙනී සිටිමින් සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී තිබේ.

 

සිය නිල පුටුවේ අසුන්ගෙන සිටි සභාපතිවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් වැදී ඇති අතර, ඔහු මාතර මහ රෝහලේදී ජීවිතක්ෂයට පත් විය.

 

ඔහු දැනට සිරගතව සිටින 'හරක් කටා' නමින් ප්‍රකට පාතාල නායක නදුන් චින්තකගේ සමීපතමයෙකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.

 

මෙමගින් නදුන් චින්තකටද යම් පණිවුඩයක් දෙන්නේ ද යන්න ගැනත් සිදුවීම සම්බන්ධ විචාරක මතයක්ව ඇත.

 

මෙම ඝාතනය හේතුවෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව තුළ කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් නීතිය හා සාමය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් රජයෙන් වහාම පිළිතුරක් ඉල්ලා සිටියහ.

 

භයානක සංඛ්‍යා ලේඛන සහ සංවිධානාත්මක අපරාධ

 

මෙම වසරේ වාර්තා වන අපරාධ සංඛ්‍යාව මහජනතාවගේ බිය තහවුරු කරයි:

 

ඊයේ දින සිදු වූ වෙඩි තැබීම මේ වසරේ වාර්තා වූ 103 වන සිද්ධිය වන අතර, මෙමගින් 52 දෙනෙකු මිය ගොස් ඇත. වාර්තා වූ වෙඩි තැබීම් 103 න් 76 ක් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පොලිසිය ප්‍රකාශ කරයි.

 

 

ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවල ප්‍රතිචාරය

මෙම උත්සන්න වන අර්බුදය හමුවේ රජය සිය ප්‍රතිචාරය මෙසේ ඉදිරිපත් කර ඇත:

 

කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ වෙලිගම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවත්, මෑත කාලීන වෙඩි තැබීම්වලට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බවත්ය.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ: "මෙම අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් සහ සමාජයේ සංසරණය වන නීතිවිරෝධී ගිනි අවිවල ප්‍රතිඵලයකි. මෙම ගැටලුවට මුහුණ දීම සඳහා පොලිසිය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක්ව කටයුතු කරමින් සිටිති."

 

කෙසේ වෙතත්, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මීට පෙර සඳහන් කළේ එවැනි අපරාධකාරී ක්‍රියා ජාතික ආරක්ෂාව වෙනුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන බවයි.

 

ජාතික ආරක්ෂාවට වඩා මහජන ආරක්ෂාවේ බිඳ වැටීම

අමාත්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රකාශයන් රජය අපරාධ මර්දනයට කැපවී සිටින බව පෙන්වුවද, "මෙම අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් සහ නීතිවිරෝධී ගිනි අවිවල ප්‍රතිඵලයකි" යනුවෙන් කරුණු දැක්වීම, ජාතික ආරක්ෂාව වෙනුවෙන් වගවෙන ආණ්ඩුවක් ප්‍රකාශ කළයුතු අදහස්ද නොවේ. සංවිධානාත්මක අපරාධ මර්දනය කර, නීතිය හා සාමය පවත්වාගෙන යාම ආණ්ඩුවේ මූලික වගකීමකි. මෙම අපරාධවල මූලයන් හඳුනාගෙන තිබේ නම්, ඒවා මුලිනුපුටා දැමීම සඳහා රජය වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවිය යුතුව තිබුණි.

 

පොලිස්පතිවරයාගේ ඉල්ලීම සහ ආණ්ඩුවේ වගකීම

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මීට පෙර අවධාරණය කළේ, රටේ උත්සන්න වන අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් ඵලදායී ලෙස මැඩපැවැත්වීම සඳහා වත්මන් නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බැවින් නව නීතිවල හදිසි අවශ්‍යතාවක් පවතින බවයි.

 

මෙහි ඇති වඩාත් බරපතලම අසාර්ථකත්වය පවතින්නේ, ඝාතනයට ලක් වූ සභාපතිවරයාට ලැබුණු තර්ජන පිළිබඳව ඔහු විසින් කලින්ම දැනුම් දී තිබීම සම්බන්ධයෙනි.

වැලිගම සභාපතිවරයාගේ ඝාතනයට පෙර, තමාගේ ජීවිතයට තර්ජන ඇති බවත් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇති බවත් වාර්තා වේ. එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් කටයුතු කළ බවක් නොපෙනේ.

