SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික අර්ජුන ඔබේසේකර විනිසුරුවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිසේත්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවට ප්‍රකාශ කර ඇත.

තුනෙන් දෙකේ බහුතරයේ තීරණය විශ්ලේෂණය කරමින් ඔබේසේකර විනිසුරුවරයා අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කළ අවස්ථාවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය බරපතල සහ සුවිශේෂී තත්ත්වයක් ඇතිවී තිබූ බවයි. වෙනත් ආකාරයකට අවධාරණය කළහොත් නීතිය රටපුරා තවදුරටත් පිරිහීමේ අවදානමක් තිබූ බවයි. පොහොට්ටු පක්ෂය මෙම නඩු තීන්දුව දැඩි අධ්‍යයනයකට ලක් කළ යුතුය.

 

 Sri Lankan protests 05 April 2022

 

වැඩබලන ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනත යටතේ 2022 වසරේ ජූලි මස 17 රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් සහ ඊට පසුදින එම පනතට අදාළව 05 වන වගන්තිය යටතේ හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙස රජයට නියෝග කළේය. ඒ පසුගිය ජූලි 23 දිනය. එය ඓතිහාසික නමුත් බෙදුන තීන්දුවක් විය.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස එම තීන්දුව ගැනීමෙන් වසරක් යෑමට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සංවිධානය කළ උත්සවයකදී නීතිඥයකු ලෙස වසර 50 ක් සම්පූර්ණ කළ 26 දෙනෙකුව ඇගයීමකට ලක් කළේය. ඒ කණ්ඩායම අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද විය. එතුමාට හිමි සමරු තිළිණය පිරිනැමුවේ එවකට අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය වීම විශේෂත්වයකි. ජයසූරිය වර්තමාන රජය විසින් එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස පත් කළේය. එය වෙනමම විමසා බැලිය යුතු කාරණාවකි.

 

 ara rw c

 

ශ්‍රේෂ්ඨාධිකරණය බෙදී දුන් එම නියෝගය අනුව පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවීමට ජාතික ජන බලවේගය (ජාජබ) රජයට සිදුවෙනු ඇත. එජාප නායකයා වෙනුවෙන් ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ආණ්ඩුවකට නඩු ගාස්තු ගෙවීමට සිදුවීමද අපූරු සිද්ධියකි.

 

 

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අගවිනිසුරු ධුරය දැරූ මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවන් ප්‍රකාශ කළේය.

 

නමුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර ඉහත තීරණයට එකඟ නොවීය. එම විනිසුරුවරයා අවධාරණය කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවූ බවයි. එතුමා දැක්වූ කිසිසේත්ම බැහැර නොකළ හැකි අදහස පසුවට සාකච්ඡා කරමු.

 

 image ce794a1d11

 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන නීතිඥ අම්බිගා සත්කුණනාදන්, ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිඥ නාමිනි තත්ප්‍රභා පණ්ඩිත සහ රුසිරු තරින්ද එගොඩගේ, මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස තමන්ව හැඳින්වූ නීතිඥ ආතම් ලෙබ්බේ අසාත් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍ය ලක්ෂ්මන් සංජීව් සහ නීතිය සහ සමාජ භාරය යන රාජ්‍ය නොවන සංවිධානයේ වැඩසටහන් ප්‍රධානි ටි.එම්. පී. සඳුන් තුඩුගල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

 

වැඩබලන ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ හදිසි නීතිය ප්‍රකාශය කළේ එදා බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) පාර්ලිමේන්තුව තුළ ඡන්දයකින් ඔහුව නව වන ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට තීරණය කළ පසුබිමේය. එම තීරණය ගනු ලැබූ අවස්ථාවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී වික්‍රමසිංහ අගමැතිවරයාය. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ තීරණය පොහොට්ටු පක්ෂයේ පූර්ණ අනුමැතිය මත ගනු ලැබූ තීරණයකි. පොහොට්ටු පක්ෂයට කිසිසේත්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකිය.

 

මෙහිදී අවධාරණය කළ යුතු ඉතාමත් වැදගත් කරුණක් ඇත. මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක 2022 ජුලි 17 වන දින ක්‍රියාත්මක කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිට වීමෙන් දින කීපයකට පසුව සිදු වූ බවයි. ජනාධිපතිවරයා තම බිරිඳ අයෝමා සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයිනට පිටත් වූයේ ජුලි 13 වැනි දිනය.

