SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වූ වහාම මෙරට

බොහෝ දෙනා අපේක්ෂා කළේ රාජ්‍ය ආයතන සහ දූෂිත යැයි සම්මත ස්ථාන වහාම 'උඩු යටිකුරු' වනු ඇති බවයි. එහෙත්, ජනතාව සිතුවාට වඩා වෙනස් මුහුණුවරක් ගනිමින්, ඇතැම් ආයතන ප්‍රධානීන් සමඟ රජය ඉතා සමීපව කටයුතු කරන බවක් මුලදී දක්නට ලැබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා සහ නව රජය අතර වූ ගනුදෙනුව ද එවැනිම කුතුහලයක් දනවන සිදුවීමක් විය.

 

 

 

මේ හිතවත්කම පිටුපස විවිධ කටකතා ද පැතිර ගියේය. ආරංචි මාර්ග සඳහන් කළේ, පෙර ආණ්ඩු කාලවලදී මෙන්ම වත්මන් ආණ්ඩුවේද ඇතැම් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් මාසිකව 'බිංදු පහේ ගණන්' සහිත සන්තෝෂම් ලබා දෙන රහසිගත ලේඛනයක් ක්‍රිකට් ආයතනය හරහා නඩත්තු වූ බවයි.

 

 

මේ අතරතුර, පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මැද, පාරිසරික සාධක නොසලකා හරිමින් යාපනයේ ඉදිකෙරෙමින් පැවති ක්‍රීඩාංගණයේ ඛේදවාචකය ද කරළියට පැමිණියේය. ගොඩකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ එම ක්‍රීඩාංගණය යළිත් 'වැවක්' බවට පරිවර්තනය විය. මේ වන විට ජලය බැස ගොස් තිබුණද, එහි ඉදිරි ඉදිකිරීම් සඳහා කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් නොමැති බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති එරාන් වික්‍රමරත්න විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

නමුත් සැබෑ කතාව සැඟව ඇත්තේ එතැන නොවේ.

 

 

ග්‍රීක පුරාවෘත්තය සහ අනුරගේ උපක්‍රමය

ශම්මි සහ අනුර අතර ඇතිවූ බව කියන සබඳතාවයට විවිධ පාර්ශ්වවලින් දැඩි දෝෂාරෝපණ එල්ල විය. එහෙත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ රජය, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ඉතා සූක්ෂමව ක්‍රිකට් ආයතනයට පිවිසියේය. මෙය හරියටම ග්‍රීක පුරාවෘත්තයේ එන 'ට්‍රෝජන් අශ්වයාගේ' (Trojan Horse) කතාවට සමානය.

 

ට්‍රෝජන් අශ්වයාගේ කතාව:

ග්‍රීකයන් සහ ට්‍රෝයි වැසියන් (ට්‍රෝජන්වරු) අතර යුද්ධය වසර 10ක් පුරා ඇදී ගියද, ට්‍රෝයි නගරයේ මහා ප්‍රාකාරය බිඳලීමට ග්‍රීක සේනාවන්ට නොහැකි විය. සෘජු ප්‍රහාර අසාර්ථක වූ තැන, ග්‍රීක රණශූර 'ඔඩිසියස්' (Odysseus) අපූරු උපක්‍රමයක් දියත් කළේය.

 

ඔවුන් ඇතුළත හිස් වූ දැවැන්ත ලී අශ්වයෙකු නිර්මාණය කර, ඊට ඇතුළතින් ග්‍රීකයන්ගේ දක්ෂතම සේනාංකයක් රහසිගතව සැඟවූහ. ඉන්පසු සෙසු සේනාවන් කඳවුරුවලට ගිනි තබා, යුද්ධය අත්හැර පසුබැස ගිය බව පෙන්වමින් අසල පිහිටි දූපතකට ගියහ. ග්‍රීක ඔත්තුකරුවෙකු වූ 'සිනොන්' ට්‍රෝජන්වරුන්ට පැවසුවේ මෙම අශ්වයා 'ඇතීනා' දේවතාවියට පිදූ පූජාවක් බවත්, එය නගරයට ගතහොත් ට්‍රෝයි නගරය කිසිදා පරාජය කළ නොහැකි බවත්ය.

 

රැවටීමට හසුවූ ට්‍රෝජන්වරු ප්‍රීතිඝෝෂා නගමින් ලී අශ්වයා නගරය තුළට ඇදගෙන ගොස්, ජයග්‍රහණය සමරමින් මත්පැන් පානය කර තද නින්දට වැටුණහ. මධ්‍යම රාත්‍රියේ අශ්වයා තුළින් පිටතට ආ ඔඩිසියස් ඇතුළු පිරිස නගරයේ දොරටු විවෘත කළ අතර, රහසින් ආපසු පැමිණි ග්‍රීක සේනාව අනපේක්ෂිත ප්‍රහාරයකින් ට්‍රෝයි නගරය සම්පූර්ණයෙන්ම විනාශ කළහ.

 

 

අනුරගේ ආණ්ඩුව ක්‍රිකට් ආයතනය සහ ශම්මි සිල්වාව ආක්‍රමණය කළේ ද සීරීමක් හෝ නොමැතිව හරියටම මේ ආකාරයටමය.

 

 

රැවටුණු ශම්මි සහ නිහඬ වූ මාධ්‍ය බලඇණිය

ආණ්ඩුව ශම්මි සිල්වාගෙන් පුද්ගලිකවම ඉල්ලා සිටියේ තනතුරින් ඉල්ලා අස්වන ලෙසයි. ආරංචි මාර්ගවලට අනුව, ඒ වෙනුවෙන් ඔහුට ලබා දුන් 'ට්‍රෝජන් අශ්වයා' වූයේ, පසුගිය කටයුතු සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ නඩු පැවරීමක් සිදු නොකරන බවට වූ පොරොන්දුවකි.

