SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

MBBS රැකියාවේ සුරක්ෂිතභාවය අවසන් වූ යුගය

ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය (MBBS) යනු මෙතෙක් කල් රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවක සහතිකයක් ලෙස සැලකූ වෘත්තීයකි. එහෙත්, ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කළ නිර්දේශ මාලාව, එම සුරක්ෂිතභාවය නිල වශයෙන් අවසන් වී ඇති බවට කරන ලද නිවේදනයක් ලෙස දැකිය හැකිය.

 

"අනාගතයේ බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගත නොහැකි නම් ඒ බව මහජනතාවට දැනුම් දෙන ලෙස" විගණන කාර්යාලය කළ නිර්දේශය, දශක ගණනාවක් තිස්සේ පැවති රාජ්‍ය ප්‍රතිපත්තියක බිඳ වැටීම සනිටුහන් කරයි.

 

මෙම තත්ත්වය හුදෙක් ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් පමණක් නොව, වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ නිසි විද්‍යාත්මක පදනමක් නොමැති ප්‍රතිපත්තීන්ගේ සහ වත්මන් රජයේ දේශපාලන මාරුවක සෘජු ප්‍රතිඵලයකි.

 

 

වෛද්‍ය අධ්‍යාපන ව්‍යාප්තියේ විද්‍යාත්මක පදනම බිඳවැටීම

 

අතීතයේ පැවති ආණ්ඩු විසින් "දොස්තරල හිඟයි" යන සටන් පාඨය යටතේ කිසිදු දීර්ඝකාලීන සැලැස්මක් හෝ පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් නොමැතිව වෛද්‍ය පීඨවලට ඇතුළත් කිරීම් සංඛ්‍යාව වැඩි කළ බවට විචාරයක් ඇත. 2019 වසරේ උසස් පෙළ කණ්ඩායම සඳහා වෛද්‍ය පීඨවලට ඇතුළත් කිරීම් 1000කින් පමණ වැඩි කිරීම මෙහි පැහැදිලි උදාහරණයකි.

 

 

ලක්ෂ ගණන් බදු මුදල් වියදම් කර MBBS උපාධිධාරීන් බිහි කළද, ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් නොමැති නම් එම රාජ්‍ය ආයෝජනය නිෂ්ඵල වේ. විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, "දැනට අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම පවතින ආර්ථික තත්ත්වය මත කළ හැකිද යන්න අධ්‍යයනය කරන ලෙස" යන්නයි. මෙහිදී සැබෑ ගැටලුව වන්නේ රෝහල්වල වෛද්‍යවරුන් හිඟකම නොව, රාජ්‍යයට වැටුප් ගෙවීමට නොහැකි වීමයි.

 

 

මෙම තත්ත්වය, විදේශීය උපාධිධාරීන් සඳහා අත්‍යවශ්‍ය ERPM (Examination to Register to Practice Medicine) විභාගය පැවැත්වීම සහ ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) වැනි ආයතන හරහා ද වෛද්‍ය උපාධිධාරීන් කණ්ඩායම් බිහි කිරීමේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. රජයට රැකියා දීමට නොහැකි නම්, මෙම ආයතනවලින් බිහිවන වෛද්‍යවරුන්ගේ අනාගතය කුමක්ද යන්න පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

 

වත්මන් රජයේ දේශපාලන දෘෂ්ටිවාදී මාරුව සහ පාවාදීම

 

වෛද්‍ය අධ්‍යාපනයේ රැකියා අර්බුදය තවත් උග්‍ර වන්නේ වත්මන් රජයේ දේශපාලන දෘෂ්ටිවාදී මාරුව (360-degree political turn) හේතුවෙනි.

 

  • වාමාංශික පසුබිමකින් යුත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාරීත්ව පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) 71 සහ 88/89 වැනි තරුණ නැගිටීම් ක්‍රියාත්මක කළේ රජය මගින් රැකියා සහ අධ්‍යාපන අවස්ථා අහිමිවීම වැනි ගැටලු පදනම් කරගෙන ය. ඔවුන්ගේ මූලිකම සටන් පාඨයක් වූයේ රැකියා සුරක්ෂිතභාවය සහ සමාජ සාධාරණත්වය යි.

 

  •  බලයට පැමිණීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) දැඩි ලෙස විරුද්ධ වූ මෙම රජය, බලයට පැමිණීමෙන් පසු අංශක තුන්සිය හැටකින් දකුණට කරකැවී, IMF වැඩසටහන් බාර ගෙන, රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කර තිබේ.