 

පෙත්සම්කරුවන්ගේ ස්ථාවරය වූයේ 2022 ජුලි 17 සහ 18 පැවතුනු භූමියේ තත්ත්වය අනුව වැඩබලන ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනත බලාත්මක කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

 

 download

 

රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිට වුවත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වූයේ නැත. ජනාධිපතිවරයා ජුලි 17 වැනිදා මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කළේ එවන් පසුබිමකය. මැතිසබය විසින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීම ජුලි 20 වැනි දින සිදු වූ අතර ඔහු ඊට පසුදින නව වන ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. එදින රාත්‍රියේ ආරක්ෂක හමුදා අරගලකරුවන් පලවා හැරීමට කටයුතු කළේය. අද වනතුරු අරගලය ක්‍රියාත්මක වූ 2022 මාර්තු 31 සිට ජුලි 21 දක්වා කාලය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර නැත.

 

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට ක්‍රියාත්මක කළ මෙහෙයුමේ ඉදිරිපෙළ සැලසුම්කරුවන් අතර එජාප නායකයා ද විය. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට අරගලය පුපුරා ගිය අවස්ථාවේ සිට (2022 මාර්තු 31 රාත්‍රියේ) 2022 මැයි 12 වැනි දින අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලැබූ අවස්ථාව දක්වාම වික්‍රමසිංහ අරගලය පෝෂණය කළේය. එවකට මැති සබය නියෝජනය කළ හරින් ප්‍රනාන්දු සහ හිටපු මන්ත්‍රීවරයකු වූ මහාචාර්ය ආශු මාරසිංහ එජාපය අරගලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇත.

 

images 11

 

අරගලය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) මෙන්ම එම පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායමක් වූ පෙරටුගාමීන් ද ක්‍රියාත්මක විය. පසුගිය ජනාධිපතිවරණයට පෙරටුගාමින් ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ජනාධිපතිවරණය ආසන්නයේ ‘හිරු’ ‘සලකුණ’ වැඩසටහන සමග සජීවී වැඩසටහනකට සහභාගිවෙමින් අරගලය ක්‍රියාත්මක වූ ආකාරය අවධාරණය කළේය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා ගනු ලැබූ ක්‍රියාමාර්ගය පිළිබඳව ඒ අවස්ථාවේදී රටේ තිබූ තත්ත්වය නොසලකා සාකච්ඡා කළ නොහැක. පාර්ලිමේන්තුව තමන්ගේ යටතට ගැනීම සම්බන්ධයෙන් අරගලයේ නායකත්වය විරසක විය. ‘සලකුණ’ සංවාදයේදී චමුදිත සමරවික්‍රම අසන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුව අරගලයේ අණසකට ගැනීමට කළ උත්සාහය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ කණ්ඩායම්/පිරිස් අතර එකඟතාවයක් නොවූ බව බෝපගේ අවධාරණය කළේය.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දෙනු ලැබූ ඍජු නියෝග මත යුද හමුදාව ජවිපෙ නායකත්වයෙන් පාර්ලිමේන්තුව තම ග්‍රහණයට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ නොකළේ නම් ඇතිවන තත්ත්වය සිතා ගත නොහැක.

 

ara rw 2

 

 

වික්‍රමසිංහ විසින් ගනු ලැබූ හමුදාමය ක්‍රියාමාර්ගය බටහිර රටවල දැඩි දෝෂදර්ශනයට ලක්විය. රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුමට සහයෝගය පළ කළ බටහිර බලවතුන් වික්‍රමසිංහට එරෙහි විය. ඇමරිකානු තානාපතිවරිය වූ ජුලි චංග්ට අමතරව එවකට මහා බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස්වරිය වූ සරාහ් හල්ටන් මෙන්ම කැනේඩියානු මහා කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ද දැඩි කනස්සල්ල පළ කළේය. බටහිර බලවේග හැසිරුණු ආකාරය අනුව ඔවුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වහාම සාකච්ඡාවකට එළැඹීම සහ වැඩබලන ජනාධිපතිවරයා/ජනාධිපතිවරයා ලෙස ආරක්ෂාව තහවුරු කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත්ම බලාපොරොත්තු නොවීය.

 

ව්‍යවස්ථාවට පිටින් එවකට කථානායක මහින්ද අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත්කිරීමට සැලසුම් කළ කණ්ඩායමට වික්‍රමසිංහ බලය තහවුරු කර ගැනීම දැඩි ප්‍රශ්නයක් විය. තමන්ට දෙස්-විදෙස් කණ්ඩායම් වැඩබලන ජනාධිපති ලෙස පත්වීම භාර ගැනීමට බලපෑම් කළ බව කථානායකවරයා මැති සබයට ප්‍රකාශ කර ඇත. සම්මානනීය ලේඛක සේන තෝරදෙණිය සහ හිටපු අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ කථානායකවරයාට බලපෑම් කළ තැනැත්තිය ඇමෙරිකානු තානාපතිවරිය බව ප්‍රකාශ කර ඇත. කථානායකවරයා එම ප්‍රකාශ මැති සබය තුළ හෝ එයින් පිටත ප්‍රතික්ෂේප කර නොමැත.

