SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදජනක සිදුවීම හුදෙක් එක් දිනක ඇති වූ කැරැල්ලක් නොවේ; එය දශක ගණනාවක් තිස්සේ ගොඩගැසුණු පරිපාලනමය අසාර්ථකත්වයක සහ පාලකයින්ගේ නොහැකියාවේ සෘජු ප්‍රතිඵලයකි. සිපිරි ගෙයි ආරක්ෂක නිලධාරීන් සතු T-56 වර්ගයේ ගිනි අවි දෙකක් රැඳවියන් අතට පත්වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස නිලධාරීන් මෙන්ම රැඳවියන් 26 දෙනෙකුට ජීවිත අහිමි වීම හරහා, සමස්ත බන්ධනාගාර යාන්ත්‍රණය තුළ පවතින බරපතළ ආරක්ෂක බිඳවැටීම ලෝකයටම පසක් කර දී තිබේ.

 

 

 රැඳවියන් ආයුධ ලබා ගත්තේ කෙසේද?

 

වාර්තා වන ආකාරයට මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ බන්ධනාගාරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන කල්ලි දෙකක් අතර ය. සඳුදා උදෑසන ආහාර බෙදා දීමේදී ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමට මැදිහත් වූ බන්ධනාගාර විශේෂ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් ඉලක්ක කරගෙන රැඳවියන් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත. මෙම අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ, නිලධාරීන්ව මෙල්ල කළ රැඳවියන් ඔවුන් සතු වූ T-56 ගිනි අවි පැහැරගෙන තිබේ. නිසි පාලනයකින් තොරව පැවති ජනාකීර්ණ පරිශ්‍රයක් තුළ ආරක්ෂක නිලධාරීන් මෙලෙස අසරණ වීමම, එහි ඇති ප්‍රබලතම සංවිධානාත්මක සහ ආරක්ෂක දුර්වලතාව මැනවින් විදහා දක්වයි.

 

 

 

54 වගන්තිය - බන්ධනාගාර පනතද? මත්ද්‍රව්‍ය පනතද?

මෙම ඛේදවාචකයට මෙන්ම සිපිරිගෙවල් පුපුරා යන තරමේ තදබදයක් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට ක්‍රියාත්මක නීතියේ පවතින දැඩි ස්වභාවයයි. නීතිමය කරුණු යළි නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, බොහෝ දෙනා පවසන කුප්‍රකට 54 වගන්තිය අයත් වන්නේ බන්ධනාගාර ආඥාපනතට නොව, "වස විෂ, අබිං සහ භයානක ඖෂධ ආඥාපනතට" (Poisons, Opium and Dangerous Drugs Ordinance) බවයි.

 

රනිල් වික්‍රමසිංහ සහ විජේදාස රාජපක්ෂ පාලන සමයේදී ගෙන ආ 2022 අංක 41 දරන සංශෝධන පනත මගින් මෙම ආඥාපනතේ 54(ඒ) වගන්තිය තවදුරටත් දැඩි කරන ලදී. ඊට සමගාමීව ක්‍රියාත්මක වන 83 වගන්තිය හරහා නෛතික ප්‍රතිපාදන සකස් කළේ, යම් නිශ්චිත මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගන්නා සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදීමේ බලය මුළුමනින්ම අහෝසි කරමිනි.

 

ඒ අනුව ඇප ලබාගත හැක්කේ මහාධිකරණයකින් "සුවිශේෂී කරුණු" (exceptional circumstances) යටතේ පමණි. මෙලෙස ඇප ලබා ගැනීමට නොහැකි වන සේ නීතිරීති දැඩි කිරීමේ සෘජු ප්‍රතිඵලය වී ඇත්තේ, සුළු වැරදිවලට හසුවූ දහස් ගණනක් අද වන විට බන්ධනාගාර තුළ ගාල් කර සිටීමයි. 900ක ධාරිතාවක් සඳහා ඉදිකළ මීගමුව බන්ධනාගාරයේ 2,400කට අධික පිරිසක් රඳවා සිටීමටත්, සමස්තයක් ලෙස රටේ හිරගෙවල්වල පවතින පහසුකම්වලට වඩා සිව් පස් ගුණයක පිරිසක් ලැගුම් ගැනීමටත් මෙම නීතිමය තත්ත්වය සෘජුවම බලපා තිබේ.

