SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

 

 

5. රාජ්‍ය සේවකයා හා පුනර්ජීවනය

 

 government servant

 

  1. බඳවා ගැනීම
  2. ආකල්පමය වෙනස
  3. සිංහල - දෙමළ භාෂා ප්‍රවීණතාව
  4. වැඩ කරන්නන් විසින් වැඩ කිරීමේ අයිතිය දිනා ගැනීම
  5. ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණුව
  6. උසස්විම් සහ කඩඉම් පරීක්ෂණ
  7. ස්ථාන මාරුවීම්
  8. විශිෂ්ට සේවය ඇගයීම
  9. සුපිරි රාජ්‍ය කළමනාකරණ සේවාවක්

 

රාජ්‍ය සේවය පුනර්ජීවනයක් ලැබිය යුතු බවට බොහෝ විට  කියනු අසන්නට ලැබේ.  පැති ගණනාවකින් බලන විට එය එසේ විය යුතු බව පැහැදිලිය.  අවිවාදිතය.  රාජ්‍ය සේවාවේ ජීවනාළිය රාජ්‍ය සේවකයාය.  රාජ්‍ය සේවකයා බඳවා ගැනීම පුහුණු කිරීම, සේවාව තුළ ප්‍රගමනය හා විශිෂ්ට සේවාව අගය කිරීම ඇතුළුව අත්‍යවශ්‍ය වැනි කරුණු කීපයක් මෙහිදී සාකච්ඡා කරමු.

 

 

1. බඳවා ගැනීම    

රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමත්, ඉලක්ක සපුරා ගැනීමත්, පුරවැසි ප්‍රඥප්තියට අනුගත වීමත්  කෙරෙහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය හා පුහුණුව සෘජුවම බලපායි.  බඳවා ගැනීමේ මුලික පියවර තරඟ විභාගයකින් ද, නිපුනතාව, කැමැත්ත හා අභිප්‍රාය මැන බලන සම්මුඛ පරීක්‍ෂණයකින් ද, සමන්විත විය යුතුය.  එවැන්නකින් විනිවිද භාවය තහවුරු වේ. විශේෂිත සේවාවන්ට බඳවා ගැනීම සඳහා විෂයානුබද්ධ දැනුම හා හැකියාව පරීක්‍ෂා කළහැකි විභාග ක්‍රමයක් අවශ්‍ය වේ.

 

මුල් පියවරින් තෝරා ගන්නා අයදුම්කරුවන් සියලු දෙනාටම ඇබෑර්තු පවත්නා ආයතනවල කාර්යභාරය, සේවයේ වගකීම, විශේෂයෙන් මහජනයා කෙරෙහි ඇති වගකීම සහ හැකියාවන් ප්‍රවර්ධනය කර ගැනීම පැහැදිලි කරන මූලික පුහුණුවක් ලබාදිය යුතුය. මුලික පුහුණුව සම්පුර්ණ කළ පසු, අධ්‍යාපන සුදුසුකම්, නිපුනතාව හා රුචිකත්වය සැලකිල්ලට ගනිමින් ඇබෑර්තු තිබෙන ආයතනවලට නව ප්‍රවේශකයින් පත් කළ යුතුය.

 

බඳවා ගැනීමේදී කිසිදු බාහිර බලපෑමකට ඉඩ නොතබන බවට සියලු පාර්ශ්වයන්, විශේෂයෙන් දේශපාලන පක්‍ෂ, එකඟත්වයකට පැමිණිය යුතුය. මේ එකඟතාව පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කළයුතු වන්නේ අප රට  අගාධයට ඇද වැටීමට එක් හේතුවක් වන්නේ රාජ්‍ය සේවාවට හා  රාජ්‍ය ව්‍යවසායන්ට සීමාන්තික ලෙස දේශපාලනඥයින් විසින් කරනු ලැබූ අතිරික්ත පත්කිරීම් හා නුසුදුසු පත්කිරීම් නිසා වන බැවිනි. යහපත් හා පාරදෘශ්‍ය පාලනයකට සැබෑ අඩිතාලම වැටෙන්නේ එවැනි ජාතික එකඟත්වයකිනි.

