ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 'ලංකා රාජ්‍ය ජාලය' (LGN 2.0) ව්‍යාපෘතියේ
සිදුව ඇතැයි කියන අතිවිශාල මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන්, "ඩිජිටල් යටිතල පහසුකම් මුවාවෙන් කළ බිලියන 4ක මහා කොල්ලය !!!" යන මැයෙන් අප විසින් මීට පෙර පල කළ ලිපියක් මඟින් මූලික අනාවරණයක් සිදු කරන ලදී. අපගේ එම සවිස්තරාත්මක හෙළිදරව්වෙන් අනතුරුව, මේ වන විට අදාළ චෝදනා සම්බන්ධයෙන් වූ පැමිණිලි සහ සාක්ෂි ජනාධිපතිවරයා වෙත සහ අපරාධ විමර්ශන නිලධාරීන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ. මේ සමඟම අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවතත් දැඩි නිරීක්ෂණයකට ලක්ව තිබේ.
2016 සහ 2018 අතර කාලසීමාව තුළ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ ජාතික සන්නිවේදන වේදිකාවක් හරහා සම්බන්ධ කිරීමේ අරමුණින් ආරම්භ කෙරිණි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය එක්ව ක්‍රියාත්මක කළ මෙහි මුල් වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න වී ඇත.
මෙම ව්‍යාපෘතියේ පද්ධති ඒකාබද්ධ කිරීමේ හවුල්කරු (System Integration partner) තෝරාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත. අදාළ පැමිණිලිවලින් දැක්වෙන්නේ, මහා පරිමාණ පද්ධති ඒකාබද්ධ කිරීමේ ප්‍රමාණවත් තාක්ෂණික පළපුරුද්දක් නොමැති සැපයුම්කරුවෙකු වෙත, එවකට සිටි ඉහළ පෙළේ දේශපාලන මැදිහත්වීමක් මත අදාළ ටෙන්ඩරය ලබා දී ඇති බවයි.





එසේම, මෙම ව්‍යාපෘතියට අදාළ තාක්ෂණික යෝජනා කැඳවීමේ ලේඛනය (RFP) සකස් කිරීමේදී, නිශ්චිත විදෙස් නිෂ්පාදනයකට සහ එහි දේශීය නියෝජිතයාට පමණක් වාසි අත්වන පරිදි එය සකසා ඇති බවට ද චෝදනා නැඟේ. ඊට අමතරව, අදාළ ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් එහි ප්‍රධාන ජාල පද්ධති මෙහෙයුම් කටයුතු, මුල් ලංසු තැබීමේ ක්‍රියාවලියට ස්වාධීනව සහභාගී වූ වෙනත් තරඟකාරී ආයතනයකට අනුකොන්ත්‍රාත්තු දී ඇති බව පැමිණිලිවල වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ව්‍යාපෘතියේ සිදුව ඇතැයි කියන තවත් ප්‍රධාන මූල්‍ය අක්‍රමිකතාවක් ලෙස වාර්තා වන්නේ, මුලින් අත්සන් කරන ලද ගිවිසුම කිහිප වතාවක්ම සංශෝධනය කිරීමයි. සේවා පමාවීම් වෙනුවෙන් රජයට අයවිය යුතුව තිබූ විශාල දඩ මුදල් නිදහස් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සිදුකර ඇති බවටත්, එමඟින් රාජ්‍ය අරමුදල්වලට විශාල පාඩුවක් සිදුව ඇති බවටත් බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් වී ඇත.
මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර විමර්ශන ආරම්භ කර තිබුණද, පසුව එම පරීක්ෂණ කටයුතු යම් මන්දගාමී ස්වභාවයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන් අදාළ වංචාවන්ට සම්බන්ධ වූවන් යැයි සැක කෙරෙන පුද්ගලයින් නීතියෙන් ගිලිහී යාමේ අවදානමක් (දැනටත් මූලික වූ එක් නිළධාරියෙකු විදේශගතවීමක් සිදුව ඇති තත්වයක) පවතින බව පෙන්වා දෙන පැමිණිලිකරුවන්, මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
සබැඳි පුවත්

https://slleader.lk/news/14075-4-9


