කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල
ඉවත් කරන බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් පිළිබඳ ගන්නා පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඊයේ (19) අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.
මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කළේ එය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින්ය.
ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිතවල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙළ රජය අද ආරම්භ කෙරුණේ නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමින්ය.
අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය , මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් 23ක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදුකෙරේ.
පරාක‍්‍රම සමුද්‍රය තාවුල්ලේ ඩඩ්ලිගේ ‘සුදු අරලිය’ හෝටලය ඉවත් කරයි ද?
කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට අභියෝග කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා පෙන්වා දුන්නේ, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ “සුදු අරලිය” හෝටලය ඉදිකර ඇති බවත්, එය හැකි නම් ඉවත් කරන ලෙසත්ය.
වැසි නොලැබෙන විටත් වාන් දොරටු හරින ඩඩ්ලි ගේ අනුහස..
එම හෝටලයේ එළිමහන් පිරිස් රැස් වන ස්ථානයට වතුර පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කරන බවටද ඔහු කියා සිටියි.
හරි හමන් වැසි නොලැබුණු තත්ත්වයන් යටතේ මෙම සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගොවීන් පවා පුදුමයට පත්වන බවත් ඔහු කියා පෙන්වා දෙයි.
ජවිපෙ හිටපු සාමාජිකයා ඇමති ලාල්කාන්ත වෙත අභියෝග කරන්නේ මේවා කයිවාරු නොගසා ක්‍රියාවෙන් සිදුකර පෙන්වන ලෙසයි.
කෙසේ වුවද කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (ජූලි 18) පැවසූවේ වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය කරමින් ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවය.
අනුරාධපුර නුවර වැව රක්ෂිතයෙන් මෙම ක්‍රියාන්විතය ආරම්භ කෙරෙන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසන අතර එම රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර විධිමත් වාර්තාවක් සැකසිය යුතු බවටත් තීරණය කර තිබේ.
ඒ අනුව නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිවස හා අබිමන්සල යන ඉදිකිරීම් ඉවත් කිරීමට ද එම කමිටුවේ තීරණය කෙරුණු බව කමිටු වාර්තාවන්හි සඳහන් වන අතර සුදු අරලිය හෝ වැව් තාවුල්ලෙහි ඉදිකර ඇති වෙනත් හෝටල් සංකීර්ණ ඉවත් කිරීමක් ගැන මෙතෙක් එම වාර්තාවන්හි සඳහන්ව නැත.