SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සබඳතා සහ පාලි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා

අමෙරිකානු ඩොලර් මිලියන 13කට අධික (රුපියල් කෝටි 500ක පමණ) දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟ වී තිබේ. කෙසේ වෙතත්, මෙම සද්කාර්යය පිටුපස ක්‍රියාත්මක වන බවට සැකකෙරෙන අදිසි න්‍යාය පත්‍රයක් සහ මූල්‍ය පරිපාලන හැරවුමක් පිළිබඳව මේ වනවිට බරපතල ප්‍රශ්න මතු වෙමින් තිබේ.

 

 

 

පාලි භාෂාවේ උරුමය සහ ඉන්දීය මැදිහත්වීම

බුදුරජාණන් වහන්සේ සිය ධර්මය දේශනා කරනු ලැබුවේ එකල සාමාන්‍ය ජනයා අතර පැවති මාගධී හෙවත් පාලි ප්‍රාදේශීය ව්‍යවහාරයෙනි. එබැවින් පාලි යනු හුදු භාෂාවක් පමණක් නොව, බෞද්ධ දර්ශනය ලොවට ගෙන යන යුනිවර්සල් ධර්ම භාෂාවකි. ශ්‍රී ලංකාව තුළ මෙම භාෂාව සහ ධර්මය සියවස් ගණනාවක් පුරා සුරක්ෂිත කළේ අභිමානවත් ඉතිහාසයක් ඇති විද්‍යෝදය, විද්‍යාලංකාර සහ අස්ගිරිය වැනි සම්භාව්‍ය පිරිවෙන් සහ ඊට කැපවූ පාලි හා සංස්කෘතික ආයතන විසිනි.

 

ශ්‍රී ලංකා රජයකින් හෝ මෙවන් දැවැන්ත මුදලක් භාෂා ප්‍රවර්ධනය වෙනුවෙන් එම ආයතනවලට කිසිදා ලැබී නැත. ඉන්දියාවේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෞද්ධ දර්ශනයට බෙහෙවින් ආශක්ත වූ, ඒ සමග සමීපව කටයුතු කරන නායකයෙකි. බෞද්ධ දර්ශනය තුළ කිසිදා යුද්ධයක් පැන නොනැගුණු අතර, අගමැති මෝදි ඇතුළු ඉන්දියාව ශ්‍රී ලංකාව හරහා බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙනයාමට කැමැත්තක් දක්වන්නේද එබැවිනි.

 

 

වැඩසටහනේ පසුබිම සහ පාත්ෆයින්ඩර් හි ආගමනය

මීට වසර කිහිපයකට පෙර, ඉන්දියාවේදී ශ්‍රී ලංකාවේ පිරිවෙන් නායක හිමිවරුන් සහ පාලි/සංස්කෘත ආයතන එක්කරගනිමින් සංස්කෘතික වැඩසටහනක් පැවැත්විණි. එහිදී ලංකාවේ පාලි අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එකඟතාවක් ඇති වූ අතර, ඉන්පසු වසරක් පාසා ඉන්දීය රජයේ ආරාධනයෙන් විවිධ බෞද්ධ වැඩසටහන් ඉන්දියාවේදී ක්‍රියාත්මක විය. එකල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ ද මෙම වැඩසටහන්වලට ආරාධිතයෙක් ලෙස සම්බන්ධ වී තිබුණි.

 

සාමාන්‍ය බුද්ධියට අනුව නම්, ඉන්දියාව ලබාදෙන මෙම ප්‍රදානයන්ගෙන් පාලි ප්‍රවර්ධන කාර්යයන් සිදුකිරීමට ඉහළින්ම සුදුසුකම් ලබන්නේ මෙතෙක් එම කාර්යයෙහි නියැලුණු සම්ප්‍රදායික පිරිවෙන් සහ ආයතනයන්ය. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

 

 

ටාජ් සමුද්‍රා හි සැලසුම: 'උපායමාර්ගික මාර්ග සිතියම'

2026 ජූලි මස 24 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී දවස පුරා ක්‍රියාත්මක වන විශේෂ විද්වත් කතිකාවතක් සංවිධානය කර තිබේ. ඊට අදාළ ආරාධනා පත්‍රයට අනුව, මෙම වැඩසටහන නම් කර ඇත්තේ "ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම: පුනර්ජීවනය සහ ගෝලීය සම්බන්ධතාව සඳහා උපායමාර්ගික මාර්ග සිතියම" (Strengthening Pali Language Studies in Sri Lanka: A Strategic Roadmap for Revival and Global Engagement) යනුවෙනි.

 

මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලය (ICCR) සහ පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) විසිනි.

 

පාත්ෆයින්ඩර් පදනම යනු මිලින්ද මොරගොඩ විසින් ආරම්භ කරන ලද, ප්‍රධාන වශයෙන් ආර්ථික, උපායමාර්ගික සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනය කරන සහ උපදෙස් සපයන පර්යේෂණ ආයතනයකි. එයට බෞද්ධ ධර්මය හෝ පාලි භාෂාව ඉගැන්වීම පිළිබඳ කිසිදු ඓතිහාසික පසුබිමක් නොමැත.