 

අරගලය විසින් රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර වසර තුනක් ගතවී ඇත. රටේ ඉහළම අධිකරණය වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බව තීරණය කරන්නේ අරගලකරුවන් පලවා හැර හරියටම වසර තුනකට පසුවය.

 

Ranil Votes 767764

 

අරගලකරුවන් විසින් පොහොට්ටු පක්ෂයේ අමරකීර්ති අතුකෝරාල (පොලොන්නරුව දිස්ත්‍රික්කය) මන්ත්‍රීවරයා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරී 2022 මැයි 09 වැනි දින නිට්ටඹුව නගරයේදී පහරදී මරාදැමීම ගාලු මුවදොර විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය දුන් නියෝග මත ක්‍රියාත්මක වූ පොහොට්ටු මැරයින් කළ පහරදීම මත කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. පොහොට්ටු පක්ෂයට තම පක්ෂ සාමාජිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැබෑ කැක්කුමක් තිබේනම් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ඒ පිළිබඳව මැති සබයේදී ප්‍රශ්න කළ හැක. ඇත්තවශයෙන්ම එම පොහොට්ටු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාත්මක නඩුවේ තත්ත්වය කුමක්ද?

 

 

ජනතාවට සහ දේශපාලන පක්ෂවලට අමතකවූ ඉතාමත් වැදගත් කරුණක් ඇත. අරගලයේදී ප්‍රහාරයට ලක්වූ මැති ඇමැතිවරු පැවරු නඩුව පසුව ඉවත් කර ගන්නා ලදී. එම නඩු පැවරීම සහ ඉවත් කර ගැනීම වික්‍රමසිංහ-රාජපක්ෂ රජය යටතේ සිදුවිය. පොහොට්ටු පක්ෂයට ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොවීය. ඉහටත් උඩින් විනාශයට පත්වූ දේපළ සඳහා වන්දි ලබා ගනු ලැබූ එම පිරිස අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම පුදුමයට හේතුවක් නොවේ. එලෙසම ජාජබ ආණ්ඩුව ද ඒ පිළිබඳව උනන්දුවක් නොවීම ද පුදුමයට හේතුවක් නොවේ. කෝටි ප්‍රකෝටි ගණනක පෞද්ගලික දේපළ විනාශ කළ පුද්ගලයින්ට/කණ්ඩායම් සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු නොවේද? දේපළ විනාශ වූ පොහොට්ටු සාමාජිකයින් ඉහළ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ආණ්ඩුව ඒ විනාශය කළ පුද්ගලයින්/කණ්ඩායම් සම්බන්ධයෙන් මුනිවත රැකීම පිළිකුලෙන් හෙළා දැකිය යුතුය.

 

 anura kumara dissanayake in may rally

 

 

කෙසේ වෙතත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කිරීම සුවිශේෂී තත්ත්වයකි. ජනාධිපතිවරයා ලෙස රටේ ඉහළම අධිකරණය දුන් යම් තීන්දු සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළ එජාප නායකයාට අමතක නොවන පාඩමකි. කිසිවකු නීතියට උඩින් නැති බවට ජනතාවට මතක් කර දීමකි. විධායක බලය පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන අමාත්‍යවරුන්ට ද හොඳ පාඩමකි.

 

 

කුප්‍රකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය 2024 දී දුන් තීන්දුව සම්බන්ධයෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනුගමනය කළ අතිශය ආන්දෝලානාත්මක සහ අනීතික ක්‍රියාමාර්ගය රටේ මූලික නීතිය හෑල්ලු කළේය. ඊට පෙර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය දුන් නියෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොසලකා හැරියේය. දේශපාලන අභියෝග මධ්‍යයේ අධිකරණය තම ආධිපත්‍යය බොහෝදුරට තහවුරු කර තිබේ.

 

එදා රටේ පැවැති තත්ත්වය අවධාරණය කරමින් මිලියන 6.9 ඡන්ද ලබා 2019 නොවැම්බරයේ ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ 2022 ජුලි 17 සහ 18 දිනවල ගනු ලැබූ තීරණ පිළිබඳව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරිපත් කළ අදහස අතිශය වැදගත්ය. ප්‍රබල බාහිර බලවේගයන් කළ මැදිහත්වීම තුළ 2022 දී සිදු වූ රාජ්‍ය තන්ත්‍රයේ පෙරළිය පිළිබඳව අවංක විමර්ශනයක යෙදෙන කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට එම විනිසුරුවරයා ඉදිරිපත් කළ තීන්දුව අහක දැමිය නොහැක.