 

බඳවා ගැනීමේ ආරම්භක අවස්ථාව විය යුත්තේ හිස්වී ඇති තනතුරු ප්‍රමාණය දැක්වෙන මානව සම්පත් පුරෝකථනයයි. බඳවා ගැනීමේ අභිප්‍රාය විය යුත්තේ හිස් වූ තනතුරු හෝ අලුතින් ඇති කිරීමට යෝජිත තනතුරු වලට පුද්ගලයන් පත් කරගැනීම මිස පුද්ගලයන්ට (දන්නා හඳුනන අයට, දේශපාලන ආධාරකරුවන්ට) තනතුරු ඇති කිරීම නොවිය යුතුය. 

 

2. ආකල්පමය වෙනස

ආකල්පමය වෙනසක් ඇති කිරීම ඉතා වැදගත්ය.  රාජ්‍ය සේවකයින් මහජනයාගේ සේවකයින් බවත්,  ඔවුන්ට වැටුප් ලැබෙන්නේ මහජනයාගෙන් බවත්, ඔවුන්ට  පුටුවේ වාඩිවී සිටීමට අවස්ථාව ලැබී තිබෙන්නේ කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා තමන් අසළට පැමිණ හිටගන්නා මහජනයා නිසා බවත්, නිතර නිතර සිහිපත් කළ යුතුය. රාජ්‍ය පරිපාලන වෙනස්කම් ඇති කිරීමට තුඩුදෙන දැනුවත් කිරීමේ හා සිත සකස් කිරීමේ කටයුතු සඳහා සංස්කෘතික වැඩ සටහන්ද බොහෝ දුරට උපකාරී වනු ඇත.

 

3. සිංහල - දෙමළ භාෂා ප්‍රවීණතාව

 

සියලුම රාජ්‍ය සේවකයන්ට සිංහල - දෙමළ භාෂාද්වයේම ප්‍රවීණතාව අනිවාර්ය කර,  රාජ්‍ය මහජන සම්බන්ධතා ඉතා ඉහළින් පවත්වාගෙන යාම මගින්,  විවිධත්වය තුළ ඒකීයත්වය පවත්වාගෙන යාමට හැකි වේ.

 

මෙය ජාතික මට්ටමේ අනිවාර්ය අවශ්‍යතාවකි.  අන්තර් ජාතික මට්ටමේ රාජ්‍ය ක්‍රියාකාරීත්වයන් වඩා සාර්ථක කර ගැනීම පිණිස විවිධ විදේශ භාෂාවන්හි ප්‍රවීණත්වය උවමනා කරයි.  විශේෂයෙන් ආසියානු කලාපයේ චීන,ජපන් හා හින්දි භාෂා සඳහන් කළ හැකිය.  මේ භාෂා කුසලතාවන් ලබා ගැනීම පිණිස රාජ්‍ය සේවකයින්ට දිරි දීමනා ගෙවීම සුසුදුය.

 

4. වැඩ කරන්නන් විසින් වැඩ කිරීමේ අයිතිය දිනාගැනීම   

 

කිසියම් වර්ෂයක් තුළ සතුටුදායකව වැඩ කිරීම මගින් ඉදිරි වර්ෂයේ වැඩ කිරීමේ අයිතිය දිනා ගත යුතුය යන හැඟීම රාජ්‍ය නිලධාරීන් තුළ ඇති කළ යුතුය. විශ‍්‍රාම යන තුරු, වසරින් වසර, කරන්නන් වාලේ වැඩ කරගෙන යෑමට ස්වයංක්‍රීය අයිතියක් නැති බව රාජ්‍ය සේවකයින්ට ඒත්තු ගැන්විය යුතුය.  හිතුවක්කාර ලෙස සේවයෙන් පහකර දැමීමකට ද ඉඩ නොලැබෙන සේවා සුරක්ෂිතභාවයක් පවත්වා ගනිමින් ම මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමේ ක‍්‍රම අපි දැන්වත් සොයාගත යුත්තෙමු.

 

සියලුම දෙනාට මැනිය හැකි ලෙස වැඩ පවරා ඒ වැඩ ඉටුකිරීමේ වගකිමට ඔවුන් බැඳ තබාගත යුතුය.  වැඩ කිරීමට ආශා කරන බොහෝ දෙනා කිරීමට තරම් ආකර්ශණීය වූ වැඩක් පවරනු නොලැබ නිකරුණේ කල් ගෙවති.  තවත් සමහරු කරන හොඳ වැඩට හා මුදුන්පත් කර ගැනීම්වලට පැසසුම් හා පිළිගැනීම් නොලැබ කලකිරිමට පත්ව සිටිති.   