 

මෙම පොරොන්දුව දැඩිව විශ්වාස කළ ශම්මි, ක්‍රිකට් පුටුව වෙනුවෙන් කිසිදු සටනක් කළේ නැත. සටන් කිරීමට අවශ්‍ය නම් ඔහු සතුව විශාල මාධ්‍ය බලඇණියක් ද සිටියේය. ආයතනිකව මාධ්‍ය ආයතනවලට ලබා දුන් ප්‍රචාරණ දැන්වීම්වලට අමතරව, මාස්පතා මාධ්‍යයේ නිරත තෝරාගත් පුද්ගලයින් 40 දෙනෙකුගේ නම්වලට පුද්ගලිකවම මුදල් ගෙවමින් නඩත්තු කළ ජාලයක් ඔහුට තිබුණි. එහෙත් ඔහු ඒ කිසිවක් භාවිතා කළේ නැත. අද වන විට එම මුදල් ගත් 40 දෙනාගේ නාමලේඛනය ද ඇත්තේ අදාළ විමර්ශන පාර්ශ්වයන් අතේය.

 

 

කෝටි 68ක නීති ගාස්තු: ක්‍රිකට් සල්ලිවලින් විරුද්ධවාදීන් දඩයම් කිරීම

අතුරු කමිටුව ක්‍රිකට් ආයතනය භාරගැනීමත් සමඟ එහි ඇතුළත වූ මූල්‍ය අක්‍රමිකතා රැසක් එළියට පැමිණෙමින් තිබේ. ජනාධිපතිවරයා හිටපු සභාපතිවරයාට වූ පොරොන්දුව කුමක් වුවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පත් කරන ලද පරිවර්තන කමිටුවේ විශේෂ අවධානයට යොමුවී ඇති ප්‍රධානතම කරුණක් වන්නේ නීති ගාස්තු වෙනුවෙන් වැය කළ දැවැන්ත මුදලයි.

 

වසර 3ක වියදම 

2023, 2024 සහ 2025 යන වසර තුන තුළ පමණක් නීතිමය කටයුතු සඳහා රුපියල් මිලියන 680ක් (කෝටි 68ක්) වැය කර ඇත.

 

මුදල් ගියේ කාටද?

මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා ඇත්තේ තෝරාගත් ප්‍රසිද්ධ ජනාධිපති නීතීඥයින් ඇතුළු නීතීඥයින් කිහිප දෙනෙකුට පමණි. රොමේෂ් ද සිල්වා, කුවේර ද සොයිසා, චරක ජයරත්න, එම්.ජේ.එස්. ෆොන්සේකා, රොනල්ඩ් සී. පෙරේරා, ජීවන්ත ලක්මාල්, උපුල් කුමරප්පෙරුම වැන්නන් ඒ අතර පෙරමුණේ පසුවේ. ඊට අමතරව ක්‍රිකට් ආයතනයේ හිටපු නීති උපදේශක අසේල රැකව ද නීති කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ලබාගෙන තිබේ.

 

නඩු දැම්මේ කාටද?

මෙම මුදල් වැඩිපුරම වැය කර ඇත්තේ ක්‍රිකට් ආයතනය ආරක්ෂා කිරීමට වඩා, විරුද්ධවාදීන්ට එරෙහිව නඩු පැවරීමට බව අදාළ වාර්තාවට හසුකරගෙන ඇතැයි පැවසේ. ලේක්හවුස්, ටයිම්ස්, උපාලි වැනි මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට, හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව මෙම නඩු පවරා තිබුණි.

 

    මේ අතර වත්මන් පරිවර්තන කමිටුව මැදිහත්වී මේ වන විටත් මෙවැනි නඩු 18ක් සමථයකට පත් කිරීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

     

     

    අශ්වයාගේ බඩ තුළින් සෙබළුන් පිටතට පැමිණීම

    පිටතින් බලන කල අනුරගේ රජය තවමත් ශම්මිට දුන් "විමර්ශන නොකරන" පොරොන්දුව රකින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් සැබෑ තත්ත්වය එය නොවේ. ක්‍රිකට් ආයතනය නමැති ට්‍රෝයි නගරයට ඇතුළු කළ ට්‍රෝජන් අශ්වයාගේ බඩ තුළ සැඟවී සිටි සෙබළුන් (නව පරිවර්තන කමිටුව සහ විමර්ශකයන්) මේ වන විටත් රාත්‍රියේ රහසින් පිටතට පැමිණ අවසන්ය.

     

    ඔවුන් මේ වන විට ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන සහ මූල්‍ය වාර්තා, සාක්ෂි සටහන් සහ අක්‍රමිකතාවලට අදාළ ලිපිගොනු තම ග්‍රහණයට ගෙන ඇත. පොරොන්දුව රකින බව පෙන්වමින් සිටියද, ඉදිරි දැවැන්ත විමර්ශනයක් සඳහා අවශ්‍ය සියලුම නීතිමය සහ සාක්ෂිමය පදනම් මේ වන විටත් සකස් කර අවසන් බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.

     

     

    ග්‍රීකයන් ට්‍රෝයි නගරය අල්ලා ගත්තා සේම, කිසිදු ඝෝෂාවකින් තොරව, ඉතා සූක්ෂම ලෙස ක්‍රිකට් ආයතනයේ දූෂිත පාලනය කොටුකර ගැනීමේ මෙහෙයුම දැන් එහි අවසන් අදියරට පැමිණ තිබේ. රැවටීමට ලක්වූවන්ට යථාර්ථය වැටහෙන විට, සියල්ල සිදුවී හමාර වනු ඇත.

     

     

    #නිරෝමි සුබ්‍රමනියම්

    නවතම ලිපි