SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වර්තමාන දේශපාලන අවකාශය තුළ ආණ්ඩු පෙරළියක් සමඟ මතු වී ඇති 'ප්‍රමෝදය'

(Jouissance) සැබෑ දේශපාලන ජයග්‍රහණයක් ද, නැතහොත් ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ තවත් එක් නඩත්තු කිරීමක් ද? පහත පළවන ලිපිය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථා සංශෝධන සහ යහපාලන මිත්‍යාවන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින්, ලකානියානු මනෝවිශ්ලේෂණය සහ මාක්ස්වාදී න්‍යාය ඔස්සේ සිදුකළ ගැඹුරු විග්‍රහයකි.

 

 

මැතිවරණයකින් ආණ්ඩුවක් මාරු වූ පමණින් 'රාජ්‍යය' නැමැති ගැඹුරු ඓතිහාසික සහ පන්තිමය සංකේතීය ව්‍යුහය වෙනස් නොවන බවත්, වත්මන් දේශපාලන හැරවුමේ සැබෑ උත්ප්‍රේරකය 2022 මැයි 09 වනදා රාජ්‍යයේ සංගතභාවයට එල්ල කළ දැවැන්ත පැල්ම (antagonistic event) බවත් මෙහිදී අවධාරණය කෙරේ.

 

එසේම, 'හොරු ඇල්ලීම' හරහා තම අහිමි වූ ප්‍රමෝදය නැවත ලබාගැනීමේ ෆැන්ටසියක ගිලී සිටින ජනතාවගේ දේශපාලන 'ආශාව' (desire) කිසිදිනෙක සම්පූර්ණ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයකට නොහැකි බව මෙමඟින් තවදුරටත් විග්‍රහ කරයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු එම ආශාවේ හිස්බව නඩත්තු කරමින් අතෘප්තිය පක්ෂයෙන් පක්ෂයට මාරු කරන දෘෂ්ටිවාදී මායාවක් පමණක් වන බැවින්, අප කළ යුත්තේ ඒ තුළ සිරවීම නොව, පවතින සංකේත රටාව (Symbolic order) මුලිනුපුටා දමන විප්ලවීය රැඩිකල් දේශපාලන ක්‍රියාවක් සඳහා සූදානම් වීම බව මෙම ලිපිය දැඩිව යෝජනා කරයි.

 

 

පහත පළවන්නේ ස්පාටකස් සාමූහිකය ඉදිරිපත් කර ඇති ලිපියයි.

 

ජවිපෙ ඉදිරි පියවර

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බොහෝ දෙනෙකුට අනුව වර්තමාන රාජ්‍යය යනු ඕපපාතික, ස්වභාවික, ස්වාධීන, සුපිරිසිදු යාන්ත්‍රණයකි. ඊට ඉතිහාසයක් තිබෙන බව සහ වර්තමාන රාජ්‍යය යනු ධනේශ්වර රාජ්‍යය බවත් ඔවුන් නොපිළිගනී. මේ වීඩියෝවේ අදහස් දක්වන දයාසිරි පෙරකදෝරු උන්නැහේට අනුව රාජ්‍යය යනු ග්‍රාමසේවක, ප්‍රදේශිය ලේකම්, රාජ්‍යය පරිපාලන, වැනි ලෙස වන රාජ්‍යය යාන්ත්‍රණයයි. ඔහු තවදුරටත් පවසන්නේ රජයේ සේවකයින් දැන් කලබල විය යුතු බවය. ඒ රාජ්‍යයට අත තැබීමට ආණ්ඩුව සැරසෙන බැවිනි (රාජ්‍යය ආයතන පුද්ගලීකරණදී වාමාංශික අරගල සංවිධානය කරනවාක් මෙන්).

 

 

 

 

රාජ්‍යය යනු එදිනෙදා පරිපාලන නිලධාරීන්ගේ එකතුවක් නොව, ඉතිහාසයක් සහ පන්තිමය/දේශපාලන ව්‍යුහයක් සහිත බල-සම්බන්ධතාවකි. ලකානියානු අර්ථයෙන් පවසන්නේ නම්, රාජ්‍යය යනු නීතිය, අධිකාරිය, පුරවැසිභාවය, වගකීම, අයිතිවාසිකම්, නිලතල ආදියට අර්ථය ලබාදෙන 'සංකේතාත්මක ස්ථානය' (symbolic locus) ලෙස ක්‍රියා කරයි (මේ සඳහා උපරිම උදාහරණය ඇමරිකා එක්සත් ජනපදයයි).