 

 

යම් හෙයකින් මෙම ඉල්ලීම පිළිබඳව අවම වශයෙන් සලකා බලා ප්‍රාදේශීය සභා භූමියට හෝ පොලිස් ආරක්ෂාවක් සැපයීමට කටයුතු කළේ නම්, ඝාතනය වැලැක්වීමට හෝ ඝාතකයා වහාම අල්ලා ගැනීමට හෝ ඒ මොහොතේ අවස්ථාවක් තිබෙන්නට ඉඩ තිබුණි. මහජන නියෝජිතයෙකුගේ ආරක්ෂාව පවා තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි වීම, මෙම ප්‍රචණ්ඩ රැල්ල බැරෑරුම් ලෙස සලකනවාද යන්න පිළිබඳව ජනතාව තුළ පවතින බිය තවත් වර්ධනය කරයි.

 

 

පාතාලයට වගකීම පවරා අත පිසදා ගැනීම නිවැරදිද?

 

වෙලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සිදුකළ ප්‍රකාශය, මේ වනවිට රජයේ වගකීම් පැහැර හැරීමක් ලෙස දැඩි විවේචනයට ලක්ව තිබේ.

 

අමාත්‍ය විජේපාල පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, මෙම ඝාතනය "මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව පාතාලය සහ පාතාලය අතර ප්‍රශ්නයක්" බවයි.

 

 

සභාපති ලසන්ත වික්‍රමසේකර පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ චරිතයක සමීපතමයකු බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබුණද, මෙම සිදුවීම හුදෙක් 'පාතාල ගැටලුවක්' ලෙස නම් කර වගකීමෙන් මිදීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා උත්සාහ කිරීම බරපතල ගැටලු කිහිපයක් මතු කරයි.

 

  1. රාජ්‍ය වගකීම් පැහැර හැරීම: මෙරට මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලීසියටයි. මහජන නියෝජිතයෙකු, ඔහුගේ නිල කාර්යාලය තුළදී දහවල් කාලයේදී ඝාතනයට ලක්වීම, මුළු රටේම මහජන ආරක්ෂාවේ බිඳවැටීමක් පෙන්නුම් කරයි. එය 'පාතාලය අතර ප්‍රශ්නයක්' පමණක් යැයි පවසා, එමගින් පොලීසියේ වගකීම අවම කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකිය.
  1. ප්‍රචණ්ඩත්වයට නිල අනුමැතියක් දීමක්ද?: මිනීමැරුම් සිදුවීම් "පාතාලය පාතාලය මරා ගැනීමක්" ලෙස සලකා එය සාමාන්‍යකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ අසාර්ථකත්වය වසන් කිරීමකි. නීතිය යටතේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය ආරක්ෂා කළ යුතුය. පාතාල සාමාජිකයෙකු හෝ වේවා, අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ නීතිය මගින් මිස, වෙනත් පාතාල කල්ලියක් අතින් ඝාතනය වීමට ඉඩ හැරීමෙන් නොවේ.
  1. අතීතය සඟවාලීම: අමාත්‍යවරයා පවසන පරිදි "පාතාල ක්‍රියාකාරකම් අලුතින් නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි" නම්, එය පාලනය කිරීම සඳහා වර්තමාන NPP ආණ්ඩුව විසින් ගෙන ඇති නව හා ප්‍රබල ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කළ යුතුව තිබේ. එමෙන්ම, සභාපතිවරයා මීට පෙර තමාගේ ජීවිතයට තර්ජන ඇති බව පවසා පොලිස්පතිවරයාට ආරක්ෂාව ඉල්ලා ලිපි යැවීම පිළිබඳව වාර්තා තිබියදී, එය හුදෙක් පාතාල ගැටලුවක් ලෙස බැහැර කිරීම නිලධාරිවාදී අසාර්ථකත්වය තහවුරු කරයි.

 

මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් මෙම ඝාතනය හුදෙක් පාතාල ගැටලුවක් ලෙස හුවා දක්වමින් අත පිසදා ගැනීම, රජයේ ඉහළම තලයේ සිටම මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම පැහැර හරින ආකාරය පෙන්වයි. රට තුළ මේ වන විට වාර්තා වන 103 වැනි වෙඩි තැබීමේ සිදුවීම සහ පළමු දේශපාලන ඝාතනය හමුවේ, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ රජයට ඇති කැපවීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් එල්ල කරයි.

 

NPP ආණ්ඩුවට වහාම අවශ්‍ය වී ඇත්තේ, හුදෙක් පාතාලයේ අභ්‍යන්තර ගැටුම් ගැන කරුණු දැක්වීමට වඩා, පොලිස්පතිවරයා ඉල්ලා සිටින පරිදි නව නීති ගෙන ඒම සහ සංවිධානාත්මක අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීම සඳහා වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි.

 

නවතම ලිපි