 

මෙම කතිකාවත සඳහා නායක හිමිවරුන්ට සහ පාලි ආයතනවලට ආරාධනා කර ඇත. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මෙහි අරමුණ වන්නේ සහභාගී වන හිමිවරුන්ගේ සහ ආයතනවල නම් භාවිතා කරමින් "මාර්ග සිතියම් වාර්තාවක්" සකස් කර, එය ICCR ආයතනයට සහ ඉන්දීය මහකොමසාරිස්වරයාට භාර දීමයි. ඒ හරහා පාලි ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන තමන් වෙත නතුකර ගැනීමේ උත්සාහයක් පාත්ෆයින්ඩර් ආයතනය සතු බවට සැකයක් මතු වේ. මෙහිදී මිලින්ද මොරගොඩ ගේ අතිශය සමීපතමයෙකු වන කෝට්ටේ පාර්ශ්වයේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගේ භූමිකාවද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

 

 

පෙර සූදානමක්ද? සැකසහිත මිතුදම්ද?

මීට පෙර වස්කඩුවේ සුභූති හිමියන් විසින් රචිත ඉපැරණි පාලි කෘතියක් වූ "නාම මාලා" ග්‍රන්ථය මෙන්ම "බාලාවතාරය" වැනි පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මූල්‍යාධාර යටතේ පාත්ෆයින්ඩර් ආයතනය හරහා මීට මාස කිහිපයකට පෙර නැවත මුද්‍රණය කෙරිණි. දශක ගණනාවක් තිස්සේ නොතිබුණු හදිසි පාලි ප්‍රේමයක් මෑතකදී පාත්ෆයින්ඩර් ආයතනයට පහළ වූයේ, ඉන්දියාවෙන් ලැබෙන මෙම දැවැන්ත ප්‍රදානය ලබාගැනීම සඳහා අවශ්‍ය 'සුදුසුකම්' (Track Record) කෘත්‍රිමව සකස් කර ගැනීමේ පෙර සූදානමක් ලෙසද යන ප්‍රශ්නය අප හමුවේ ඇත.

 

අනෙක් අතට, වත්මන් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ මිලින්ද මොරගොඩ යනු සමීප මිතුරන්ය. මෙම වසරේ (2026) දෙසැම්බර් වන විට සන්තෝෂ් ජා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතය. එසේනම්, සම්ප්‍රදායික පිරිවෙන් මගහැර පාත්ෆයින්ඩර් වෙත මෙම ව්‍යාපෘති ලබාදීමට උත්සාහ කරන්නේ, යන ගමන් තම මිතුරා වෙනුවෙන් ලබාදෙන 'තුටු පඬුරක්' ලෙසද? මෙම අභ්‍යන්තර ගනුදෙනු පිළිබඳව ප්‍රතිපාදන ලබාදෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෝ එරට ආණ්ඩුව දැනුවත් යැයි අපි නොසිතමු.

 

 

අතීතය සහ යථාර්ථය

ඉන්දියාවට අනුව ශ්‍රී ලංකාවේ පාලි අධ්‍යාපනය නැංවීමට ඇති සුදුසුම ආයතනය පාත්ෆයින්ඩර් ද?

 

මිලින්ද මොරගොඩ යනු මෙතෙක් අප බෞද්ධාගම ප්‍රවර්ධනයේ නියැලුණු බැතිමතෙකු ලෙස දැන සිටි අයෙකු නොවේ. ඔහු තම නිවස ආසන්නයේ පිහිටි ඇලන් මැතිනියාරාමයේ පාලි පිරිත් විකාශනය කිරීමට එරෙහිව නඩු පැවරූ අයෙකි. එපමණක් නොව, විකිලීක්ස් (WikiLeaks) වාර්තා හරහා ඇමරිකානු ඔත්තු සේවාවන් සමග සබඳතා පැවැත්වූ බවට ද ඔහුට අතීතයේ චෝදනා එල්ල වී තිබිණි.

 

ශ්‍රී ලංකාවේ පාලි අධ්‍යාපනය වෙනුවෙන් කවුරුන් හෝ කැපවී කටයුතු කරන්නේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් ඒ වෙනුවෙන් ලැබෙන විදෙස් ප්‍රතිපාදන යා යුත්තේ එය සැබැවින්ම සිදුකළ හැකි, දශක ගණනාවක කැපවීමක් ඇති සැබෑ ආයතන වෙතය. පාත්ෆයින්ඩර් ආයතනය මෙතෙක් සිදුකර ඇති කටයුතු දෙස බැලූ විට, මෙය හුදෙක් ලැබෙන මුදල ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් පමණක් බව පැහැදිලි වන්නකි.

 

 

ධවල පටපිළියෙන් වැසූ හිස්බව

මෙම සමස්ත ක්‍රියාවලිය දෙස ගැඹුරින් බලන විට අපට දැනෙන්නේ මහා මුඩු හිස්කමකි. සමාජයේ ඉහළම තලයේ වැජඹෙන, අනාගත නායකත්වට සුදුසු 'මිනිසුන්' යැයි අප සිතන ඇතැම් පුද්ගලයින්, සැබැවින්ම තම දෛනික පරිභෝජනයෙන් එහාට ගිය අසීමාන්තික මුදල් ආශාවන් පසුපස පමණක් පන්නන යන්ත්‍ර බවට පත්ව ඇති බව පෙනේ.

 

ආගම, භාෂාව සහ සංස්කෘතිය පවා ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘති බවට පත්කර ගන්නා මේ ඇසෙන්නේ සහ දකින්නේ, සියලු ධවල පටපිළියෙන් (සුදු වස්ත්‍රයෙන්) සැරසුණු ඔවුන්ගේ ඇතුළාන්තයෙහි ඇති ඒකාන්ත හිස්බව නොවේද? යන්න අවසානයේ අප සමාජයෙන් විමසිය යුතුම ප්‍රශ්නයයි.

 

 

# සමාරා පරණවිතාන

 

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

නවතම ලිපි