 

5. ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණුව 

 

බොහෝ නිලධාරීහු තම ආයතනයේ මෙභෙවර, දැක්ම හා සංවිධාන ශෛලිය නොදනිති.   ඊළඟ මේසයේ සිටින නිලධාරියා කුමක් කරන්නේ දැයි නොදනිති.  දැනගන්නට උත්සාහ නොකරති. සමස්තය නොදැන එකිනෙක කොටස හරියාකාරව තේරුම් ගත නොහැකිය.  පලදායි මෙහෙවරක් කළ නොහැකිය.  එබැවින් රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව හා පලදායිතාව නැංවීම කෙරෙහි ඉතා බරපතළ ලෙස බලපාන කරුණක් නම් ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණුවයි.  

 

  • දැනටමත් ලේඛනාරූඪ කර තිබෙන, එක් එක් ආයතනයට අනුගත කිරීමට අමතර වෙහෙසක් ගැනීම අවශ්‍ය නොකරන, කලින් ම සකස් කරගත් පාඩම් මාලා තිබෙන බැවින් කාර්ය පටිපාටි, මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි උගන්වන සාම්ප‍්‍රදායික කාර්ය මණ්ඩල පුහුණුව ඉතා පහසු ය.

 

  • අවශ්‍ය කරන්නේ තම ආයතනයේ මෙභෙවර, දැක්ම, සංවිධානය හා එකිනෙකා සතු කොටස නිතර නිතර පැහැදිලි කර පහදාදීමේ ආයතන කේන්ද්‍රීය කාර්ය මණ්ඩල පුහුණුවකි.

 

  • ආයතන කේන්ද්‍රීය පුහුණුව සඳහා විශාල ආයාසයක් ගත යුතුය. එය එතරම් පහසු කාර්යයක් ද නොවේ. එභෙත් අවශ්‍ය වන්නේ සැබෑ ප‍්‍රතිපලදායක පුහුණුකිරීම්ය. 

 

  • වැඩසටහන් අයවැය සකස් කර තිබෙන විට කාර්ය මණ්ඩලය පුහුණු කළ යුත්තේ එම වැඩසටහන් අයවැය පදනම් කරගෙන ය. කාර්යසාධනය පෙරටු කර ගෙන ය. මෙහිදී ආයතනය සතු සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

  • සියලුම තරාතිරම්වල රාජ්‍ය සේවකයින්ට මූලික පුහුණුවත්, ඊට පසුව අඛණ්ඩව පවත්වන පුහුණුවත් අනිවාර්ය කළ යුතුය. තරාතිරම අනුව පුහුණුවේ අන්තර්ගතය හා දිශානතිය වෙනස් විය හැකිය. යටත්පිරිසෙයින් වර්ෂයකට එක් පුහුණු වැඩ සටහනක්/සැසියක් පැවැත්විය යුතුය. පුහුණු වැඩ සටහන්වලට සහභාගී වී තිබීම වාර්ෂික වැටුප් වර්ධක උපයා ගැනීම හා සම්බන්ධ කළ යුතුය.

 

  • පොදු පුහුණුව (එනම් ආයතන කේන්ද්‍රීය නොවන පුහුණුව) ලබාදීම සඳහා පවත්වාගෙන යන පුහුණු කිරීමේ ආයතන එම පුහුණු වැඩ සටහන් පැවැත්වීම සඳහා මුදල් ලබා ගතයුත්තේ පුහුණුවට පාත්‍රවන නිලධාරීන් අයත් ආයතනවලින් නොව මධ්‍යම රජයේ ප්‍රතිපාදනවලිනි.

 

  • විවිධ දෙපාර්තමේන්තුවලට හා සේවාවන්ට අයත් නිලධාරීන්ගේ එකතුවක් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ කාර්ය මණ්ඩල පුහුණුව සඳහා ප්‍රාදේශීයව මහ පොළවේ පවතින තත්ත්වය විස්තීර්ණ ලෙස අධ්‍යයනය කළ යුතුය.

 

  • පුහුණු වැඩසටහන්වල ප්‍රතිලාභ සහ පුහුණු නිලධාරීන් සහ ඔවුන්ගේ යෙදවුම් පිළිබඳ පසු විපරමක් තිබිය යුතුය.

