ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තරයේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ
ටිබෙට් ආධ්‍යාත්මික නායක අතිපූජ්‍ය දලයි ලාමා තුමන්ගේ 91 වැනි ජන්ම දිනය ජූලි 6 වැනිදාට යෙදී තිබුණි. සිය 91 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඉන්දියාවේ ලඩාක් හි 'ෂෙවාට්සෙල්' (Shewatsel) භූමියේ පැවැති සැමරුම් උත්සවයකදී එතුමන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. "භෞතික සංවර්ධනයත් සමඟ අප දයාව සහ කරුණාවද සුරක්ෂිත කළ යුතු බව මා විශ්වාස කරනවා. ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරමු," යනුවෙන් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.

තවද, අනුන්ට උපකාර කිරීමේ පරාර්ථකාමීත්වය සිය ජීවිතයේ මූලික අරමුණ වූ බවත්, තම සිහින වලට අනුව තමන් වහන්සේ වසර 130 ක් දක්වා ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ.
මෙම ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ බුද්ධගයාව මහාබෝධි විහාරයේදී දහස් ගණනක් භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් විශේෂ ආගමික වතාවත් සහ සාම්ප්‍රදායික පෙරහැරක් සංවිධානය කර තිබුණි. එහිදී දලයි ලාමා හිමියන්ට සහ ලෝකවාසීන්ට සෙත් පතා සූත්‍ර සජ්ඣායනා කිරීම සහ බටර් පහන් 108ක් දැල්වීම සිදු කෙරිණි. මීට අමතරව ලඩාක් හි පැවැති ප්‍රධාන සැමරුමට 25,000කට අධික පිරිසක් සහභාගී වූ අතර, නේපාලය, ජපානය ආදී රටවලද ඊට සමගාමීව ආගමික වැඩසටහන් සහ සැමරුම් රැසක් සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දලයි ලාමා හිමියන්ගේ මෙම 91 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණි. එම පණිවුඩයේ මෙසේ සඳහන් වේ.
"අතිපූජ්‍ය දලයි ලාමා තුමන්ට මාගේ උණුසුම් උපන්දින සුබපැතුම් පිරිනමමි. එතුමන්ගේ සාමයේ සහ සහජීවනයේ පණිවිඩය ලොව පුරා ජනතාවට මාර්ගෝපදේශක ශක්තියක් වී ඇත. එතුමන්ගේ සදාචාරාත්මක සහ අධ්‍යාත්මික ශක්තිය මෙන්ම ලෝක යහපත උදෙසා වන කැපවීම අතිශය ප්‍රශංසනීයයි. එතුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි."

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස බෞද්ධ නායකත්වයට ගරු කරමින් බුදුදහම වෙනුවෙන් පෙනී සිටීම, ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ලෝක සාමය සඳහා යොදා ගැනීම හා ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ උරුමය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමේ මෙවලමක් (Buddhist Diplomacy) ලෙස භාවිත කිරීම මත පදනම් වේ.
මෝදි රජය නිරන්තරයෙන්ම "යුද්ධය නොව බුදුන්" යන සංකල්පය ප්‍රවර්ධනය කරමින්, ලෝක සාමය සඳහා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය යොදාගැනීමේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වේදිකාවලදී අවධාරණය කරයි.
ජාත්‍යන්තර බෞද්ධ සමුළු පැවැත්වීම, ශුද්ධ වූ ධාතූන් වහන්සේලා විදේශයන්හි ප්‍රදර්ශනය කිරීම, බෞද්ධ සංචාරක කලාප (Buddhist Circuit) සංවර්ධනය කිරීම සහ විදෙස් සංචාරවලදී බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීම ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග වී ඇත. මෙමගින් ඉන්දියාව බුදුදහමේ අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය ලෙස ලෝකයට හඳුන්වා දෙමින්, ආසියානු කලාපය තුළ සිය මෘදු බලය (Soft Power) ඉහළ නංවා ගැනීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී තිබේ.

