තෙල් ළිං වෙනුවට තාක්ෂණය ලෝකය පාලනය කරන යුගයක චීන 'ෂියැංෂාන්' සමුළුවෙන් නැගුණු ලාංකීය හඬ
මානව ඉතිහාසය පුරාම ජාත්‍යන්තර බල ව්‍යාප්තියේ දැවැන්ත වෙනස්කම් තීරණය වූයේ
බලශක්තිය සොයාගැනීම සහ භාවිත කිරීම මතය. පළමු කාර්මික විප්ලවය ගල් අඟුරු සහ වාෂ්ප එන්ජිම මත ද, දෙවැන්න ඛනිජ තෙල් සහ විදුලිය මත ද ගොඩනැගුණි. විසිවන සියවසේ භූ-දේශපාලනික අනුපිළිවෙල මුළුමනින්ම හැඩගැසුණේ ඛනිජ තෙල්, මුහුදු මාර්ග සහ නල මාර්ග පාලනය කිරීම හරහාය. "බලශක්ති සම්පත් හිමියා සතුව උපායමාර්ගික බලය පවතී" යන සරල උපකල්පනය එතෙක් ලෝකය පාලනය කළේය.
එහෙත් අද වන විට, චන්ද්‍රිකා, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earth) සහ කෘත්‍රිම බුද්ධිය (AI) සමඟින් පැමිණි 'ස්මාර්ට් යුගය' තුළ මෙම යථාර්ථය කණපිට හැරෙමින් පවතින බව ඊයේ (16) චීනයේ බීජිං නුවරදී පැවති 20 වැනි ෂියැංෂාන් (Beijing Xiangshan Forum) ආරක්ෂක සමුළුවේදී දැඩිව අවධාරණය කෙරිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ගෝලීය ව්‍යුහයන් මෙහෙයවීමට සමපාතීව, චීනය විසින් ඊට විකල්පයක් ලෙස නිර්මාණය කළ මෙම බහු-ධ්‍රැවීය වේදිකාවේදී “බලශක්තිය රටක ආරක්ෂාවට බලපාන්නේ කෙසේද” යන තීරණාත්මක සංවාදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූයේ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, විදුලි ඉංජිනේරු පාඨලී චම්පික රණවක ය. ඊට සහභාගී වූ අනෙකුත් රටවල් අතර රුසියාව, චීනය, ආර්ජන්ටිනාව, ජපානය වැනි රටවල්ද විය.
ඔහු විසින් රචිත, මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ගෝලීය දේශපාලන ප්‍රවණතා දක්වා විහිදෙන "බලය සහ බලය" කෘතිය චීන බුද්ධිමතුන් විසින් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම සුවිශේෂී දේශනය සඳහා ඔහුට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.
මෙම ඉහළ පෙළේ සාකච්ඡාව සඳහා රෙන්මින් (Renmin) විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන Guo Bowei සහ Huang Yanghua, රුසියාවේ උසස් ආර්ථික විද්‍යා පාසලේ (CCEIS) අධ්‍යක්ෂ Vasily Kashin, ආජන්ටිනා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් José Francisco Cafiero, ජපාන නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් Yasuhiro Kawakami සහ චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ජ්‍යෙෂ්ඨ කර්නල් Wang Shuai යන ජාත්‍යන්තර විශේෂඥයෝ ද එක්ව සිටියහ.
තාක්ෂණය: ලෝක බලයේ නවතම මුදල් ඒකකය
අද ලෝකය මුහුණ දෙමින් සිටින්නේ හුදෙක් නව බලශක්ති ප්‍රභවයන් සොයාගැනීමකට පමණක් නොව, බලශක්තිය භාවිත කරන ආකාරය මුළුමනින්ම වෙනස් කරන තාක්ෂණික විප්ලවයකටය.
ඒ අනුව නව ලෝකයේ තීරණාත්මක පැනය වන්නේ "බලශක්තිය කා සතුද?" යන්න නොව, "එම බලශක්තිය ආර්ථික, තාක්ෂණික සහ මිලිටරි බලයක් බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය කා සතුද?" යන්නයි.
රටකට පුනර්ජනනීය බලශක්ති සම්පත් කොතෙක් තිබුණත්, එම විදුලිය ගබඩා කිරීම, කාර්යක්ෂමව බෙදාහැරීම සහ විදුලිබල පද්ධතිය (grid) ස්ථාවරව තබාගැනීමේ තාක්ෂණය නොමැති නම් ඉන් ආර්ථික වාසියක් ලබාගත නොහැක. මෙහිදී අර්ධ සන්නායක (Semiconductor) විප්ලවය ගෝලීය බලශක්ති භූ-දර්ශනය මුළුමනින්ම වෙනස් කර ඇත. අර්ධ සන්නායක යනු බලශක්ති ප්‍රභවයක් නොවුණද, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සූර්ය කෝෂ, නවීන බැටරි, විද්‍යුත් වාහන, කෘත්‍රිම බුද්ධිය සහ නවීන මිලිටරි හැකියාවන් පාලනය කරන්නේ ඒ හරහාය. 21 වන සියවසේ බලය රඳා පවතින්නේ බලශක්තිය, තාක්ෂණය, පරිගණනය, ගබඩා කිරීම සහ බුද්ධිමත් කළමනාකරණය යන සියල්ලේ සුසංයෝගය මතය.