 

 

 

අධිකරණ ඇමතිවරයාගේ කයිවාරු සහ වගකීම

මෙවැනි පසුබිමක වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගෙන් තියුණු ලෙස ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. සුළු වැරදිකරුවන් පවා හිරගෙවල්වල ගාල් කරමින් සමස්ත බන්ධනාගාර යාන්ත්‍රණයම මිනීමරු බිමක් බවට පත් කර ඇති මෙම 54 වගන්තිය මේ දක්වාත් සංශෝධනය නොකළේ ඇයි? බන්ධනාගාර තුළ පවතින අසීමිත තදබදය සම්බන්ධයෙන් මීට පෙර කිසිදු අවධානයක් යොමු නොවුණේ ඇයි?

 

පුද්ගලයින් 26 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය වූවාට පසු මාධ්‍ය ඉදිරියට විත් තමා විෂයභාර අමාත්‍යවරයා ලෙස "වගකීම භාරගන්නා" බව ප්‍රකාශ කිරීමෙන් ඇති පලක් නැත. මේවා හුදෙක් පසුකාලීන නඩු කටයුතුවලදී ආණ්ඩුවට එරෙහිව භාවිත වීමට පමණක් හේතුවන අනුවණ කටමැත දෙඩවීම් පමණි. ඇමතිකම ඇත්තේ කයිවාරු ගැසීමටම පමණක්ද? ආවේ වැඩ කරන්නට නම්, කෝ කරපු අලුත් වැඩ?

 

 

අධිකරණයේ කල්මැරීම සහ කඩිනම් විසඳුම්

බන්ධනාගාරවල සිටින පිරිසෙන් 75%ක්ම තවමත් නඩු විභාග වෙමින් පවතින රක්ෂිත බන්ධනාගාරගත වූවන් ය. නීති ක්ෂේත්‍රය තුළ පවතින කල්මැරීම සහ නඩු වසර ගණනාවක් තිස්සේ ඇදී යාම මෙම අර්බුදයේ අනෙක් පැතිකඩයි. මෙය තනි ආයතනයකට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවේ. මේ සඳහා අධිකරණය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තුව වහාම එක්ව ක්ෂණික විසඳුම් සකස් කරගත යුතුව ඇත. නව තාක්ෂණය භාවිතයෙන් රජයේ රස පරීක්ෂක සහ නීතිපති දෙපාර්තමේන්තුවල කටයුතු කඩිනම් කිරීම මෙන්ම විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම හරහා පමණක් මෙම නෛතික සහ පරිපාලනමය හිරවීම ලිහිල් කළ හැකිය.

 

 

අවසාන වශයෙන් කිව යුත්තේ, ලංකාවේ බන්ධනාගාර යනු මේ වන විට පුපුරා යාමට ආසන්න කාල බෝම්බ බවයි. මේවා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වන්නේ ඇමතිවරුන්ගේ දේශපාලන කයිවාරු සහ නාමිකව වගකීම් භාරගැනීම් නොව, ප්‍රායෝගික නීති සංශෝධන සහ කඩිනම් වැඩපිළිවෙළකි. තවත් ජීවිත බිලිගැනීමට පෙර බලධාරීන් අවදි නොවුණහොත්, මෙවැනි ඛේදවාචකයන්හි අවසානයක් කිසිදා දැකිය නොහැකි වනු ඇත.

 

 

# සමාරා පරණවිතාන

 

නවතම ලිපි