 

 ්ර්ර්ර්ර්

 

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම ඛේදවාචකයකි. ඊට එරෙහිව හිටපු පොහොට්ටු ජාතික මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (2020-2024) පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත හඬක් නැඟූ බව අවධාරණය කළ යුතුය. ඔබේසේකර විනිසුරුවරයා අවධාරණය කළ බැරෑරුම් තත්ත්වය විමසා බැලූ විට වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි 2022 වසරේ ජූලි මස 17 රටපුරා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විශාල මැර කල්ලියක් (ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවේ 28 වැනි පරිච්ඡේදයේ එම කණ්ඩායම හඳුන්වා දී ඇත්තේ large mob ලෙසය.) බලහත්කාරයෙන් කොළඹ 7 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය තම පාලනයට ගනු ලැබූ බවයි.

 

 

ඒ වනවිට එජාප නායක වික්‍රමසිංහට අයත් කොල්ලුපිටියේ පෞද්ගලික නිවාසය ගිනි තබා විනාශ කර තිබිණි. ඒ ජුලි 9 රාත්‍රියේය.

 

ඔබේසේකර විනිසුරුවරයා අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිසේත්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවයි. බහුතරයේ තීරණය විශ්ලේෂණය කරමින් ඔබේසේකර විනිසුරුවරයා අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කරන අවස්ථාවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය බරපතල සහ සුවිශේෂී තත්ත්වයක් ඇතිවී තිබූ බවයි. වෙනත් ආකාරයකට අවධාරණය කළහොත් නීතිය රටපුරා තවදුරටත් පිරිහීමේ අවදානමක් තිබූ බවයි. පොහොට්ටු පක්ෂය මෙම නඩු තීන්දුව දැඩි අධ්‍යයනයකට ලක් කළ යුතුය.

 

ra ara 3

 

 

ආණ්ඩු පෙරළිය සමයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ මොහාන් සමරනායක කුලශ්‍රී කාරියවසම් සමග ලංකා වොයිස් (Lanka Voice) කළ සාකච්ඡාවකදී ‘අරගලය’ පිළිබඳව පූර්ණ විමර්ශනයකට සත්‍ය සෙවීමේ කොමිසමක අවශ්‍යතාව අවධාරණය කළේය. ‘ගෝඨාභය ගෙදර යවපු ජුලි 9 තිරය පිටුපස කතාව’ රට තුළ ක්‍රියාත්මක විදේශ බලවේග ඇති කරන තෙරපුම දැඩි අවධානයට ලක්කර ඇත. නමුත් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිල්ලර දේශපාලනයේ යෙදෙන පක්ෂ/ කණ්ඩායම්වලට භූමියේ තත්ත්වය අදාළ නැත. ඒ දේශපාලන පක්ෂ/කණ්ඩායම් අඩු වැඩි වශයෙන් බාහිර බලපෑම්වලට නතුවී ඇති නිසාය. ඔවුන්ගේ න්‍යාය පත්‍රය බටහිර, බටහිර-ඉන්දීය, ඉන්දීය හෝ චීන අවශ්‍යතා මත ක්‍රියාත්මක ද යන ප්‍රශ්නය නිතැතින්ම නැගේ.

 

ඔබේසේකර විනිසුරුවරයා අවධාරණය කළ ඉතාමත් සුවිශේෂී කරුණක් වූයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහජන ආරක්ෂාවට බලපාන සුවිශේෂී හදිසි තත්ත්වයක් භූමියේ පවතින බවට සෑහීමකට පත්වුවහොත් අනෙකුත් විකල්ප පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවන බවයි. එතුමා කළ දීර්ඝ කරුණු දැක්වීම අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩි අන්තරාදායක තත්ත්වයක් මැඬ පැවැත්වීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවට පූර්ණ ලෙස එකඟය. ජනාධිපතිවරයා එලෙස ක්‍රියා නොකරන්නට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයකු පත් කරගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වීමේ අවස්ථාවක් තිබිණි. දීර්ඝ සහ ඉතාමත් තීරණාත්මක කරුණු දැක්වීමකින් පසුව ඔබේසේකර විනිසුරුවරයා සියලුම පෙත්සම් නඩු ගාස්තු රහිතව ඉවත දැමීය.

 

 

@ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(දිවයින ඉරිදා සංග්‍රහය) 

නවතම ලිපි