 

 

"රාජ්‍යය යනු සංවිධිත මර්දන යාන්ත්‍රණයක්" බව පැවසුවේ ලෙනින්ය. නමුත් වර්තමානය එවැනි කතා අදාළ නොවන යුගයක් බවට පත්ව තිබේ. ඒ කෙසේ වෙතත් ප්‍රසන්න ගුණසේන විසින් අනුරාධපුරදී සිදු කල අදහස් දැක්වීම ඉස්තරම්ය. ඔහු ඍජුව පවසන්නේ ලෝක තත්වය කුමක් වුවත් අප පසුබැසිය නොයුතු බවත්, ලෝකයටම පාර කියන ආරම්භය ලබාගත යුතු බවත්ය. වැදගත් වන්නේ එම අධිෂ්ඨානයි.

 

 

'ආණ්ඩුව' (government) යනු 'සංකේත රටාව' (symbolic order) තුළ තාවකාලිකව යම් ආකාරයකින් ස්ථානගත වන අස්තිත්වයකි. නමුත් 'රාජ්‍යය' (state) යනු ඊට වඩා ගැඹුරු ආයතනික සංකේතීය ව්‍යුහයකි (institutional-symbolic structure). එබැවින් මැතිවරණයකින් ආණ්ඩුව මාරු වූ පලියට රාජ්‍යයේ සමස්ත ආයතනික සංකේතීය ව්‍යුහය මාරු වන්නේ නැත.

 

ප්‍රසන්න පවසන තවත් කාරණයක් වන්නේ 1971, 87-90 යන අරගල වලදී බලය ලබා ගත්තේ නම් ඒ "ගහල ගැනීමක්" ලෙසත්, එවිට ආණ්ඩු බලය මෙන්ම රාජ්‍ය බලය ද එක විට ලැබෙන බවත් (ඉන් හැඟවෙන කාරණයක් තිබේ), නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ මැතිවරණයකින් බවත්, එබැවින් ඔවුනට රාජ්‍යය බලය නොමැති බවත්ය. නමුත් ජවිපෙ නොපිළිගන්නේ ජවිපෙට බලය හිමිවීම සඳහා බලපෑ ප්‍රධාන සාධකය මැයි 9 ප්‍රහාරය බවයි (ජවිපෙ පවසන්නේ එම ප්‍රහාරය සිදු වුව ද රනිල් විසින් එය මර්දනය කර අවසන් කල බවයි). මැයි 9 යනු පවතින 'සංකේත රටාවේ' සංගතභාවය බිඳ දැමූ "ප්‍රතීඝතාමය සිදුවීමකි" (antagonistic event). එබැවින් අප අවධාරණය කරනුයේ මැයි 9 ප්‍රහාරයේ ආචරණය ඉදිරියට ගෙන යා යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී කෑ කෝ ගසන්නන් පවසන කිසිවක් ඇසීමට කිසිවෙකුට උනන්දුවක් නොමැති බවත්ය. එනම්, 2022දී සංකේත රටාවේ ඇති වූ පැල්ම නැවත දේශපාලන රූපාන්තරණයක් කරා ගෙන යා යුතුය.

 

 

මාලිමාවට ලක්ෂ 69ක ඡන්ද ලැබුණි. ඒ තම 'ප්‍රමෝදය' එතෙක් සොරාගතේ දෙමළා සහ මුසොල්මානුවා බව සිතූ මිනිසුන්ගේ එම ස්ථානයට "හොරුන්" ආදේශ වීම තුලය. ඒ අනුව, මාලිමා ආණ්ඩුවට බලය ලැබෙනුයේ හොරු ඇල්ලීම සඳහාය. ඒ, එවිට වංචා, දූෂණ, අක්‍රමිකතා තුරන් වී රට සුඛිත මුදිත වේය යන බලාපොරොත්තුවෙනි. දැන් ආණ්ඩුව ලෙසටම හොරු අල්ලමින් සිටී. එබැවින් ජනයා සතුටිනි. ඔවුනට 22වන සංශෝදනය ද අරක ද මේක ද අදාළ නොවේ. ඒවා අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හිස්මොලේ ගොස් ඇති අයටය.

 

 

"ජනතාවට" මේ මොහොතේ අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ඒ කාර්ය ඉටු කිරීමයි.