 

  • මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව, කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි විශේෂිත කාර්යයන් ඉෂ්ඨ කරන ආයතන සඳහා විශේෂිත පුහුණු වැඩසටහන් පැවැත්විය යුතුය. මෙම පුහුණු වැඩ සටහන් මුදල් ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, මුර්ත අංශය, විදේශ අංශය, මූල්‍ය අංශය, ජාතික ගිණුම් (national accounts), රාජ්‍ය අංශයේ ව්‍යාපාර කළමනාකරණය, අන්තර් ජාතික ගණුදෙනු, හුවමාරු මිල (Transfer pricing) සංඛ්‍යානය (statistics) යනාදී පරාසයක විහිදී යනු ඇත. ලෝක ආර්ථික සංවර්ධනය, ගෝලීය දේශපාලනය හා විවිධ ශිෂ්ඨාචාර ආවරණය වන සුවිශේෂ  පුහුණුවක් විදේශ කටයුතු අමාත්‍යංශයට හා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට ලබාදිය යුතුය.

 

  • විදේශ පුහුණුව සම්බන්ධයෙන් වූ විට එම පුහුණුව සෘජුවම උපයෝගී කරගැනීමේ ඉඩ ප්‍රස්තාව සහිත නිලධාරීන් පමණක් තෝරා ගත යුතුය. ඔවුන් ඉදිරියට වර්ෂ කීයක් රැඳී සිටිනු ඇද්ද යන්නත් සලකා බැලිය යුතු කරුණකි. නමුත් දැනට විදේශ පුහුණුව සම්බන්ධ කටයුතු කෙරීගෙන යන ආකාරය  සතුටුදායකයැයි කිව නොහැක. ආයතනයේ අභිවෘද්ධිය මුල් තැනෙහි තබා කටයුතු කිරීමක්, පුහුණුවන්නන් තෝරා ගැනීමේ සිටම දක්නට නොලැබෙන අවස්ථා බොහෝය.  පුහුණු වැඩ සටහන් වලට විදේශ  ගතවී විශාල රාජ්‍ය මුදලක් පරිහරණය කර ආපසු රටට නොපැණි පුද්ගලයින් ගැන කථා කරනු නිතර අසන්නට ලැබේ.

 

  • නිරන්තරයෙන් අලුත් වන දැනුම ලබා ගැනීමට හා කළමනාකරන පරිචයන්ට අනාවෘත වීමට ඉඩ ලැබෙන පරිදී ඉහළ කළමනාකරුවන් පුහුණු පාඨමාලා වලට සහභාගී කරවමින් යම් කාලයක් සේවයෙන් නිදහස් කිරීම රාජ්‍ය සේවාව සජීවී කිරීමට මහෝපකාරී වේ. අන්තර්-ජාතික සංවිධානවලට නම් කිරීමට හැකි මට්ටමේ පුහුණුවක් ඉහළ නිලධාරීන්ට ලබා දීම, රටෙහි ඉදිරි ගමනට ඉතා ප්‍රයෝජනවත්ය.

 

govrnment servant 2

 

6. උසස්විම්  සහ කඩඉම් පරීක්ෂණ

 

උසස්විම් හෝ වෙනත් ඇගයීම් සඳහා කඩඉම් පරීක්ෂණ තැබිය යුතු අතර එවායේ මූලික අවධානය යොමු කළ යුත්තේ  විනය කාර්ය පටිපාටි හෝ මුදල් රෙගුලාසි වලට නොවේ.  පළමු මට්ටමේදී කාර්යසාධනයට  සම්බන්ධ කටයුතු වලටය. උදාහරණයක් ලෙස ආයතනයේ ක්‍රියාකාරකමක් ගැන  ප්‍රශ්න පත‍්‍රයක් දීමෙනි. නැතහොත් නිබන්ධනයක් හෝ. සමීක්‍ෂණයක් පැවරීමෙනි. උදාහරණයක් ලෙස සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කඩඉම් පරීක්ෂණයකට නාට්‍ය, කෙටිකථා,  නවකථා, පරිවර්තන සාහිත්‍යය, පුරාවස්තු, නිදන් වස්තු මංකොල්ලය, අසභ්‍ය ප‍්‍රකාශන ගැන ප‍්‍රශ්න හෝ නිබන්ධන ලිවීම ඇතුළත් කළ හැකිය. මෙවැනි ව්‍යායාමයන් හැමවිටම සිද්ධි අධ්‍යයනයන්ට, කාර්ය සාධනයට හා කාර්ය සාධන දර්ශකවලට සම්බන්ධ කළ යුතුය.  නොඑසේ නම් එය අධ්‍යයන කටයුත්තකට සීමාවනු ඇත. මීට පෙර සඳහන් කරනු ලැබූ පරිදී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සංවෘත සේවාවන් බවට පත් කිරීම, මෙවැනි ඇගයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පහසු කරයි.