 

  • වත්මන් රජය විසින් අනුගමනය කරනු ලබන මෙම මූල්‍ය ප්‍රතිපත්තිවල සෘජු ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කිරීමයි. මෙහිදී වෛද්‍ය අධ්‍යාපනය වැනි දැඩි ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන අංශයක් වුවද රැකියා දීම නවතා දැමීමට රජයට සිදුව ඇත. මෙය තමන්ගේම දේශපාලන සටන් පාඨ සහ පදනම පාවාදීමක් ලෙස දැකිය හැකිය. තරුණයන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටි පිරිසක්ම, ආර්ථික පීඩනය හමුවේ එම සුරක්ෂිතභාවය මුළුමනින්ම ඉවත් කිරීම ඓතිහාසික විප්ලවයන්ට ගරු කරන පිරිස්වලට ඇති කළ කම්පනය ඉතා ඉහළ ය.

 

3. විගණකාධිපතිගේ නිර්දේශ සහ අනාගතය

 

විගණන කාර්යාලය අමු ඇත්ත එළියට දීම පිළිබඳව තුති පුද කළ යුතුය. ඔවුන්ගේ නිර්දේශවල ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ අනාගත අර්බුදය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

 

  1. මහජනතාව දැනුවත් කිරීම: වෛද්‍ය උපාධියෙන් පසු ස්ථිර රාජ්‍ය රැකියාවක් සහතික කළ නොහැකි බවට මහජනතාව දැනුවත් කිරීම.
  2. ආර්ථික ශක්‍යතාව අධ්‍යයනය: අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට පවතින ආර්ථික තත්ත්වය ඉඩ දෙන්නේද යන්න අධ්‍යයනය කිරීම.
  3. විදේශ රැකියා අවස්ථා: ඉදිරියේ බිහිවන වෛද්‍යවරුන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් විවර කරගැනීමට අවධානය යොමු කිරීම.

මෙම නිර්දේශ මගින් පැහැදිලි වන්නේ, රජයට වෛද්‍ය උපාධිධාරීන්ගේ බර දැරීමට නොහැකි බැවින් ඔවුන්ව විදේශ රැකියා වෙළෙඳපොළට යොමු කිරීමට රජය සැලසුම් කරන බවයි. මෙය තවත් ආකාරයකින් රැකියා අපනයන ප්‍රතිපත්තියක් බවට පත්වන අතර, රාජ්‍ය ආයෝජනය යොදවා බිහි කරන දේශීය වෛද්‍යවරුන්ගේ සේවය රටට අහිමි වීමේ අවදානම ඉහළ යයි.

 

සිසුන්ට පණිවුඩයක්!

"මෙඩිසින් ගියොත් නම් කෙලින්ම දොස්තරනෙ" යන පැරණි මනෝභාවයෙන් මිදීමට දැන් කාලය එළැඹ ඇත. වත්මන් සහ අනාගත වෛද්‍ය සිසුන්ට (විශේෂයෙන් Final MBBS ලියන අයට) තම රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව යථාර්ථවාදීව සිතා බැලීමට සිදුව ඇත. වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළු වන සිසුන් දැන් සිටම වෛද්‍ය විද්‍යාවට අමතරව වෙනත් කුසලතා වර්ධනය කර ගැනීමට හෝ විදේශීය රැකියා වෙළෙඳපොළට අවශ්‍ය දැනුම හා සුදුසුකම් සපුරා ගැනීමට සූදානම් විය යුතුය. වත්මන් රජය සිය දේශපාලන දෘෂ්ටිවාදය පාවා දී ආර්ථික සත්‍යය පිළිගෙන ඇති බැවින්, තරුණ පරම්පරාවට තමන්ගේ අනාගතය තමන් විසින්ම සැලසුම් කර ගැනීම හැර වෙන විකල්පයක් ඉතිරිව නැත.

 

 

සමාජයේ ඉහළම අධ්‍යාපනය ලැබූ වෘත්තිකයන් සතුව රට වෙනස් කිරීමට අවශ්‍ය බුද්ධිය සහ බලපෑම් කළ හැකි සම්පත් ඇත. එහෙත්, පරිභෝජනවාදී සමාජය ඔවුන්ට දෙනු ලබන 'ත්‍යාගයන්' භාර ගැනීමෙන්, ඔවුන් පද්ධතියේ ආරක්ෂකයින් බවට පත්ව සිටිති.

 

 

වර්තමාන තත්ත්වය, අසමානතාව තීව්‍ර ලෙස වර්ධනය වන බවට පැහැදිලි සාක්ෂි දරයි. සැබෑ විචාරාත්මක නායකත්වයක් බිහි වන්නේ, මෙම වරප්‍රසාදිත පන්තිය, තමන්ගේ පන්තියේ සීමාවන් සහ සුවපහසුව අත්හැර, පද්ධතියේ සැබෑ පීඩනයට ලක් වූවන් සමඟ එක්ව ක්‍රියා කරන විට පමණි. එතෙක්, ඔවුන් පරිභෝජනවාදී දෘෂ්ටිවාදයේ 'වහලුන්' ලෙස කටයුතු කරනු ඇත.

 

 

නවතම ලිපි