 

ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ යාන්ත්‍රණයේ එක් මූලික ගතිකත්වයක් වන්නේ, ආණ්ඩුව මිනිසුන්ගේ ඉල්ලීම් සපුරාලීමට අසමත් වන නිසා පමණක් නොව, යම් ඉල්ලීමක් සපුරාලීමෙන් පසුවද එම ඉල්ලීමට අදාළ 'ආශාව' අවසන් නොවන නිසා දේශපාලන අතෘප්තිය නැවත නිෂ්පාදනය වීමය. ආශාව සම්පූර්ණ නොවන නිසා නැවත නිෂ්පාදනය වන අතෘප්තිය විසින් විපක්ෂය වෙත දේශපාලනිකව මාරු වීමේ ඉඩ විවර කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ පැවැත්ම තීරණය වන්නේම මෙම අතෘප්තිය විසඳීමට නොහැකි බැවින්, එය විපක්ෂය වෙත මාරු කරමින් ෆැන්ටසිය යළි යළිත් ප්‍රතිනිෂ්පාදනය කිරීමෙනි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ද්විපක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ 'ආශාවේ වස්තුව' අත්පත් කරගත් පසු ඊට අදාළ ෆැන්ටසිය සාක්ෂාත් නොවීම තුළය ('ආශාවේ වස්තුව' අත්පත් කරගත් පසුවත්, 'ආශාවේ වස්තු හේතුව' විසින් පොරොන්දු වූ පරිපූර්ණ ප්‍රමෝදය ලබා නොදෙයි). මෙය නිමක් නැති චක්‍රයකි ('ආශාවේ වස්තු හේතුව' කිසිදා සාක්ෂාත් නොවේ). එම අතෘප්තිය ආණ්ඩු වෙනසක් බවට පරිවර්තනය වීමෙන් ද්විපක්ෂ චක්‍රය අඛණ්ඩව ක්‍රියා කරයි.

 

 

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු "ජනතාවගේ" 'ආශාව' සම්පූර්ණ කරන යාන්ත්‍රණයක් නොව (කිසිම යාන්ත්‍රනයකට එය කල නොහැක), එම ආශාව කිසිදා සම්පූර්ණ නොවන බව තුළම එය නැවත නැවතත් දේශපාලනමය චාක්‍රණයකට යොමු කරන යාන්ත්‍රණයකි (ඒ තුල 'ආශාවේ වස්තු හේතුව'/objet petit a යනු සෑම සංයුක්ත දේශපාලනමය 'වස්තුවකින්ම' අතුරුදහන්ව නැවත පෙනී සිටින ආකාරය ලෙස කියවිය හැකියි).

 

 

එසේ නොමැතිව ආණ්ඩු මාරුවන්නේ ව්‍යවස්ථා සංශෝධන, යහපත් ආණ්ඩුකරණය වැනි හේතූන් නිසා නොවේ. එසේ පවසන්නේ ජන මාධ්‍ය වේදීන් වැනි මෝඩ ප්‍රභූතන්ත්‍රවාදීන්ය.

 

 

මර්දනය මඟින් කාලාන්තරයක් බලය රැක ගත හැකිය. නමුත් 'ආශාවේ' හිස්බව නැති නොවන අතර, එමඟින් සිදු වන්නේ මර්දනයට ලක්වන දේශපාලන අසහනය වඩාත් 'ප්‍රචණ්ඩ රෝග ලක්ෂණයක්' ලෙස වෙනත් ස්වරූපයකින් පුපුරා ඒමට මඟ පෑදීමයි. කල යුතුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රයේ කර ගසා ගැනීම නොව පවතින 'සංකේත රටාව' සහ දෘෂ්ටිවාදයේ සීමාවන් මූලිකවම බිඳහෙළන විප්ලවීය රැඩිකල් දේශපාලන ක්‍රියාවක් සඳහා සූදානම් වීමයි.

 

 

ජවිපෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවේශය න්‍යායිකව අනුමත කරන සහ ඒ වෙනුවෙන් අදහස් දක්වන, එකම දේශපාලන කණ්ඩායම අපය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලිපි පෙළ අප ආරම්භ කරන ලද්දේ 2022 වසරේය. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තවත් ලිපි රැසක් අපගේ වෙබ් අඩවියේ සහ මෙම Facebook පිටුවේ තිබේ.

 

 

spa_logo.jpeg# ස්පාටකස් ලිපි

නවතම ලිපි