 

දෙවන මට්ටමේදී පවරන ලැබූ කාර්යයකට සීමා නොවී පුළුල් දැක්මක් ඇතිව අලුතින් සිතා වැඩ කිරීමට ඇති හැකියාවය, පෙන්නුම් කර ඇති කුසලතාවය, නිර්මාණාත්මකව වැඩ කිරීමේ දක්‍ෂකමය.

 

සේවාලාභීන් විසින් කරනු ලබන ඇගැයීම්, උදාහරණයක් ලෙස කෘෂි උපදේශනය පිළිබඳව ගොවීන් කරන ඇගයීම, වාර්ෂික වැටුප් වර්ධක හා උසස්වීම් පිරිනැමීමේදී සැලකිල්ලට ගත යුතුය.  පුරවැසි ප්‍රඥප්තියට රාජ්‍ය සේවාව සම්බන්ධ කරන්නේ එපරිද්දෙනි.

 

7. ස්ථාන මාරුවීම්

 

ඇතැම් තනතුරු වටා ගොනුවී ඇති වරප්‍රසාද, පිළිගැනීම් හා පලප්‍රයෝජන නිසා, හැකියාව හා දක්‍ෂතාව තිබුනද වෙනත් අයට ඇතුළු වීමට නොහැකි වන පරිදි වැට කඩොලු බැඳ ගෙන තිබේ. නිලධාරියෙකු එකම විෂයයක දිගු කලක් නිරත වීමෙන් බල කේන්ද්‍ර හා කණ්ඩායම් ගොඩනගා ගැනීම සහ අනෙක් නිලධාරීන්ට පුහුණුවීමට ඇති ඉඩ ප්‍රස්තා ඇහිරීයාම සිදුවන බැවින්, රාජ්‍ය නිලධාරීන් යම් නිශ්චිත වසර ගණනාවකට පසු (වසර 3 ක් යැයි සිතමු) ස්ථාන මාරු කරනු ලැබිය යුතුය. එමෙන්ම, සමාන තනතුරු අතර පවා පවතින වරප්‍රසාද හා පිළිගැනීම් වල අසමතුලිතතාව යම් තරමක් දුරට සමනය කිරීමටත්, විවිධ තත්ත්වයන් යටතේ රාජකාරි කටයුතු කර පන්නරය ලබා ගැනීමටත්, ස්ථාන මාරු ක්‍රමය ඉවහල් වේ. එවිට සෑම නිලධාරියෙකුටම සියලුම විෂයයන් ගැන ප්‍රවීණත්වයක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තා විවර වේ.

8. විශිෂ්ට සේවය ඇගයීම

 

යම් ආයතනයක හෝ සේවාවක කාර්යක්‍ෂමතාව හා ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ කාර්යභාරයේ සැලකියයුතු වගකීමක් පැවරෙන්නේ කාර්ය මණ්ඩලයටයි.  තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් සිටීම අත්‍යාවශ්‍යය.  වේතනය තීරණාත්මක සාධකයකි.  නමුත් තවත් බොහෝ සාධක තිබේ.  මේ අනෙක් සාධක විමසිලිමත්ව හා ප්‍රශස්ථ ලෙස හැසිරවීමේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියක් රාජ්‍ය අංශය තුළ දක්නට ලැබෙන්නේ නැති තරම්ය. අවශ්‍යම එක් අභිප්‍රේරණ පාදක ක්‍රියාවක් වන්නේ විශිෂ්ට සේවය ඇගයීම සඳහා නිසි පිළිගැනීම හා ගෞරවය පිරිනැමිමය. මේ ක්‍ෂේත්‍රයට අදාළ වන තවත් පියවර කීපයක් නම්:

 

  • කිසියම් ව්‍යාපෘතියක් සැලසුම් කළ කාලයට හෝ පිරිවැයට අඩුවෙන් සම්පූර්ණ කරන නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනුවට ප්‍රශංසාත්මක ලිපි නිකුත් කිරීම. එසේම පසුව එන ව්‍යාපෘති සඳහා එම නිලධාරීන් ප්‍රමුඛතා පදනම මත බඳවා ගැනීමට කටයුතු කිරීම.

 

  • විශිෂ්ට සේවය ඇගයීම සඳහා මූල්‍ය ප්‍රතිලාභ පිරිනැමිම.

