බිලියන 60ක බදු මංකොල්ලයේ සැබෑ මුහුණුවර
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමට එල්ල වී ඇති දැවැන්තම ප්‍රහාරයක් පිළිබඳ සජීවී සාක්ෂියක්
පසුගියදා කඩුවෙල, මාලඹේ ප්‍රදේශයෙන් අනාවරණය විය. ඒ, පසුගිය 28 වැනිදා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මාලඹේ සුදර්ශන මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක් වටලා, රහසිගතව පවත්වාගෙන ගිය දැවැන්ත නීති විරෝධී ස්කාගාරයක් කොටු කරගැනීමත් සමඟිනි.
මෙම වැටලීම හුදෙක් නීති විරෝධී මත්පැන් පෙරීමක් පිළිබඳ පුවතක් පමණක් නොවේ; එය පසුගිය කාලය පුරාවට පාර්ලිමේන්තු කාරක සභා (COPA සහ COPF) විසින් පුන පුනා අනතුරු ඇඟවූ, වාර්ෂිකව රුපියල් බිලියන 60ක පාඩුවක් රජයට සිදුකරන "ව්‍යාජ ස්ටිකර් මාෆියාවේ" සැබෑ මුහුණුවර සමාජයට නිරාවරණය කිරීමකි.
බෝතල් 18,000ක ජාවාරම සහ හිටපු අමාත්‍යවරයාගේ අදෘශ්‍යමාන හස්තය
මෙම සුඛෝපභෝගී නිවසේ තිබී බලපත්‍ර ලාභී මත්පැන් නිෂ්පාදනවලට අතිශය සමාන අන්දමින් ලේබල් අලවා, මූඩිවල ආරක්ෂිත ස්ටිකර්ද යෙදූ මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිණි. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි. රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බරපතලම කරුණ නම්, මෙම සමස්ත ව්‍යාපෘතිය පිටුපස ප්‍රබල හිටපු අමාත්‍යවරයකු සිටින බවයි. මේ වන විට ඔහුගේ සමීපතයකු සොයා පොලිස් පරීක්ෂණ පුළුල්ව ක්‍රියාත්මක වේ.
මෙම ජාලය හුදෙක් බස්නාහිර පළාතට පමණක් සීමා වූවක් නොවේ. සැකකරුවන්ගේ තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ අපරාධ කොට්ඨාස නිලධාරීන් මඩකලපුව ප්‍රදේශයේ වැටලීමක් කරමින්, මෙම නීති විරෝධී මත්පැන් මඩකලපුව ප්‍රදේශයේ සුරාසල් 25 කට බෙදාහැරි කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම අදාළ ලොරිය සහ එහි රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇත. මින් පැහැදිලි වන්නේ කඳුකරයේ සහ නැගෙනහිර පළාතේ බලපත්‍රලාභී සුරාසල් ජාලයක්ම මෙම නීති විරෝධී මත්පැන් බෙදාහැරීමේ මාෆියාවට ඍජුවම සම්බන්ධ වී ඇති බවයි.
යන්ත්‍රවලටත් අසුවෙන්නේ නැති ඉන්දීය ස්ටිකරය: තාක්ෂණික කාන්දුව කොතැනද?
මෙම ජාවාරමේ වඩාත්ම කම්පන සහගත අනාවරණය වන්නේ අදාළ බෝතල්වල අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර්වල මූලවස්ථානයයි. සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ මෙම ස්ටිකර් ලබාගෙන ඇත්තේ ඍජුවම ස්ටිකර් මුද්‍රණය කරන ඉන්දීය සමාගමින් බවයි. අදාළ ආරක්ෂිත ස්ටිකර් කොතරම් සූක්ෂමද යත්, ඒවා සුරාබදු දෙපාර්තමේන්තුව සතු ස්කෑනර් යන්ත්‍රවලින් පවා ව්‍යාජ ඒවා බවට හඳුනාගත නොහැකි බව විමර්ශනවලදී හෙළිව තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ සමස්ත මත්පැන් කර්මාන්තය සඳහා අවශ්‍ය ආරක්ෂිත ස්ටිකර් සැපයීමේ සහ ඊට අදාළ දත්ත කළමනාකරණ පද්ධතියේ (SFMS) පූර්ණ ඒකාධිකාරී හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර කේන්ද්‍ර කරගත් 'මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්' (Madras Security Printers Pvt. Ltd. - MSP) ආයතනයයි.
විමර්ශන නිලධාරීන් පැහැදිලිවම කියා සිටින්නේ මෙම ස්ටිකර් අදාළ ඉන්දීය සමාගමේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ මිස වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබාගත නොහැකි බවයි. ඒ අනුව, මෙම සැබෑ ස්ටිකර් ජාවාරම්කරුවන් අතට පත් වූයේ කෙසේද? මෙයට ඍජු විදේශීය සම්බන්ධකම් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සම්බන්ධකම් සහ දේශපාලන රැකවරණය නොඅඩුව ලැබී ඇති බවට මේ වන විටත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණක් ආරම්භ කර ඇත.