යුද කලාවේ සහ ආරක්ෂාවේ දෙමුහුන් හැරවුම (Hybrid Warfare)
මෙම පරිවර්තනය යුද්ධය සහ මිලිටරි බලය සම්බන්ධයෙන් ද මාරාන්තික බලපෑමක් එල්ල කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය කඳවුරු දෙකකට බෙදී ගිය අතර, ඔවුන් අතර පැවති සීතල යුද්ධය න්‍යෂ්ටික අවි තරඟයකට සහ වක්‍ර යුද්ධ (Proxy Wars) රැසකට මඟ පෑදීය. එහෙත් අද වන විට නූතන යුද උපාය මාර්ගය 'දෙමුහුන් යුද්ධය' (Hybrid Warfare) දක්වා පරිණාමය වී ඇත. මෙහිදී න්‍යෂ්ටික අවි භාවිතය වෙනුවට දියුණු ඔත්තු බැලීම්, බලශක්ති හා සන්නිවේදන යටිතල පහසුකම් විනාශ කිරීම සහ තීරු බදු වැනි ආර්ථික මෙවලම් යුද උපකරණ ලෙස භාවිත කිරීම බහුලව සිදුවේ.
සම්ප්‍රදායික යුද බලය ගොඩනැගුණේ ටැංකි, ගුවන් යානා සහ නාවික බලඇණි සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීම මතය. එහෙත් අද වන විට සම්ප්‍රදායික ගොඩබිම, ගුවන සහ මුහුද යන මානයන්ගෙන් ඔබ්බට ගොස් අභ්‍යවකාශය, ඩ්‍රෝන සහ සයිබර් අවකාශය ඇතුළත් මානයන් 6ක යුද අභ්‍යවකාශයක් නිර්මාණය වී තිබේ. ඩීසල් පිරවූ දුර්වල සැපයුම් දාමයන් මත යැපෙන සම්ප්‍රදායික හමුදාවකට වඩා, මෙහෙයුම් භූමියට ආසන්නව විමධ්‍යගතව බලශක්තිය නිපදවන සහ ගබඩා කරන, AI මත පදනම් වූ හමුදාවක් අනාගතයේදී අතිශය ප්‍රබල වනු ඇත.
ශ්‍රී ලංකාව සහ ගෝලීය දකුණ (Global South) සඳහා ඇති අවස්ථාව
රුසියා-යුක්රේන යුද්ධය සහ මැද පෙරදිග අර්බුදය වැනි "විසන්ධිස්ථාන" (Flashpoints) හරහා අද වන විට සාම්ප්‍රදායික බලශක්ති වෙළඳ මාර්ග කඩාකප්පල් වී ඇත. එහෙත් මෙම අර්බුදය, ඛනිජ තෙල් සම්පත් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට නව උපායමාර්ගික පරිවර්තනයක් සඳහා මංපෙත් විවර කරයි. පුනර්ජනනීය බලශක්තිය යනු හුදෙක් පාරිසරික වගකීමක් පමණක් නොව, එය දුරස්ථ බලශක්ති සැපයුම් මාර්ග මත යැපීම අවම කරන උපායමාර්ගික ආයුධයකි.
සූර්ය පැනලයක් ආනයනය කර විදුලිය නිපදවීමෙන් ඔබ්බට ගොස්, එම තාක්ෂණය නිෂ්පාදනය කිරීම, නඩත්තු කිරීම සහ ඒකාබද්ධ කිරීමේ දැනුම ලබාගැනීම සැබෑ උපායමාර්ගික හැකියාවක් ගොඩනැගීමකි. ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රණය වෙනස් කිරීමේදී වහල මත සූර්ය පැනල (roof-top solar), ලක්විජය ගල් අඟුරු බලාගාරය සහ කසළ මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති හරහා ලබාගත් ප්‍රායෝගික අත්දැකීම් මෙම උපායමාර්ගික ගමනේදී අතිශය වැදගත් බව පාඨලී සමුළුවේදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට අනාගතයේදී බලශක්ති ස්වෛරීභාවය යනු හුදෙක් තෙල් ළිඳක් අයිති කරගැනීම නොවේ. එය අප සතු සූර්යාලෝකය, සුළඟ සහ මානව ප්‍රාග්ධනය ආර්ථික සහ සමාජීය බලයක් බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණික හැකියාවයි.
පළමු ලෝක යුද්ධයෙන් පසු පැවති ලෝක රටාව අද නොමැති අතර වර්තමානයේ පවතින්නේ ඛණ්ඩනය වූ බහු-ධ්‍රැවීය ලෝකයකි. ඒ තුළ අවදානමට ලක්විය හැකි රටවල් හුදෙකලා වී ඇත. එබැවින් ගෝලීය දකුණට අද දවසේ අවශ්‍යව ඇත්තේ හුදෙක් ඉන්ධන සැපයීමට සීමා නොවූ, දැනුම සහ කුසලතා හුවමාරු කරගන්නා සාමූහික බලශක්ති ආරක්ෂණ යාන්ත්‍රණයකි.
බලශක්ති සම්පත් හිමිවීම පමණක් තවදුරටත් ජාතියක ආර්ථික හෝ දේශපාලන බලය සහතික නොකරයි. අනාගත ලෝකයේ තීරණාත්මක වාසිය හිමිවන්නේ ලෝකයේ වැඩිම සම්පත් ඇති අයට නොව, තමන් සතු සම්පත් වඩාත් බුද්ධිමත්ව, කාර්යක්ෂමව සහ ස්වාධීනව භාවිත කිරීමේ විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාව ඇති අයට පමණි.
#SamaaraParanavithana