 

  • දුෂ්කර සේවය සඳහා විශේෂ දීමනා, නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් (උදා. වාහන මිලට ගැනීමේ ණය පහසුකම්) සැලසීම.

 

  • පර්යේෂණ අංශවල නියුක්තවූවන් වෙනුවෙන් විශේෂ ප්‍රතිලාභ/ප්‍රශස්ති ක්‍රමයක් ඇති කිරීම. අළුත් යමක්, ක්‍රමයක්, සම්පතක් හඳුනා ගන්නා වූ හෝ සොයා ගන්නා වූ හෝ නිපදවන්නා වූ හෝ කවරෙකු වුවද ඒ දෙය, ක්‍රමය හෝ සම්පත, බීජ වර්ගයක්, නිෂ්පාදනයක්, සුත්‍රයක්, ශිල්පයක්, යන්ත්‍රයක් හෝ වෙන අන් කවරක් වුවද නොමඳව ප්‍රතිලාභ හා ප්‍රශස්තිවලින් පුදනු ලැබිය යුත්තේය.

 

යම් සේවා කාලයක් සම්පුර්ණ කළ විට ඔවුන්ගේ කැමැත්ත පරිදි සම්පුර්ණයෙන්ම වෙනස් අමාත්‍යංශයකට  මාරුවීමක් අපේක්‍ෂා කරන්නේ නම් විශිෂ්ට සේවාවට කරන සැලකීමක් ලෙස දැනට සේවය කරන අමාත්‍යාංශයේ සේවා කාලය ගණන් ගැනීමේ වරප්‍රසාදය පිරිනැමිය යුතුය.  (සංවෘත සේවා යටතේ සාමාන්‍ය ක්‍රමය වන්නේ වෙනත් අමාත්‍යාංශයකට නව ප්‍රවේශකයෙක් ලෙස ඇතුළු වීමය)

 

9. සුපිරි රාජ්‍ය කළමනාකරණ සේවාවක්

 

අභියෝගයන්ට මුහුණ දෙමින් ආයතන සාර්ථකත්වය කරා මෙහෙයවිය හැකි විශේෂ කාර්යසාධන බලකායක් බඳු ඉහළ මට්ටමේ රාජ්‍ය කළමනාකරණ සේවාවක් පිහිටුවිය යුතුය. අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් පත්කළ යුත්තේ මෙම ඉහළ මට්ටමේ කළමනාකරණ සේවයෙනි.  මෙම සේවාවට බඳවා ගැනීමේදී කිසියම් එක් සේවාවකට විශේෂත්වයක් දැක්විය යුතු නැත.

 

රාජ්‍ය සේවාව තුළ සිටින දක්ෂ හා කැපවූ තරුණ තරුණියන්ට රාජ්‍ය කළමනාකරණයේ ඉහළ තනතුරුවලට පත්වීමට අවස්ථාව ලැබෙන පරිදි දැනට ඇති උසස්වීම් ක්‍රමය වෙනසකට ලක්විය යුතුය.  ඒ සඳහා නියමිත වසර ගණනාවක (වසර 10ක) පළපුරුද්දක් ඇති, දීප ව්‍යාප්ත විධායක ශ්‍රේණි නිලධාරීන්, ඔවුන් කවර සේවයකට අයත් වුවද, විභාගයක් හා සම්මුඛ පරීක්‍ෂණයක්ද, කාර්යසාධන හා ප්‍රගති වාර්තාද ඇසුරෙන් ඇගයීමට ලක් කර, රාජ්‍ය සේවා කළමනාකරණ විශේෂ ශ්‍රේණියකට  ඇතුළත් කරගත යුතුය.  එක් එක් රාජ්‍ය ආයතනයේ දැක්ම හා මෙහෙවර සැලකිල්ලට ගෙන විශේෂ ශ්‍රේණිය තුළ සිටින සුදුසුම පුද්ගලයින්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් ලෙස පත්කිරීම, රාජ්‍ය පරිපාලනයේ ප්‍රතිපත්තිය විය යුතුය.  මේ අනුව හුදු ජ්‍යෙෂ්ඨත්වයට වඩා සුදුසුකම් හා දක්ෂතා ඇති තරුණ තරුණියන්ට රටට සේවය කිරීමට අවස්ථාව උදාවනු ඇත.

 

 

@මතු සම්බන්ධයි.

(මීලඟට, 07. ජනවරම සහ දේශපාලනඥයාගේ කාර්යභාරය)

 

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි