යාපනය ප්‍රදේශයේදී 2011 වසරේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ
කූගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති හබයාස් කෝපුස් පෙත්සම් විභාගයේදී තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (ජූලි 30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එලෙස පැවසීය.
සිය සේවාදායකයාට එම නඩුවට සාක්ෂි ලබා දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට යෑම ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් විය හැකි බැවින් එම සාක්ෂි විභාගය කොළඹදී පැවැත්වීමේ හැකියාව පවතින්නේ නම් වඩාත් සුදුසු බව ද ජනාධිපති නීතිඥවරයා යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී වැඩිදුරටත් පැවසීය.
එම ඉල්ලීම යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලෙස විනිසුරු මඬුල්ල ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේ ය.
අභියාචනාධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම හබයාස් කෝපුස් පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
එකී මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබූ අතර එම සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණ නියෝගයක් නිකුත් කොට තිබිණි.
අභියාචනාධිකරණයේ එකී නියෝගයට එරෙහිව ලලිත් වීරරාජ් හා කූගන් මුර්ගානන්දන්ගේ ඥාතීන් ඉදිරිපත් කොට තිබූ අභියාචනාව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවිණි.
ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබා දීමට එකඟ වීම නිසා එකී අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්ත අවසන් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාව අනුව විනිසුරු මඬුල්ල නියෝග කළේ ය.
ලලිත් – කූගන්ගේ ඥාතීන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටියේ ය.
@mawbima